ඩෝනටී…. – මගේ යශෝධරා වත 24

ලොකු කතා කියෙවුවට තාම බබා....

ලොකු කතා කියෙවුවට තාම බබා…. 😉

දවසක්දා හදිස්සියෙම මං කුමාරයට සිද්ධවුනා නඩුකාරිට කතාකරන්න. ම්… මතක විදියට කඩු හරඹයේ කොහො හරි තැනක් පටල ගෙන හිර වෙච්චි අවස්ථාවක වෙන්න ඕනේ. ඉතිං මං නඩුකාරිගෙන් පාඩම අහගන්න කොට බැක් ග්‍රවුන්ඩ් එකෙන් මට අහෙනවා හොඳට අහලා පුරුදු හඬකින් කිරිල්ලියෙක් කෑ මොර දෙනවා…. කා එක්කද අම්මේ කතා කරන්නේ…. අපිව අමතක අයත් එක්ක කතා කරන්න ඕනේ නෑ… මෙහේ එන්නකෝ… කියලා.

පරන පුරුදු තාම අතෑර ගන්න බෑනේ මටත්. ඒ කටහඬ ඇහෙන කොට කිති කැවෙනව වගේ නලියන්න ගන්නවා. මොකද මන්දා. මං නඩුකාරිට “අර මළ හොල්මන නේද කෑගහන්නේ” කියලා අහන්න හදනකොටම අනිත් පැත්තෙන් යශෝධරාව දුවගෙන ඇවිත්… කෝ… කෝ.. මටත් අහගන්න ඕනෙ කියලා… රහසෙන් කියලා ෆෝන් එකට හේත්තු වෙච්චි විත්තිය මං කුමාරයට තේරුනා. ඉතිං කොයි තරම් දේවල් කියන්න ගත්තත් එකක් හරි කියවුනොත් පුරුදු පරිදිම නඩුවක්…! මං නං අහුවෙයි හොරාට හේත්තු වෙලා අහන් ඉන්න එව්වට…

ඒක නිසාම මං කුමාරය ඔන්න නඩුකාරිට කියන විදියට යශෝධරාට කියනවලු… කෝ ඉතිං පැත්තකට වෙලා සමහරු කෑගැහුවට අපිත් එක්ක කතා කරන්නේ නෑනේ. කතා කරානම් මම හිටියේ ඩෝනට් පැක් එකක් ඕනෙද අහන්න…

ඇත්තටම කාලෙකින් කිසිම දෙයක් ගිහිං නුදුන්න නිසාම බොහෝම තදබල ලෙස තෑග්ගක් දීමේ අවශ්‍යතාව නොතිබුනාම නෙවේ ඉතිං.  ඒ‍කනේ පැන්න ගමං එහෙම කිව්වේ…

එතකොටම අනිත් පැත්තෙන් එක්කෙනෙක් අම්මට කියනවලු… අම්මේ… දැන් මොකද කරන්නේ…? අම්මා මොනා හරි කියලා මට ෆෝන් එක දෙන්නකෝ… අනේ අම්මේ… නඩුකාරි මගේ හොරවැඩ ගැන ටිකක් දන්න නිසා මං හිතන්නේ එයා දැනන් හිටියා යශෝධරා කතාව අහගෙන හිටිය බව මං දන්න විත්තිය. නඩුකාරීත් හිමීට යශෝධරාට කියනවා… මොනා කියලා ඔයාට දෙන්නද… ඔන්න ඔහොම ඉන්න…

දැන් ඉතිං මට පුළුවනෑ මේ ඔක්කොම මට ඇහිච්චි විත්තිය දැනගන්න දෙන්න…

කෝ… ඇයි කවුරුත් කතා නැත්තේ… සකබඹරේ නැද්ද ලඟ….?

ආහ්… සකබඹරේ කිව්වේ මටද….? බොහෝම දුබල කඩ හඬකින් බොරු කොමලෙයි, දුකයි එක්ක මගෙන් අහනවා.

අනේ අනේ… හොරෙන් අහගෙන හිටියා නේද… ඇ හොර ගෙම්බි….!

කතා කරන්නේ නෑ මම ආයේ….. හ්ම්… ඒක නම් අනතුරු ඇඟවීමක්…! ගෙම්බි කිව්ව එකට. මං බයයි තාමත් ඒ නිවේදනයට.

හරි… හරි… කියන්නකෝ ‍දැන් ඩෝනට් ඕනෙද එපාද…?

ඕ‍නේ ඕනේ… මට ඕනේ… ස්ට්‍රෝබෙරි ක්‍රීම් දාපුවා ගේන්න…. අනේ…. ඒවා රසයි…. හම්මෝ තියෙන සතුට… හැමදාම විඳගන්න විදියක් නෑනේ ඒ වචනයි, හුරතලෙයි, සතුටයි…!

ම්… ගේන්නම්කෝ….

මේ වගේ තමා ...!

මේ වගේ තමා …!

පස්සේ ඉතිං මාත් මාලිගයට යන දවසේ, ඩෝනට් තියෙන තැනකට ගිහිං ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන ඒවා ඉල්ලුවා. ඒවා තියෙනවා ඒත්  ස්ට්‍රෝබෙරි ක්‍රීම් තියෙන එව්වා ගෙනයන්න බෑ… ඒවා රස්නෙට දියවෙනවලු. ඒත් ඉතිං කුමාරිකාව‍ගේ දොල සංසිඳවන්න බැරිවෙන බව දන්න නිසාම වෙන වර්ග තුනකින් 6ක් ගත්තා. නැත්තං ඉතිං මං දන්නවනේ වෙන දේ…

“අම්මේ…. මෙයා ගේන්නම් කියපුවා නෙමෙනේ ගෙනැත් තියෙන්නේ… අනික එකයි ගෙනැල්ලා තියෙන්නේ…” කියයි‍.

පෙරේති….. ඊට පස්සේ ‍ඩෝනට් පැක් එක අරගෙන මාලිගයට ගියාම… හ්ම්….  ඇඟිල්ල හප හප ලඟට දුවගෙන ඇවිත් පාර්සලේ උදුරගෙන ගිය හැටිවත්, සැටියට වෙලා ඩෝනට් තුනක්ම විනාඩි දෙක තුනට ගිල දාපු හැටි කියන්නවත් වචන හොයාගන්න අමාරුයි. ඒ මුළු වෙලාවම මං කලෙ එක්කෙනෙක්ගේ මූණ දිහා බලාගෙන ඉන්න එක. කාලා ඉවරවෙලා අන්තිමටම ලඟට ඇවිත්… කෝ මේවගේ ස්ට්‍රෝබෙරි නෑනේ…! ඕකනේ ඉතිං කරන්න බැරි…

එහෙනං ඉතිං කෑවේ….? හරස් ප්‍රශ්නෙ මගෙන්…

ම්… ආ මේක කන්න ඔයා… පෙරේතයා වගේ බලාගෙන හිටිය හැටි මං දැක්කා….

හ්ම්.. ඔව් ඔව් කවුද දන්නේ නෑ පෙරේති….!!! අනික එයා දන්නේ නෑනේ පෙරේතයා වගේ බලෙන් හිටයේ එයා දිහා කියලා..

දැන් ඇති දෙන්නම…. රන්ඩු වුනොත් දෙන්නටම දෙනවා පාරක්…. හැමදාම වගේ එනවා බකට් එක උස්සගෙන… හුහ්… එයා එක්කනේ වැඩේ කරන්න බැරි. කොහේ හරි ඉඳන් ගිනි නිවන හමුදාව වගේ මැද්දට කඩා පනිනවා. පොඩ්ඩක් රංඩු වෙන්න දෙන්නේ නෑනේ… ඇයි දෙයියනේ වයසට ගිහිං වත් පොඩි එවුන්ගේ රොමෑන්ටික් වලි මැද්දට පනින්නේ නැතුව ඉන්නම බෑනේ… මොනා කරන්නද ඉතිං ඒ වෙලාවට දෙන්නටම කට පියාගන්න වෙනවා…!

ඒකත් හොඳයි නැත්තං එක මහා පුරුෂයෙකුට එරෙහිව කාන්තාවෝ දෙන්නෙක්  යුද්ධයක් පටන් ගන්නවනේ. ඒක ඉවසන්න පුළුවන්ද වෙන මොනා ඉවසුවත්…!  thinking – හදිසියේවත් ලෝකෙ විනාශ වුනොත් හෙට, මේ ඔක්කොම ඉවරයි නේ. ඒක නිසා අමාරුවෙන් ගලප‍ගෙන ලෝක විනාසෙට කලිං යශෝධරා වත ලිව්වා. ගොඩක් දෙනා මාව දන්නේ මේ කතාව නිසා මේක නොලිය මැරෙන්ට පුළුවනෑ…!

 

%d bloggers like this: