අම්මලා දෙන්නෙක්, පුතාලා හතර දෙනෙක් ගැන….

ආ.. මෙන්න කෑම දෙක…. සල්ලි කීයක් ඕනෙද….?

රුපියල් දෙසීයක් දෙන්න….

ඉන්න මං අරගෙන එන්නම්….

එක ගෙදරක දවසේ කාර්යයබහුලම වෙලාව. පාන්දර හතරාමාරේ සිට උදේ හයාමාර වෙනකං ගෙවෙන ප්‍රබෝධමත් දෙපැය.

හොඳම බැංකුව…. 🙂

ඒ අම්මයි තාත්තයි නැගිටලා කරදඬු උස්වෙච්ච කොල්ලෝ දෙන්නට ඔෆිස් ගෙනියන්න කෑම ලෑස්ති කරලා බත් මුල් බැඳලා දීලා… ඒ මදිවට උංට රස්සාවලට යන්න තව සල්ලිත් දෙනවා. නාස්තිතාරයෝ දෙන්නෙක්ද කොහෙද. නැත්තං ගෙදරින් සල්ලි දෙනකං ඉන්නවැයි…! බාගදාට ගෙදරින් සල්ලි නොදුන්නොත් උං දෙන්න රස්සාවලට යන එකකුත් නෑ. අනේ මෙහෙමත් ළමයි…! දෙන්නගෙන් එකෙක් වත් ගෙයින් එලියකට බහින්නේ නෑ නිවාඩු දවසකටවත්. අපි ගෙදරට ගියත් දෙන්නම කොම්පියුටර් එකේ මූන ඔබාගෙන අහන දේකට උත්තර දෙනවා මිසක් වචනයක් කතා කරන්නේ නෑ… මහ අමුතු ළමයි. හැමදාම උදේට ගෙදර මිනිස්සුම අහලා සල්ලිත් දීලා රස්සාවලට යැව්වම මහ රෑ වෙලා ගෙවල් වලට එන්නේ. සමහරවිට කන මතයෝ වගේ බොනවත් ඇති. ඒකනේ රෑ නවය දහය වෙලා ගෙදර එන්නේ.

ලොකූ… ආ… සල්ලි… මල්ලිත් එනකං ඉන්නවද…?

බෑ මට පරක්කු වෙනවා… ඌ ආපුදෙන්….

අන්න අර ගෑණු එක්කෙනා අදත් යනවා ගේ දිහා බල බල… එන ගමන් එයි…

හික්ස්… ඉතිං අම්මගේ මහ ලොකු යාළුවොනේ….

පේනවනේ තමන්ගේ මල්ලිට කතා කරන හැටි. ස්කෝලෙ ගිහිං විභාග පාස් කරාට කතා කරන්න දන්නේ නෑ. අම්මලා තාත්තලා කොයි තරම් හොඳ වුනත් දරුවෝ නම් අන්තිමයි. ගෙදර ඔහොම නම් එලියේ කොහොම ඇත්ද. ස්කෝලේ යනවා වගේ බෑග් එක කාරේ දාගෙන උදේට යද්දි හිතන් ඉන්නේ තාම පොඩි එවුන් කියලා. මුං පැහිලා වැඩියි. කොල්ලෝ නෙමේ කොලු තාත්තලා. පවු අර අම්මයි තාත්තයි.

අදත් රෑ වෙනවද පුතේ….?

ඔව් අම්මේ… රෑ වෙයි… ඔෆිස් එකේ වැඩ ටිකකුත් තියෙනවා… පුළුවන් වුනොත් ක්ලාස් එකේ වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් කරගන්නවා ටිකක් ඉඳලා. ගෙදර ඇවිත් කරන්න බෑ මහන්සියිනේ…

අදත් එන ගමන් අරවා මේවා කාලා එහෙම එන්නේ නෑ… හොඳද…

හරි.. හරි… මං යනෝ…

ආහ්…. පුතාලා ගියා නේද…? මාර ළමයි නේද…? තාමත් ඔයාලනේ එයාලට බස් එකේ යන්න සල්ලි දෙන්නේ… මං අහගෙන හැම දාම වගේ ඔයාල සල්ලි කීයක් ඕනෙද කියලා අහලා සල්ලි දෙනවා. හම්බුකරන ඒවායැන් මොනාද අනේ කරන්නේ? බොනවාද එයාලා..? ෆෝන් එකටත් සෑහෙන ගානක් යනවා ඇති මල් කඩන්න එහෙම නේද…? අපේ පුතාලනම් පඩි ගත්තම ගෙදර වියදමට කියලා රුපියල් දෙදහාක් විතර දෙනවා. ඉතුරුවැයි ඉතිං ඇඳුම් ගන්නවා, බස් වලට වියදම් කරනවා, යාළුවෝ එක්ක පාටි දානවා… එක එක ඒවා. ඉතුරු කරන්නෙත් නෑ අනේ… ඉතුරු කරන්න දෙයක් නෑනේ කොහොමත් වියදමත් ටිකක් වැඩි නිසා…  ඒ වුනාට අපි සල්ලි දෙනකං බලාගෙන ඉන්නෙ නම් නෑ උදේට වැඩට යන්න.

ඔයාලා ලොකු එක්කකෙනා නම් හැමදාම වගේ රෑ වෙනවා නේද..? අපේ පුතාලා නම් පාටි දවස් වලට එහෙම ඇරෙන්න රෑ වෙන්නෙ නෑ. පහා හාමාර වෙද්දි එනවා… ඇවිල්ලා ඉතිං නා කියා ගෙන තමා යාළුවන්ගේ ගෙවල් වල යන්නේ… ඒ ගිහිල්ලා ඉතිං කැරම් ගහලා ගහලා බඩගිනියි අම්මේ කියාගෙන එනවා රෑ දහයට විතර. පවු අනේ… දුක හිතෙනවා දාඩිය දාගෙන එද්දි…

හ්ම්… පවු නේන්නම් දැන් කාලේ ළමයි. ඉස්සර වගේ නෙමේනේ… සංකීර්ණ වෙලානේ ලෝකය…

පුතාලා ඇයි වැඩිය එලියට බහින්නේ නැත්තේ… බැලුවොත් කොම්පියුටරේමයි… නේද..? මොනවා කරනවද දන්නේ නෑ…? ඔයාල බනින්නේ නැද්ද…? මම ලොක්කව දැකලා නෑ මාස හයකින් විතර. අන්තිමට දැක්කේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ තව යාළුවෙක් එක්ක ඇලේ ගිහිං මානෙල් වගයක් කඩාගෙන එද්දි. පවු නේද ඒ ළමයි… ඉස්සර ඉඳන්ම ගේ අස්සෙමයි. වැඩිය යාළුවොත් නෑ නේද..?

හ්ම්… එයාලට ඉතිං යාළුවෝ කියලනම් මහ ගොඩ දෙනෙක් නෑ තමා.

ඒකනේ… මට හිතුනා. ඒක නෙමේ… පුතාල ගෙදරට කීයක් වත් දෙන්නේ නැත්ද…? ඔයාලා අපරාදේනේ උදේට නැගිටලා මහන්සි වෙලා උයලා දෙන්නේ. කඩෙන් කන්න කියන්න තිබුනේ. ඔහොම දරුවන්ට ඔයාලා කරන හරිය වැඩියි. පාඩමක් උගන්නන්න තිබුනේ. අපේ ළමයි බීලා ආවොත් නම් මං පහුවෙනිදට උයන්නේ නෑ… බීපු තැනකින්ම කාපන් කියනවා. ඔයාලෑ ළමයි බොනවද…?

ලොකු එක්කෙනා නම් ඉඳලා හිටලා බියර් එකක් බොනවා. බිව්වත් ඇවිල්ලා කියනවා ලඟදී ඉඳන්.

මෙච්චර තමා…

හ්ම්…. අපේ අයනම් එන්නේ යාළුවොන්ගේ කර පිටින්. එයාලා ඉතිං බියර් බොන්නේ නෑනේ. ඒවා සැර මදිලු. බ්‍රැන්ඩි, විස්කි වගේ ඒවලු බොන්නේ. ඒකට තමා අනේ ගොඩක්ම වියදම් කරන්නේ දෙන්නම. කිව්වට අහන්නේ නෑනේ…. ඉතිං ඔයා කිව්වේ නෑනේ ඇයි හැමදාම එයාලට සල්ලි දෙන්නේ කියලා… මං නම් කියන්නේ දවසක් දෙකක් නොදී සල්ලි නොදී ඉන්න. එතකොට මට්ටු වෙලා සල්ලි ඉතුරු කරගනියි බස් එකේ යන්නවත්. ඇඳුම් ගන්න එහෙමත් ඔයාලනේ වියදම් කරනවා ඇත්තේ… ඔයාලා පවු අනේ… පුංචි කාලේ ඉඳන් ලොකු මහත් කරලා තාමත් අතට සල්ලි දෙනවානේ…

නෑ අනේ… දෙන්නම පඩි ගත්ත ගමන් පේ ෂීට් දෙකයි සල්ලියි මට ගෙනත් දෙන්නේ. ඒකෙන් ටික ටික දෙන්නගේ පොත් දෙකට දානවා. ලොකු එක්කෙනාට නම් එක්සෑම් වගේකට සල්ලි තියාගෙන ඉන්නවා. ඒවා පොත් වල දාලා කරදරයිනේ ආයේ ගන්න ගියාම. ඔය උදේට මගේ ගාව තියෙන එයාලගෙම සල්ලි තමා මං දෙන්නටම දෙන්නේ. එයාල ගාව තිබ්බම එක එක ඒවාට වියදම් වෙනවයි කියලා මගෙ ගාව තමා රස්සාවට ගියදා ඉඳන්ම සල්ලි තියන්නේ. ගෙදරටත් ඉතිං අමුතුවෙන් දෙනවා කියලා එකක් නෑ… අපි ඕනේ වෙලාවට ගන්නවා, අරගෙන එයාලට කියනවා. එච්චරයි….!!!

හා… එහෙමද… හරි එහෙනම් මං ගිහිං එන්නම්… අපේ එවුන් දෙන්නා තාම නිදි ඇති. කූද්දන්න ඕනේ… නැත්තං අදත් ලේට් කමිං වැටුනා කියයි….!!! මං එන්නම්කෝ දෙන්නම ඉන්න වෙලාවක බලලා යන්න… – at  කතාවේ දෙවෙනි දවසේ කෑල්ලත් ලියනවාදෝයි සිතමින්…

 

 

%d bloggers like this: