පුංචි පුංචි වැහි බිංදු බෝගහ යට හිටිය මගේ මූනට වදිද්දි දැනුනේ චූටි තියුණු උල් තියෙන ඉඳිකටු වලින් මූනට අනිනවා වගේ.
උදේ ඉඳලම අහස කලු කරලා තිබුනට මේතරම් ඉක්මනට වහියි කියලා හිතුවේ නෑනේ. එහෙම දැනගෙන හිටියානම් මං දහම් පාසල් යනවැයි…! ගෙදරට වෙලා ඔළුවේ ඉඳන් පොරෝගෙන කොට්ට දෙකත් සැපට හේත්තු කරගෙන නිදාගන්නවා මිසක්. දැං ඉතිං කරන්න දෙයක් නෑ දහම් පාසල් ආවනම් ඉතිං ඉවර වෙලාම තමා යන්න වෙන්නේ.
මේහ්… මොනාද ඔය බෝ ගහ දිහා බලාගෙන කල්පනා කරන්නේ…? මේ ඩෙස් එක ඇතුලට ගෙනියන්න උදවු වෙන්නකෝ…
ඒ මොකටද මං අල්ලන්නේ…? අනිත් අයට කියන්න… අවුරුදු ගානක් දහම් පාසල් ගියාට, කයෙන් වචනයෙන් දහම් පාසලේදී විතරක් හික්මෙව්වට හිතේ තියෙන දබඩ්ඩරකම යවන්න පුළුවනෑ පොඩි හාමුදුරුවන්ට. මං නම් නෙවෙයි ඔය ඩෙස් එක අල්ලන්නේ… හ්ම්… අහසින් වැටෙන වතුර බිංදු සමරහවිට ගොඩක් ලොකු ඇති. ඒවා මේ තරම් පුංචි වෙනවා ඇත්තේ, අර ටීවී එකේ පෙන්නුවා වගේ තරු වල කෑලි වායු ගෝලෙට ඇතුලු වෙද්දි රත් වෙලා කෑලි වලට කැඩිලා යනවා වගේ දෙයක් වෙන නිසා වෙන්න ඇති. ඒත් වතුර බිංදු සීතලම සීතල නිසා සමහරවිට වාෂ්ප වෙන්නේ නැතුව ඇති. ඒක තමා මේ ඉඳිකටු වගේ ඇනෙන්නේ… එහෙම නැත්තං බෝ කොල වල වැදිලා වතුර බිංදු තවත් බිංදු වලට කැඩිලා වැටෙන නිසා වෙන්නත් ඇති.
අනේ… එන්නකෝ… මේ ඩෙස් එක අල්ලන්න… අනිත් ඔක්කොමලා ඇතුලට ගිහිං…. එන්නකෝ…
මට බෑ… ඔයාට ඕනෙ නම් ගෙනියන්න… මේක මාර වදයක්නේ… වෙන යාළුවෝ නැද්ද… එයාල යන්න කලින් ඩෙස් එක අල්ලන්න කෙනෙක්ව කතාකරගන්න තිබුනනේ… ඉතිං, මේ වතුර බිංදු බෝ කොල වලට වැටිලා ඊට පස්සේ මොකද වෙනවා ඇත්තේ…? ඒවා ගස් දිගේ බේරිලා, කොල වලින් බිමට වැටිලා එහෙම පොළොවට උරාගන්නවා ඇති. හා… හරි… ඊට පස්සේ තමා අපේ ලිං වලට වතුර එනවා ඇත්තේ…
මොකද්ද අනේ… තෙමිලා අපි ලෙඩවෙයි මෝඩයෝ… මේක අල්ලනවකෝ….
හයියෙන් වහින්නේ නෑනේ හලෝ… වැස්ස නැවැත්තුවම ආයෙ ඩෙස් අදින්න වෙනවනේ… ඒත් ඒ විදියට අහසේ තියෙන ඔක්කොම වතුර පොලොවට උරාගත්තම ආයෙම වහින්න වතුර නැහැනේ අහසට… එතකොට කොහොමද වහින්නේ…!!! හරිනේ…. ඉර අව්ව තියෙන වෙලාවට ලිං වලයි, ගංගා වලයි තියෙන වතුර ගිනි රස්නෙට වාෂ්පවෙලා යනවනේ… ඊට පස්සේ ඉතිං ආයෙම වහින්න පුළුවනිනේ. ඒ ඇරත් මූදේ තියෙන්නේ ඕනේ තරම් වතුර.
අනේ සංසාරේ මෙහෙමත් යාළුවෝ… මෙහෙ එනවා ඕයි මේක අල්ලන්න….
සංසාරේ…? මොන…? මං පොඩි හාමුදුරුවෝ කියල හිතුවද…? ආනේ… ඔයා තෙමිලනේ… මෙච්චර වෙලා මොනාද තෙමී තෙමී කරේ…?
බූරුවෝ… මං විතරද තෙමිලා තියෙන්නේ… තමුසෙත් තෙමිලා… දැන්ද සිහිය ආවේ… එනවා යන්න මෝඩ රජා… අර හීතල වහි බිංදු වලින් හීතල වෙලා ගැහී ගැහී තිබුන අත අයන් එකක් වගේ රස්නේ අතකින් අල්ලද්දි…
අම්මෝ අතේ රස්නේ… ලිබ්බොක්කේ තිබිලද අත්දෙක ගත්තේ…
අනේ… මෙන්න මෙහෙ එනවා යන්න ධර්මශාලාවට… බලනවා තෙමිච්ච කුකුලා වගේ… ඔය බලනවා සරමේ හැටි, වැලි විසික් වෙලා…
ආහ් වැලි විසික් වුනාට කමක් නෑ… මං හිතුවේ කලිසම දකියි කියලා…
මෙන්න මෙහෙ එනවා ඕයි යන්න. පොඩි එකෙක් වගේ තවත් තෙමෙන්නේ නැතුව. පිස්සු හටන.
මුහුදේ තියෙන වතුරත් ගිනි රස්නේ වෙලාවට වාෂ්ප වෙලා යනවා ඇති. ඊට පස්සේ තමා අහසේ හීතලට ඒවා එකතු වෙලා වලාකුලු හැදෙනවා ඇත්තේ…. එතකොට ඩෙස් එක…
ඒක ගන්නවා කරට… මං යනවා යන්න.
යනවා… ඉතිං… මාව ඇදගෙන කොහෙද දුවන්නේ… අත අතාරිනවා… මෙතෙන කාමේසු මිච්චාචාර කරන්නද හදන්නේ…? මේ මහ වැස්සේ…?
එහෙනම් තනියම එනවා… මං යනවා…
එතකොට මේ ඩෙස් එක….. මං කෑගැහුවා… ඒක ඇහෙන්න ලඟ පාතක ඉන්න එපැයි… ළමාසාරියත් පටලෝ ගෙන කොහොම දිව්වද මන්දා එච්චර වේගෙන්. සරම ඇඳන් මං දිව්වොත් නම් බිම තමා. ඒ නැතත් වැලි නාන්න වෙනවා. එහෙනම් ඒ හීතල වලාකුලු වල වතුර තමා ආයෙම බිංදු බිංදු වෙලා ගස් අස්සෙන් මගේ ඇඟට ඉඳිකටු වගේ වැටෙනවා ඇත්තේ. ඊට පස්සේ ආයේ පොළොවට…
හ්ම්.. දැන් නම් වැස්ස ටිකක් අඩුයි… දැන් ඉතිං ඔය ගෙනිච්ච ඩෙස් ටිකයි පුටු ටිකයි ආපහු ගේන්න එපැයි. ඔය ටික වෙන බව දන්න නිසා තමා මං ඩෙස් එක ගෙනිච්චේ නැත්තේ… ඒකත් හොඳයි…
මෙන්න වාඩි වෙනවා… තමුසෙගෙ පුටුවත් ගෙනවා මං…. බෝ ගහ දිහා බලාගෙන මගුලක් කරනවද තව… වාඩිවෙන්න ඉතිං… අන්න ඔයාගේ මහ ලොකු යාළුවෝ ටික ඔයාව දාලා කඩේට ගියා. හැබැයි තව පොඩ්ඩකින් පොඩි හාමුදුරුවෝ එයි…
කොහෙද අර මහ වැස්සේ මගේ අතින් ඇදන් දුවන්න හැදුවේ…? මේක පන්සලක්…. පාක් එකක් කියලා හිතුවද…
ඔයා තෙමෙන නිසානේ ඇදන් දිව්වේ… අපේ අම්මලාත් එක්ක ලබන සතියේ මල්වත්තේ යනවා. ඕනෙ නම් යමු… මං කියන්නම් අම්මට…
ඈහ්… ඒ මොකටද ආයෙමත් මගෙ අතින් ඇදන් දුවන්නද…?
අනේ ඇදගෙන යන්නම අත… මෙන්න මෙහෙන් වාඩි වෙනවා…
වාඩි වුනා නෙවෙයි, වාඩි කෙරෙව්වා… හීතලට වහින වැස්සයි, පොඩි හාමුදුරුවෝ කියන සංසාර චක්කරේයි…. මේ කෙල්ලයි තුනම එකයි… අනේ මන්දා… කය, වචනය කෙසේ වෙතත් සිත නම් හික්මවනවා බොරු… ඩෙස් එකට එහායින් තෙත් වෙලා දුඹුරු පාට වෙච්චි සුදු වැල්ලේ මගේ උණුසුම් අඩිපාර හිටලා… ආහ්… තවත් අඩි වගයක් තියෙන්නේ… මේ මෝඩිගේ නේද… ම්… රස්නේ ඇති… අල්ලලා බලන්න විදියක් නැහැනේ…!!!
2012 අගෝස්තු 11 දින පෙ.ව. 6:30 ට
ubata asanipayakda ban ?
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:37 ට
ඔව් බං එක එක ඒවා හිතෙනවා වැඩියි… 😀
2012 අගෝස්තු 11 දින පෙ.ව. 6:42 ට
පාන්දරම මොකුත් කියන්න කම්මැලියි. ඒත් සුපිරි. ආසාවෙන් කියෙව්ව.
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:37 ට
මං හිතුවේ මං විතරයි කම්මැලි කියල…
2012 අගෝස්තු 11 දින පෙ.ව. 6:51 ට
සුළං තදින් වැදෙන කොට වෙරළේ වැලිත් ඇවිත් වදින්නේ චූටි චූටි ඉඳිකටු ඇනෙනවා වගේ … ලියලා තියෙන හැටි ලස්සනයි මාළුවෝ.
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:38 ට
වැලි කැට වදින හැටිනම් ඉමැජින් කරන්න පුළුවන්… ස්තූතියි අක්කේ…
2012 අගෝස්තු 11 දින පෙ.ව. 6:59 ට
ලස්සන කතාව…. අපේ පොඩිකාලේ මුරන්ඩු හිත මතක් වෙනව, එ කාලේ කවුරු මොනව කිව්වත් කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැනේ,අපිට ඔනේ දෙ විතරයි අපි කරන්නේ…හි හ්..හි… මටනම් ඔයවගේ අත්දැකිම් නැහැ (මම ජිවිතේට වැස්සකටවත් දහම් පාසල් ගිහින් නැහැ…හි..හ් හි) එත් කතාව කියවනකොට චිත්ර හිතේ ඇඳිනව…..
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:39 ට
ඒ දවස් වල වගේ හිත දැනුත් තිබ්බනම් එහෙම මරු..
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:26 ට
සිතුවිලි සිත්තම්..
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:39 ට
හරියට හරි… 🙂
2012 අගෝස්තු 11 දින පෙ.ව. 8:34 ට
ඩෙස් එකට එහායින් තෙත් වෙලා දුඹුරු පාට වෙච්චි සුදු වැල්ලේ මගේ උණුසුම් අඩිපාර හිටලා… ආහ්… තවත් අඩි වගයක් තියෙන්නේ… මේ මෝඩිගේ නේද… ම්… රස්නේ ඇති… අල්ලලා බලන්න විදියක් නැහැනේ…
ලස්සනට ලියලා……… උදේ පොඩි වැහබර ගතියක් තිබුනා ……. මේ කතාව ඒකටම ගැලපුනා
2012 අගෝස්තු 11 දින පෙ.ව. 9:01 ට
ස්තූතියි නාමල් අයියේ….
2012 අගෝස්තු 11 දින පෙ.ව. 9:08 ට
මේකෑ සෙං කෝප වෙලා… ඒකයි ඕම හීන පේන්නේ !!!!
2012 අගෝස්තු 11 දින පෙ.ව. 11:50 ට
බේතක් කියපං බලන්න… 😀
2012 අගෝස්තු 11 දින ප.ව. 12:13 ට
මේක සිතුවිල්ලක් විතර ද ???
බේතක් කියන්ඩ වෙන්නේ මලයගෙන් අහලා තමා.
2012 අගෝස්තු 11 දින ප.ව. 12:15 ට
ඔව්… සිතුවිලි වලට බෙහෙත් නැතුව ඇති 😉
2012 අගෝස්තු 11 දින පෙ.ව. 10:14 ට
ෂෙහ්ඃ …. මුං දහම් පාසල් ගිහිල්ලත් හිරිපොද වැස්සෙ තෙමි තෙමි ලව් කරල. 😀
2012 අගෝස්තු 11 දින පෙ.ව. 11:51 ට
හික්ස්… කොහෙද ඉතිං ඉරිදට ගෙදර ඉන්න දුන්න එකක්යැ…
2012 අගෝස්තු 11 දින පෙ.ව. 11:11 ට
මචාන් මේ යශෝදරාවතේ කෑල්ලක් ද?? නැත්තනම් අක්කා කේස් එකක්ද ???
බලං ගියාම අපි හැමෝම මනෝ පාර ගහන්න ගත්තාම එකම වගේ නේ
2012 අගෝස්තු 11 දින පෙ.ව. 11:51 ට
යශෝධරා දහම් පාසල් ගිහිං නෑ බං. සිරාවටම. නිකං මනෝ කේස් එකක්…. 😀
2012 අගෝස්තු 11 දින ප.ව. 5:21 ට
සංසාරේ….. කොහෙද ඉතිං උඹ ඒ වගේ වැදගත් දේවල් වලට ඒ කෙල්ලව යොමු කරලා නෑ නේ………..
සාදු වැඩේ බොට… ඔය ඒ කාලේ කරපු පව් තමයි දැන් පඩිසන් දෙන්නේ…
😀 😀 😀 😀 😀 😀 😀
2012 අගෝස්තු 12 දින ප.ව. 3:18 ට
එතකොට බක්ති ගීත කිව්වේ. වෙන්න නැන්දම්මා වෙන්න ඇති නේ? 🙂
2012 අගෝස්තු 12 දින ප.ව. 4:55 ට
අඩෝ උඹට ඒකත් මතකද බං… ඒ භක්ති ගීත කිව්වේ ස්කෝලේ තිබ්බ තරඟයකට බං…
2012 අගෝස්තු 11 දින ප.ව. 6:00 ට
මේ ලඟකදී ඉඳන් උඹට මොකක් වෙලාද….හික් හික් මරු ඈ….
2012 අගෝස්තු 11 දින ප.ව. 6:16 ට
කම්මැලි කම මයිනද් යද්දි තමා ඔහොම ඒවා ලියවෙන්නේ…
2012 අගෝස්තු 11 දින ප.ව. 6:12 ට
මාලුවා කම්මැලි නැතිව ලියන වෙලාවට උපරිමයි! චිත්ත රූප මැවෙන්න ලියනවා!
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
2012 අගෝස්තු 11 දින ප.ව. 6:21 ට
තෑන්ක්ස් අයියේ…
2012 අගෝස්තු 11 දින ප.ව. 8:09 ට
ආයෙත් රොමෑන්ටික් පොස්ට් එකක්……. 🙂
2012 අගෝස්තු 12 දින ප.ව. 4:54 ට
හැමදාම ලියවෙන්නේ නැති එකේ… ලියවෙද්දි ඇරලා දානවා…
2012 අගෝස්තු 11 දින ප.ව. 9:14 ට
පරණ කෑල්ල මතක් වෙලාද කොහෙද මුට
2012 අගෝස්තු 12 දින ප.ව. 4:54 ට
නෑ නෑ බං මේ නිකං… එකක්… අර නිර්මාණයක් පමණි කියන්නේ… 😀
2012 අගෝස්තු 12 දින ප.ව. 3:19 ට
කාලය මැව් වෙනසක අරුමේ…
2012 අගෝස්තු 12 දින ප.ව. 4:56 ට
ඒක නම් ඇත්ත…. ඉස්සර කවියක් ලියාගන්න බැරුව හිටිය කොල්ලෝ දැන් ලියන එව්වා…
2012 අගෝස්තු 12 දින ප.ව. 8:25 ට
සහතික ඇත්ත..
2012 අගෝස්තු 13 දින පෙ.ව. 10:11 ට
හරිම රොමැන්ටික් සිතුවිලි නේ..සංසාරේ..:)
2012 අගෝස්තු 13 දින පෙ.ව. 11:05 ට
කම්මැලි නැති වෙලාවනේ අක්කේ….
2012 අගෝස්තු 13 දින පෙ.ව. 11:03 ට
//හීතලට වහින වැස්සයි, පොඩි හාමුදුරුවෝ කියන සංසාර චක්කරේයි…. මේ කෙල්ලයි තුනම එකයි…//
අනේ සංසාරේ…. 🙂
2012 අගෝස්තු 13 දින පෙ.ව. 11:06 ට
තුනම එකයි… චක්කරම තමා… කැරකෙනවා කැරකෙනවා ඉවරයක් නෑ…
2012 අගෝස්තු 13 දින ප.ව. 2:27 ට
මුළු ලෝකෙම ගැන කතාකලාට ඉවර වෙන්නේ අර පුංචි අඩි සලකුණු ලඟින්.. හ්ම්ම්. සංසාරේ බොහොම දිගයි බොහොම දිගයි දරුවා..
2012 අගෝස්තු 13 දින ප.ව. 2:34 ට
ඒක නම් ඇත්ත… සංසාරේ ඉන්නකං තව කී පාරක් වැස්සේ තෙමෙන්න පුළුවන් වෙයිද ඔය වගේ…. 😉