සංසාරේ…..!!!

ඉඳිකටු තුඩවල්…

පුංචි පුංචි වැහි බිංදු බෝගහ යට හිටිය මගේ මූනට වදිද්දි දැනුනේ චූටි තියුණු උල් තියෙන ඉඳිකටු වලින් මූනට අනිනවා වගේ.

උදේ ඉඳලම අහස කලු කරලා තිබුනට මේතරම් ඉක්මනට වහියි කියලා හිතුවේ නෑනේ. එහෙම දැනගෙන හිටියානම් මං දහම් පාසල් යනවැයි…! ගෙදරට වෙලා ඔළුවේ ඉඳන් පොරෝගෙන කොට්ට දෙකත් සැපට හේත්තු කරගෙන නිදාගන්නවා මිසක්. දැං ඉතිං කරන්න දෙයක් නෑ දහම් පාසල් ආවනම් ඉතිං ඉවර වෙලාම තමා යන්න වෙන්නේ.

මේහ්… මොනාද ඔය බෝ ගහ දිහා බලාගෙන කල්පනා කරන්නේ…? මේ ඩෙස් එක ඇතුලට ගෙනියන්න උදවු වෙන්නකෝ…

ඒ මොකටද මං අල්ලන්නේ…? අනිත් අයට කියන්න… අවුරුදු ගානක් දහම් පාසල් ගියාට, කයෙන් වචනයෙන් දහම් පාසලේදී විතරක් හික්මෙව්වට හිතේ තියෙන දබඩ්ඩරකම යවන්න පුළුවනෑ පොඩි හාමුදුරුවන්ට. මං නම් නෙවෙයි ඔය ඩෙස් එක අල්ලන්නේ… හ්ම්… අහසින් වැටෙන වතුර බිංදු සමරහවිට ගොඩක් ලොකු ඇති. ඒවා මේ තරම් පුංචි වෙනවා ඇත්තේ, අර ටීවී එකේ පෙන්නුවා වගේ තරු වල කෑලි වායු ගෝලෙට ඇතුලු වෙද්දි රත් වෙලා කෑලි වලට කැඩිලා යනවා වගේ දෙයක් වෙන නිසා වෙන්න ඇති. ඒත් වතුර බිංදු සීතලම සීතල නිසා සමහරවිට වාෂ්ප වෙන්නේ නැතුව ඇති. ඒක තමා මේ ඉඳිකටු වගේ ඇනෙන්නේ… එහෙම නැත්තං බෝ කොල වල වැදිලා වතුර බිංදු තවත් බිංදු වලට කැඩිලා වැටෙන නිසා වෙන්නත් ඇති.

අනේ… එන්නකෝ… මේ ඩෙස් එක අල්ලන්න… අනිත් ඔක්කොමලා ඇතුලට ගිහිං….  එන්නකෝ…

මට බෑ… ඔයාට ඕනෙ නම් ගෙනියන්න… මේක මාර වදයක්නේ… වෙන යාළුවෝ නැද්ද… එයාල යන්න කලින් ඩෙස් එක අල්ලන්න කෙනෙක්ව කතාකරගන්න තිබුනනේ… ඉතිං, මේ වතුර බිංදු බෝ කොල වලට වැටිලා ඊට පස්සේ මොකද වෙනවා ඇත්තේ…? ඒවා ගස් දිගේ බේරිලා, කොල වලින් බිමට වැටිලා එහෙම පොළොවට උරාගන්නවා ඇති. හා… හරි… ඊට පස්සේ තමා අපේ ලිං වලට වතුර එනවා ඇත්තේ…

මොකද්ද අනේ… තෙමිලා අපි ලෙඩවෙයි මෝඩයෝ… මේක අල්ලනවකෝ….

හයියෙන් වහින්නේ නෑනේ හලෝ… වැස්ස නැවැත්තුවම ආයෙ ඩෙස් අදින්න වෙනවනේ… ඒත් ඒ විදියට අහසේ තියෙන ඔක්කොම වතුර පොලොවට උරාගත්තම ආයෙම වහින්න වතුර නැහැනේ අහසට… එතකොට කොහොමද වහින්නේ…!!! හරිනේ…. ඉර අව්ව තියෙන වෙලාවට ලිං වලයි, ගංගා වලයි තියෙන වතුර ගිනි රස්නෙට වාෂ්පවෙලා යනවනේ… ඊට පස්සේ ඉතිං ආයෙම වහින්න පුළුවනිනේ. ඒ ඇරත් මූදේ තියෙන්නේ ඕනේ තරම් වතුර.

අනේ සංසාරේ මෙහෙමත් යාළුවෝ… මෙහෙ එනවා ඕයි මේක අල්ලන්න….

සංසාරේ…? මොන…? මං පොඩි හාමුදුරුවෝ කියල හිතුවද…? ආනේ… ඔයා තෙමිලනේ… මෙච්චර වෙලා මොනාද තෙමී තෙමී කරේ…?

බූරුවෝ… මං විතරද තෙමිලා තියෙන්නේ… තමුසෙත් තෙමිලා… දැන්ද සිහිය ආවේ… එනවා යන්න මෝඩ රජා… අර හීතල වහි බිංදු වලින් හීතල වෙලා ගැහී ගැහී තිබුන අත අයන් එකක් වගේ රස්නේ අතකින් අල්ලද්දි…

අම්මෝ අතේ රස්නේ… ලිබ්බොක්කේ තිබිලද අත්දෙක ගත්තේ…

පුංචි කාලේ…

අනේ… මෙන්න මෙහෙ එනවා යන්න ධර්මශාලාවට… බලනවා තෙමිච්ච කුකුලා වගේ… ඔය බලනවා සරමේ හැටි, වැලි විසික් වෙලා…

ආහ් වැලි විසික් වුනාට කමක් නෑ… මං හිතුවේ කලිසම දකියි කියලා…

මෙන්න මෙහෙ එනවා ඕයි යන්න. පොඩි එකෙක් වගේ තවත් තෙමෙන්නේ නැතුව. පිස්සු හටන.

මුහුදේ තියෙන වතුරත් ගිනි රස්නේ වෙලාවට වාෂ්ප වෙලා යනවා ඇති. ඊට පස්සේ තමා අහසේ හීතලට ඒවා එකතු වෙලා වලාකුලු හැදෙනවා ඇත්තේ…. එතකොට ඩෙස් එක…

ඒක ගන්නවා කරට… මං යනවා යන්න.

යනවා… ඉතිං…  මාව ඇදගෙන කොහෙද දුවන්නේ… අත අතාරිනවා… මෙතෙන කාමේසු මිච්චාචාර කරන්නද හදන්නේ…? මේ මහ වැස්සේ…?

එහෙනම් තනියම එනවා… මං යනවා…

එතකොට මේ ඩෙස් එක….. මං කෑගැහුවා… ඒක ඇහෙන්න ලඟ පාතක ඉන්න එපැයි… ළමාසාරියත් පටලෝ ගෙන කොහොම දිව්වද මන්දා එච්චර වේගෙන්. සරම ඇඳන් මං දිව්වොත් නම් බිම තමා. ඒ නැතත් වැලි නාන්න වෙනවා. එහෙනම් ඒ හීතල වලාකුලු වල වතුර තමා ආයෙම බිංදු බිංදු වෙලා ගස් අස්සෙන් මගේ ඇඟට ඉඳිකටු වගේ වැටෙනවා ඇත්තේ. ඊට පස්සේ ආයේ පොළොවට…

හ්ම්.. දැන් නම් වැස්ස ටිකක් අඩුයි… දැන් ඉතිං ඔය ගෙනිච්ච ඩෙස් ටිකයි පුටු ටිකයි ආපහු ගේන්න එපැයි. ඔය ටික වෙන බව දන්න නිසා තමා මං ඩෙස් එක ගෙනිච්චේ නැත්තේ… ඒකත් හොඳයි…

මෙන්න වාඩි වෙනවා… තමුසෙගෙ පුටුවත් ගෙනවා මං…. බෝ ගහ දිහා බලාගෙන මගුලක් කරනවද තව… වාඩිවෙන්න ඉතිං… අන්න ඔයාගේ මහ ලොකු යාළුවෝ ටික ඔයාව දාලා කඩේට ගියා. හැබැයි තව පොඩ්ඩකින් පොඩි හාමුදුරුවෝ එයි…

…?

කොහෙද අර මහ වැස්සේ මගේ අතින් ඇදන් දුවන්න හැදුවේ…? මේක පන්සලක්…. පාක් එකක් කියලා හිතුවද…

ඔයා තෙමෙන නිසානේ ඇදන් දිව්වේ… අපේ අම්මලාත් එක්ක ලබන සතියේ මල්වත්තේ යනවා. ඕනෙ නම් යමු… මං කියන්නම් අම්මට…

ඈහ්… ඒ මොකටද ආයෙමත් මගෙ අතින් ඇදන් දුවන්නද…?

අනේ ඇදගෙන යන්නම අත… මෙන්න මෙහෙන් වාඩි වෙනවා…

වාඩි වුනා නෙවෙයි, වාඩි කෙරෙව්වා… හීතලට වහින වැස්සයි, පොඩි හාමුදුරුවෝ කියන සංසාර චක්කරේයි…. මේ කෙල්ලයි තුනම එකයි… අනේ මන්දා… කය, වචනය කෙසේ වෙතත් සිත නම් හික්මවනවා බොරු… ඩෙස් එකට එහායින් තෙත් වෙලා දුඹුරු පාට වෙච්චි සුදු වැල්ලේ මගේ උණුසුම් අඩිපාර හිටලා… ආහ්… තවත් අඩි වගයක් තියෙන්නේ… මේ මෝඩිගේ නේද… ම්… රස්නේ ඇති… අල්ලලා බලන්න විදියක් නැහැනේ…!!!

%d bloggers like this: