භූමිතෙල් කුප්පිය…!

.

.

මට මතක් වෙන්නෙම චූටි බෙහෙත් බෝතලයකින්ද කොහෙද හදලා තිබුන දුඹුරු පාට කුප්පි ලාම්පුව. ඒකෙ එලිය මහ ගොඩක් නෑ… ඒත් සාමාන්‍ය කාමරයක් එලිය වෙන තරමට කහ-තැඹිලි පැහැ දුබල එලියක් හැමදාමත් ඒ කුප්පි ලාම්පුවෙන් විහිදුනා.  හ්ම්… ඒක තිබුනේ අපේ ගෙදර නෙවෙයිනේ… ඒක කියන්න බැරිවුනා මට.

ලාම්පු කුප්පිය, කුප්පි ලාම්පුව, භුමිතෙල් කුප්පිය, භුමිතෙල් ලාම්පුව වගේ නම ගොඩකින් වගේම ආච්චිට තරහා ගියාම “ඔන්න ඔය කුප්පිය“ කියලා අහගන්නෙත් ආච්චිලාගේ ගෙදර තිබුන, මට අතපොවන්න පුළුවන් පහතක තිබුන එකම එක කුප්පි ලාම්පුවයි. අනිත් ඒවා ඔක්කොම කම්බි කෑල්ලකින් පොල් අතු වහලේ හරහට වැටිලා තියෙන පරාලයකට බැඳලා තියෙන්නේ. ඒවා හදලා තියෙන්නෙත් පිච්චුන බල්බ්වල මදේ අයින් කරලා ඒවට භූමිතෙල් පුරවලා, කටට තහඩු කෑල්ලක් දාලා ඒක මැද්දෙන් තිරයක් ඇදලා. සමහර වෙලාවට ඒවා වහලේ එල්ලන්න ඇත්තේ බිම තියන්න තරම් සමතලා නැති නිසා වෙන්න ඕනේ. බලබ් එක රවුම්නේ…

කොහොමහරි මට අවුරුදු තුනක් විතර වෙද්දිත් අපේ ගමට කරන්ට් එක තිබුනේ නෑ. කරන්ට් එක තිබුනත් තිබුනේ ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තිබුන බස් පාරේ මීටර් දෙසීයෙන් දෙසීයට වගේ හිටවලා තිබුන කළු තෙල් ගාපු ලී ලයිට් කනු වල විතරයි. ඒවා පත්තු වෙන්නෙත් හවස හයාමාර විතර වෙද්දි. එච්චර ඩොටේ තියෙන ගමක විදුලි බල්බයක් තිබුනනම් තිබුනේ අපේ ආච්චිලෑ ගෙදර වගේ පිච්චිච්ච බල්බ් එකකට භූමිතෙල් දාලා පත්තු කරන්න හදාගත්ත එකක් විතරයි. ඒ කුප්පි ලාම්පුවත් ගේන්නේ බ්‍රහස්පතින්දාට ටවුමේ තියෙන පොලෙන්. ඒ දවස් වල කුප්පි ලාම්පුව රුපියල් 5ක් විතර ඇති මතක විදියට.

හ්ම්...

හ්ම්…

ඉතිං මං කැමතිම කුප්පි ලාම්පු සර්කස් සංදර්ශනේ පටන් ගන්නෙ ආච්චිලෑ ගෙදර ගිහින් අම්මල කෑම උයන්න ගියාම තමා. මුලින්ම හිමීට මේසේ කෙලවර තියෙන ලාම්පුව ගාවට යනවා. ඊට පස්සේ කරන්නේ ඉතිං බලං ඉන්න  එක තමා. ටික වෙලාවක් යනකං ලාම්පු දැල්ලට  පියාඹා ගෙන මැස්සෝ දිහා බලාගෙන ඉන්නවා. ආපු ගමන් චුරුස් ගාලා තටු පුච්ච ගෙන කුප්පි ලාම්පුව පාමුල වැටිලා දඟලන පළඟැටි, ගොයම් මැස්සෝ දිහා බලාගෙන ඉද්දි උං පවු කියලා හිතෙනවා. උං ටික වෙලාවක් එහෙට මෙහෙට දඟලා දඟල ඉඳලා එක පාරටම නිසල වෙනවා. ඊට පස්සෙ ලඟ තියෙන පොල් අත්තකින් කඩාගන්න ඉරට්ටකින් ඇන්නත් උං නෙමේ දඟලන්නේ. ගොඩක් වෙලාවට ඔය ගොයම් මැස්සෝ එහෙම මැරෙනවා ඇත්තේ පිහාටු පිච්චිලාම වෙන්න බෑ… කුප්පි ලාම්පුවෙන් උඩට යන දැලි කන්දරාව මම දැකලා තියෙනවනේ. උං බිම වැටෙනවා ඇත්තෙත් ඒ දැලි ඇස්වල වැදිලා වෙන්න ඇති. ම්… ගොඩක් වෙලාවට ඔය කුප්පි ලාම්පු පහන් දැල්ලට එන්නේ පළඟැටියි, ගොයම් මැස්සොයි තමා. මෙරු එන්නේ ගොඩක් කලාතුරකින්. මදුරුවෝ කොයිතරම් හිටියත් උං නම් පහන් දැල්ල කිට්ටුවටවත් එන්නෙ නෑ.

හ්ම්… ඔහොම ටික වෙලාවක් ඉද්දි කකුල් දෙක කකියන්න ගන්නවා. හිටගෙන ඉඳලම නෙමේ මදුරුවො කාලා. එතකොට ඉතිං ලඟ තියෙන ඇඳි පුටුව ඇදගන්නවා මේසේ කිට්ටුවට. ඊට පස්සේ ඉතිං වේවැල් උඩ දනහිසින් හිටගෙන අයෙමත් පහනට ඇදෙන චූටි සත්තු දිහා බලන් ඉන්නවා. හැම තත්පරේකම එක සතෙක් ඇවිත් පිච්චිලා වැටුනත් එන සත්තු ගාන ඉවරයක් වෙන්නේ නෑ… ඒ වගේම කුප්පි ලාම්පුව පාමුල සත්තු එකතු වෙන්නෙත් නෑ. මොකද අපේ ආච්චි කුප්පි ලාම්පුව පත්තු කරනකං පොල් අතු අස්සේ හැංගිලා ඉන්න හූනෝ බලාගෙන ඉන්නේ. කුප්පි ලාම්පුව පත්තු කරපු ගමන් හූනෝ දෙතුන් දෙනෙක් ලාම්පුව පේන මානයේ ඉන්නවා. සතෙක් ඇවිත් පිච්චිලා වැටන ගමන් නැට්ට දෙපැත්තට වන වන ඇවිත් දිව දික් කරලා වැටුන සතාව ගිලිනවා. සමහර විට වෙලාවට ඒ සතා මැරිලත් නෑ හූනා ගිලිනකොට.

මහ ලාම්පුව

මහ ලාම්පුව

ඔහොම බලාගෙන ඉද්දි දන්නෙම නැතුව පැයක් හමාරක් නිකංම ගෙවිලා. ඊට පස්සේ තමා ආච්චි දුවගෙන එන්නේ මහ ලාම්පුවත් අරගෙන“මෙන්න මේ කොල්ලා පුච්ච ගන්න හදන්නේ“ කියාගෙන. වටේට වීදුරුවකින් ආවරණය කරපු ලොකු භූමිතෙල් ලාම්පු තිබුනේ ගෙදරකට එකයි නැත්තං දෙකයි. ඒකට මහ ලාම්පුව කියලත් කියනවා. ඒක කෑම උයන වෙලාවට කුස්සියට, කෑම කන වෙලාවට කෑම මේසෙට, පාඩම් කරන වෙලාවට පොත් මේසෙට වශයෙන් සංචාරක ලාම්පුවක්. ඒක භාවිතා වෙන්නේ ඒ වෙලාවට ඇති වැදගත්ම වැඩය කරන්න ආලෝකය ලබාගන්න විතරයි. ඒක නිසා තමා මට කුප්පි ලාම්පුවේ සත්තුන්ගේ සෙල්ලම් බලන්න පුළුවන් වුනේ.

හ්ම්… ඒ භූමිතෙල් කුප්පියෙන් කොච්චර දැලි නිකුත් වෙලාද කියන්න තියෙන එකම සාක්ෂිය තමා ලාම්පු තියෙන තැන්වල වහලේ තියෙන කළු පැහැති දැලි ලපය. ඒ දැලි අතින් පිහිදුවට යන්නෙත් නෑ.. ඒ තරමටම ඒවා පොල්අතු වලට කාවැදිලා. මං නොදන්න කාලේ ඉඳලත් ඒ ලාම්පු පත්තු වුනා. දන්න කාලේ, නොගිය දවස් වලත් ඒ ලාම්පු පත්තු වුනා. ඒත් මං දැක්කේ එහේ ගිය දවස් දෙක තුනක විතරයි. ඊට පස්සේ කරන්ට් එක ආවත් එකක්ම ඒ හැම නිවෙන දැල්වෙන, හුලඟට ලෙලදෙන කහ-තැඹිලි එළියක්ම නැතුව ගියා. දැන් තියෙන්නේ මෙලෝ රහක් නැති සුදු පාටයි, කහ පාටයි එලි විතරයි. ඒකට තමාලු ගමක දියුණුව කියන්නේ…! – at මේ දියුණුව මට හරි අප්පිරියයි…!

කතාවට කෙලින්ම අදාල නොවුනත්, වෙනස්ම අදහසක් තිබුනත් පාඩුවේ අහන්න පුළුවන් ගීතයක්… http://ananmanan.org/sinhala_mp3/Nanda_Malani_Sulagata_Salena.mp3%20

හැමදාම බොන තේ ගැන, අහලවත් නැති දේ…

Black Tea

Black Tea

තේ කියන්නේ ලංකාවේ ප්‍රධාන අපනයන බෝගයක් වගේම ලෝකෙම දෙවෙනියට ජනප්‍රියම පානය. ඒ අතරිනුත් ලංකාව හා තවත් රටවල් කීපයක වැවෙන කළු තේ වලට තමා ලෝක ඉල්ලුම වැඩිම. ඉතිං අපි කොයිතරම් තේ බිව්වත් තේ කොල වල වර්ග ගනනාවක් තියෙන බව දන්නවා ඇත්තේ බොහොම ටික දෙනයි. අනිත් එක තමා ඒ තේ වර්ග වලින් ඉස්තරම්ම වර්ග දිවගාලා තියෙනවා ඇත්තේ ඊටත් සුළු ප්‍රමාණයක්..!

ලංකාවේ තේ වැවෙන ප්‍රදේශවල උස අනුව තේ ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඒ වර්ග තුන ඇතුලත තේ කොල වල යම් යම් ගුණ අගුන මත තවත් ප්‍රධාන කොටස් පහකටත් අතුරු කොටස් ගනනාවකටත් බෙදෙනවා. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2000කට පහත ප්‍රදේශවල වැවෙන තේ පහතරට තේ ලෙසටත් (Low grown) අඩි 2000ත් 4000ත් අතර වැවෙන තේ මධ්‍යම තේ (High and medium) ලෙසටත් අඩි 4000ට වඩා උස ප්‍රදේශවල වැවෙන තේ උඩරට තේ (High grown) ලෙසටත් ලංකාව තුල හඳුන්වනවා. අනෙකුත් රට වලදී උස මට්ටම් අනුව තවත් වර්ග කීපයකට බෙදෙනවා.

ඉතිං ඔය උස් මට්ටම් තුනේදිම එකිනෙකට වෙනස් ගතිගුන ඇති තේ ප්‍රධන වර්ග පහක් යටතේ වර්ග කෙරෙන අතර එම වර්ග තවත් අතුරු වර්ග ගනනාවකටම කැඩෙනවා. ඒ වර්ග වලට කියන සිංහල වචන නම් හොයාගන්න පුළුවන් වුනේ නෑ. මොකද හැමෝම හඳුන්වන්නේ තේ වර්ගයට අදාල ඉංග්‍රිසි වදනින්ම වෙන නිසා. ඒ ප්‍රධන වර්ග පහ තමා…

  1. Dust

    Dust

    Dust – කළු තේ වර්ග කීරිමේදී පහත්ම ස්ථානය හිමිවෙන්නේ මෙයට. මෙහි අඩංගු වෙන්නේ තේ කොල වල පුංචි කැබලි හා තේ කොල කැබලි කිරීමේදී ඉවත් වෙන ඉතාමත් පුංචි කොටස්. දන්නවද අවාසනාවට වගේ, ලංකාවේ කොයිතරම් ඉස්තරම් තේ තිබුනත් කඩවල සිල්ලරට විකුණන්න තියෙන තේ වලින් වැඩිහරියක්ම මේ ජාතියේ තේ බව.

  2. Fanning

    Fanning

    Fanningමෙයත් වර්ග කිරීමේ පහතින් තියෙන තේ වර්ගයක්. ප්‍රධන වශයෙන්ම අඩංගු වෙන්නේ තේ දළු වල කැබලි. කැබලි කියන්නේ සාමාන්‍ය මට්ටමට වඩා පහත් මට්ටමේ කැබලි. ඒත් තරමක් වටින වර්ගයක්.

  3. BOP – Broken Orange Pekoe

    BOP – Broken Orange Pekoe

    BOP – Broken Orange Pekoe – මේ වර්ගය තමා වෙළඳ පොලේ වැඩි වශයෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ විවිධ ලේබල යටතේ පැකට් කරලා වෙළඳ පොලට එන්නේ මේ වර්ගයේ තේ. වර්ගකිරීමේ මධ්‍යම ස්ථානයක පසුවෙන මේ තේ වර්ගය තමා ලංකාව තුල වැඩියෙන්ම නිෂ්පාදනය වෙන්නේ. මෙහි අඩංගු වෙන්නේ පුංචි තේ දළු හෝ විශාල තේ දළුවල කැබලි.

  4. OP - Orange Pekoe

    OP – Orange Pekoe

    OP – Orange Pekoe – මෙම වර්ගයේ තේ හොඳ තේ වර්ගයක් ලෙස සලකනවා. ටිකක් මිල අධිකයි. මේ තේ වර්ගයේ අඩංගු වෙන්නේ පුංචි හා මධ්‍යම ප්‍රමාණයේ මුළු තේ දල්ලම… තේ මල් හා පොහොට්ටු නැතුව.

  5. FOP – Flowery Orange Pekoe

    FOP – Flowery Orange Pekoe

    FOP – Flowery Orange Pekoe – මෙය තමා සාමන්‍යෙයන් දන්නා විදියට හොඳම තේ වර්ගය. මෙහි අඩංගු වෙනවා සම්පූර්ණ තේ දල්ලම හා මල් සමග පුංචි පොහොට්ටුත්. මං නම් තාම මේ වර්ගයේ තේ කෝප්පයක රස විඳලා නෑ.

ඊට අමතර වශයෙන් නිපදවෙන තවත් තේ දෙවර්ගයක් තියෙනවා. ඒවා වැඩි වශයෙන් ජනප්‍රිය නැහැ. ඉතාමත් මිල අධිකයි. සාමාන්‍යයෙන් මෙම වර්ග දෙක සුපිරි වෙලඳ සැල් වලවත් සොයාගැනීමට අපහසුයි. තේ නිපදවන වත්තටම ගිහිං ගන්න ඕනේ වර්ගයක්. ගොඩක් වෙලාවට විකුණන්නෙත් පෞද්ගලික ඇඳුනුම් කම් මත පමණයි. එයින් එක් වර්ගයක් Silver tips හා  අනෙක Golden tips නම් වෙනවා. Silver tips කිලෝවක් රුපියල් 11000.00 සිට ඉහලටත් Golden tips කිලෝවක් රුපියල් 16000.00 සිට ඉහලටත් මිල වෙනවා. දන්න තරමින් උපරිම මිල රුපියල් 30000.00 දක්වාත් වෙන්න පුළුවනි.

SilverTips

Silver Tips

ඉතිං මේ විදියට තේ වතු තුල නිපදවෙන තේ පිටරට යවන්නේ හා ලංකාව තුල විවිධ ආයතන වලට ලබාදෙන්නේ තේ වෙන්දේසි කිරීම් මගින් අතරමැදි ආයතන හරහා. ඒ කියන්නේ බ්‍රෝකර් ආයතන හරහා. වත්තෙන් තේ සාම්පල ලබාගෙන බ්‍රෝකර් ආයතන වල ඉන්න තේ රස පිළිඹඳ මනා දැනුමක් හා අත්දැකීම් ඇති පළපුරුදු තේ රස බලන්නන් විසින් තේ වල ස්වභාවය අනුව මිලක් නියම කරනවා. ඊට පස්සේ හැම සතියකම තේ වෙන්දේසියක් පවත්වන අතර එහිදී තේ ගැණුම් කරුවන්ට අතරමැදියන් මගින් තේ ලබාගන්න පුළුවන්.

තේ ගැණුම් කරුවන් කියන්නේ තේ අරගෙන පැකට් කරලා වෙළඳ පොලට නිකුත් කරන ආයතන. එම ආයතනවලට අතරමැදියන් මගින් තේ ලබාදෙන්නේ තේ වගාකරන පිරිසට නියමිත වටිනාකමකට තේ අලෙවි කරන්න ඕනේ නිසා. එහෙම නැතුව ගාන වැඩිකරන්න නෙමෙයි. තේ පරීක්ෂකයන් විසින් නියම කරන්නේ තේ වල සියළුම ගුන අගුන සොයාබලා වෙන නිසා එම මිලට තේ ගැනීමට ගැණුම් කරුවන් උත්සුක වනවා මෙන්ම වඩාත් හොඳ ගුණයෙන් යුක්ත තේ නිපදවීමට තේ නිපදවන්නුත් ක්‍රියාකරනවා. ඒ වගේම කලින් කියපු Silver tips හා  Golden tips මෙම වෙන්දේසි වලට ඉදිරිපත් කරන්නේ බොහෝම කලාතුරකින්. ඒත් කිලෝඑකක් දෙකක් පමන ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි.

Golden Tips

Golden Tips

අපි හැමදාමත් දැකලා තියෙන්නේ නිකංම නිකං තේ කොල වුනාට මීට පස්සේ ගෙදරට තේ කොල ගෙනවාම බලන්නෙ ඒවා මොන වර්ගයට අයත්ද කියලා. මුල් වර්ග දෙක තුන අතර තේ වර්ගයක් වීමට තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

ඒ වගේම පුංචි දෙයක් කියන්නම්… තේ කොල වල Dust කියන වර්ගය ඉතා සුළු ගානකට විශාල ප්‍රමාණයක්  මිලදී ගෙන ඊට වඩා තත්වයෙන් ඉහල තේ ස්වල්පයක් සමග මිශ්‍රකර ඉහල මිලකට විකුණන වෙළෙන්දෝ ඕනෙ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට නිවෙස් වල කරන තේ පැකට් කර විකුණන අය කරන්නේ ඒක. ඒ නිසා හැකි තරම් ජනප්‍රිය හා විශ්වාසනීය වෙළඳාමක් සිද්ධවෙන ආයතනවලින් වෙළඳ පොලට නිකුත් කරන තේ වර්ගම ගන්න  උත්සාහ කරන්න. ගොඩක් වෙලාවට තේ පැකට්ටුවේ ඉස්සරහා තේ වර්ගයත් සඳහන් කරලා ඇති. අනිත් සිල්ලර තේ යම් තරමකට සෞඛ්‍යයට අහිතකර වෙනවා. හේතුව තමා තේ වල නැවුම් රතු පාට ඇති කිරීමට බාල තේ කොල වර්ග සමග විවිධ වර්ණකාරක මිශ්‍ර කිරීම. මෙය මේ වෙනතෙක් සෞඛ්‍ය බලපෑමක් ඇති නොවුනත් ඉදිරියට වෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න කොයිතරම් විශ්වාසවන්ත තේ පැකට්ටුවක් වුනත් එහි යම් අනුමත ප්‍රමාණයකට රසකාරක එකතු කරන්න ඉඩකඩ තියෙන බව. ඒත් දන්න තරමින් තේ වල කහට රසය ඇති කරන රසකාරකය නිස්සාරනය කරන්නෙත් භාගෙට වියලුන, අසම්පූර්ණ… ඒ කියන්නේ සම්පූර්ණ කොලයක් වශයෙන් වශයෙන් වෙළඳ පොලට ඉදිරිපත් කරන්න බැරි හොඳ තේ වර්ගවලින්.

♥ Tea ♥

♥ Tea ♥

මේ විදියට තේ කොල අපි අතරට එන්න කලින් ක්‍රියාවලි ගනනාවකට බඳුන් වෙනවා. තේ දළු නෙලීමේ පටන් තේ කොල රැස් කර විකුණන මධ්‍යස්ථාන දක්වා ගෙනඒමේදී අතරමැද සිදුවන කටයුතු දැනගන්න නම් තේ කොල නිපදවන කර්මාන්තශාලාවකටම යන්න ඕනේ. ඊට පස්සේ තේ කොල විකුණන්න පෙර මිලක් නියම කිරීමේදීත් තවත් ක්‍රියාවලි ගනනාවක් සිද්ධ වෙනවා. ඒවා වෙන්නේ තේ කොල වල නියැදි පරීක්ෂාකර මිල නියම කරන ආයතනතුල. එතනින් පස්සෙත්… තේ කොල පැකට් කරන, විවිධ නම් වලින් වෙළඳ පොලට නිකුත් කරන ආයතන තුලත් දීර්ඝ ක්‍රියාවලියකට මුහුන දීලා තමා අපිට තේ කොල කඩෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ…! at – ගෝල්ඩන් ටිප්ස් චුට්ටක් තිබුනනම්…!

ලෝකේ දෙවෙනියට ජනප්‍රියම කළු තේ… තුන්වෙනියට…?

නූපන් සමනල්ලු…

හ්ම්… අද නිවාඩු…! සතියෙ අග හරි, මුල හරි, මැද හරි… කොයි වෙලාවක හරි… නිවාඩුවක් කියන්නේ කලින් කරන්න තිබුන වැඩ මගහැරගත්ත, පෙන්ඩින් වැඩ ගොඩක් ගොඩ ගහගත්තු කෙනෙකුටනම් තවත් එක් කාර්යබහුල දවසක්ම විතරයි. ඒත් වැඩ ටික ඉවර වෙච්චි කම්මැලියෙකුටනම් බ්ලොග් එකක් වෙනුවෙන් තවත් කම්මැලි පෝස්ට් එකක් ලියන්න පුළුවන් කාලයක්…! ඒ විතරක්ද….? ඇඳට වෙලා කොට්ට ගොඩට ඔළුව තියාගෙන ආසාම කරන අතීතේ යම් කාලසීමාවකට ගිහිං ඒ මතකය අස්සේ පොඩි වෙලාවකට ගැවසෙන්න හොඳටෝම සෑහෙන කාලයක්.

අමතක වේගෙන යන ඒ අතීතයේ එක දවසක…

මචං…

ම්… ඒ එක කම්මැලියෙක්… හැමදාමත් කෙටි පිළිතුරු ලබාදෙන බොහෝම නපුරු කම්මැලියෙක්…!

ම්… නෙමේ බං… ඇයි උඹ තාමත් පොත් අස්සේ පැන්සල් උල් කරන ඒවා දාන්නේ?

හ්ම්…

හුම් ගාන්නේ බං…. පොඩි එවුන් කරන වැඩ කරන්නේ මොකෝ තාමත්..?

සමනල්ලු එයි කියලා බං…! එතකොට ඇති හත වසරේ විතර. එතකොටත් මගේ පොත් අස්සෙන් එක සමනලයෙක්වත් පියාඹලා තිබුනේ නෑ…!

පාට පැන්සල්

පාට පැන්සල්

ඉස්සර හැමදාමත් උදේට පැන්සල උල් කරද්දි පැන්සලේ තුඩ ගැන හිතනවට වඩා වැඩියෙන් හිතන්නේ කටර් එකෙන් පහලට බේරෙන ලී පතුර නොකඩා පොත අස්සට දා ගන්නේ කොහොමද කියලා. පැන්සල් තුඩ දහ පාරක් කැඩෙනවනම් නම් ඒ දහපාරම පැන්සල උල් කරන්නේ හරි වුවමනාවෙන්. ඒ දවස්වල පැන්සලක උපරිම ආයු කාලය දවස් හතරයි නැත්තං තුනයි. නිකංම නිකං මිනිරන් කූරු තියෙන පැන්සල් වල වටේට තියෙන ලස්සන මෝස්තරය කටර් එකෙන් රැලි රැලි කැපිලා එනකොට අමුතු ගතියක් තියෙනවා. ඒත් ඊට වැඩිය ආසා… පාට පැන්සල් උල් කරන්න. පැට පැන්සල උල් කරන කොට කටර් එකෙන් බේරෙන්නේ එකම පාටක බෝඩර් එකක් තියෙන ඒකාකාරී රැල්ලක්. හැබැයි කවදාවත් ඒ පාට පැන්සල් වලින් එන රැල්ල නම්, මිනිරන් පැන්සලේ රැල්ල වගේ නොකඩා පොතක් අස්සේ දාන්න බැරිවුනා. හ්ම්…. පාට පැන්සලේ ලීය එච්චර හරි නෑ මං හිතන්නේ. ඒක නිසා උල් කරගෙන යනකොට මගදී හිරවෙනවා. ඊට පස්සේ ටිකක් බර දාලා කැරකෙවුවම කැපිලා වැටෙනවා. රැල්ල මගින් කැඩෙනවා.

එහෙම මිනිරන් පැන්සල් වලින් එකතු කරපු රැලි ගොඩක් පහුගිය දවස් වල අම්මට ලැබිලා තිබුනා පොත් වල එක එක මල් වගේ අලවලා තියෙද්දි. දැන් නම් හිතෙන්නේ කෙල්ලෝ කරන වැඩනේ අපි ඒ දවස් වල කරලා තියෙන්නේ කියලා. කමක් නෑ පොඩි කාලේ කරන්න ඕනේ වැඩ වල වෙනසක් දන්නවැයි. මට මතකයි මං පුංචි බෝනික්කෙකුත් හැදුවද කොහෙද අම්ම එක්ක එකතු වෙලා. ඌව නම් ඒ දවස් වලම කවුරු හරි කෙල්ලෙක් ඩැහැගත්තා.

මයි ෆේවරීට්...

මයි ෆේවරීට්…

ඉතිං දැන් අර පොත් අස්සේ දාපු පැන්සල් රැලි තියෙනවනේ… ඒවගෙන් සමනල්ලු එන කතාව අපි කොහෙන් ඉගෙන ගත්තද මන්දා. ඒත් අපි හැමෝම… කොල්ලෝ කෙල්ලෝ බේදයක් නැතුව සමනල්ලු හදන්න උත්සාහ කලා. පැන්සලෙන් එන රැල්ල නොකැඩී දිගට ඇදෙන තරමට තමා සමනලයා ලොකු වෙන්නේ…! ඉතිං ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහ කලේ පැන්සල බලෙන් බිම වට්ටගෙන හරි තුඩ කඩාගෙන ආයෙම උල් කරලා දිග රැල්ලක් එන්න කටර් එකෙන් උල් කරන්න. මට මතක විදියට කවුරු හරි ළමයෙක් රැල්ලක් ගත්තා එක උඩ එක උඩ රැලි තුනක් එන්න. ඒත් එයාගේ සමනලයාව නම් දැක්කේ නෑ. අනිත් අයත් කොයිතරම් කැපවීමෙන් පැන්සල් රැලි එකතු කරත් ඒවායින් සමනල්ලු ඉගිල්ලුනාද කියන්න නම් දන්නේ නෑ. සමහරවිට ඉගිල්ලෙන්න ඇති. අපිට නොකියා ඉන්න ඇති, අපි ඉල්ලයි කියලා…!

ඊට පස්සේ ටික කාලෙකින් පැන්සල් සමනල්ලු තුරන් වුනා. ඒ තුඩවල් මාරු කරන පැන්සල් අපේ අත්වල ගැවසෙන්න ගත්ත නිසා. ඒවා උල් කරන්න වුවමනා වුනේ නෑ. ආහ්… තුඩවල් මාරු කරන පැන්සලක අයිතිකාරයෙක්නම් අනිවාර්යෙන් එයාට කාන්දම් පෙට්ටියකුත් තියෙන්න ඕනේ. නැත්තං තුඩවල් මාරු කරන පැන්සල් තියෙන ගැන්සියට සෙට් වෙන්න බෑ. මිනිරන් පැන්සල් අයින් වුනා වගේම පාට පැන්සලුත් තුඩවල් මාරු කරන ඒවා වුනා. ඒත් ඒව නම් ගොඩක් කල් පාවිච්චි කරන්න බැරිවුනා. එක පාටකින් තියෙන්නේ එක තුඩයි. ඒක නිසා පාට පැන්සල් රැලි නම් නිතර දෙවේලේ පොත් වල ගැවසුනා.

පැන්සල් සමනලයා

පැන්සල් සමනලයා

ආයෙමත් අපි හතර පහ වසරට යද්දි… තුඩවල් මාරු කරන එක එපාවෙලා ආයෙමත් මිනිරන් උල් කරන පැන්සල් ආවා. ඊට පස්සෙ ඉතිං සදහටම සමු දෙන්න වුනා කාබන් පෑන් පාවිච්චිය පටන් ගත්ත නිසා.

කොහොම හරි මගේ පැන්සල් වල රැලි වලින් නම් එක සමනලයෙක්වත් ඉගිල්ලුනේ නෑ…! හැබැයි ඒ දේවල් මතක් වෙද්දි නම් දැන් හිත වටේ සමනල්ලු ඉගිලෙනවා. සමහර විට ඒ දවස් වල සමනල්ලු හදන්න උත්සාහ කරපු අය කිව්වේ “සමනල්ලු හැදෙන්න ගොඩක් කල් යනවා. එතකං ඉවසන්න“ කියලා, මේ කාලය ගැන වෙන්න ඇති. – at සමනල කාලය… 😉

ඇපල් මේහ්… ලව් කරන්න නම් හදන්න එපා හොඳේ…

දැන් ඔය ඇපල් තියෙනවානේ… ඇපල් කිව්වේ අර ස්ටීව් ජොබ් මහත්තයාගේ මෙව්වා එක.  ඒකෙ තියෙන්නේ හරි සිරා මෙව්වනේ. ඔක්කොම පටන් ගන්නෙත් සිම්පල් i අකුරු ඉස්සරහට දාගෙන. iPhone , iPad ,  iPod වගේ ඒව තමයි ඒ. තාම iPhone එකක්  iPad එකක් නැති වුනාට මම නම් ඇපල් එව්වට හරීරීරී මෙව්ව එකයි… ඒ කිව්වෙ ලැදියි.

Apple frigde

Apple frigde

ඉතිං මේ ලඟදී Technews බ්ලොග් එකේ තිබුනා ඇපල් සමාගමෙන් නිපදවන (අනාගතයේ) වතුර බෝතලයකුයි ශීතකරනයකුයි ගැන. මට නම් ඒ ගැන ඇපල් සයිට් එකේවත් වෙන තැනකින් වත් වැඩි දුර හොයාගන්න බැරිවුනා. දන්න කෙනක් ඉන්නවනම් කමෙන්ට් එකක් විදියට හරි දාන්න. ඉතිං ඒවා ආපුවාම හයි ස්කූල් වල ගෑණු ළමයි ගාව ඇපල් වතුර බෝතල් තියෙවි. ස්වීවීවීට් නේද…! ඔය කිව්වට ගමේ ගෑණු ළමයි ගාවත් සතියක් ඇතුලත චයිනීස් ඇපල් වතුර බෝතල් තියේවි. ඒවා නිකංම නිකං වතුර බෝතල් නෙවෙයිනේ. එක එක අළුත් දේවල් තියෙන වතුර බෝතල්.

හ්ම්… හරි දැන් ඒක පැත්තකින් තියමුකෝ. දැන් ඔය යන විදියට ලඟ එන අර කාගෙද මන්දා දවසක් තියෙන්නේ… කෙල්ලෝ කොල්ලෝ රෝස මල්, කාඩ් එහෙම හුවමාරු කරගන්න… අන්න ඒ දවස් කිට්ටු කරලා ඇපල් එකෙන් ආදරය සම්බන්ධ ගැජට් එකක් රිලීස් කරොත් එහෙම මොනව වෙයිද…?

හැම ඇපල් නිෂ්පාදනයටම සිම්පල් i අකුර දාගෙන ආදරණීය මෙව්ව එකටත් සිම්පල් i අකුර දැම්මම නිකං අප්සට් වගේ නේද… බලන්නකෝ… iLove කියන එක. ඒක නිකං ඉලව් ඉලව් වගේ නේද…? කොහොමත් අපි වගේ දුප්පත් එකෙකුට ඒ වගේ හයිඑන්ඩ් ගැජට් එකක් ගන්නවා කියන්නේ අනිවා ඉලව් ගෙදරක්ම තමා…! ඒක නිසා අර ලිපි ගැන නම් මං දන්නේ නෑ ඒත් ඇපල් ලව් වලට නම් මං ආසම නෑ… අනේ අම්මේ කෙල්ලෙක්ට, අඩුම ගානේ iLove කියලා ගහපු කීටැග් එකක්වත් දෙන්න පුළුවනෑ…

මේං බඩ්ඩ... දැන් මේක එල්ලන්න එකක් හොයන්ට එපැයි...

මේං බඩ්ඩ… දැන් මේක එල්ලන්න එකක් හොයන්ට එපැයි…

හදිස්සියේ ඉලව් මතක් වුනේ පොඩී බඩ්ඩක් හින්දා… ඕං අනවශ්‍ය ප්‍රශ්න බෑ හොඳේ…  at- යාළුවෙක්ගෙන් යාළුවෙක්ගන්… වැරදි විදියටමයි හිතන්නේ…

නොදුටු දේ දැක ගතිමි…

ආඬිඅම්බලම නැවතුම් පොලට උඩ මලුව පෙනෙන හැටි...

ආඬිඅම්බලම නැවතුම් පොලට උඩ මලුව පෙනෙන හැටි…

මං පුංචි කාලේ අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට මාව වඩාගෙන සිරිපාදේ කරුණා කෙරුවලු. මට ඉතිං මතක ඇති එකක් නෑ ඕවා. ඒ හැටන් වලින්. මතක නෑ කිව්වට ලාවට වගේ මතකයි බොරළු පාර අයිනෙන් බෑවුමට විහිදෙන කොල පාට තේ ගස් යායනම්. ඊට පස්සේ ආයෙමත් අම්මලා එක්කම රත්නපුරෙන් සිරිපාදේ ගියා. ඒ නම් තනියම යන්න එන්න පුළුවන් මතක තියෙන කාලේ.

2002 විතර වෙන්න ඕනේ. ඒ වතාවේ නම් ගියේ අම්මගේ යාළුවෝ කට්ටයක හිටිය මගේ වයසෙම වගේ යාළුවෝ ටිකක් එක්ක මග දිගට විකාර කර කර. ඊට පස්සේ ආයෙමත් දෙපාරක් ගියා යාළුවෝ එක්ක. මේ තමා නොදන්න කුරුවිට පාරෙන් ගිය වතාව. සෑහෙන කාලෙක ඉඳන් අවාරේ සිරිපාදේ යන්න හිතාගෙන හිටියත් මගෙත් එක්ක යන්න ලෑස්ති වෙච්චි හැම කෙනෙකුටම ගමන යන්න කිට්ටු වෙද්දි මොකක් හරි කරදරයක් වෙනවා. එහෙම වෙන්නේ මාත් එක්ක අවාරේ සිරිපාදේ ගිහිං උංට වෙන කරදර වලින් මග හැරෙන්නද එහෙම නැත්තං මට වෙන්න තියෙන ඒවායින් මග ඇරෙන්න කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම හරි අවාරේ ගමන අතෑරලා දාලා කුරුවිටින් යන්න ඕනේ කියලා හිතුනා ඊට පස්සේ. හිතුනට තනියම යන්න බැහැ. ඒක නිසා ඒ ගමනත් ටික ටික පස්සට ගියා.

කුරුවිට පාර පටන් ගන්න තැන

කුරුවිට පාර පටන් ගන්න තැන

ඒ අතරෙදි තමා මාත් එක්ක එහෙ මෙහෙ රවුං ගහන්න ලෑස්ති වෙලා ඉන්න හොඳම යාළුවෙක් මට කතාකලේ “අපි සිරීපාදේ යනවා. උඹත් එනවද?“ කියලා. යන්නේ කුරුවිටින් නිසා බැහැ කියන්න පුළුවන් කමක් තිබුනේ නෑ කොහොමත්. අනිත් එක වෙන වැඩක් වැටිලා තිබුනෙත් නැති නිසා ගමන යන්න පුළුවන්.

ඔහොම ගමනට දවස් කිට්ටු වෙලා සෙනසුරාදා සිරීපාදේ යනවා කියලා අම්මලට කිව්වේ ඊට දවස් දෙකකට කලින් බ්‍රහස්පතින්දා. හොඳ ගමනක් යන නිසා බැන්නේ නෑ… නැත්තං දවස් දෙකක් තියලා ලෑස්ති වෙනවට අහගන්න තිබුනා හොඳවැයින්. කොහොම හරි සිකුරාදා රෑම අවිස්සාවේල්ලේ යාළුවගේ ගෙදරට ගිහිං එහෙම නිදාගෙනන කෑම ලෑස්ති කරගෙන ගමන පිටත් වෙද්දි, ගමනට එන්න පොරොන්දු වෙලා හිටිය අයගෙන් කීපදෙනෙක් එන්න වෙන්නේ නෑ කිව්වා. එක මල්ලි කෙනෙක් නම් අසනීප තත්වය මත එන්න බෑ කියලා කිව්වා. ඇත්තටම ඒක හොඳ තීරණයක් කියලා මටත් හිතුනේ ගමනේ මැදක් හරියට ගියාම.

උදේ දහයට විතර කුරුවිටින් පටන් ගත්ත ගමන රත්නපුර පාරට වැටිලා ආඬිඅම්බලම ගාවින් නතර කලේ රෑ නවයට විතර. වැඩිහරියක්ම වෙලාව ගත වුනේ කුරුවිට පාරේ තියෙන සීතල වතුර වලවල් වල බහින්නයි සීත ගඟුලේ නාන්නයි. ගමන ටිකක් විතර වෙහෙසකර වුනාට අවටින් ඇවිත් මූනේ වැදීගෙන යන සුළං රැලි නිසා ඒක ලොකු විඩාවක් වුනේ නෑ. අනිත් පාරවල් දෙකෙන්ම නැගලා බැහැලා තිබුනත් මේ පාරෙන් එද්දි දකින්න පුළුවන් බොහෝ දේ ඒ පාරවල් දෙකේදී දකින්න ලැබෙන්නේ නෑ.

මග හම්බුවෙන වතුර පාරක් හරහා

මග හම්බුවෙන වතුර පාරක් හරහා

ඒකාකාර පඩි පෙලේ නගිනවට වඩා පෙලවල් මතින් හා සාමාන්‍ය වැලි පාරවල් වලින්, දිය කඳුරු මතින් ඇවිදගෙන යන එක හරි අමුතු අත්දැකීමක්.

කුරුවිට පාරේ කඩචෝරු කන්න තියෙන තැන් නම් ගොඩක්ම අඩුයි. ඒ චාන්ස් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් මග ඇරුනේ නෑ.

ඒත් ඉතිං ඒ මග ඇරිච්ච දේවල් වලට හරියන්න කන්න පුළුවන් රත්නපුර පාරට වැටුනම. රත්නපුරේ පාරෙන් ටිකක් උඩහට ඇවිත් අපි “අවසන් ගිමන් හල“ කියන ආඬියාමළතැන්න අම්බලම නැවතුම් පොලේ නැවතුනේ උදේ පාන්දරම ඉර සේවයත් බලාගෙන ආයෙම බහින්න ප්ලෑන් කරගෙන වුනත්… සීතල එක්ක ඒ ඔක්කොම ප්ලෑන් වෙනස් කරන්න වුනා.

ශ්‍රී පාද කන්ද වටේට තියෙන කඳු පන්තිය

ශ්‍රී පාද කන්ද වටේට තියෙන කඳු පන්තිය

මමයි යාළුවයි කම්මැලි කමට පොරෝ ගෙන නිදා ගත්තට අපේ මල්ලියි මගේ යාළුවගේ යාළුවෙකුයි නැග්ග පාන්දරම උඩ මලුවට. 4.30ට විතර ඉර සේවය බලන්න ගිය දෙන්න ආවේ උදේ අටට විතර. එක පාරක් ඇරෙන්න අනිත් හැම පාරකම වුනා වගේ මේ වතාවෙත් “අද ඉර නෑ… මීදුම වැඩියි… මෙතෙන තෙරපෙන්නේ නැතුව පහලට බහින්න“ කියලා උඩ මලුවේ ආරක්ෂකයෝ කිව්වලු. ඒක දන්න නිසා තමා මම නම් පරක්කු වෙලා උඩ මලුවට ගියේ. 😉

ඊට පස්සේ ඉතිං අපිත් සිරිපතුල වැඳගෙන ආයෙම පහලට බැහැල රත්නපුර පාරෙන් ගෙදරට ආවා. ඔක්කොමත් හරි… දැන් මේ කකුල් දෙකේ අමාරුව තමා ඉවසන්න බැරි… -at සිද්ධාලේප ගාන්න කෙනෙක් හිටියනම්…!

ඉමේජ් ඔෆ් ද ට්‍රිප් :)

ඉමේජ් ඔෆ් ද ට්‍රිප් 🙂

අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න…

අළුත් අවුරුද්දේ මුල්ම පෝස්ට් එක…! ඔෆිස් එකේ කතාවක්. මෙහෙම එව්වා ලියලා මඩ ගහන එක හොඳ නෑ තමා… ඒත් ඉතිං මොනාකරන්නද…!!! මේ අවුරුද්දෙවත් නරක පුරුදු ඉවත් කරනවා කියලා හිතාගෙන මේක විතරක් ලියලා නවත්තනවා. (ආයේ මඩ කතාවක් හම්බුවෙනකං)

ඇත්තටම නහය වහගන්න එක හොඳයි…

සුපුරුදු පරිදි පීසී එකක් අසනීප වෙලා. මාත් ඉතිං ගියා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හ්ම්… ලොකූ ලෙඩක්… පීසී එක බූට් වෙන්නේ නෑ. එක පාරටම තමා එහෙම වෙලා තියෙන්නේ. හදිසි ලියුමක් ලේ අවුට් කර කර ඉන්න ගමන්. පීසී එක ඔන් කලාම  එනවා යනවා එනවා යනවා. ඒ පාර ඉතිං සේෆ් මොඩ් ට්‍රයි කලා… ම්හු… හරියන්නේ නෑ… මගට ගිහිං රී ස්ටාට් වෙනවා‍. ඒ පාර ඉතිං මැසිම ගැලෙව්වා කෑලි වලට.

අප්පා දූවිල්ල. අඟිල්ලක් ගෑවුනාම තමා තියෙන උපාංග වල නියම පාට පේන්නේ. එතකං තියෙන්නේ හෙන දූවිලි තට්ටුවකින් වැහිලා. පස්සේ ඉතිං ක්ලීනින් ස්ර්විස් එකේ අයටම කියලා ඒකත් හීමීට ක්ලීන් කරවා ගත්තා. මොකද ක්ලීනින් සර්වීස් ඉන්නේ බිම ‍පිහිදන්නයි, ටොයිලට් හෝදන්නයි විතරයැ. හැබැයි ඉතිං ලඟින් ඉඳන් වැඩේ කරවන්න ඕනේ. නැත්තං ඉතිං අන්තිමට පීසී එක ටොයිලට් එක ව‍ගේ වෙනවා…!

ඊට පස්සේ අතක් තියන්න පුළුවන් තරමට දූවිලි ඉවත් වුනාම තමා වැඩේ පටන් ගන්නේ. දැන් ඉතිං ඔය ඔක්කොම දේවල් කරන්නේ පීසී එකේ යූසර්ව ලඟින් තියාගෙන. මේ පීසී එකේ යූසර් අක්කා කෙනෙක්. ඉතිං දැන් එයත් ලඟට වෙලා බලන් ඉන්නවා. ම්… මුලින්ම රැම් දෙක ගැලෙව්වා.

මල්ලී රැම් එකේ නේද ඩේටා සේව් තැන්පත් කරගන්නේ…? මං නං ආසම නැති වැඩේ… පීසී එකක් ගලෝන කොට ඔය කෑලි බෑලි වලින් වෙන දේවල් ගැන අහන එක. කරන්න ඕනේ දේ අමතක වෙනවා එහෙම වුනාම. නිකං කට තියං ඉන්න බැරිනම් කෙල්ලෙක් ගැන අහපිය… ආං මල්ලි ඔයාට ගැලපෙන ගෑණු ළමයෙක් ඉන්නවා කියලා කියපිය… ඔය එක එක එව්වා අහන්නේ නැතුව… කොහෙද ඉතිං ගෑණු මොලේ මොකේද මිටේලුනේ.

ලෙඩේ හෙවිල්ල තමා අමාරු… දොස්තර නලා තියන්න කියැලයැ…

හ්ම්… එච්චරයි එච්චරයි… ඊට වැඩිය විස්තර කරන්නේ නෑ මම.‍

දැන් ඔය ප්‍රශ්න අහන කොට වටේ පි‍ටේ ඉන්න අයත් ටික ටික ලං වෙනවා. ඇයි ඉතිං පීසී එකක් ගැලෙව්වම එයාලටත් ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතක් වෙනවනේ. සමහර එව්වට උත්තර මං දන්නෙත් නෑ…! ඉතිං එහෙම වට වෙලා නිකං ඉන්නේ නෑ… අම්මෝ දූවිලි ගොඩ… / බලාගෙන ළමයෝ කරන්ට් එක වදියි / ඔය එක එක ඒවා කරලා තියෙන ටිකක් නැති කරොත් එහෙම දෙනවා දෙකක්… වගේ හුරතල්, විශ්මයජනක, අනුකම්පා සහගත එක එක එව්වා කියනවා.

ඉතිං ඔහොම ඉන්න කොට මං ගැලෙව්වා රැම් දෙකෙන් එකක්…. රැම් එක ටිකක් පිහිදලා කරලා ආයෙම ගැහුවම ගොඩක් ලෙඩ සනීප වෙනවා. කොහෙද ඉතිං රැම් එක ගැලෙව්වා විතරයි යූසර් අක්කා විලාප තියන්න ගත්තෙ නැතෑ…

අනේ… අනේ මල්ලි… ඕක තිබුන විදියටම ආයේ තියන්න. අනේ මල්ලි ප්ලීස්….

දැන් වටේම අය බලනවා. මොකද මේ කියලා… මාවත් නිකං ඩබල් වෙලා ගියා. ඒ පාර…

ඇයි අක්කේ… මොකද කේස් එක…

අනේ මල්ලි තාම ලියුම ඇත්තේ රැම් එකේ… මං ඒක සේව් කලේ නැහැ… 😀 at – ඔන්න මං නං හිනාවුනේ නෑ… නෑ… නෑමයි….

%d bloggers like this: