හැමදාම බොන තේ ගැන, අහලවත් නැති දේ…

Black Tea

Black Tea

තේ කියන්නේ ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වගේම ලෝකෙම දෙවෙනියට ජනප්‍රියම පානය. ඒ අතරිනුත් ලංකාව හා තවත් රටවල් කීපයක වැවෙන කළු තේ වලට තමා ලෝක ඉල්ලුම වැඩිම. ඉතිං අපි කොයිතරම් තේ බිව්වත් තේ කොල වල වර්ග ගනනාවක් තියෙන බව දන්නවා ඇත්තේ බොහොම ටික දෙනයි. අනිත් එක තමා ඒ තේ වර්ග වලින් ඉස්තරම්ම වර්ග දිවගාලා තියෙනවා ඇත්තේ ඊටත් සුළු ප්‍රමාණයක්..!

ලංකාවේ තේ වැවෙන ප්‍රදේශවල උස අනුව තේ ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඒ වර්ග තුන ඇතුලත තේ කොල වල යම් යම් ගුණ අගුන මත තවත් ප්‍රධාන කොටස් පහකටත් අතුරු කොටස් ගනනාවකටත් බෙදෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2000කට පහත ප්‍රදේශවල වැවෙන තේ පහතරට තේ ලෙසටත් (Low grown) අඩි 2000ත් 4000ත් අතර වැවෙන තේ මධ්‍යම තේ (High and medium) ලෙසටත් අඩි 4000ට වඩා උස ප්‍රදේශවල වැවෙන තේ උඩරට තේ (High grown) ලෙසටත් ලංකාව තුල හඳුන්වනවා. අනෙකුත් රට වලදී උස මට්ටම් අනුව තවත් වර්ග කීපයකට බෙදෙනවා.

ඉතිං ඔය උස් මට්ටම් තුනේදිම එකිනෙකට වෙනස් ගතිගුන ඇති තේ ප්‍රධන වර්ග පහක් යටතේ වර්ග කෙරෙන අතර එම වර්ග තවත් අතුරු වර්ග ගනනාවකටම කැඩෙනවා. ඒ වර්ග වලට කියන සිංහල වචන නම් හොයාගන්න පුළුවන් වුනේ නෑ. මොකද හැමෝම හඳුන්වන්නේ තේ වර්ගයට අදාල ඉංග්‍රිසි වදනින්ම වෙන නිසා. ඒ ප්‍රධන වර්ග පහ තමා…

  1. Dust

    Dust

    Dust – කළු තේ වර්ග කීරිමේදී පහත්ම ස්ථානය හිමිවෙන්නේ මෙයට. මෙහි අඩංගු වෙන්නේ තේ කොල වල පුංචි කැබලි හා තේ කොල කැබලි කිරීමේදී ඉවත් වෙන ඉතාමත් පුංචි කොටස්. දන්නවද අවාසනාවට වගේ, ලංකාවේ කොයිතරම් ඉස්තරම් තේ තිබුනත් කඩවල සිල්ලරට විකුණන්න තියෙන තේ වලින් වැඩිහරියක්ම මේ ජාතියේ තේ බව.

  2. Fanning

    Fanning

    Fanningමෙයත් වර්ග කිරීමේ පහතින් තියෙන තේ වර්ගයක්. ප්‍රධන වශයෙන්ම අඩංගු වෙන්නේ තේ දළු වල කැබලි. කැබලි කියන්නේ සාමාන්‍ය මට්ටමට වඩා පහත් මට්ටමේ කැබලි. ඒත් තරමක් වටින වර්ගයක්.

  3. BOP – Broken Orange Pekoe

    BOP – Broken Orange Pekoe

    BOP – Broken Orange Pekoe – මේ වර්ගය තමා වෙළඳ පොලේ වැඩි වශයෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ විවිධ ලේබල යටතේ පැකට් කරලා වෙළඳ පොලට එන්නේ මේ වර්ගයේ තේ. වර්ගකිරීමේ මධ්‍යම ස්ථානයක පසුවෙන මේ තේ වර්ගය තමා ලංකාව තුල වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නේ. මෙහි අඩංගු වෙන්නේ පුංචි තේ දළු හෝ විශාල තේ දළුවල කැබලි.

  4. OP - Orange Pekoe

    OP – Orange Pekoe

    OP – Orange Pekoe – මෙම වර්ගයේ තේ හොඳ තේ වර්ගයක් ලෙස සලකනවා. ටිකක් මිල අධිකයි. මේ තේ වර්ගයේ අඩංගු වෙන්නේ පුංචි හා මධ්‍යම ප්‍රමාණයේ මුළු තේ දල්ලම… තේ මල් හා පොහොට්ටු නැතුව.

  5. FOP – Flowery Orange Pekoe

    FOP – Flowery Orange Pekoe

    FOP – Flowery Orange Pekoe – මෙය තමා සාමන්‍යෙයන් දන්නා විදියට හොඳම තේ වර්ගය. මෙහි අඩංගු වෙනවා සම්පූර්ණ තේ දල්ලම හා මල් සමග පුංචි පොහොට්ටුත්. මං නම් තාම මේ වර්ගයේ තේ කෝප්පයක රස විඳලා නෑ.

ඊට අමතර වශයෙන් නිපදවෙන තවත් තේ දෙවර්ගයක් තියෙනවා. ඒවා වැඩි වශයෙන් ජනප්‍රිය නැහැ. ඉතාමත් මිල අධිකයි. සාමාන්‍යයෙන් මෙම වර්ග දෙක සුපිරි වෙලඳ සැල් වලවත් සොයාගැනීමට අපහසුයි. තේ නිපදවන වත්තටම ගිහිං ගන්න ඕනේ වර්ගයක්. ගොඩක් වෙලාවට විකුණන්නෙත් පෞද්ගලික ඇඳුනුම් කම් මත පමණයි. එයින් එක් වර්ගයක් Silver tips හා  අනෙක Golden tips නම් වෙනවා. Silver tips කිලෝවක් රුපියල් 11000.00 සිට ඉහලටත් Golden tips කිලෝවක් රුපියල් 16000.00 සිට ඉහලටත් මිල වෙනවා. දන්න තරමින් උපරිම මිල රුපියල් 30000.00 දක්වාත් වෙන්න පුළුවනි.

SilverTips

Silver Tips

ඉතිං මේ විදියට තේ වතු තුල නිපදවෙන තේ පිටරට යවන්නේ හා ලංකාව තුල විවිධ ආයතන වලට ලබාදෙන්නේ තේ වෙන්දේසි කිරීම් මගින් අතරමැදි ආයතන හරහා. ඒ කියන්නේ බ්‍රෝකර් ආයතන හරහා. වත්තෙන් තේ සාම්පල ලබාගෙන බ්‍රෝකර් ආයතන වල ඉන්න තේ රස පිළිඹඳ මනා දැනුමක් හා අත්දැකීම් ඇති පළපුරුදු තේ රස බලන්නන් විසින් තේ වල ස්වභාවය අනුව මිලක් නියම කරනවා. ඊට පස්සේ හැම සතියකම තේ වෙන්දේසියක් පවත්වන අතර එහිදී තේ ගැණුම් කරුවන්ට අතරමැදියන් මගින් තේ ලබාගන්න පුළුවන්.

තේ ගැණුම් කරුවන් කියන්නේ තේ අරගෙන පැකට් කරලා වෙළඳ පොලට නිකුත් කරන ආයතන. එම ආයතනවලට අතරමැදියන් මගින් තේ ලබාදෙන්නේ තේ වගාකරන පිරිසට නියමිත වටිනාකමකට තේ අලෙවි කරන්න ඕනේ නිසා. එහෙම නැතුව ගාන වැඩිකරන්න නෙමෙයි. තේ පරීක්ෂකයන් විසින් නියම කරන්නේ තේ වල සියළුම ගුන අගුන සොයාබලා වෙන නිසා එම මිලට තේ ගැනීමට ගැණුම් කරුවන් උත්සුක වනවා මෙන්ම වඩාත් හොඳ ගුණයෙන් යුක්ත තේ නිපදවීමට තේ නිපදවන්නුත් ක්‍රියාකරනවා. ඒ වගේම කලින් කියපු Silver tips හා  Golden tips මෙම වෙන්දේසි වලට ඉදිරිපත් කරන්නේ බොහෝම කලාතුරකින්. ඒත් කිලෝඑකක් දෙකක් පමන ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි.

Golden Tips

Golden Tips

අපි හැමදාමත් දැකලා තියෙන්නේ නිකංම නිකං තේ කොල වුනාට මීට පස්සේ ගෙදරට තේ කොල ගෙනවාම බලන්නෙ ඒවා මොන වර්ගයට අයත්ද කියලා. මුල් වර්ග දෙක තුන අතර තේ වර්ගයක් වීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

ඒ වගේම පුංචි දෙයක් කියන්නම්… තේ කොල වල Dust කියන වර්ගය ඉතා සුළු ගානකට විශාල ප්‍රමාණයක්  මිලදී ගෙන ඊට වඩා තත්වයෙන් ඉහල තේ ස්වල්පයක් සමග මිශ්‍රකර ඉහල මිලකට විකුණන වෙළෙන්දෝ ඕනෙ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට නිවෙස් වල කරන තේ පැකට් කර විකුණන අය කරන්නේ ඒක. ඒ නිසා හැකි තරම් ජනප්‍රිය හා විශ්වාසනීය වෙළඳාමක් සිද්ධවෙන ආයතනවලින් වෙළඳ පොලට නිකුත් කරන තේ වර්ගම ගන්න  උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට තේ පැකට්ටුවේ ඉස්සරහා තේ වර්ගයත් සඳහන් කරලා ඇති. අනිත් සිල්ලර තේ යම් තරමකට සෞඛ්‍යයට අහිතකර වෙනවා. හේතුව තමා තේ වල නැවුම් රතු පාට ඇති කිරීමට බාල තේ කොල වර්ග සමග විවිධ වර්ණකාරක මිශ්‍ර කිරීම. මෙය මේ වෙනතෙක් සෞඛ්‍ය බලපෑමක් ඇති නොවුනත් ඉදිරියට වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න කොයිතරම් විශ්වාසවන්ත තේ පැකට්ටුවක් වුනත් එහි යම් අනුමත ප්‍රමාණයකට රසකාරක එකතු කරන්න ඉඩකඩ තියෙන බව. ඒත් දන්න තරමින් තේ වල කහට රසය ඇති කරන රසකාරකය නිස්සාරනය කරන්නෙත් භාගෙට වියලුන, අසම්පූර්ණ… ඒ කියන්නේ සම්පූර්ණ කොලයක් වශයෙන් වශයෙන් වෙළඳ පොලට ඉදිරිපත් කරන්න බැරි හොඳ තේ වර්ගවලින්.

♥ Tea ♥

♥ Tea ♥

මේ විදියට තේ කොල අපි අතරට එන්න කලින් ක්‍රියාවලි ගනනාවකට බඳුන් වෙනවා. තේ දළු නෙලීමේ පටන් තේ කොල රැස් කර විකුණන මධ්‍යස්ථාන දක්වා ගෙනඒමේදී අතරමැද සිදුවන කටයුතු දැනගන්න නම් තේ කොල නිපදවන කර්මාන්තශාලාවකටම යන්න ඕනේ. ඊට පස්සේ තේ කොල විකුණන්න පෙර මිලක් නියම කිරීමේදීත් තවත් ක්‍රියාවලි ගනනාවක් සිද්ධ වෙනවා. ඒවා වෙන්නේ තේ කොල වල නියැදි පරීක්ෂාකර මිල නියම කරන ආයතනතුල. එතනින් පස්සෙත්… තේ කොල පැකට් කරන, විවිධ නම් වලින් වෙළඳ පොලට නිකුත් කරන ආයතන තුලත් දීර්ඝ ක්‍රියාවලියකට මුහුන දීලා තමා අපිට තේ කොල කඩෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ…! at – ගෝල්ඩන් ටිප්ස් චුට්ටක් තිබුනනම්…!

ලෝකේ දෙවෙනියට ජනප්‍රියම කළු තේ… තුන්වෙනියට…?

36 Responses to “හැමදාම බොන තේ ගැන, අහලවත් නැති දේ…”

  1. රූ Says:

    ගොඩක් පැහැදිලි විස්තරයක් මාළුවෝ..ස්තුතියි..
    මේ කියපු වටිනා වර්ගවල තේ කොල කම්හල් වෙළඳ සල් තුල තියනවා. ඒ වගේම විදේශිකයන් අරමුණු කරගත් වෙළඳසැල් වලත් දකින්න පුළුවන්..
    මේ වර්ග ඔක්කොම පහුගිය දවසක ලිබර්ටි එකේ තියන ම්ලෙස්නා අලෙවි සැලට ගිහාම දකින්න පුළුවන් වුනා..

    ලංකාවේ බොහෝ ආයතන දැන් ප්‍රචාරය කරන්න උත්සාහ කරන්නේ Single Origin Tea එතකොට අතරමැදියන්ට තියක අධිකාරය තරමක් හෝ අඩු කරගන්න පුළුවන්.

  2. DDT Says:

    හ්ම්, මේ තේ සීන් එක ගැන නම් මම කලින් අහල තිබුන. ඒත් නම් ගම් විස්තර වශයෙන් මතකයක් තිබුනෙ නෑ. උඹ මල්ලි ලස්සනට පිළිවෙලට වැඩේ කරල තියෙනව.

    අපේ අක්කල කාලයක් ගම්පොල හිටියා. ඒ දවස්වල නම් ඒ හරියෙ තිබුන තේ ෆැක්ට්රියකින් එයාලත් තේ අරන් එව්වා අපිටත්. ඔය කොයි වර්ගෙ තිබුනත් කූඩැල්ල මෙට්ටෙ උඩ තියන්න බැහැ වගේ මම නම් දැන් කාලයක් තිස්සෙ අර ‘හිතේ තියෙන හොඳම කහටට‘ පුරුදු වෙල ඉන්නෙ, වෙන වර්ගයක් බොන කොට පටගාල රසේ වෙනස දැනෙනව. කොහොමටත් මම කහට ගොඩක් අඩුවෙන් සීනි ටිකක් වැඩියෙන් බොන්න තමා කැමති. ඉඟුරු චුට්ටකුත් හීනියට කපල දැම්මම නම් තවත් හොඳයි.

    අනේ බං අපි බොන තේ, ඇත්තට තේ බොන උන් දන්නව නම් තේ හදන රටේ අපි තේ බොන හැටි උන් හිනාවෙයි. කොහොම උනත් අපේ අයියලගෙ හොඳකමට දැන් වැඩේ කෙන්යාව පැත්තට බරවෙල නේද තියෙන්නෙ.

    • Gold fish Says:

      කෙන්යාවට වැඩිය උතුරු ඉන්දියාවයි, ශ්‍රී ලංකාවයි ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම 2011 වසරට වැඩිය 2012 වසරෙදි කෙන්යාවේ වගේම අනෙකුත් රටවලත් තේ නිශ්පාදිතය අඩුයි. ඔක්කොම ගනන් හිලව් දාන්න පුළුවන් කමක් නැත. 🙂
      2012 – උතුරු ඉන්දියාව – 332.7 මෙට්‍රික් ටොන්
      2012 – ශ්‍රි ලංකාව – 214.4 මෙට්‍රික් ටොන්
      2012 – කෙන්යාව – 182.4 මෙට්‍රික් ටොන්

      • DDT Says:

        අඩේ … මූ තේ පකීර් කෙනෙක්නේ.

        නෑ බං, මම කිව්වෙ සාමාන්‍යයෙන් මම අහල තියෙන තත්ත්වය. නිෂ්පාදනයටත් වඩා වැදගත්ම දේ මම හිතන්නෙ තේ වල ගුණාත්මකභාවය. අපේ අයියල වැඩි ලාභය වෙනුවෙන් රටේ නම උනත් විකුණන ජාතියෙනේ. ඔය හිටී ගමන් නිව්ස්වල යන්නෙ. හොඳ නම සවුත්තු කරගත්තොත් ආයිත් ඒ තැන ලබාගන්න එක හුඟක් අමාරුවෙනව, තියෙන තරඟකාරීත්වයත් එක්ක.

      • Gold fish Says:

        ඔව් ගොඩක්ම කෙලවෙන්නේ Dust පිටරට යවන්න ගිහිං.

      • රූ Says:

        ඇත්තටම ලංකාවෙ තේ ගුණාත්මක බවින් අඩුයි කියලා ප්‍රචාරය වෙන්න හේතුව තමයි අතරමැදියන් නැත්නම් ටී බ්‍රොර්කර්ලා..එයාලා වෙන රටවල අඩු කොලිටි තේ ලංකාවේ තේ එක්ක කවලම් කරලා ලංකාවේ නමත් එක්ක විකුණනවා…මේ තේ වෙලඳාමේ බලය තියෙන්නෙ අතරමැදියන්ට..

        ගොඩක් වෙලාවට අපි තේ පිටරට යවන්නේ තොග විදිහට නිසා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න අමාරුයි..

      • Gold fish Says:

        පුංචි දෙයක්.. අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා. ලංකාවටම රජයෙන් අනුමත කරපු තේ බ්‍රෝකර් කම්පැනි තියෙන්නේ අටයි. ඒ එකකින්වත් අක්කා කියන විදියට වෙන රටවල තේ ලංකාවට ගෙන්නන්නේ නෑ. ඒ වගේම වෙන රටවල තේ එක්ක තේ මිශ්‍ර කරන්නෙත් නෑ. එහෙම කලොත් ඒ අදාල බ්‍රෝකර්ගේ බ්‍රෝකර් කම එදායින් අවසන් වෙනවා. ලංකාවේ තේ සංවර්ධන මණ්ඩලෙන් හැමවෙලාවෙම බ්‍රෝකර් ආයතන ගැන ඈහැ ගහගෙන ඉන්නේ.

        ඇත්තටම වෙන්නේ ලංකාවෙම බයර්ස්ලා ගුණාත්මක භාවයෙන් අඩු තේ බ්‍රෝකර් කම්පනි වලින් අරගෙන ඒවට තරමක් උසස් තේ කලවම් කරලා වෙලඳාම් කරන එක. එහෙම නැතුව කිසිම අවස්ථාවක තේ බ්‍රෝකර් කෙනෙක් තේ දෙවර්ගයක් මිශ්‍ර කරන්නේ නෑ කිසිම අවස්ථාවක. එහෙම මිශ්‍ර වුන තේ කොයිම විදියකින්වත් වෙන්දේසි කරන්නෙත් නෑ. ස්ථිරව කියන්න පුළුවන් ඒක. :d

  3. arunishapiro Says:

    වටිනා සටහනක්. ස්තූතියි.

    තේ බොන්න දන්න connoisseur කෙනෙක් නම් නෙවෙයි. ඒත් ඔය පහේම රස බලලා තියෙනවා. එකම දේ දිවට හුරුවෙලා තියෙන නිසා 4 වැන්නට තමයි වැඩියෙන් කැමති.

  4. indika27 Says:

    ලංකාවෙ කහට තේ කියලා විකුනන තේ ජාතියෙ තියෙන්නෙ වර්ණකාරකයි රසකාරකයි පොඩි පිටි වගේ කුඩු ජාතියකුයි විතරයි..ඒ නං හොද නැහැ…

  5. සිතුවම් Says:

    තොට ඉතින් තේ ගැන කියන්න බැරිනම්…..

  6. Indika Upshantha Says:

    තේ ලංකාවෙ වැවුවට ඒව නියම කලාවට බොන්නෙ චීන, රුසියන්, අරාබි ජාතිකයො. ඒ අයට තේ බීම කියන්නෙ කලාවක්, අපිට බඩ ගින්නට, කම්මැලිකමට නිකම්ම බොන බීමක්.

    white virgin tea තමයි මම හිතන්නෙ මිලෙන් ඉහලම සහ ලංකාවෙ පමණක්ම හදන තේ ජාතිය.

  7. wicharaka විචාරක Says:

    1989 – 90 කාලයේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 72 කට ආරක්ෂාව සැපයීමේ වගකීම මට පැවරී තිබුනා. (තේ කම්හල් සෑහෙන ගණනක් ගිනිතබා වැනසුවා විප්ලවවාදීන් විසින්) ඒ කාලයේ එම කම්හල්වල නිලධාරීන් මෙන්ම වතු අධිකාරී වරුන්ද බොහොම ලඟින් ආශ්‍රය කරන්න ලැබුනා. තේ වතු රස්සාව බොහොම මහන්සිවී කලයුතු දෙයක්. සහකාර වතු අධිකාරී ලෙස බැඳෙන තරුණයන් පාන්දරම නැගිටලා වතු කම්කරුවන් සමග තේ දළු නෙලන්න, වත්ත සුද්ද කරන්න, තේ ගස් කප්පාදු කරන්න, පෝර දාන්න යා යුතුයි. ඒ පුහුණුව හමුදා පුහුණුව වගේ.

    හොඳ තේ කොළ නිෂ්පාදනය කිරීම සඳහා මුළු වත්තේම සෑම තරාතිරමකම සේවක පිරිස තමන්ට අයත් කාර්යභාරය උපරිමයෙන් ඉටුකළ යුතුයි. නැත්නම් නිපදවෙන්නේ ලාබ තේ කොළ පමණයි. විවිධ තේ වර්ග රස බැලීමට ලැබුන අතර මසකට වරක් කවුරුන් හෝ වතු අධිකාරි වරයකු විසින් තෑගී දෙන තේ පාර්සලයට පින්සිද්ධවෙන්න ගෙදරදී රසවත් තේ බිව්වා.

    තේ දළු නෙලන තැන ඉඳලා කෙරෙන දීර්ඝ ක්‍රියාවලිය හරියට නොකෙරුනොත් නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සිල්වර් ටිප්ස් තේ දෙවරක් බීලා තියනවා. සීනි දමන්නේ නැතිව එක වරක් බිව්වේ. රසයටත් වඩා සුවඳ තමයි සිත් ගන්නේ.

  8. මඩිස්සලේ නිශාන් Says:

    අපිට කොහෙන්ද පූසෝ බලමාලු කියලා කඩේ තියෙන Fanning ටී ම බොනවා.

  9. Praසන්ன Says:

    නියම ලිපියක් මාලුවෝ. හොඳ විස්තරයක් තියෙනවා.

  10. magenama Says:

    BOPF කියලත් තව වර්ගයක් තියෙනවා,ඕකෙම අනු කොටසක්.නමුත් සාමාන්‍යයෙන් ලෝකේ තේ වර්ග කෙරෙන්නෙ කලු තේ,සුදු තේ.කොල තේ(ග්‍රීන් ටී) සහ ඕලොන්ග් තේ කියලා.ඔය සුදු තේ සහ ඕලොන්ග් තේ ලංකාවෙ ප්‍රචලිත නෑ.වෙලාව තිබ්බොත් තේ ගැන මමත් ලිපියක් දාන්නම්.(මේ දවස් වල මොලේ කචල් අප්පා,විරහ සින්දුමයි කියවෙන්නෙ) ඊළඟ කෑල්ල තවත් රසවත් කියලාවත් හිත හදා ගන්න ඕන,හොඳේ….

  11. සමනළී Says:

    අහ්හ්…. නියමයි.වටිනා පෝස්ට් එකක්…. තේ බිව්වට ඒ ගැන හරියටම දැන ගත්තේ අද….. ස්තුති මාළුවෝ….. 🙂

  12. nethmi Says:

    mata nam langadima silvertips wala rasa balanna labenawa 😀

  13. කෙෂාන් විදුරංග Says:

    මේක නිකං ඉන්න ගමං ටී ෆැක්ට්‍රි එකකට ගිහිල්ල වගේ…. මචං මාත් ඔය ෆැක්ට්‍රීස් වලට වතාවක් දෙවතාවක් ගිහිල්ල තියේ… ආසාවට වගේ මාත් තේ වේලල හදල බැලුව… හම්මේ රස…. 😀

    අඩෝ ගෝල්ඩන් හරි සිල්වර් හරි හම්බුනොත් මටත් එවාං ඈ… 😀
    ගොඩක් වටින ලිපියක්..
    ජය!

  14. Dinesh Hewavitharane Says:

    ඔබට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන , ඉගන ගන්න ලමයින්ට ගොඩාක් වටිනවා

  15. mppgunasinghe Says:

    මට මේ ලිපිය මග හැරීම ගැන තියෙන්නෙ මා ගැනම පසු තැවිල්ලක් ස්තුතිය ගෝල්ඩ් ට

  16. The Tea-Factory – Moment in Ceylon Says:

    […] *– තේ ශ්‍රේණිගත කල හැකි ආකාර කිහිපයකි. […]


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: