භූමිතෙල් කුප්පිය…!

.

.

මට මතක් වෙන්නෙම චූටි බෙහෙත් බෝතලයකින්ද කොහෙද හදලා තිබුන දුඹුරු පාට කුප්පි ලාම්පුව. ඒකෙ එලිය මහ ගොඩක් නෑ… ඒත් සාමාන්‍ය කාමරයක් එලිය වෙන තරමට කහ-තැඹිලි පැහැ දුබල එලියක් හැමදාමත් ඒ කුප්පි ලාම්පුවෙන් විහිදුනා.  හ්ම්… ඒක තිබුනේ අපේ ගෙදර නෙවෙයිනේ… ඒක කියන්න බැරිවුනා මට.

ලාම්පු කුප්පිය, කුප්පි ලාම්පුව, භුමිතෙල් කුප්පිය, භුමිතෙල් ලාම්පුව වගේ නම ගොඩකින් වගේම ආච්චිට තරහා ගියාම “ඔන්න ඔය කුප්පිය“ කියලා අහගන්නෙත් ආච්චිලාගේ ගෙදර තිබුන, මට අතපොවන්න පුළුවන් පහතක තිබුන එකම එක කුප්පි ලාම්පුවයි. අනිත් ඒවා ඔක්කොම කම්බි කෑල්ලකින් පොල් අතු වහලේ හරහට වැටිලා තියෙන පරාලයකට බැඳලා තියෙන්නේ. ඒවා හදලා තියෙන්නෙත් පිච්චුන බල්බ්වල මදේ අයින් කරලා ඒවට භූමිතෙල් පුරවලා, කටට තහඩු කෑල්ලක් දාලා ඒක මැද්දෙන් තිරයක් ඇදලා. සමහර වෙලාවට ඒවා වහලේ එල්ලන්න ඇත්තේ බිම තියන්න තරම් සමතලා නැති නිසා වෙන්න ඕනේ. බලබ් එක රවුම්නේ…

කොහොමහරි මට අවුරුදු තුනක් විතර වෙද්දිත් අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. කරන්ට් එක තිබුනත් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තිබුන බස් පාරේ මීටර් දෙසීයෙන් දෙසීයට වගේ හිටවලා තිබුන කළු තෙල් ගාපු ලී ලයිට් කනු වල විතරයි. ඒවා පත්තු වෙන්නෙත් හවස හයාමාර විතර වෙද්දි. එච්චර ඩොටේ තියෙන ගමක විදුලි බල්බයක් තිබුනනම් තිබුනේ අපේ ආච්චිලෑ ගෙදර වගේ පිච්චිච්ච බල්බ් එකකට භූමිතෙල් දාලා පත්තු කරන්න හදාගත්ත එකක් විතරයි. ඒ කුප්පි ලාම්පුවත් ගේන්නේ බ්‍රහස්පතින්දාට ටවුමේ තියෙන පොලෙන්. ඒ දවස් වල කුප්පි ලාම්පුව රුපියල් 5ක් විතර ඇති මතක විදියට.

හ්ම්...

හ්ම්…

ඉතිං මං කැමතිම කුප්පි ලාම්පු සර්කස් සංදර්ශනේ පටන් ගන්නෙ ආච්චිලෑ ගෙදර ගිහින් අම්මල කෑම උයන්න ගියාම තමා. මුලින්ම හිමීට මේසේ කෙලවර තියෙන ලාම්පුව ගාවට යනවා. ඊට පස්සේ කරන්නේ ඉතිං බලං ඉන්න  එක තමා. ටික වෙලාවක් යනකං ලාම්පු දැල්ලට  පියාඹා ගෙන මැස්සෝ දිහා බලාගෙන ඉන්නවා. ආපු ගමන් චුරුස් ගාලා තටු පුච්ච ගෙන කුප්පි ලාම්පුව පාමුල වැටිලා දඟලන පළඟැටි, ගොයම් මැස්සෝ දිහා බලාගෙන ඉද්දි උං පවු කියලා හිතෙනවා. උං ටික වෙලාවක් එහෙට මෙහෙට දඟලා දඟල ඉඳලා එක පාරටම නිසල වෙනවා. ඊට පස්සෙ ලඟ තියෙන පොල් අත්තකින් කඩාගන්න ඉරට්ටකින් ඇන්නත් උං නෙමේ දඟලන්නේ. ගොඩක් වෙලාවට ඔය ගොයම් මැස්සෝ එහෙම මැරෙනවා ඇත්තේ පිහාටු පිච්චිලාම වෙන්න බෑ… කුප්පි ලාම්පුවෙන් උඩට යන දැලි කන්දරාව මම දැකලා තියෙනවනේ. උං බිම වැටෙනවා ඇත්තෙත් ඒ දැලි ඇස්වල වැදිලා වෙන්න ඇති. ම්… ගොඩක් වෙලාවට ඔය කුප්පි ලාම්පු පහන් දැල්ලට එන්නේ පළඟැටියි, ගොයම් මැස්සොයි තමා. මෙරු එන්නේ ගොඩක් කලාතුරකින්. මදුරුවෝ කොයිතරම් හිටියත් උං නම් පහන් දැල්ල කිට්ටුවටවත් එන්නෙ නෑ.

හ්ම්… ඔහොම ටික වෙලාවක් ඉද්දි කකුල් දෙක කකියන්න ගන්නවා. හිටගෙන ඉඳලම නෙමේ මදුරුවො කාලා. එතකොට ඉතිං ලඟ තියෙන ඇඳි පුටුව ඇදගන්නවා මේසේ කිට්ටුවට. ඊට පස්සේ ඉතිං වේවැල් උඩ දනහිසින් හිටගෙන අයෙමත් පහනට ඇදෙන චූටි සත්තු දිහා බලන් ඉන්නවා. හැම තත්පරේකම එක සතෙක් ඇවිත් පිච්චිලා වැටුනත් එන සත්තු ගාන ඉවරයක් වෙන්නේ නෑ… ඒ වගේම කුප්පි ලාම්පුව පාමුල සත්තු එකතු වෙන්නෙත් නෑ. මොකද අපේ ආච්චි කුප්පි ලාම්පුව පත්තු කරනකං පොල් අතු අස්සේ හැංගිලා ඉන්න හූනෝ බලාගෙන ඉන්නේ. කුප්පි ලාම්පුව පත්තු කරපු ගමන් හූනෝ දෙතුන් දෙනෙක් ලාම්පුව පේන මානයේ ඉන්නවා. සතෙක් ඇවිත් පිච්චිලා වැටන ගමන් නැට්ට දෙපැත්තට වන වන ඇවිත් දිව දික් කරලා වැටුන සතාව ගිලිනවා. සමහර විට වෙලාවට ඒ සතා මැරිලත් නෑ හූනා ගිලිනකොට.

මහ ලාම්පුව

මහ ලාම්පුව

ඔහොම බලාගෙන ඉද්දි දන්නෙම නැතුව පැයක් හමාරක් නිකංම ගෙවිලා. ඊට පස්සේ තමා ආච්චි දුවගෙන එන්නේ මහ ලාම්පුවත් අරගෙන“මෙන්න මේ කොල්ලා පුච්ච ගන්න හදන්නේ“ කියාගෙන. වටේට වීදුරුවකින් ආවරණය කරපු ලොකු භූමිතෙල් ලාම්පු තිබුනේ ගෙදරකට එකයි නැත්තං දෙකයි. ඒකට මහ ලාම්පුව කියලත් කියනවා. ඒක කෑම උයන වෙලාවට කුස්සියට, කෑම කන වෙලාවට කෑම මේසෙට, පාඩම් කරන වෙලාවට පොත් මේසෙට වශයෙන් සංචාරක ලාම්පුවක්. ඒක භාවිතා වෙන්නේ ඒ වෙලාවට ඇති වැදගත්ම වැඩය කරන්න ආලෝකය ලබාගන්න විතරයි. ඒක නිසා තමා මට කුප්පි ලාම්පුවේ සත්තුන්ගේ සෙල්ලම් බලන්න පුළුවන් වුනේ.

හ්ම්… ඒ භූමිතෙල් කුප්පියෙන් කොච්චර දැලි නිකුත් වෙලාද කියන්න තියෙන එකම සාක්ෂිය තමා ලාම්පු තියෙන තැන්වල වහලේ තියෙන කළු පැහැති දැලි ලපය. ඒ දැලි අතින් පිහිදුවට යන්නෙත් නෑ.. ඒ තරමටම ඒවා පොල්අතු වලට කාවැදිලා. මං නොදන්න කාලේ ඉඳලත් ඒ ලාම්පු පත්තු වුනා. දන්න කාලේ, නොගිය දවස් වලත් ඒ ලාම්පු පත්තු වුනා. ඒත් මං දැක්කේ එහේ ගිය දවස් දෙක තුනක විතරයි. ඊට පස්සේ කරන්ට් එක ආවත් එකක්ම ඒ හැම නිවෙන දැල්වෙන, හුලඟට ලෙලදෙන කහ-තැඹිලි එළියක්ම නැතුව ගියා. දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති සුදු පාටයි, කහ පාටයි එලි විතරයි. ඒකට තමාලු ගමක දියුණුව කියන්නේ…! – at මේ දියුණුව මට හරි අප්පිරියයි…!

කතාවට කෙලින්ම අදාල නොවුනත්, වෙනස්ම අදහසක් තිබුනත් පාඩුවේ අහන්න පුළුවන් ගීතයක්… http://ananmanan.org/sinhala_mp3/Nanda_Malani_Sulagata_Salena.mp3%20

%d bloggers like this: