නැව්….

නැවක්…

නැව් කිව්වම ඉතිං ගොඩක් දේවල් මතක් වෙනවා. තරුණ වයස ගත කරන කොලුවෙකුටනම් මුලින්ම මතක් වෙන්නේ මහින්ද මහත්තයාගේ නැව් එන්නේ නෑ කියන වරාය ගැන. ඊළඟට මතක් වෙන්නේ නැව නවත්තලා තියෙන වරාය. ඒක හරි ලස්සන තැනක්ලුනේ….

මේ නැව් ගැන කියන්න හිතුනේ… උදේට හවහට දැන් නිතරම දකින් නැව් නිසා. මම මුලින්ම හිතුවේ දුම්රියේ ගමන හරි කරදරකාරී ගමනක් කියලා. යම්තාක් දුරකට ඒක එහෙම තමා. ඒත් උදේ පාන්දරටනම් මුහුද පැත්තෙන් එන හුළං පාර සීතල නිසා එපා වෙන්නේ නෑ. ඉතිං, ඔය බබාලට මතක ඇති, පානදුර මුහුදේ තෙල් නැවක් මුහුදු බත් වුනා කියලා. හැබැයි ඔය නැව තියෙන්නේ අඟුලාන මුහුදු සීමාවේ. ඇයි දන්නේ නෑ පානදුර මුහුදේ කියල කියන්නේ. සමහර විට ගල්කිස්ස වෙරළ සංචාරක නැවැතුම් පොලක් නිසාත්, අඟුලාන ඒ ආසන්නයේම පිහිටා ඇති නිසාත් සංචාරක ව්‍යාපාරයට බලාපෑමක් ඇති වෙයි කියලද දන්නේත් නෑ. ඒ බාගෙට ගිලිච්චි තෙල් නැවේ උඩ කනු ටික නම් උදේ අව්වට දිලිසෙනවා, හරියට මැණික් පොලු වගේ.

කොහොම හරි… උදේට දුම්රියේ යද්දි ස්කෝල යන පුංචි ළමයිනුත් එයාලාගේ අම්මලා, තාත්තලා එක්ක යනවා. ඊයේ… අඟුලානේ පොඩි ළමයෙක් තාත්තගෙන් අහනවා…. තාත්තීතීතීතී…. අර මුහුදේ තියෙන කනු මොනාද..? පොඩ්ඩා පෙන්නුවේ ගිලීගිය තෙල් නැව. නැවේ කනු දිලිසෙන නිසා ඕනේ කෙනෙකුගේ ඇහැ ඒ පැත්තට යනවා. ඉතිං දරුවගේ තාත්තට ඕක තේරුම් කරන්න ටිකක් හිතන්න ඕනේ වුන නිසා… තාත්තගේ යාළුවෙක් දුන්නා උත්තරේ.

ඒ පුතේ තෙල් ළිදක්නේ…. පිටරටවලත් ඔහොම ලොකූ තෙල් ළිං තියෙනවා මූද මැද්දේ…

පොඩි එකා තෙල් ළිං ගැන ඔය ඇහුවමද කොහෙද…. ඊට පස්සේ වචනයක් වත් කතා කරේ නෑ. සමහරවිට බය වෙන්න ඇති….!

ඊට පස්සේ ඊයේ රෑ ගෙදර එද්දිත් නැව් වල ලයිට් දාලා තියෙනවා දැක්කා. එතකොට තමා මං ඉස්සර නැව් ගනන් කරපු හැටි මතක් වුනේ. පොඩි කාලේ බස් වල යද්දි වෙන කරන්න දේවල් නෑනේ. දැංනේ ලොකු ලොකු වැඩ තියෙන්නේ. ඉතිං ඉස්සර මං ගමේ යන්නේ අවුරුද්දකට එක පාරයි. ඒ කියන්නේ ට්‍රිප් එකක් ගියොත් ඇරෙන්න කොළඹ පැත්තට යන්නේ අවුරුද්දකට එක පාරයි. ඒ යන ගමන් ඉතිං පානදුර අළුත් පාරේ මොරටුවට යනකංම කරන්නේ නැවි ගනන් කරන එක. ඒ දවස් වල උපරිම නැව් ගාන උනේ හතයි නැත්තං අටයි. ඒ දවස් වල ඉතිං නැවක් දකින්වා කියන්නේ අරුමයක් වගේ. සමහර වෙලාවට අම්මත් පෙන්නනවා… ආං පුතේ ලොකු නැවක් කියලා.

රෑ නැව්…

ඒ දවල්ටනේ. ගමේ ගිහිං එද්දි රෑට පේන්නේ නැව් වල ලයිට් විතරයි. ඒකත් මාර ගති. ඒ දවස්වල ඉතිං නැව් වල ලයිට් දාලා තියෙන හැටි චිත්‍ර ඇඳලා සමහර ළමයි ලකුණු 80කුත් ගත්තලු. ඒ දවස් වල රෑට නැව් තිබුනේ සෑහෙන දුරින් දුරින්. තැනින් තැන…. ඒක නිසා ඉතිං චිත්‍රය අඳින්න ලේසි වුනා. ඒකට දැන්…!!! දැන් චිත්‍රය අඳින්න අමාරුයි කියලද හිතන්නේ නැව් වැඩි නිසා…

නෑ… නෑ… දැන් ඊට වැඩිය ලේසියි. තද නිල් මූදයි… අළු-කළු අහසයි ඇඳලා ක්ෂිතිජයෙන් කහ-සුදු රේඛා දෙකක් එක මත ඇන්දනම් චිත්‍රෙ පිනිස්….!

ඉස්සර වගේ නෙමේ… දැන් මූදේ නැව් වැඩි වෙලා. ගොඩක්….!!! ඉස්සර අමාරුවෙන් හොය හොය ගනන් කරාට, දැන් ගනන් කරන්න බැහැ. 10ක් ගනින කොට තව එකක් මැද්දට පාත් වෙලා…! කොහොමහරි ඉස්සරට වැඩිය ලංකාව සංවර්ධනය වෙලා…!

 

%d bloggers like this: