අම්මිත් හඳ වගේ දිලිසෙනවද…?

හඳ…

තාත්තී….

ම්…. ඇයි පැටියෝ…..

අර… හඳ…… අර…. අර…. මගෙ අතින් ඇද ඇද හඳ දිහාට දබරැඟිල්ල දික් කරන් කෑගහන මේ කෙල්ලට ‍තේරෙනවද හිතේ තියෙන ගින්දර..!!!

ලස්සනයි… නේද….?

ඔව්… දූ වගේම ලස්සනයි…

හ්ම්… බොරු කියන්න එපා… තාත්ති කිව්වේ හඳ, අම්මි වගේ කියලනේ…?

මූන බෙරි කරගෙන මගෙ අතට වෙලා නැලවෙන මේ පුංචි පණ්ඩිතකමේ අසීමාන්තික වර්ධනයට වගකියන්න ඕනේ අම්මම තමා. කටින් හැලෙන හැම වචනෙම මතකයේ තියාගෙන ඉඳලා, කලින් කිව්ව දේට පරස්පර දෙයක් කියවෙච්චි ගමන්… හහ්… අම්මි වගේම තමා… ඉතිං ප්‍රශ්න කෝටියයි….!!! පුංචි හිත් වලට තේරෙන්නේ නැහැනේ උපමා උපමේය සමාන වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා කියලා.

කියන්නකෝ… අම්මිත් හඳ වගේ දිලිසෙනවද…?

ඔව්… තාත්ති ගාව ලස්සනට දිලිසෙනවා…!!! ඇයි දූ දැකලා නැද්ද….?

හ්ම්…. නෑනේ…. අර වගේ  කහ පාටට දිලිසෙනවද….?

නෑ… අම්මි දිලිසෙන්නේ රත්තරං පාටට… අතේ තවරලා පෙන්නන්න බැරි පාට ගැන මේ කෙල්ලට කියල දෙනවා කියන්නේ…. හ්ම්… ඒකට අම්මි ඉන්නම වෙනවා. මට තේරෙන්නේ නෑ අම්මිගේ දුවත් එක්ක පන්ඩිත කම් කියවන්න.

තාත්තී….

ම්…. ඒ පාරනම් ලොකූ ප්‍රශ්නයක් වගේ…. චූටි ඇස් දෙක ලොකු වෙලා. මූනත් බොහොම බැරෑරුම් වෙලා.

අම්මි කවදද එන්නේ…?

දන්නේ නෑ කියන්න බැහැනේ. ඉක්මනට එයිනේ…!

කියන්නකෝ….

හෙට හරි අනිද්දට හරි…

අම්මිට හොඳද දැන්….? මේකිත් හරියට පත්තර වලට සාකච්චා එකතු කරන කෙනෙක් වගේ. එකක් ඉවර වෙද්දි එකක්.

මල්ලි බබාව හම්බුවෙලාද දැන්….?

කොහොමද මල්ලි බබාව අම්මිගේ බඩට ගියේ…? අනේ අම්මි ඉක්මනට ඇවිත් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න….! මගේ ගාව මේ අහන පණ්ඩිත ප්‍රශ්න වලට උත්තර නෑ…! අම්මි දන්න බයෝලොජි වලින් උත්තර දෙන්න මේවට.  – at අනාගතයට චුට්ටක් මෙහාට වෙන්න

%d bloggers like this: