නූපන් සමනල්ලු…

හ්ම්… අද නිවාඩු…! සතියෙ අග හරි, මුල හරි, මැද හරි… කොයි වෙලාවක හරි… නිවාඩුවක් කියන්නේ කලින් කරන්න තිබුන වැඩ මගහැරගත්ත, පෙන්ඩින් වැඩ ගොඩක් ගොඩ ගහගත්තු කෙනෙකුටනම් තවත් එක් කාර්යබහුල දවසක්ම විතරයි. ඒත් වැඩ ටික ඉවර වෙච්චි කම්මැලියෙකුටනම් බ්ලොග් එකක් වෙනුවෙන් තවත් කම්මැලි පෝස්ට් එකක් ලියන්න පුළුවන් කාලයක්…! ඒ විතරක්ද….? ඇඳට වෙලා කොට්ට ගොඩට ඔළුව තියාගෙන ආසාම කරන අතීතේ යම් කාලසීමාවකට ගිහිං ඒ මතකය අස්සේ පොඩි වෙලාවකට ගැවසෙන්න හොඳටෝම සෑහෙන කාලයක්.

අමතක වේගෙන යන ඒ අතීතයේ එක දවසක…

මචං…

ම්… ඒ එක කම්මැලියෙක්… හැමදාමත් කෙටි පිළිතුරු ලබාදෙන බොහෝම නපුරු කම්මැලියෙක්…!

ම්… නෙමේ බං… ඇයි උඹ තාමත් පොත් අස්සේ පැන්සල් උල් කරන ඒවා දාන්නේ?

හ්ම්…

හුම් ගාන්නේ බං…. පොඩි එවුන් කරන වැඩ කරන්නේ මොකෝ තාමත්..?

සමනල්ලු එයි කියලා බං…! එතකොට ඇති හත වසරේ විතර. එතකොටත් මගේ පොත් අස්සෙන් එක සමනලයෙක්වත් පියාඹලා තිබුනේ නෑ…!

පාට පැන්සල්

පාට පැන්සල්

ඉස්සර හැමදාමත් උදේට පැන්සල උල් කරද්දි පැන්සලේ තුඩ ගැන හිතනවට වඩා වැඩියෙන් හිතන්නේ කටර් එකෙන් පහලට බේරෙන ලී පතුර නොකඩා පොත අස්සට දා ගන්නේ කොහොමද කියලා. පැන්සල් තුඩ දහ පාරක් කැඩෙනවනම් නම් ඒ දහපාරම පැන්සල උල් කරන්නේ හරි වුවමනාවෙන්. ඒ දවස්වල පැන්සලක උපරිම ආයු කාලය දවස් හතරයි නැත්තං තුනයි. නිකංම නිකං මිනිරන් කූරු තියෙන පැන්සල් වල වටේට තියෙන ලස්සන මෝස්තරය කටර් එකෙන් රැලි රැලි කැපිලා එනකොට අමුතු ගතියක් තියෙනවා. ඒත් ඊට වැඩිය ආසා… පාට පැන්සල් උල් කරන්න. පැට පැන්සල උල් කරන කොට කටර් එකෙන් බේරෙන්නේ එකම පාටක බෝඩර් එකක් තියෙන ඒකාකාරී රැල්ලක්. හැබැයි කවදාවත් ඒ පාට පැන්සල් වලින් එන රැල්ල නම්, මිනිරන් පැන්සලේ රැල්ල වගේ නොකඩා පොතක් අස්සේ දාන්න බැරිවුනා. හ්ම්…. පාට පැන්සලේ ලීය එච්චර හරි නෑ මං හිතන්නේ. ඒක නිසා උල් කරගෙන යනකොට මගදී හිරවෙනවා. ඊට පස්සේ ටිකක් බර දාලා කැරකෙවුවම කැපිලා වැටෙනවා. රැල්ල මගින් කැඩෙනවා.

එහෙම මිනිරන් පැන්සල් වලින් එකතු කරපු රැලි ගොඩක් පහුගිය දවස් වල අම්මට ලැබිලා තිබුනා පොත් වල එක එක මල් වගේ අලවලා තියෙද්දි. දැන් නම් හිතෙන්නේ කෙල්ලෝ කරන වැඩනේ අපි ඒ දවස් වල කරලා තියෙන්නේ කියලා. කමක් නෑ පොඩි කාලේ කරන්න ඕනේ වැඩ වල වෙනසක් දන්නවැයි. මට මතකයි මං පුංචි බෝනික්කෙකුත් හැදුවද කොහෙද අම්ම එක්ක එකතු වෙලා. ඌව නම් ඒ දවස් වලම කවුරු හරි කෙල්ලෙක් ඩැහැගත්තා.

මයි ෆේවරීට්...

මයි ෆේවරීට්…

ඉතිං දැන් අර පොත් අස්සේ දාපු පැන්සල් රැලි තියෙනවනේ… ඒවගෙන් සමනල්ලු එන කතාව අපි කොහෙන් ඉගෙන ගත්තද මන්දා. ඒත් අපි හැමෝම… කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව සමනල්ලු හදන්න උත්සාහ කලා. පැන්සලෙන් එන රැල්ල නොකැඩී දිගට ඇදෙන තරමට තමා සමනලයා ලොකු වෙන්නේ…! ඉතිං ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහ කලේ පැන්සල බලෙන් බිම වට්ටගෙන හරි තුඩ කඩාගෙන ආයෙම උල් කරලා දිග රැල්ලක් එන්න කටර් එකෙන් උල් කරන්න. මට මතක විදියට කවුරු හරි ළමයෙක් රැල්ලක් ගත්තා එක උඩ එක උඩ රැලි තුනක් එන්න. ඒත් එයාගේ සමනලයාව නම් දැක්කේ නෑ. අනිත් අයත් කොයිතරම් කැපවීමෙන් පැන්සල් රැලි එකතු කරත් ඒවායින් සමනල්ලු ඉගිල්ලුනාද කියන්න නම් දන්නේ නෑ. සමහරවිට ඉගිල්ලෙන්න ඇති. අපිට නොකියා ඉන්න ඇති, අපි ඉල්ලයි කියලා…!

ඊට පස්සේ ටික කාලෙකින් පැන්සල් සමනල්ලු තුරන් වුනා. ඒ තුඩවල් මාරු කරන පැන්සල් අපේ අත්වල ගැවසෙන්න ගත්ත නිසා. ඒවා උල් කරන්න වුවමනා වුනේ නෑ. ආහ්… තුඩවල් මාරු කරන පැන්සලක අයිතිකාරයෙක්නම් අනිවාර්යෙන් එයාට කාන්දම් පෙට්ටියකුත් තියෙන්න ඕනේ. නැත්තං තුඩවල් මාරු කරන පැන්සල් තියෙන ගැන්සියට සෙට් වෙන්න බෑ. මිනිරන් පැන්සල් අයින් වුනා වගේම පාට පැන්සලුත් තුඩවල් මාරු කරන ඒවා වුනා. ඒත් ඒව නම් ගොඩක් කල් පාවිච්චි කරන්න බැරිවුනා. එක පාටකින් තියෙන්නේ එක තුඩයි. ඒක නිසා පාට පැන්සල් රැලි නම් නිතර දෙවේලේ පොත් වල ගැවසුනා.

පැන්සල් සමනලයා

පැන්සල් සමනලයා

ආයෙමත් අපි හතර පහ වසරට යද්දි… තුඩවල් මාරු කරන එක එපාවෙලා ආයෙමත් මිනිරන් උල් කරන පැන්සල් ආවා. ඊට පස්සෙ ඉතිං සදහටම සමු දෙන්න වුනා කාබන් පෑන් පාවිච්චිය පටන් ගත්ත නිසා.

කොහොම හරි මගේ පැන්සල් වල රැලි වලින් නම් එක සමනලයෙක්වත් ඉගිල්ලුනේ නෑ…! හැබැයි ඒ දේවල් මතක් වෙද්දි නම් දැන් හිත වටේ සමනල්ලු ඉගිලෙනවා. සමහර විට ඒ දවස් වල සමනල්ලු හදන්න උත්සාහ කරපු අය කිව්වේ “සමනල්ලු හැදෙන්න ගොඩක් කල් යනවා. එතකං ඉවසන්න“ කියලා, මේ කාලය ගැන වෙන්න ඇති. – at සමනල කාලය… 😉

%d bloggers like this: