ගැහැණිය…!

ගැහැණියක්

අපි කොයිතරම් පිරිමි වුනත්… ගැහැණු අපිට වැඩිය උත්තමයි කියලා හිතෙනවා වෙලාවකට. සමහරවිට මට හිතෙන හැටි සාධාරණ නැතුව ඇති. ඒත්…. පිරිමියෙක් වුනත් උපදින්නේ ගැහැණු කෙනෙක්ගෙන් පෝෂනය වෙලා, ගැහැණු ශරීරයක් ඇතුලේ සොඳුරු උණුසුමකට  මැදිවෙලා මාස ගානක් ඉඳලා. ඊට පස්සේ මවු කුසින් එලියට ආපු දා ඉඳන් අම්මගේ අතේ හුරතල් වෙලා, අම්මගේ පපුවටම තුරුළු වෙලා උණුසුම් වෙලා…. අම්මගේ ලඟම ගුලි වෙලා නිදිගන්න තරමට පිරිමි පුරුදු වෙලා ඉන්න හැටි…!

එතෙනින් පස්සේ දනගාන කලේ ඉඳන් ගැහැණිය, පිරිමියෙකුට…. දෙපතුල් පොළොවේ තියලා නොවැටී නැගී ඉඳින්න, පිරිමි අපි හිතනවට වඩා ශක්තිමත් දෑතක් වෙනවා. ‍වැටෙන්න යද්දී නොවැටී අල්ල ගන්න පුළුවන් තරමට ශක්තිමත් වැටක් වෙනවා…. වැටිලා රිදුනොත් ලඟට අරගෙන සනසවන්න පුළුවන් තරමට සැනසුම් සාගරයක් වෙනවා. තවත් ලොකු වෙද්දි,

යෙහෙළියක්…

උදේට ඇඳ ලඟටම කිරි එක ගෙනත් දීලා බලෙන්ම නැගිට්ටවලා, මූන හෝදලා, ඇඳුම් අන්දවලා ස්කෝලේ යවන්න මහන්සි වෙන තරම් ජීවිතේ කවදාවත් මහන්සි නොවෙන්න ඇති එයාලා. අම්මා කෙනෙක් වුනත් අක්කා කෙනෙක් වුනත් එහෙමයි. ගැහැණියෙක් නැතුව පිරිමියෙකුට ස්කෝලේ යන්නවත් පුළුවනෑ හරියකට…. ෂර්ට් එක යට කරලා, කොන්ඩේ පීරලා,කෑම ලෑස්ති කරලා… පිරිමියෙක්ගේ අනාගතය සතුටින් ඉන්න ලෑස්ති කරන්නේ ගැහැණියක්…! ආපහු ඇඳුම් හෝදලා… මැදලා… ඒවා නවලා පිළිවෙලක් කරන්න තරම් හදවතක් තියෙන ආදරණිය වැඩකාරියක්…!

තවත් වෙලාවකට, අපේ පොත් වලට එබීගෙන අපිට පාඩම් කියාදෙන්න… කනෙන් අල්ලලා “ඕක වැරදියි… මෙහෙමයි හරි” කියන්න තරම් පිරිමින්ට වැඩිය පන්ඩිත ගුරුතුමියක්. වෙලාවකට අතින් අල්ලගෙන දුවන්න, පනින්න තරම් කෙළිලොල් දඟකාරියක්….! හ්ම්…. ‍පැටලි පැටලි රන්ඩු කරන්න තරම් කෙක්කක්… , ආයෙමත් චාටු කතා කියලා හිත හදන්න තරම් ලෙංගතු පුළුන් රොදක් වගේ යෙහෙළියක්…!

මග බලාගෙන ඉන්න සුරංගනාවියක්…!

අනාගතය ගැන ප්ලෑන් කරද්දී, “ නෑ අපි මෙහෙම කරමු කියන”  පෙරළිකාරියක්, “හ්ම් එහෙම හොඳයි” කියන පැසසුම් කාරියක්… වෙලාවකට අහසක් වගේ අදහස් දෙන නව සිතුවිලි කාරියක්… “අනාගතේමෙහෙම කරමු” කියන මැවුම් කාරියක්… හීනමවන්නියක්… ඒ හීන සැබෑ කරගන්න දාඩිය හලලා උදවු වෙන පවුල් සමාගමේ සේවිකාවක්…  වෙලාවකට නීති දාන නීතිකාරියක්,තනියෙම හිතලා..වෙලාවකට එයාට විතරක් වාසි තීන්දු දෙන නඩු කාරියක්…!!! කොහෙද ඉන්නේ – මොනාද කරන්නේ කියලා වද දෙන වද කාරියක්… ඒ අතරම ජීවිතේට පාඩම් කියාදෙන මහාචාර්යවරියක්… ලඟට අරගෙන උණුසුම් කරන, ඔලුව අතගාලා හිනාවෙන කෝලම් මඩුවක්…!!! හැම දුකක්ම  සතුටින් බෙදාගන්න පුළුවන් සහකාරියක්…!!! පිරිමියා ගෙදර එනකං බලාගෙන ඉන්න සොඳුරු ගැහැණියක්…! ගෙදර ආවම මහන්සිය නිවන හොඳ භාර්යාවක්…!!! එන්න රෑ වුනොත් දොරකඩට වෙලා නොකා නොබී, නිදිමරාගෙන මග බලාගෙන ඉන්න සුරංගනාවියක්…!

ඇය ජීවිතය පාට කරන්නියක්…

අපි හිතුවට ගැහැණියට කිසිම බරක් පතලක් නෑ… කිසිම දෙයක් කරගන්න බෑ තනියම කියලා… ඒක වැඩියෙන්ම ගැලපෙන්නේ පිරිමියට වෙන්න ඕනේ. ගැහැණීය පිරිමියෙකුට වැඩියෙන් අවධානම දරනවා ඇති. පිරිමියෙකුට වැඩියෙන් දුක් විඳිනව ඇති. පිරිමියෙකුට වැඩියෙන් වේදනා විඳිනවා ඇති. පිරිමියෙකුට වැඩියෙන් හිත් රිදවා ගන්නවා ඇති. ඒ වගේම පිරිමියෙක්ගේ එක ආදරණිය වචනයකින් මහ ගොඩක් සතුටු වෙනවා ඇති….!!!

කොයිතරම් ලොකුකම් කියෙව්වත් පිරිමියෙක් දෙපයින් හිටගෙන ඉන්නේ ගැහැණියෙක් නිසා…! ඒ ලැබුන – ලැබෙන ආරක්ෂාව, ආදරය නිසා….! ඇත්තටම ඇය ජීවිතය පාට කරන්නියක්…! at – මට හිතෙන විදියට

මේක අමතර කතාවක්… මට ලැබුන ඊ මේල් එකක තිබුනේ. සිංහලයට හැරැව්වම මෙහෙමයි… හැබැයි මෙච්චර වෙලා ලිපු දේවලට හාත්පසින්ම වෙනස්… ඒකත් කියවන්න… එක එක් කෙනාගේ අදහස්නේ… හැබැයි එතෙන පේන්නෙත් පිරිමියාගේ ආත්මාර්ථකාමී බවමද මන්දා‍‍‍…

“ගැහැණිය හරි නපුරුයි… ගැහැණු එක පිරිමියෙක්ගෙන් හැමදේම බලාපොරොත්තු වෙනවා… ඒත් පිරිමි හරි කරුණාවන්තයි… හැම ගැහැණියගෙන්ම එකම දෙයයි බලාපොරොත්තු වෙන්නේ.”

%d bloggers like this: