ඇඟිලි ගැට ගැහෙන තෙක්….!!!

පිරිමි ළමයෙක්, ගෑණු ළමයෙක් එනකං ඒ දෙන්නා හම්බුවෙන තැනට වෙලා බලාගෙන ඉන්නවා.

මග බලා…

හ්ම්… තාමත් නෑනේ මේ හොල්මන… එහෙම හොල්මන කියලා හිතින් හිතුවට පුංචි අත්තටු තියෙන කුමාරිකාවක්දෝ කියලත් හිතෙනවා වෙලාවකට. ඒත් එහෙමනම් ඉක්මනට පියාඹලා එන්න බැරි ඇයි..!!! මුල්ම දවසේ කිව්වා තමා මංම, ඔයා ටිකක් පරක්කු වෙලා එන්න, මං එනකං ඇවිල්ලා රස්තියාදු වෙන්න එපා කියලා. ඒත් ඉතිං එහෙම කිව්ව පලියට විනාඩි විසිපහක්ම පරක්කු වෙන එක හරිද…

ආපු දෙන්කෝ… එදා වගේ අදත් මහ පාරෙම අනිනවා ටොක්කක් ඌයි ගාන්න… සමාවක් දෙන්නේ නෑ අදනම්.

හ්ම්… තව බස් එකක් එනවා. දැන් එයාට එන්න පුළුවන් බස් කීයක් නම් ඇවිත් මගේ ඉස්සරහා නවත්තලා සෙනග බස්සලා ගියාද. කතා කරාම කියන්නේ “මට ඔයාව පේන දුර, තව විනාඩි පහයි නැත්තං දහයයි” කියලා. දැන් ඒ වගේ විනාඩි පහේ දහයේ ඒවා තුන හතරක්ම ගියා.

බස් වලින් බහින බහින අය දිහා මං ඇස් ලොකු කර කර එක රූපයක්ම හොයද්දි, ඒ හැමෝම එක්ක මට හිනාවෙලා යනවා. නැත්තං ඔරවගෙන යනවා. ඒ අතරේ වැඩිහරියක්ම හිටියේ කිසිම හැඟීමක් නොදක්වා තමන්ගේ පාඩුවේ යන කට්ටිය. හරියට මාව පේන්නේ නෑ වගේ… මං මෙහේ එක්කෙනෙක් එනකං ඉර අව්වට පිච්චි පිච්චි ඉන්නවා පාර බලාගෙන. කමක් නෑ විටමින් – ඩී නේ.

මේ වැඩේ හරියන්නේ නෑ. කතාකරලා බලන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. ම්…. ඒත් එයා බස් එකේ  හිටගෙන නම් ඉන්නේ කතාකරන්න අමාරු වේවි එයාට. ‍ඉස්සෙල්ලත් අමාරුවෙන් වගේ කතාකලේ… ආයේ කතා කරලා ෆෝන් එක අදින්න ගිහිං වැටුනොත්‍…!

මොකද කරන්නේ දැන් මං…………………………………………….

කමක් නෑ වැටෙන එකක් නෑ, අල්ලගෙන ඇති, නැත්තං වාඩි වෙලා හරි ඇතිනේ. උදේ වරුවට බස් වල සෙනග අඩුයිනේ. හ්ම්… තව මොනාද තියෙන්නේ කෝල් කරන්න හිත හදාගන්න පුළුවන් නිදහසට කරුණු…!!! ආහ්… දැන් ලඟයි කිව්වනේ… ඒ නිසා බස් එකේ සෙනග කොහොමත් අඩු ඇති… ඒක නිසා දැන් නම් ෂුවර් එකටම වාඩිවෙලා ඇති. ම්… මං ගන්නවා කෝල් එකක්…

හෙලෝ…. විනාඩි ගොඩක් ගියානේ දැන්… කොහෙද ඉන්නේ…

ඉන්නකෝ බබෝ… තව හරියටම විනාඩියයි…

අනේ යනවා… ඔහොම විනාඩි පහේ දහයේ ඒවා කීයක් ගියාද…

නෑ නෑ… මං එනකං පරිස්සමට ඉන්නකෝ…

ඉක්මනට එන්න….

මං එහෙම ඉක්මනට එන්න කිව්වට, එයා කොහොම එන්නද බස් එක යනවට වැඩිය ඉක්මනට.  එයායැයි බස් එක එලවන්නේ..! හ්ම්…. තව කොච්චර වෙලා යයිද දන්නේ නෑ… විනාඩියයි කිව්වට මං දන්නවනේ එයාගේ විනාඩිය…

ආහ් තව එකක් එනවා නේද… එයාට ඒකෙත් එන්න පුළුවන්නේ… බලමු බලමු…. ම්…. දොරවල් දෙක ගාවට බහින්න ලං වෙලා ඉන්න සෙනග ගොඩේ නම් නෑ වගේ… කොල්ලවගේ වැඩ දාන්න ගිහිං මග හරියෙන්ම පැන්නද දන්නේ නෑ බස් එකෙන්…

ම්…. හ්ම්……………….. ලොකූ හුස්මක් මටත් නොදැනිම නාස් පුඩු වලින් සිරුරට ඇතුලු වෙලා මුළු රුධිර වාහිනි පුරාවටම පැතිරිලා තිබුන කලබලය, හදිස්සිය, තැතිගැන්ම, ආතතිය ඔක්කොම හොදාගෙන ආයෙම නාසයෙන් හා කටත් මඳක් විවෘතව පිටවෙලා යන හැටි….! ඇති යන්තං… හොල්මන එනවා….  ආපු දෙන්කෝ ලඟට, හ්ම්… ටොකු අනින්න ඕනේ නෑ… ඉඹින්න ඕනේ නලල….!!! පාර මැද්දේ වුනාම මට මොකෝ….!!!

ම්….

ඇයි මේ මගේ කකුල් එයා එන පැත්තට ඇවිද්දවෙන්නේ…? මං මුලින් හිතාන හිටියේ පරක්කු නිසා ලඟට යන්නේ නෑ කියලානේ… ම්…. මාව තවත් ඇවිද්දවෙනවා… තවත්… තවත්…. තව මීටරයක් ඇති…. ම්… තව ටිකක්  ආපු දෙන්කෝ… නලලට දාඩියත් දාලා එයාගේ… කමක් නෑ… ඉඹින්න ඕනේ…

ආහ්… ඒක හරි විශ්මිත තත්පරයක්…  මං ලං වෙනකොටම, එයා මට  වඩා ඉක්මන් වුනා. මගේ නලල හරියට එයා උස නැති නිසා, ඒ තොල් පෙති නතර වුනේ මගේ බෙල්ලේ…!!!!

කෙල්ල…. මොකද ඒ කලේ….?

ඇයි….?

ඇයි… ඩ්‍රැකියුලා වගේ බෙල්ල හැපුවේ…?

හැපුවේ නෑනේ…. හ්ම්…. ආහ් ඩ්‍රැකියුලා කිව්වා​ නේද…. ඉන්නවකෝ මීට පස්සේ…

හරි හරි…. යමු… පරක්කු වෙනවානේ.

හ්ම්…. අර බස් එකේ යමු…. ඒකෙ සීට් තියෙනවා වාඩි වෙලා යන්න.

යං….

හැමදාමත් වගේ එයා ජනේලේ අයිනේ, මං එයාට මෙහා පැත්තේ… ඉතිං මට  මොනාද ගෙනවේ…

එයා නිහඬයි… සමහරවිට ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙන්න ඇති.

කතාවක් නැතුවම බෑග් එක අදිනවා. බලන්නත් හිතයි…. ඒත් හොඳ නෑනේ… මං අහක බලාගත්තා…

අත අල්ලන්න….

ඇයි….

කෝ දෙන්නකෝ අත….

එයා‍ගේ අතේ පිරිත් නූලක්… ආහ් එකක් නෙමේ දෙකක්…

බඳින්න…. බලෙන්න මං අත දුන්නා…

.

මේක ගන්න පන්සල ගාවින් බැස්සා ඒකයි පරක්කු වුනේ…!!! සමාව අයදින… ඒත් මං වැරැද්දක් කලේ නෑ කියන්න වගේ  ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන කියද්දි….!!! දාඩිය බිංදු මැකිලා තිබුනා නලල් තලය මං ඉම්බා…!!!

එන්න ඔයාගේ අතේ බඳින්න….

ආ…. හුරතලේට බලෙන්න අත් දෙකම දෙන ලස්සන.

අත් දෙක එකට තියාල බඳින්නද මොඩියේ… අත් දෙකම දික් කරන්නේ…

හුම්…. ආ එහෙනම්…. එක අතක් දික් කරා මගේ දිහාට…

මමත් බැන්දා පිරිත් නූල…. ඇඟිලි දෙක එකට ගැට ගැහිලා කවද හරි හුස්ම නවතිනකං මාත් එක්ක එන්න කියලා හිතින් හිතාගෙන…!!!! – at එක එක විදියට හිතුවම එක එක විදියට හිතෙනවා… ඒත් මේක ඇත්ත කතාවක් නම්…!

%d bloggers like this: