භූමිතෙල් කුප්පිය…!

.

.

මට මතක් වෙන්නෙම චූටි බෙහෙත් බෝතලයකින්ද කොහෙද හදලා තිබුන දුඹුරු පාට කුප්පි ලාම්පුව. ඒකෙ එලිය මහ ගොඩක් නෑ… ඒත් සාමාන්‍ය කාමරයක් එලිය වෙන තරමට කහ-තැඹිලි පැහැ දුබල එලියක් හැමදාමත් ඒ කුප්පි ලාම්පුවෙන් විහිදුනා.  හ්ම්… ඒක තිබුනේ අපේ ගෙදර නෙවෙයිනේ… ඒක කියන්න බැරිවුනා මට.

ලාම්පු කුප්පිය, කුප්පි ලාම්පුව, භුමිතෙල් කුප්පිය, භුමිතෙල් ලාම්පුව වගේ නම ගොඩකින් වගේම ආච්චිට තරහා ගියාම “ඔන්න ඔය කුප්පිය“ කියලා අහගන්නෙත් ආච්චිලාගේ ගෙදර තිබුන, මට අතපොවන්න පුළුවන් පහතක තිබුන එකම එක කුප්පි ලාම්පුවයි. අනිත් ඒවා ඔක්කොම කම්බි කෑල්ලකින් පොල් අතු වහලේ හරහට වැටිලා තියෙන පරාලයකට බැඳලා තියෙන්නේ. ඒවා හදලා තියෙන්නෙත් පිච්චුන බල්බ්වල මදේ අයින් කරලා ඒවට භූමිතෙල් පුරවලා, කටට තහඩු කෑල්ලක් දාලා ඒක මැද්දෙන් තිරයක් ඇදලා. සමහර වෙලාවට ඒවා වහලේ එල්ලන්න ඇත්තේ බිම තියන්න තරම් සමතලා නැති නිසා වෙන්න ඕනේ. බලබ් එක රවුම්නේ…

කොහොමහරි මට අවුරුදු තුනක් විතර වෙද්දිත් අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. කරන්ට් එක තිබුනත් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තිබුන බස් පාරේ මීටර් දෙසීයෙන් දෙසීයට වගේ හිටවලා තිබුන කළු තෙල් ගාපු ලී ලයිට් කනු වල විතරයි. ඒවා පත්තු වෙන්නෙත් හවස හයාමාර විතර වෙද්දි. එච්චර ඩොටේ තියෙන ගමක විදුලි බල්බයක් තිබුනනම් තිබුනේ අපේ ආච්චිලෑ ගෙදර වගේ පිච්චිච්ච බල්බ් එකකට භූමිතෙල් දාලා පත්තු කරන්න හදාගත්ත එකක් විතරයි. ඒ කුප්පි ලාම්පුවත් ගේන්නේ බ්‍රහස්පතින්දාට ටවුමේ තියෙන පොලෙන්. ඒ දවස් වල කුප්පි ලාම්පුව රුපියල් 5ක් විතර ඇති මතක විදියට.

හ්ම්...

හ්ම්…

ඉතිං මං කැමතිම කුප්පි ලාම්පු සර්කස් සංදර්ශනේ පටන් ගන්නෙ ආච්චිලෑ ගෙදර ගිහින් අම්මල කෑම උයන්න ගියාම තමා. මුලින්ම හිමීට මේසේ කෙලවර තියෙන ලාම්පුව ගාවට යනවා. ඊට පස්සේ කරන්නේ ඉතිං බලං ඉන්න  එක තමා. ටික වෙලාවක් යනකං ලාම්පු දැල්ලට  පියාඹා ගෙන මැස්සෝ දිහා බලාගෙන ඉන්නවා. ආපු ගමන් චුරුස් ගාලා තටු පුච්ච ගෙන කුප්පි ලාම්පුව පාමුල වැටිලා දඟලන පළඟැටි, ගොයම් මැස්සෝ දිහා බලාගෙන ඉද්දි උං පවු කියලා හිතෙනවා. උං ටික වෙලාවක් එහෙට මෙහෙට දඟලා දඟල ඉඳලා එක පාරටම නිසල වෙනවා. ඊට පස්සෙ ලඟ තියෙන පොල් අත්තකින් කඩාගන්න ඉරට්ටකින් ඇන්නත් උං නෙමේ දඟලන්නේ. ගොඩක් වෙලාවට ඔය ගොයම් මැස්සෝ එහෙම මැරෙනවා ඇත්තේ පිහාටු පිච්චිලාම වෙන්න බෑ… කුප්පි ලාම්පුවෙන් උඩට යන දැලි කන්දරාව මම දැකලා තියෙනවනේ. උං බිම වැටෙනවා ඇත්තෙත් ඒ දැලි ඇස්වල වැදිලා වෙන්න ඇති. ම්… ගොඩක් වෙලාවට ඔය කුප්පි ලාම්පු පහන් දැල්ලට එන්නේ පළඟැටියි, ගොයම් මැස්සොයි තමා. මෙරු එන්නේ ගොඩක් කලාතුරකින්. මදුරුවෝ කොයිතරම් හිටියත් උං නම් පහන් දැල්ල කිට්ටුවටවත් එන්නෙ නෑ.

හ්ම්… ඔහොම ටික වෙලාවක් ඉද්දි කකුල් දෙක කකියන්න ගන්නවා. හිටගෙන ඉඳලම නෙමේ මදුරුවො කාලා. එතකොට ඉතිං ලඟ තියෙන ඇඳි පුටුව ඇදගන්නවා මේසේ කිට්ටුවට. ඊට පස්සේ ඉතිං වේවැල් උඩ දනහිසින් හිටගෙන අයෙමත් පහනට ඇදෙන චූටි සත්තු දිහා බලන් ඉන්නවා. හැම තත්පරේකම එක සතෙක් ඇවිත් පිච්චිලා වැටුනත් එන සත්තු ගාන ඉවරයක් වෙන්නේ නෑ… ඒ වගේම කුප්පි ලාම්පුව පාමුල සත්තු එකතු වෙන්නෙත් නෑ. මොකද අපේ ආච්චි කුප්පි ලාම්පුව පත්තු කරනකං පොල් අතු අස්සේ හැංගිලා ඉන්න හූනෝ බලාගෙන ඉන්නේ. කුප්පි ලාම්පුව පත්තු කරපු ගමන් හූනෝ දෙතුන් දෙනෙක් ලාම්පුව පේන මානයේ ඉන්නවා. සතෙක් ඇවිත් පිච්චිලා වැටන ගමන් නැට්ට දෙපැත්තට වන වන ඇවිත් දිව දික් කරලා වැටුන සතාව ගිලිනවා. සමහර විට වෙලාවට ඒ සතා මැරිලත් නෑ හූනා ගිලිනකොට.

මහ ලාම්පුව

මහ ලාම්පුව

ඔහොම බලාගෙන ඉද්දි දන්නෙම නැතුව පැයක් හමාරක් නිකංම ගෙවිලා. ඊට පස්සේ තමා ආච්චි දුවගෙන එන්නේ මහ ලාම්පුවත් අරගෙන“මෙන්න මේ කොල්ලා පුච්ච ගන්න හදන්නේ“ කියාගෙන. වටේට වීදුරුවකින් ආවරණය කරපු ලොකු භූමිතෙල් ලාම්පු තිබුනේ ගෙදරකට එකයි නැත්තං දෙකයි. ඒකට මහ ලාම්පුව කියලත් කියනවා. ඒක කෑම උයන වෙලාවට කුස්සියට, කෑම කන වෙලාවට කෑම මේසෙට, පාඩම් කරන වෙලාවට පොත් මේසෙට වශයෙන් සංචාරක ලාම්පුවක්. ඒක භාවිතා වෙන්නේ ඒ වෙලාවට ඇති වැදගත්ම වැඩය කරන්න ආලෝකය ලබාගන්න විතරයි. ඒක නිසා තමා මට කුප්පි ලාම්පුවේ සත්තුන්ගේ සෙල්ලම් බලන්න පුළුවන් වුනේ.

හ්ම්… ඒ භූමිතෙල් කුප්පියෙන් කොච්චර දැලි නිකුත් වෙලාද කියන්න තියෙන එකම සාක්ෂිය තමා ලාම්පු තියෙන තැන්වල වහලේ තියෙන කළු පැහැති දැලි ලපය. ඒ දැලි අතින් පිහිදුවට යන්නෙත් නෑ.. ඒ තරමටම ඒවා පොල්අතු වලට කාවැදිලා. මං නොදන්න කාලේ ඉඳලත් ඒ ලාම්පු පත්තු වුනා. දන්න කාලේ, නොගිය දවස් වලත් ඒ ලාම්පු පත්තු වුනා. ඒත් මං දැක්කේ එහේ ගිය දවස් දෙක තුනක විතරයි. ඊට පස්සේ කරන්ට් එක ආවත් එකක්ම ඒ හැම නිවෙන දැල්වෙන, හුලඟට ලෙලදෙන කහ-තැඹිලි එළියක්ම නැතුව ගියා. දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති සුදු පාටයි, කහ පාටයි එලි විතරයි. ඒකට තමාලු ගමක දියුණුව කියන්නේ…! – at මේ දියුණුව මට හරි අප්පිරියයි…!

කතාවට කෙලින්ම අදාල නොවුනත්, වෙනස්ම අදහසක් තිබුනත් පාඩුවේ අහන්න පුළුවන් ගීතයක්… http://ananmanan.org/sinhala_mp3/Nanda_Malani_Sulagata_Salena.mp3%20

34 Responses to “භූමිතෙල් කුප්පිය…!”

  1. praveena Says:

    ඇත්තටම මේ ලිපිය කියවලා , ගීයට සවන් දුන්නාම මගේ හිතේ ඇති උනේ දුකක්. කාලෙකින් මාලුවගෙන් වෙනස් විදියක පෝස්ට් එකක්.

    //මේ දියණුව මට අප්පිරියයි.//

    වෙලාවකට මටත් එහෙම හිතෙනවා. 😦

  2. Praසන්ன Says:

    දැනුත් කුප්පි ලාම්පු තියෙනවා මාලුවෝ. හැබැයි රු. 40 ක් විතර වෙනව.
    නියම ලිපියක්.

  3. රූ Says:

    මේ වගේ කුප්පි ලාම්පු වල ලස්සන වගේද මාළුවො පොඩි එවුන් ඒවායින් පිළිස්සෙන තරම..විශේෂයෙන් අත්වැරදීම් වෙලා ඇතිවන ගිනි අනතුරුවලින් බාගෙකට වග කියන්න ඕන මේ කුප්පි ලාම්පු..

    ළඟදි දවසක මේ ලිපියත් මම කියෙව්වා..
    http://collidecolumn.wordpress.com/2013/01/26/when-worlds-collide-51-when-your-home-becomes-a-gas-chamber/

  4. DDT Says:

    මම ඉපදෙනකොටත් අපේ ගෙදරට කරන්ට් එක තිබුනා, ඒ නිසා මට කුප්පි ලාම්පු අත්දැකීම් නම් අඩුයි. ඒත් ඔය 88 – 89 කාලෙ හැම පැත්තෙන්ම කවුළුවලට නවපු බෙඩ් ෂීට් දමල මැද සාලෙ විතරක් අඩු එළියක් තියෙන බල්බ් එකක් දාලා තියෙනව මට මතකයි. ඊළඟට කරන්ට් එක නැති දවස්වලට ඉටිපන්දම් හරි ඔන්න ඔය වගේ ලාම්පුවක් හරි පොල්තෙල් දාන මැටි පහනක් හරි පත්තු කරනවා. මැටිපහන් ඉටිපන්දම් වගේ නෙවි භූමිතෙල් ලාම්පුවේ දැල්ල, අමුතු ගඳක් එක්ක දැලි විදිනව. ඒක පත්තු කරපු දාට නංගිටයි මටයි වෙන වැඩක් නෑ ළඟට වෙලා මාරුවෙන් මාරුවට උඩින් කාඩ්බෝඩ් කෑලි අල්ලනව දැලි එකතු වෙන්න. අම්ම කෑ ගහනව උඹල කොහොමහරි ලාම්පුවත් පෙරලගෙන පුච්චගෙන ගේත් ගිනිතියාපල්ල කියල.

  5. pissa palaamalla Says:

    දියුණුවට අකමැති අපි දුයුණුවම හොයාගෙන යනවා…

  6. සමනළී Says:

    මටත් මේ වගේ අත්දැකීමක් නම් නෑ… ඒත් මේක කියවනකොට මට පොඩි එකෙක් ලාම්පුව දිහා බලාන ඉන්නවා මැවිලා පෙනුනා……

    මේ ගිතෙටත් මං ආසයි ඈ…. මේක මේ ඉටි පහන් කතාවේ තේමා ගිතයනේ……

  7. magenama Says:

    ඔය කියන විදිහට ගම දියුනු වෙනවා කියන්නේ කුප්පි ලාම්පු එලියෙන් ඕපාදූප කියවපු ගමේ ගෑනු ලයිට් එලියෙන් මෙගා බලන එක.ඒත් ඇත්තටම සංවර්ධනය කියන්නෙ ඊට ගොඩක් එහාට ගිය දෙයක්.නිකමට හිතන්න කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරන්න ගිහින් ලමයි කොච්චර ඇස් නරක් කර ගන්න ඇත්ද?ඔලුව පුච්ච ගන්න ඇත්ද?
    අනික කුප්පි ලාම්පු තියාගෙන කොහොමද බං බ්ලොග් කොටන්නේ?????

  8. maathalan Says:

    මේක නම් උඹ ලිව්වද කියලා හිතන්නත් අමාරුයි.. සෑහෙන දියුණුයි නේ මාළු පැටියා….

  9. arunishapiro Says:

    මගේ හොඳම යෙහෙළියකගේ ඇඟෙන් බාගයක් පිච්චුනා ඇගේ ගමේ ගෙදර භූමිතෙල් කුප්පි ලාම්පුව පෙරලිච්ච නිසා. ඉතින් ඇය ගැන සිතද්දී මට නම් කිසිම විටෙක ගමට අහිමි වී ගිය කුප්පි ලාම්පු එළියේ හොඳක් ගැන කියන්න නම් බැහැ.

  10. Dilan Thivanka Says:

    මේ දියුණුව මට හරි අප්පිරියයි…!:D .මටත් වෙලාවකට එපා වෙනව.ඒකට අපේ අම්මලෑ ගම!මාර ලස්සන්යි

  11. මඩිස්සලේ නිශාන් Says:

    කුප්පි ලාම්පු මටත් ගොඩක් සමීපයි 2002 ඉඳන් 2003 වෙනකම් අපි අලුත් ගෙදරට ඇවිත් ලයිට් තිබුනේ නැහැ.ඔය කාලෙට හැමදාම කරේ දවසෙම ඉස්කෝලේ ගිහින් ඇවිත් සෙල්ලම් කරලා හරි අහල පහල ගෙවල්වලින් ටීවී බලලා ඇවිත් හරි හවසට නාන එක.ඊට පස්සේ භූමිතෙල් බෝතලෙත් අරන් කඩේ යනවා.ඒක ඒ කාලේ මට නියමිත වෙලා තිබ්බේ අම්මගෙන්.භූමිතෙල් ගෙනල්ලා කුප්පි ලාම්පු වලට පුරවනවා.කුප්පි ලාම්පු තුන හතරක් පුරවනවා.ලොකු චිමිනි ලාම්පුවක් තියනවා සාලෙට.ඔය ඔක්කොටම තෙල් පුරවලා තියනවා කළුවර වැටුනම පත්තු කරන්න බලාගෙන.

    දැන් හිතෙනවා ආයේ ඒ කාලේ එනවා නම් කියලා.ඉස්සර ලාම්පු පත්තු කරන් අපි බැටරි දාන රේඩියෝ එකෙන් කලාමැදිරි රාත්‍රිය අහනවා.ඒකෙ යන්නේ මිනීමැරුම් එළිදරව් වගේ දේවල් හඬ කවලා.සමහරක් දවස් වලට පොත් කියවනවා.ගෙදරට කව්රු හරි ඇවිත් නම් හොල්මන් කතා කියවනවා.මාර ෆන් 🙂

  12. පරිකල්පන Says:

    කුප්පි ලාම්පු කිව්වම මට මතක් වෙන්නෙ අපි ඉස්කෝලෙ යන දවස් වල කළු ලෑලි කළු කරන්න ලාම්පු දැලි එකතු කරපු හැටි.

  13. henryblogwalker Says:

    ඔය කුප්පි ලාම්පුවෙන් ඉන්න එකාගෙ සිහිනෙ ගෙදරට විදුලිය ලබා ගන්න එක. ආපහු කුප්පි ලාම්පුව ගැන හීන දකින උඹ වගේ පිස්සු මාලුවොත් ඉන්න එපෑ බං.

    ලංකාවේ පාවිච්චි කරන කුප්පි ලාම්පුව ඉතාම අනතුරුදායක ඒක පෙරලිලා ගිනිගන්න විදියෙ දුර්වල සැලසුමකින් යුක්ත වීමයි. ලංකාවෙම කුප්පි ලාම්පු අනතුරු කොච්චර වෙලාද කියලා වාර්තාත් ඇති කොහෙ හරි.

    ඊට අමතරව ඕකෙන් වෙන පරිසර දූෂණයත් ඒ වගේමයි. කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන කාමරේ දොරවල් වහගෙන ඉන්නකොට …

  14. කෙෂාන් විදුරංග Says:

    මචං මහ ලාම්පුවට චිමිනි ලාම්පුව කියලත් කියනව නේ….

    මගේ පුංචි කාලෙ නං හිටියේ ලයිට් එළියෙ… ඒත් ආච්චිඅම්මලහ ගියාම නං ඔය හැම ලාම්පුවක් ම තියේ…
    බල්බ් ලාම්පු, කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු, ලන්තෑරුම්, පිත්තල වලිං හදපු ලාම්පු, තව ලොකු චිමිනි ලාම්පුවක් තිබ්බ..

    මට මතකයි උඹත් එහෙම පොටෝවක් බුකියෙ දාල තිබ්බ.. (ලොකු චිමිනි ලාම්පුවක් තියෙන එකක්)

    දැං ඔය ලාම්පු හොයා ගන්නත් නෑ බං…. අපිට තියෙන මතකෙ විතරයි… 😥

  15. නාමල් Says:

    ෴ ලාම්පු එලියෙන් පොත් පාඩම් කරපු කාලේ මතක් උනා
    මහ ලොකු එලියක් තිබුනෙ නැහැ
    ඒත් කවදාවත් දිලිහෙන ලයිට් එලියට වගේ
    ඇස් රිදුනෙ නැහැ
    නියමයි මාලුවා, හිතටම වැදුන ෴


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: