ජෝර්ජිනාට පෙම් කල කාලේ… දැන් ඉඳ හිටවත් මතක් වෙන්නේ නෑනේ….

දකුණේ සිට දෙවෙනියට ඉන්න මගේ ක්‍රෂ් එක… 😀

එහෙමත් ක්‍රෂ් එකක්….! රන් පාටයි දුඹුරු පාටයි මික්ස් වෙච්චි ක්‍රේල් කොන්ඩෙ…. ආව්… හරියට නිකං කපුටු කූඩුවක් වගේමයි. චූටි කලිසම් කෑල්ලක් ගහගෙන, මෝඩ පාට  සපත්තු දෙකකුත් දාගෙන අර ලොං බේරෙන හුරතල් බල්ලෙකුත් නටපු නාඩගමක්…! මට කීපාරක් නම් හිතුනද ඒ බල්ල මං උනා නම් කියලා… හ්ම්… ඌව ඉඹ ඉඹ හුරතල් කරද්දි මං කීපාරක් නම් පුටුවෙන් නැගිටලා ගියාද…!!! කී පාරක් නම් අහක බලාගත්තද…!!!

නොදන්න කාලේ කොන්ඩෙටයි දාංගලේටයි ඇතිවෙච්චි ආදරේ  මම කොහොම නම් අමතක කරන්නද…? එහෙම කරන එක කොහොමත් අසාධාරණයි. ලඟ පාතක නොහිටියත්, දුර ඈත රටක යාළුවෝ එක්ක හිටියත් මාත් ලව් කරා නෙව ඒකිට. අනේ අම්මපා… ඒ දවස් වල මගෙ හිත කොයි තරම් නම් අවුල්ද. හය වසරෙ වාර විභාගේ ලියන්න ගිහිං මං කොයිතරම් නම් ඒ ළමයා ගැන හිතුවද…? ඒ හින්දම චිත්‍ර පේපරේ කෙල්ලෙක්ගේ මූනක් අඳින්න ගිහිං කොයි තරම් නා ගත්තද…!!! සෙනසුරාදා ගණන් පන්තියට යන්න බෑ කියලා බොරු බඩේ අමාරු අරගෙන දවස් කීයක් නම් ගෙදර නැවැතුනාද… ඒ හැම දවසකම අම්මගෙන් කොයි තරම් බැණුම් ඇහුවද.. තව ඩිංගෙන් ගණනුත් ෆේල් වෙනවා. යන්තං අම්මා ටොකු ඇනලා ඇනලා ගණන් පාස් කෙරෙව්වා. නැත්තං ඉතිං එයා එනවැයි මට ගණන් කියලා දෙන්න එක්සෑම් වෙලාවට.

ඔය ඔක්කෝමත් හරි… එයාගේ කටහඬට තමා මං වැඩියෙන්ම ආසා… හුරතල් හීනි කට හඬ තාම නිකං ඇ‍හෙනවා ඇහෙනවා වගේ. අනේ මන්දා ඒ දවස් වල මොනා වුනාද කියලා. මං පට්ට බයේ හිටියේ ජුලියන් ගැන. මට හිතුනෙම ඌ ජෝර්ජිනාව යාළු කරගනියි කියලා. ජුලියන් ඒ දවස් වල මට වැඩිය උසත් එක්කනේ. කමක් නෑ මට වෙලාවට කතාවේ අන්තිම හරිය මිස් වුනා. නැත්තං මං පපුව පැලිලා මැරෙයි…! ඊට පස්සේ ඉතිං ආයෙ අටේදි, දහයෙදි එහෙමත් ඕක බැළුවට, මයෙ ජෝර්ජිනා නම් චුට්ටක් වත් වෙනස් වෙලා තිබුනේ නෑ… ඉස්සර විදියමයි. ඒත් ඉතිං මං ටික ටික ලොකු වෙද්දිත් එයා එකම විදියට ඉද්දි මටම එපා වුනාද කොහෙද… හ්ම්… මට පුළුවනෑ ලොකු මහත් වෙන්නේ නැති කෙල්ලෙකුට ලව් කරන්න… ඒක නිසා මං එයා ගැන තිබුන අදහස අකා මකා දාලා හිතින් බැඳගෙන හිටිය කසාදෙත් කටුගාලා දැම්මා… දැන් නම් ඉතිං ටීවී බැලෙන්නේ නැති නිසා ඒකිව මතක් වෙන්නේ එහෙමත් වෙලාවක තමයි…. මොනා වුනත් නම වගේම තමා හැඩත්… පට්ට ජෝරිජියස්… හොර කෙල්ල… දැන්නම් බැඳලත් ඇති… පඩිපෙල ​වගේ ළමයිනුත් ඇති… 😀 – at අම්මා…, මට ආයෙත් චූටි කාලෙට යන්න ඕනේ…..

 

 

%d bloggers like this: