පියාඹන්නට….

.

.

පුංචි කුමාරි දැන් ඇති නේද, නිදාගෙන හිටියා…? එන්න අපි පියාඹමු, මුළු අහස පුරාම… මට පුළුවන්  වේවි, මං තනියම ගිහිං දැක බලාගත්ත ලස්සනම ලස්සනම තැන් ඔය දඟකරන ඇස්වලට පෙන්නන්න. හැම දෙයක්ම ආයෙමත් දකින්න… මං තවත් ආසා වේවි…. “අර මොකද්ද….?“ , “ඇයි ඒක එතෙන තියෙන්නෙ…? “ වගේ කිසිම තේරුමක් නැති, මට උත්තරත් නැති ප්‍රශ්න වලට උත්තර හද හද කියන්න.

ඔන්න දැන්ම නැගිටින්න ඕනේ… නැත්තං සමන්පිච්ච සුවඳ මග ඇරේවි. ඒ විතරක් නෙවෙයි… උදේම පිටත් උනොත් මට පුළුවන් වේවි, ගිනි අව්ව පැතිරෙන්න කලින්, හිරු රැස් කඩා පනින්න කලින් පිබිදෙන මානෙල් මලක් ඔය දෑතේ රඳවන්න… තව ගොඩක් දුර ඇවිදින්න පුළුවන් වේවි රෝස පාට උණුසුම් අතේ එල්ලිලා… සීතල සුළං හමන මීදුම පිරුණ කන්දක් පාමුලට වෙලා දවල් වරුව ගෙවන්න පුළුවන් වේවි… ඔන්න දැන්මම කිව්වා… දුවන්නේ එහෙම නෑ හා පැටවු, සමනල්ලු පස්සේ.. ලඟට වෙලා හිටියොත්, පුංචි හිත ආසම රතු පාට ස්ට්‍රෝබෙරි ගොඩක් හොයාගෙන එන්න පුළුවන් වේවි මට…!!! අපෝ ඒවා කන හැටි නම් ලියන්න බෑ… පෙරේති… මූන ඇඹුල් කරගෙන… කට රතුපාට කරගෙන…

.

.

වෙරල දිගේ දුවන්න අතින් ඇදගෙන… පිටි පස්ස හැරිලා බලද්දි අපේ අඩිපාරවල් තියේවි… දුඹුරු පාට වැල්ලේ ටික දුරක්, ටිකක් ගැඹුරට. ටික වෙලාවකින් මැකිලා යාවි. ඒත් අපිට පුළුවන් වේවි තවත් අඩි තිය තිය ඉස්සරහටම යන්න. සුමුදු රළ පෙන ඒවි අපේ දෙපතුල් ගාවටම, කිරි පාට පිඩු දරාගෙන. මම, ඔය කකුල් දෙක තෙමෙන්න නොදී ඔසවා ගන්නවා දෑතටම නුඹව…!!! සිඹින්න දෙන්නේ නෑ මම කිරි සයුරට සුමුදු යටි පතුල… විඳින්න දෙන්න නෑ මම රෝස දෙපතුලේ උණුසුම සොඳුරු සයුරට. ඒවා මගේමයි…! හිනා වෙන්නේ එහෙම නෑ හයියෙන්.. හොඳද…

ඈත අකාසේ ලා දම් පාටින්, තැඹිලි පාටින් ඉර බැහැගෙන යද්දී… කහ පාට හෙන්දිරික්කා මල්, සුදුයි තැඹිලියි මුහුවුන සේපාලිකා මල් පිපෙද්දි ආයෙම ගෙදර එන්න පුළුවන් වේවි. එන ගමන් පුංචි මල් වැලක් අමුනලා මට පුළුවන් වේවි රත්තරං පාට බෙල්ලේ ගෙලලන්න. ඉන්නවකෝ… මං තවත් ආත්මාර්තකාමී වෙනවා ඔය ආදරය ලඟ…!!! දෙන්නේ නෑ කාටවත් ඔය හිතට ලං වෙන්න…! at –  සහෝදරියකට / දුවකට / බිරිඳකට (අළුත බැඳපු)….. ආදී වශයෙන් තමන් කැමති චරිතයකට…

නිල් තණකොල පිට්ටනියක්

පුංචි කාලේදී දකින අහස

පුංචි කාලේදී දකින අහස

ඉස්සර ඉඳන්ම අපි හැමෝම අහසට ගොඩක් ආදරය කලා. වැඩියෙන්ම හඳට. ඊට පස්සේ තරු වලට. ඒවා තමන් විසින්ම එළිය විහිදුවන තරු වුනත්, නැත්තං අනුන්ගේ එළියක් පරාවර්තනය කරන ග්‍රහලෝක වුනත්… ඒ හැමදෙයක්ම අපිට තරු. ඒ ඉතිං රෑටනේ… දවල්ට එලිය තියෙන වෙලාවට සුදුපාට පුළුං වගේ වලාකුලුවලට. ඊට පස්සේ නැගෙනහිරින් නැගගෙන එන ඉරට… හවස් වෙද්දි තැඹිලි පාටට බැහැගෙන ඉරට. ම්… එහෙම බැළුවොත් අපි මුළු අහසටම ආදරේ කරලා…!

පුංචිම කාලේ අම්මලා තාත්තලා අපිට අහස දිහා බලාගෙන තරු වලට ඇඟිල්ල දික් කර කර කතා කියලා දුන්නා. ඒවා ගොඩක්ම සුරංගනා කතා. එක එක විදියේ ඒවා… දැන් තියෙන චිත්‍රපටිවල වගේ ඒ කතාවල කුමාරයා හැම තිස්සෙම කුමාරිකාව එක්ක සතුටින් දිවිගෙව්වේ නෑ… එයාලා දැන් වගේ අහස තරම් ආදරේ කලාද දන්නේ නෑ… ඒත් එයාලට එක එක දේවල් වුනා. මතක නෑ අප්පා දැන්….!

ඉතිං කොහොමහරි අපිට වඩා පරම්පරා ගානක් එපිට අයත් අහසට ආදරේ කලා. එයාලා අහසට වැන්දා. අහස දෙවිකෙනෙක් වගේ සැලකුවා. ඒ වගේම අහසට විවිධ අර්ථකථන දුන්නා. අපි නොදන්නවා වුනාට වෙලාවකට වලාකුළු වලින් පිරෙන, වෙලාවකට හිස් වෙන මේ අහස දැනට වැඩිය ඉස්සර ගොඩක් කාර්යබහුල වෙන්න ඇති. දැන් වගේ චන්ද්‍රිකා, ගුවන් යානා, ගුවන් නැවතුම් පොලවල්… අභ්‍යවකාශ සුන්බුන්  නැතිවුනාට දැන් හොයාගන්නවත් නැති පක්ෂීන් විසින් අහස වර්ණවත් කරන්න ඇති.

දැන් අපි අහස අඳුරන්නේ රතු වැහි, කොල වැහි, නිල් වැහි… කහ වැහි වහින, පියාඹන පීරිසි කැරකෙන, උල්කාපාත වැටෙන නපුරු අහසක් කියලා…!

ඒත් ඉස්සර අපි අහස අඳුන ගත්තේ බොහෝම සරල විදියට, හරිම ලස්සනට…

සමන් පිච්ච මල් ඉහිරුණ...

සමන් පිච්ච මල් ඉහිරුණ…

සමන් පිච්ච මල් ඉහිරුණු – නිල් තණකොල පිට්ටනියක්

වගෙයි අහස අන්න බලන් – කොච්චර ලස්සනද රෑට

තරු රෑනකට පුළුවන්ද…?

ගේ සීන් එක …

ගේ සීන් එක...

ගේ සීන් එක…

ඒක මහ අලුගුත්තේරු සඳුදා දවසක්. උදේ පාන්දරම වහින්න ගත්තා. ඊලඟට පාරේ හරියකට යන්න බෑ සිග්නල් ලයිට් පත්තු වෙද්දී, පොලිස් කාරයො අත පය විසික් කරනවා. හ්ම්…. පැහැදිලි කාලගුණයක් තියෙන වෙලාවකනම් පොලිස් කාරයෝ යෙදෙව්වත් කමක් නෑ දුරට පේනවා, විසිල් එකත් ඇහෙන නිසා. ඒත් වැස්ස දාට…. නොතෙමෙන්න දාන කළු කබාය දාගත්තම වීදුරු වලට වතුර අස්සෙන් පේන්නේ හරියට හොල්මන් වගේ. හරියකට විසිල් සද්දෙවත් ඇහෙන්නේ නෑ…

බාගෙට නාගෙන කොහොම හරි ඔෆිස් එකට ගියා. කුඩේ තිබුනට දිගාරින්න ම්මැලියි… ඒ හැටි…! උපන් ගති යවන්න පුළුවන් කාටද. පස්සෙ ඉතිං කෑම කාලා දවසේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙද්දි… “බෑ  අප්පා අද වැඩ කරන්න. වැස්ස හින්දා වැඩ ඔක්කොම කල් දානවා. මේ හීතලේ මොන වැඩද. එක්කෝ හදිස්සි වැඩ ටික විතරක් කරලා දානවා. “ වගේ ධනාත්මක සිතුවිලි ගොඩයි හිත ඇතුලේ. ඒ ඔක්කොම එක්ක පටන් ගත්තා වැඩටික.

ටික වෙලාවක් යද්දි උණු දුම් දාන තේ එක එනවා. ම්… ඒක තමා මේ හීතලට හොඳටම ගැලපෙන දේ. ටික වෙලාවක් යද්දි ඔෆිස් එකේ කෙනෙක් ආවා, ගෙයක් විකුණන්න ඇඩ් එකක් පත්තරේ දාගන්න ඕනේ… ඒ විස්තර ටික හොයලා දෙන්න කියගෙන. ඔය වගේ අනුන්ගේ වැඩ තමා වැහි දවස් වලට තිතටම කරන්න පුළුවන්. ඉතිං ඒ බුවාව ලඟ පුටුවකින් වාඩිකරවගෙන  මෑන්ට ඕනේ විස්තර ටික හොයනවා. ඔෆිස් එකට ලඟින්ම තියෙන දැන්වීම් බාර ගන්න ස්ථානය. දැන්වීමට අයකරන ගාස්තුව…. අරකද මේකද හැම එකම… අන්න ඒ වෙලාවට හිතෙනවා තමන්ගේ වැඩක් කරගෙන හිටියනම් හොඳයි නේද කියලා.

ඉතිං ඔහොම ගිහිං ගිහිං දැන්වීම පත්තරේ දාන්න කලින් ඒක හරියට සකස් කරලා… වචන පහලොව ගානට සෙට් කරලා දෙන එක සෙට් වුනෙත් මට. පස්සේ ඉති අනවශ්‍ය කෑලි ඉවත් කරලා දැන්වීම හැදුවා. ඔක්කොම ඉවර කරලා දැන්වීම යැව්වා පියන් කෙනෙක් අතේ දැන්වීම් භාරගන්න තැනට. ලබන ඉරිදා පත්තරේට.

ගේ විකිණුවද දන්නේ නෑ...

ගේ විකිණුවද දන්නේ නෑ…

ඔන්න ඉතිං ඉරිදා පහුවෙලා සඳුදා වුනා. ගෙයි දැන්වීම පත්තරේ වැටිලා. අර බුවාට හරි හැපී. හැබැයි වැඩි වෙලාවක් තිබුනේ නෑ… මෑන්ගේ මූනට හම්බුවෙන හම්බුවෙන කෙනා මිනිහාගෙන් අහනවලු… කොහොමද බං දැන් ගේ සීන් එක…. / ගේ සීන් එකට මොකද වුනේ බං… / ගේ කේස් එකට කෝල්ස් ආවද මචං….

දැන් තියෙන තත්ත්වෙ උඩ ගේ විකුණුවද කියලවත් අහන්න බෑ… ගේ සීන් එක එච්චරටම දරුණුවට ගිහිං… මට නිකමට හිතුනා සඳුදා උදේම වැඩ හබක් වීගෙන එනකොට මේ සතියම අපි හැමෝටම සුභ සතියක් වෙනවා කියලා… දැන් බුවාට ගේ මතක් වෙද්දි තද වෙනවා. සමහරවිට ගේ සීන් එක නවත්තලා දාවි…! – at මුළු සතියම ඉතිං හරි ජොලි අපිට…!!!

♥♥♥

Posted in Flash. 33 Comments »

දුම්රිය වේදිකාව…

දුම්රිය වේදිකාව...

දුම්රිය වේදිකාව…

දුම්රිය වේදිකාව කියන්නේ කෝච්චියට නගින්න එන මිනිස්සුන්ට රැඳිලා ඉන්න තියෙන තාවකාලික රැඳුම් ස්ථානය. කෝච්චිය ඇවිත් නැවැත්තුවම ඒ වේදිකාව දිගේ දුවගෙන ගිහිං තමා තමන් යන්න කැමති පෙට්ටියට නගින්න ඕනේ… ඒක එහෙම වුනාට දුම්රිය වේදිකාවක් කරගත්ත මිනිස්සු කොයිතරම් නම් ඉන්නවද, ඒ දුවගෙන ගිහිං කෝච්චියට ගොඩවෙන මිනිස්සු අතරේ…?

අතක් පයක් කැඩිලා ආබාධිත වෙච්ච මිනිස්සු, ඇස් පේන්නේ නැති වුනත් පෙට්ටියකින් පෙට්ටියකට මාරු වෙලා කෝච්චි ඇතුලේ තියෙන සීට් වල, කණු වල නොහැප්පී ගිහිං සල්ලි ඉල්ලගන්න තරමට විතරක් ඇස් පේන අය… ඒ අයට දුම්රිය කියන්නේ එයාලගේ දුක හෝ අනිත් අයගේ දුක හෝ කෝච්චියේ යන එන අයට කියලා එයාලගේ ජීවිතය ජීවත් කරවගන්න වේදිකාව. ඒක ඇත්තටම රස්සාවක්…! මාසෙට පඩියක් ලැබෙන නෙමේ, දවසට පඩියක් ලැබෙනත් නෙමේ… දුම්රියේ එකපාරක් එහාට මෙහාට ගියාම හොඳ පඩියක් ලැබෙන රස්සාවක්.

තව ඉන්නවා කට්ටියක්… එයාලා අරං එන්නේ පොඩි ළමයින්ට කියවන්න හොඳ අධ්‍යාපනික පොත්. ඒවා ගෙනැල්ලා පොඩි විස්තරයක් කරනවා මෙහෙම… මේක දැන් අහලා අහලාම කටපාඩම්…!

“බලන්න නෝනා මේ පොත…. මේකෙ තියෙනවා පරිගනකයක් හසුරුවන හැටි මුල ඉඳන්ම. ළමයින්ව ක්ලාස් යවන්න ඕනේ නෑ. ගෙදර ඉඳන් කියලා දෙන්න පුළුවන්. දැන් බලන්න… කොම්පියුටර් පන්තියකට මාස හයේ කෝස් එකකට ගාන කීයද… රුපියල් අටදාහක් කියමු. එතකොට බලන්න උගන්නන පැය ගාන. සතියට එක දවසයි… පැය දෙකයි… ඒ කියන්නේ මාසෙට පැය අටයි. මාස හයට පැය හතලිස් අටයි. ඉතිං නෝනා මේ පොත වෙන්නේ රුපියල් පනහයි… මේ පැය හතලිස් අටකින් ඉවර වෙන්නේ නෑනේ… මුළු ජීවිත කාලෙම තියාගන්න පුළුවන්. එතකොට ලාභය කීයද හිතලා බලන්න…“

අන්තිම ට්‍රික් එක වැඩ කරනවා නියමෙට. ඒ සමීකරණෙට ගහන්න වෙන සමීකරණ එකක් වත් නෑ.  පොඩි දරුවෝ ඉන්න ගෑණු කට්ටියගෙන් කීපදෙනෙක් හරි රුපියල් හත්දාස් නවසිය පහනක් ඉතුරු කර ගන්නවා හැම උදේකම…!

ම්… උදේට නැති වුනත් ගොඩක් වෙලාවට හවසට කෝච්චියට නගින්නේ වඩේ වෙළෙන්දෝ. උම්ලකඩ වඩේ කියලා තමා විකුණන්නේ. ඒත් කවදාවත් උම්බලකට රහක්වත් දැනිලා නෑ. මහ ලොකු ආයාසයකින් තොරව, හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට වඩේ කවන්න පුළුවන් කියලා දන්න නිසාම වඩේ වෙළෙන්දෝ වේදිකා ගත වෙන්නේ බොහෝ දුරට හවසට විතරයි. ඒ අතරෙම ඉන්නවා වතුර බෝතල් වෙළෙන්දෝ… සූකිරි, කඩල, රටකජු වෙළෙන්දෝ එහෙමත් තමන්ගේ ජවනිකාව කරලා ආයෙම යනවා.

.

.

ඔය අතරේ ඉන්නවා විශේෂ අයත්. වංචාවක් නෑ, බොරුවක් නැත්තෙම නෑ… ඒත් අවංකයි වගේ.  මේ ලඟදී තමා දැක්කේ. කෝච්චියට නගින්නේ කොහෙන්ද බහින්නේ කොහෙන්ද කියන්න මම දන්නේ නෑ. ඒත් ස්ටේෂන් එකක් ඇර එකකදී බැහැලා වෙන පෙට්ටියකට මාරු වෙනවා. ඒ මනුස්සයා අතේ තියෙන්නේ යමහා කී බෝඩ් එකයි, වාඩිවෙන්න ගෙනියන පෝටබල් ආසනයයි විතරයි.

ඒ මනුස්සයාගේ වදන් වලින්ම කියනවනම්….

“මහත්තයා මේක මගේ වෘත්තිය. ඒකට මං බොරු කරන්නේ නෑ. මං මේ වාදනය කරන්නේ මේ දැන් කී බෝඩ් එකෙන් එන සද්ද. මේවා ප්‍රෝග්‍රෑම් කරලා නෑ. ඕනෙ කෙනෙකුට චෙක් කරලා බලන්න පුළුවන්“

කතාවේ ඇත්ත නැත්ත දන්නේ නෑ. ඒත් මිනිහා දුක කියන්නේ නෑ. බොරු සමීකරණ නෑ… කියන්නේ සිංදු විතරයි. ඒක ඒ මනුස්සයා තමන්ගේ ජීවිතේ රැකගන්න වෘත්තිය කරගෙන. කෝච්චිය වේදිකාව කරගෙන. කාගෙවත් බලපෑමක් නැතුව. දේශපාලඥයෝ පස්සෙ නොගිහින්… පන්දම් අල්ලන්නේ නැතුවම. අනිත් විරිදු කාරයෝ, බයිලා කාරයෝ හැමෝටම වැඩිය වෙනස්.

ඔය වගේ තව එක එක චරිත ඉන්නවා ඕනේ තරම්. හැම කෙනෙක්ම එකිනෙකාට වෙනස්. එක වේදිකාවක් මත සෑහෙන විවිධත්වයක්…! – at  ඒ වගේම අවුරුදු හතලිස් පහක් විතර වෙන ගැහැණු පිරිමි සුළු පිරිසකට කෝච්චිය වෙනම වේදිකාවක්…!

හෙන්දිරික්කා දඩයම…

හවසට මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ගේ ඇස් වලින් වහං වෙලා රාත්‍රියට සුවඳ දෙන්න. ඒත් හවස මල් පිපෙන්නේ නපුරු මිනිස්සුන්ට රාත්‍රියට සුවඳක් වෙන්න. එහෙම හවස මලක් දඩයම් කරන්න නම් මහ ගොඩක් අමාරුනෑ… ඒත් හවසට පිපෙන මලකට ලංවෙනවා කියන්නේ ටිකක් අසීරු වැඩක්…!

ඒක එහෙට මෙහෙට විසිවෙන සල්ලි වලින් කරන්න බෑ. ඒකට පුහුණුවටත් වැඩිය අධික කැපවීමක් අවශ්‍යයි. කැපවීම හොඳටම තිබුනොත් තමා පුහුණු වෙන්නේ. ඒ වගේම කඩිසර බව වගේම නිශ්චල බවත් අවශ්‍යයි. තව සුළු සුළු දේවල් කීපයකුත්…! ඒත්  ඒ හැම දෙයකම අවසානය හිතේ ඇතිවන සියුම් සතුටක් විතරක් වෙන්න පුළුවන්.

මුල්ම උත්සාහය

මගේ හෙන්දිරික්කා දඩයම පටන් ගත්තේ 2011 අගෝස්තු වල. හෙන්දිරික්කම මට දඩයම් වුනේ අපේ ගෙවල් කිට්ටුව හොයාගන්න ලේසිම ඒවා නිසා. ඒකත් හවසට. මේ තියෙන්නේ මුල්ම කුරුමානම.

දෙවෙනි...

දෙවෙනි…

මේ දෙවෙන තැත. හැමෝම උඩින් බලද්දී. මම බැලුවේ යටින්. උඩින් පේනවට වැඩිය සෑහෙන වෙනසක්. කොහොමත් එහෙමනේ…! උඩින් පේනදේට වඩා වැඩි දෙයක් යටින් බැලුවම පේනවා.

දැනට අවසාන...

දැනට අවසාන…

ම්… මේ දැනට අවසානය. මට පුළුවන් උපරිමෙන් ලංවුනා. තව ලංවෙන්න අදහසක් තියෙනවා. හ්ම්… මේ දඩයම නරක නෑ…!

%d bloggers like this: