අවුරුදු දෙකක්ම වුනා….

අවුරුදු දෙකක් පුරාවට බ්ලොග් එක බලන්න ආව හැම කෙනෙකුටම, කමෙන්ට් කරපු හැම කෙනෙකුටම… ගොඩක් ස්තූතියි…!!!

පැතලි බඳුනේ කුරුගස් කලාව…

අහලා ඇතිනේ බොන්සායි කියලා කලාවක් ගැන. කිසිම ගැටළුවක් නෑ…. ඒක සුපිරිම කලාවක්. බොන්සායි කලාවේ ආරම්භය අපි දන්න විදියට ජපානය වුනත්, ඇත්තටම පටන් ගැන්ම සනිටුහන් වෙලා තියෙන්නේ චීනයේ. ඒක වැඩි දියුණු වෙලා ලෝකෙට පැතිරිලා තියෙන්නේ ජපානෙන්.

බොන්සායි කියන එකේ තේරුම වෙන්නේ පැතලි බඳුනක හිටවූ කුරු ගස යන්නයි. ලංකාවට බොන්සායි කලාව හඳුන්වා දීලා තවම අවුරුදු 30ක් විතර වුනාට ජපානේ හා චීනයේ මේ කලාව පැවත එන්නේ අවුරුදු දහස් ගානකට කලින් ඉඳලලු. ඒ වගේම පරම්පරා ගානක ඉඳන් රැකබලාගෙන එන ශාක තියෙනවලු ජපානයේ හා චීනයේ.

ලංකාවේ ගසක්…

ඉතිං පහුගිය සෙනසුරාදා, ලංකාවේ ඉන්න බොන්සායි ලෝලීන්ගේ බොන්සායි පැල ප්‍රදර්ශනයක් පැවැත් වුනා කලාභවනෙදි. මාත් ගියා බලන්න. ඇත්තටම අමුතු අත්දැකීමක්. ලොකුවට ලවුඩ් ස්පීකර්ස් බැඳගෙන කනක් ඇහෙන්නෙ නැතිවෙන්න තියෙන මල් ප්‍රදර්ශන වලට වඩා අළුත් අත්දැකීමක් ඒක. කිසිම සද්දයක් බද්දයක් නෑ තමන්ගේ පාඩුවේ පැල එකින් එක බලමින් ලොකු වින්දනයක් ලබන්න පුළුවන් වුනා. අපි දකින මහ ලොකු ගස් පුංචි කරලා ඒවාටම ආවේනික බඳුන් වල හිටවලා තියෙන්නේ හරියට මැජික් එකකින් කුඩා කරලා වගේ.

නිකං හිතන්න බෝ ගහක කොලයක් කොයි තරම්ද..! මං දැක්ක බොන්සායි කරපු බෝ පැලේ ලොකුම කොලේ ඇති රුපියල් දෙකේ කාසියක් තරම් විතර. ඊට පස්සේ අඩි හතලිහක් පහනක් විතර උසට හැදෙන දිවුල් ගහක් පරිමානයෙන් කුඩා කරලා තියෙනවා අඩියක් විතර උසට. ඒක හරි අපූරු කලාවක්…! මං ගොඩක් විස්තර ලියන්නේ නෑ… මෙන්න ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ වෙබ් ලින්ක් එක. එතනින් හැම දෙයක්ම දැන ගන්න පුළුවන්. ඒ වගේම එතෙන්ට යන්න කම්මැලි නම් මෙන්න ඒ වෙබ් අඩවියෙන් දෙන සිංහල භාෂාවෙන් සැකසුන බොන්සායි ක්‍රමය පටන් ගැනීමේ සිට අළුතෙන් පැලයක් සිටවා සාත්තු කර සාර්ථක පැලයක් තනා ගැනීම දක්වාම සරලව ලියැවී ඇති ලිපියේ pdf ෆයිල් එක. ඩවුන් කරගෙන හිමීට කියවන්න…!

මේ ප්‍රදර්ශනය ගැන මං දැනගත්තේ අරුණි අක්කා මගේ කලින් ලිපියකට (පස් නැතුව මල් වැවිල්ල) දාපු කමෙන්ට් එකකින්. එදා ඉඳන් බලාගෙන ඉඳලා, ඉඳලා ගිය සෙනසුරාදා තමා පළවෙනි වතාවට සජීවී බොන්සායි පැල දැකගන්න ලැබුනේ. ඉතිං… ලංකාවේ බොන්සායි සංගමය ගැන දැනුම් දුන්නට අරුණි අක්කට ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ ප්‍රදර්ශනය ගැන කලින් නොකිව්වේ, මේක කොහොම එකක් වෙයිද කියලා දන්නේ නැති නිසයි. එක පාරක් වත් දැකලා නැති දෙයක් ගැන මට බොරුවට වර්ණනා කරලා කියන්න බැහැනේ. දැන් ඉතිං දන්න නිසා බය නෑ… ඒ ප්‍රදර්ශනේ ඇත්තටම මරු..! ආයෙම ප්‍රදර්ශනයක් තියෙන්නේ ලබන අවුරුද්දේ. එතකන් ඉතිං ඉවසගෙන ඉන්න වෙයි කුරුගස් කලාවට කැමති අයට….!!!

පුතාල හතරදෙනාගේ දෙවෙනි කොටස….

පුතාල හතරදෙනාගේ පළවෙනි කොටස….

පුතාලා ගියාද අනේ….?

ඔව්… මේ දැන් ගියේ….

අපේ අය නම් තාම ලෑස්ති වෙනවා. කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. එලාම් එක ඕෆ් කරලා ආයේ නිදාගන්නවා. දෙන්නම එකයි. පවු ඉතිං. නැගිට්ටවන්න හිතෙන්නෙත් නෑ.

අපේ දෙන්නම නැගිටලා මූණ හෝදගෙන ලෑස්තිවෙනවා කලින්. නැගිට්ටවනකං ඉන්නේ නෑ. ඉස්සර නම් වදේ තමා.

ඔයාලගේ ලොකු එක්කෙනා අපේ ලොක්කට වැඩිය අවුරුද්දයි නේද බාල….?

ම්… ඔව්…

ස්ථිර…?

දැන් එයාට ස්ථිර ගෑණු ළමයෙක් එහෙම ඉන්නවද..?

ස්ථිර කිව්වේ…?

නෑ මං කියන්නේ බඳින්න කතා කරගත්තු කෙනෙක් එහෙම ඉන්නවද? අපේ දෙන්නටම ඉන්නවා. හැබැයි ඉතිං ස්ථිර එකක් නෑ මං හිතන්නේ. එයාලගේ නිදහසනේ. ඕනෙ කෙනෙක් එක්ක යාළුවෙච්චිදෙන් කියලා අපි හිතාගෙන ඉන්නේ. අපිට බල කරලා කියන්න බැහැනේ. එයාලට ගැලපෙන කෙනා එයාලා තෝරගත්තාවේ. නැත්තං බැන්දට පස්සේ මොනා හරි වුනොත් ඒ වැරදිත් අපි පිටින් යයි. ඉතිං කොහොමද පුතාලා දෙන්නගේ තත්වේ…

එහෙම මහ ලොකු දෙයක් නෑ අනේ. ලොකු එක්කෙනා නම් අපි දන්න කෙනෙක්ගේ දුවෙක් එක්කම පොඩි යාළුකමක් තිබුනා කියලා දන්නවා. ඒකට ඉතිං අකමැති වෙන්න දේකුත් නෑ…. ඒ ළමයව අපි දන්නවා පොඩි කාලේ ඉඳන්ම. පොඩි එක්කෙනාටත් ඉතිං තව කල් තියෙනවනේ.

හ්ම්… ඒක නම් හොඳයි. දන්න කෙනෙක් නම්. අපේ ලොක්කා අවුරුදු දෙකකට විතර කලින් බඳින්න හිතාගෙනම ඉඳලා පස්සේ එයාටම බෑ කියලා හිතිලා නවත්තලා දාලා තිබුනේ… පස්සෙ තමා දැනගත්තේ ඒ ගෑණු ළමයාගේ වෙන මොකක් හරි නිසයි පුතා ඒ සම්බන්ධය නැවැත්තුවෙ කියලා. දැන් ඉතිං පුතාලාගෙන් අහලා බලන්න කාලේ හරි නේද ලේලිලා දෙන්න ගැන…?

හදිස්සියක් නෑනේ අනේ… ඔහේ හිටපුදෙන් තව ටිකක්.

ඒ වුනාට අපේ පොඩ්ඩනම් බලාගෙන ඉන්නේ අයියා බඳිනකම්. එයාටත් කසාදයක් කරගන්න. පුදුම හදිස්සියක් තියෙන්නේ. අම්මගේ වැඩට උදව්වට ලේලි කෙනෙක් ගේන්නම ඕනෙයි කියනවනේ. ලොක්කත් මේ ටිකේ හොයනවා. ඔය හැමතිස්සෙම ෆෝන් එකෙන් කතා බහ කරන ඒවා හරි යන්නේ නැහැලුනේ.

ම්…

මං කිව්වෙ ඊයෙත්, එයාගේ ෆෝන් බිල ගැන. හැම තිස්සෙම ෆෝන් එකේ තමා. ඒත් ඉතිං ඒ ළමයව බඳින්න වැඩි කැමැත්තක් නැහැලුනේ. මං දකිනවා ලොකු එක්කෙනත් ගොඩක් වෙලාවට ෆෝන් එක දිහා බලාගෙන යනවා. ඔයාලා දන්නේ නැති වුනාට එයාටත් මොනා හරි වෙන වෙන ඒවා ඇති.

ම්… වෙන්න ඇති. ඒ වුනාට ඔය ෆෝන් එක දිහා උදේට බලාගෙන යන්නේ නම් එයාගේ ස්කෝලේ යාළුවෝ හැමදාම උදේට රින් කරාම ඒවට රිප්ලයි දෙන්නනේ.

ආහ්… ඒක මිසක්… මං බැළුවා පාරෙ යන ගමන් කතා කරන්නේ නැතුව ෆෝන් එක දිහා බලාගෙන යන්නේ මොකද කියලා…. මං ගිහිං එන්නම් අනේ. කඩේට යන ගමන් ආවේ බත්කොල ගෙනියන්න. අපේ දෙන්නට ඊයේ කෝල් එකක් දීලා කියලත් බත් කොල ගෙනැල්ලා නැහැනේ. -at අනේ මෙහෙමත් ගෑණු…යි. සිතමින්…

පාලකයෝ යනු උපදේශකවරුන්ගේ රූකඩද…?

අර කොල්ලෝ දෙන්නගේ කතාවේ ඉතුරු කොටස පස්සේ දාන්න හිතුවා. මොකද ඒකට ගවුම් කෑල්ලක් සම්බන්ධ නිසා. අනිත් එක ඒ ඉලවුවට වැඩිය මේක ලියන එක හොඳයි කියලා හිතුන නිසා.

“බල ප්‍රදේශය” වෙනස් වන සුළුය.

මට දේශපාලනේ කියන එක නම් තනිකරම ඇලජික්. ඒක නිසාම මේක ලියන්න ඒ ගතිය තවත් මහෝපකාරි වුනා. 😀 හැබැයි කියෝගෙන යද්දි මේක හෙන ජෝක් කතාවක් කියලත් හිතෙයි. ඇම්ඩාගේ ජෝක් පරාදයි මේකට.

දැන් ඔය ලොක්කෝ ඉන්නවනේ… ඉන්නවා නේන්නම් අපේ පිහිටෙන් එයාලගේ පාඩුවේ.  ඉතිං ඔය ලොක්කෝ කියලා මේකේ හඳුන්වන්නේ දේශපාලනය කරන ඇමතිවරු, මන්ත්‍රීවරු, ජනාධිපතිවරු, විපක්ෂ නායක වරු වගේ කට්ටියව. ඔය හැමකෙනෙක්ම බලයට පත්වෙලා ඉන්නේ මහජනතාවගේ කැමැත්තෙන්. ඒ කියන්නේ ඡන්දෙන්. ඒ අය මිනිස්සුන්ගේ කැමැත්තෙන් බලයට පත්වෙන්නේ මිනිස්සුන්ට සේවය කරන්න. ඒ කියන්නේ ගෙවල් වල වලං පිඟන් හෝදන්න, කක්කුස්සි හෝදන්න වගේ වැඩෙ වලට නෙමෙයි. පාරවල් හදන්න, මහජනතාවගේ පොදු ප්‍රශ්න වලට විසඳුම් දෙන්න… කොටින්ම තමන්ව බලයට පත්කරගන්න ප්‍රදේශයේ අයට සෙතක් කරන්න.

බලයට පත්කර ගන්න ප්‍රදේශය කියන එක වෙනස් වෙන සුළුයි. ඒ කියන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණයකදී පොඩි ප්‍රදේශයක් ලොක්කට අයිතිවුනාට ජනාධිපති වරණයකිදී මුළු රටම අයිතියි. ඉතිං අන්න ඒ ප්‍රදේශයේ හැටියට තමා පැවරෙන වගකීම කොච්චරක්ද කියන එක තීරණය වෙන්නේ. වගකීම ලොකු නම්, තමන් තනියම තීරණ ගන්න එක ශරීර සෞඛ්‍යයට අහිතකරයි වගේනම්… වහාම පත් කරගන්නවා උපදේශක මණ්ඩලයක්. අන්න ඒ උපදේශක මණ්ඩලයේ ප්‍රමාණය හා තත්ත්වය වෙනස් වෙනවා කලින් කියපු ප්‍රදේශය කියන ඒකකය අනුව. ගම් පලාතක ලොක්කෙකුටනම් උපදේශක වෙන්නේ පන්සලේ හාමුදුරුවෝ එහෙම නැත්තං ග්‍රාමසේවක. ඒත් යම් පලාතක නම්… ඒ පලාතේ ඉන්න වැදගත්, බුද්ධමත් කෙනෙක් හෝ ඕනෙම දෙයක් බල පරාක්‍රමයෙන් විසඳන්නට පුළුවන් කෙනෙක්. ඒත් ඇමති, මැති, ජනපති වෙද්දි තත්ත්වේ ටිකක් වෙනස් වෙනවා. එයාල රටට ආදර්ශයක් දෙන්න ඕනේ නිසා තමන්ගේ උපදේශක මණ්ඩලය පත්කර ගන්නේ ගොඩක් වෙලාවට මහාචාර්යයවරු හෝ සේම් කොලිෆිකේෂන් තියෙන ඇත්තන්ව.

ඉතිං අන්න එහෙම පත්කර ගන්න උපදේශකයෝ තමා ලොක්කට එහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදෙස් දෙන්නේ. ලොක්කා කරන්නේ උපදේශක වරු රැස් කරලා, අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා,

උපදේශක විසඳුම්

මේකට විසඳුමක් හොයන්න කියලා කියන එක විතරයි. ඉතිං ඔය ඇති වෙන ප්‍රශ්නෙට වගකිවයුත්තේ කවුරු වුනත් විසඳුම් හොයන්නේ උපදේශක මණ්ඩලය. හොයාගන්න විසඳුම් ජනතාවට කියන්නේ පාලකයා. හරියට බුවා විසඳුම් හොයාගත්තා වගේ තමා කියන්නේ. ඊට පස්සේ ඇතිවෙන හැම ප්‍රශ්නෙකම වගකීම වැටෙන්නෙත් පාලකයටම තමා. ඒ වැටෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නෙත් අර කලින් විසඳුම් හොයපු උපදේශක වරුම තමා.

සමහර විට ඔය අවුරුදු ගනන් දිණුමක් නැතුව ලතවෙන සමහර අය ඒ තත්ත්වෙට පත්වෙනවා ඇත්තේ උපදේශකයෝ නිසා…. එතකොට කට නිසා නහින අයත් එහෙම්ම තමා. ඊට පස්සේ ලංකාව වටේම ඉඩම් මිලදී ගන්න අයත් ක්‍රියාකරනවා ඇත්තේ උපදේශකයෝ කියන හැටියට වෙන්න ඇති.

පාලකයගේ සැබෑ තත්ත්වය

රටට හොඳක් කරත් නරකක් කරත් ඒ හැම දෙයක්ම ලොක්කන්ගේ අතින් වෙනවා කියලා හිතාගෙන අපි ඒ මිනිස්සුන්ට කෑ ගැහුවට මේ ඔක්කොටම වගකීයන්න ඕනේ වෙනස් මත තියෙන උපදේශක මණ්ඩලය වෙන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ… සමහර විට අඳින දේවල් වල බ්‍රෑන්ඩ් එක තීරණය කරනවා ඇත්තෙත්, ගමන් කරන විලාශය හැඩ ගස්සවා ගන්නවා ඇත්තෙත් උපදේශක මත අනුව වෙන්ඩ පුළුවන්.

ඉතිං ඔහොම බලාගෙන යද්දි, මට නම් හිතනේනේ පාලකයෝ කියන්නේ උපදේශක වරුන්ගේ රූකඩ වගේ කියලයි. මොකද නට නට ඉන්න ගමන් රූකඩේ අප්සට් වෙලා හිර වුනොත් නරඹන්නෝ ගහන ගල් මුල් වදින්නේ රූකඩේට මිසක් රූකඩේ නටවන නූල් කාරයින්ට නෙමේනේ. සමහරවිට එහෙම හිතෙනවා ඇත්තේ මගේ දේශපාලන විෂයට තියෙන අකමැත්ත නිසා වෙන්න ඇති. හැබැයි මට ඒ හිතෙන විදිය වැරදි වෙන්න තියෙන ඉඩ කඩනම් ගොඩක් අඩු ඇති. මං වැරදිනම්, මා නිවැරදි කරත්වා…. මේක ලියන්න හිතුනේ ප්‍රමුදිගේ මේ ලිපියේ පුංචි කොටසක් දැකලා. – at උපදේශකයෙක් වෙන්න හිතමින්.

අම්මලා දෙන්නෙක්, පුතාලා හතර දෙනෙක් ගැන….

ආ.. මෙන්න කෑම දෙක…. සල්ලි කීයක් ඕනෙද….?

රුපියල් දෙසීයක් දෙන්න….

ඉන්න මං අරගෙන එන්නම්….

එක ගෙදරක දවසේ කාර්යයබහුලම වෙලාව. පාන්දර හතරාමාරේ සිට උදේ හයාමාර වෙනකං ගෙවෙන ප්‍රබෝධමත් දෙපැය.

හොඳම බැංකුව…. 🙂

ඒ අම්මයි තාත්තයි නැගිටලා කරදඬු උස්වෙච්ච කොල්ලෝ දෙන්නට ඔෆිස් ගෙනියන්න කෑම ලෑස්ති කරලා බත් මුල් බැඳලා දීලා… ඒ මදිවට උංට රස්සාවලට යන්න තව සල්ලිත් දෙනවා. නාස්තිතාරයෝ දෙන්නෙක්ද කොහෙද. නැත්තං ගෙදරින් සල්ලි දෙනකං ඉන්නවැයි…! බාගදාට ගෙදරින් සල්ලි නොදුන්නොත් උං දෙන්න රස්සාවලට යන එකකුත් නෑ. අනේ මෙහෙමත් ළමයි…! දෙන්නගෙන් එකෙක් වත් ගෙයින් එලියකට බහින්නේ නෑ නිවාඩු දවසකටවත්. අපි ගෙදරට ගියත් දෙන්නම කොම්පියුටර් එකේ මූන ඔබාගෙන අහන දේකට උත්තර දෙනවා මිසක් වචනයක් කතා කරන්නේ නෑ… මහ අමුතු ළමයි. හැමදාම උදේට ගෙදර මිනිස්සුම අහලා සල්ලිත් දීලා රස්සාවලට යැව්වම මහ රෑ වෙලා ගෙවල් වලට එන්නේ. සමහරවිට කන මතයෝ වගේ බොනවත් ඇති. ඒකනේ රෑ නවය දහය වෙලා ගෙදර එන්නේ.

ලොකූ… ආ… සල්ලි… මල්ලිත් එනකං ඉන්නවද…?

බෑ මට පරක්කු වෙනවා… ඌ ආපුදෙන්….

අන්න අර ගෑණු එක්කෙනා අදත් යනවා ගේ දිහා බල බල… එන ගමන් එයි…

හික්ස්… ඉතිං අම්මගේ මහ ලොකු යාළුවොනේ….

පේනවනේ තමන්ගේ මල්ලිට කතා කරන හැටි. ස්කෝලෙ ගිහිං විභාග පාස් කරාට කතා කරන්න දන්නේ නෑ. අම්මලා තාත්තලා කොයි තරම් හොඳ වුනත් දරුවෝ නම් අන්තිමයි. ගෙදර ඔහොම නම් එලියේ කොහොම ඇත්ද. ස්කෝලේ යනවා වගේ බෑග් එක කාරේ දාගෙන උදේට යද්දි හිතන් ඉන්නේ තාම පොඩි එවුන් කියලා. මුං පැහිලා වැඩියි. කොල්ලෝ නෙමේ කොලු තාත්තලා. පවු අර අම්මයි තාත්තයි.

අදත් රෑ වෙනවද පුතේ….?

ඔව් අම්මේ… රෑ වෙයි… ඔෆිස් එකේ වැඩ ටිකකුත් තියෙනවා… පුළුවන් වුනොත් ක්ලාස් එකේ වැඩ ටිකක් තියෙනවා ඒ ටිකත් කරගන්නවා ටිකක් ඉඳලා. ගෙදර ඇවිත් කරන්න බෑ මහන්සියිනේ…

අදත් එන ගමන් අරවා මේවා කාලා එහෙම එන්නේ නෑ… හොඳද…

හරි.. හරි… මං යනෝ…

ආහ්…. පුතාලා ගියා නේද…? මාර ළමයි නේද…? තාමත් ඔයාලනේ එයාලට බස් එකේ යන්න සල්ලි දෙන්නේ… මං අහගෙන හැම දාම වගේ ඔයාල සල්ලි කීයක් ඕනෙද කියලා අහලා සල්ලි දෙනවා. හම්බුකරන ඒවායැන් මොනාද අනේ කරන්නේ? බොනවාද එයාලා..? ෆෝන් එකටත් සෑහෙන ගානක් යනවා ඇති මල් කඩන්න එහෙම නේද…? අපේ පුතාලනම් පඩි ගත්තම ගෙදර වියදමට කියලා රුපියල් දෙදහාක් විතර දෙනවා. ඉතුරුවැයි ඉතිං ඇඳුම් ගන්නවා, බස් වලට වියදම් කරනවා, යාළුවෝ එක්ක පාටි දානවා… එක එක ඒවා. ඉතුරු කරන්නෙත් නෑ අනේ… ඉතුරු කරන්න දෙයක් නෑනේ කොහොමත් වියදමත් ටිකක් වැඩි නිසා…  ඒ වුනාට අපි සල්ලි දෙනකං බලාගෙන ඉන්නෙ නම් නෑ උදේට වැඩට යන්න.

ඔයාලා ලොකු එක්කකෙනා නම් හැමදාම වගේ රෑ වෙනවා නේද..? අපේ පුතාලා නම් පාටි දවස් වලට එහෙම ඇරෙන්න රෑ වෙන්නෙ නෑ. පහා හාමාර වෙද්දි එනවා… ඇවිල්ලා ඉතිං නා කියා ගෙන තමා යාළුවන්ගේ ගෙවල් වල යන්නේ… ඒ ගිහිල්ලා ඉතිං කැරම් ගහලා ගහලා බඩගිනියි අම්මේ කියාගෙන එනවා රෑ දහයට විතර. පවු අනේ… දුක හිතෙනවා දාඩිය දාගෙන එද්දි…

හ්ම්… පවු නේන්නම් දැන් කාලේ ළමයි. ඉස්සර වගේ නෙමේනේ… සංකීර්ණ වෙලානේ ලෝකය…

පුතාලා ඇයි වැඩිය එලියට බහින්නේ නැත්තේ… බැලුවොත් කොම්පියුටරේමයි… නේද..? මොනවා කරනවද දන්නේ නෑ…? ඔයාල බනින්නේ නැද්ද…? මම ලොක්කව දැකලා නෑ මාස හයකින් විතර. අන්තිමට දැක්කේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ තව යාළුවෙක් එක්ක ඇලේ ගිහිං මානෙල් වගයක් කඩාගෙන එද්දි. පවු නේද ඒ ළමයි… ඉස්සර ඉඳන්ම ගේ අස්සෙමයි. වැඩිය යාළුවොත් නෑ නේද..?

හ්ම්… එයාලට ඉතිං යාළුවෝ කියලනම් මහ ගොඩ දෙනෙක් නෑ තමා.

ඒකනේ… මට හිතුනා. ඒක නෙමේ… පුතාල ගෙදරට කීයක් වත් දෙන්නේ නැත්ද…? ඔයාලා අපරාදේනේ උදේට නැගිටලා මහන්සි වෙලා උයලා දෙන්නේ. කඩෙන් කන්න කියන්න තිබුනේ. ඔහොම දරුවන්ට ඔයාලා කරන හරිය වැඩියි. පාඩමක් උගන්නන්න තිබුනේ. අපේ ළමයි බීලා ආවොත් නම් මං පහුවෙනිදට උයන්නේ නෑ… බීපු තැනකින්ම කාපන් කියනවා. ඔයාලෑ ළමයි බොනවද…?

ලොකු එක්කෙනා නම් ඉඳලා හිටලා බියර් එකක් බොනවා. බිව්වත් ඇවිල්ලා කියනවා ලඟදී ඉඳන්.

මෙච්චර තමා…

හ්ම්…. අපේ අයනම් එන්නේ යාළුවොන්ගේ කර පිටින්. එයාලා ඉතිං බියර් බොන්නේ නෑනේ. ඒවා සැර මදිලු. බ්‍රැන්ඩි, විස්කි වගේ ඒවලු බොන්නේ. ඒකට තමා අනේ ගොඩක්ම වියදම් කරන්නේ දෙන්නම. කිව්වට අහන්නේ නෑනේ…. ඉතිං ඔයා කිව්වේ නෑනේ ඇයි හැමදාම එයාලට සල්ලි දෙන්නේ කියලා… මං නම් කියන්නේ දවසක් දෙකක් නොදී සල්ලි නොදී ඉන්න. එතකොට මට්ටු වෙලා සල්ලි ඉතුරු කරගනියි බස් එකේ යන්නවත්. ඇඳුම් ගන්න එහෙමත් ඔයාලනේ වියදම් කරනවා ඇත්තේ… ඔයාලා පවු අනේ… පුංචි කාලේ ඉඳන් ලොකු මහත් කරලා තාමත් අතට සල්ලි දෙනවානේ…

නෑ අනේ… දෙන්නම පඩි ගත්ත ගමන් පේ ෂීට් දෙකයි සල්ලියි මට ගෙනත් දෙන්නේ. ඒකෙන් ටික ටික දෙන්නගේ පොත් දෙකට දානවා. ලොකු එක්කෙනාට නම් එක්සෑම් වගේකට සල්ලි තියාගෙන ඉන්නවා. ඒවා පොත් වල දාලා කරදරයිනේ ආයේ ගන්න ගියාම. ඔය උදේට මගේ ගාව තියෙන එයාලගෙම සල්ලි තමා මං දෙන්නටම දෙන්නේ. එයාල ගාව තිබ්බම එක එක ඒවාට වියදම් වෙනවයි කියලා මගෙ ගාව තමා රස්සාවට ගියදා ඉඳන්ම සල්ලි තියන්නේ. ගෙදරටත් ඉතිං අමුතුවෙන් දෙනවා කියලා එකක් නෑ… අපි ඕනේ වෙලාවට ගන්නවා, අරගෙන එයාලට කියනවා. එච්චරයි….!!!

හා… එහෙමද… හරි එහෙනම් මං ගිහිං එන්නම්… අපේ එවුන් දෙන්නා තාම නිදි ඇති. කූද්දන්න ඕනේ… නැත්තං අදත් ලේට් කමිං වැටුනා කියයි….!!! මං එන්නම්කෝ දෙන්නම ඉන්න වෙලාවක බලලා යන්න… – at  කතාවේ දෙවෙනි දවසේ කෑල්ලත් ලියනවාදෝයි සිතමින්…

 

 

රතු – කොල

හැමදාමත් යාළුවෝ (බිව්වම)….

පොරවල් දෙකක් ඉන්නවා. පොරවල් කියන්නේ වචනයේ පරිසමාප්ත මෙව්වා එකෙන්ම පොරවල්. දෙන්නම කරන්නේ කුලීවැඩ. එක් කෙනෙක් මේසන්වැඩ, ගෙවතු වල වැඩ වගේ ඒවා… අනිත් කෙනා දිවි හිමියෙන්ම මුදලාලිගේ ලොරියේ සහායක.

වමේ සිට – සිරිමල්, සිරිමල්ගේ භාර්යාව 😀

මේසන් වැඩ කරන බුවා බැඳලා. නම සිරිමල් කියමු. අනිත් කෙනා බැඳලා නෑ… නම සිරිපාල කියලා හිතමු. මොකද මේ දෙන්නම මේ ආත්මේ නම් බ්ලොග් එක කියවන්නේ නෑ කියලා මං දන්නවා. ඒත් ඊළඟ ආත්මේ හරි කියෙව්වොත් මං ඉවරයි. ඉතිං ඉස්සර ඉඳන්ම ඩබල ගජ යාලුවොලු. කොහොම හරි සම වයස් වල නිසා දෙන්නම ඉක්කෝලේ ගිහිං තියෙන්නේ එකට. ඒ දවස් වලම දෙන්න කතා වුනාලු බඳින්නේ නෑ කියලා. කොහොම හරි ඉතිං සිරිමල්ට ඉවසගෙන ඉන්න බැරි පාර අපේ ගෙදට්ට පිටිපස්සේ ගෙදර අක්කා එක්ක පැනලා ගියා. ඒ අක්කත් මරු බඩුව. එයා සිරිමල් එක්ක පැනලා ගිහිං ආයේ සතියක් යන්න කලින් ආයේ පැනලා ගියා… ඒ පැනලා ගියේ ආයෙමත් අක්කලාගේ ගෙදරට. 😀

ඉතිං සිරිමල් තනි වුනා. ඇයි ඉතිං සිරිපාලත් දැන් සිරිමල්ව ගනන් ගන්නේ නැහැනේ දීපු පොරොන්දුව කඩ කරපු නිසා. පස්සේ ඔන්න කොහොමහරි අවුරුද්දක් විතර යද්දි දෙන්න ආයෙ යාළු වුනා. කොච්චර කලත් හොඳම යාළුවව අමතක කරන්න පුළුවනෑ… ඊට පස්සේ තමා දෙන්න පොරවල් වෙන්න ගත්තේ. හැමදාම හවසට දෙන්නා එක්ක වැඩ ඉවර කරලා එන ගමන් යනවා හොර කසිප්පු පොලට. එකෙක් බොනවා කසාද කැඩුන දුකට… අනිත් එකා බොනවා දීපු පොරොන්දුව රකින සතුටට. අන්න පොරවල්… කොහොම හරි එතෙන්ට ගිහිං දෙකක් දාගත්තම දෙන්නගෙම යාළුකම ඉහවහා යනවා. ඉතිං ඒ යාළුකම වැඩිනිසා කියවන දේවල් පාරේ මග හරියේ ඇහෙන කොට තාත්තා මගේ කන්දෙක වහනවා. අම්මා මල්ලිගේ කන්දෙක වහනවා. සංවරකමේ උපරිමයි දෙන්නම.

පස්සේ කාලෙක දැනගත්ත විදියට සිරිමල් පැනලා ගිහිං තියෙන්නේ සිරිපාලගේ අක්කගේ දූත් එක්ක. බඳින්නෙ නෑ කියලා එකට පොරොන්දු වෙච්චි දෙන්නනේ. පස්සේ ඔය කසිප්පු බොන එකෙන් දෙන්නගෙ හිත් තවත් එකමුතු වුනා. සිරාවටම උං දෙන්න බිව්වම තමා යාළු ෆිට් එක වැඩි වෙන්නේ. නොබී ඉන්න වෙලාවට හිටිගමං රන්ඩුත් වෙනවා. ඉතිං ඔය බීලා ඉන්න වෙලාවක සිරිපාලම යෝජනා කරලා සිරිමල්ට, “මචං, උඹ ආයේ බැඳපන්“…. කියලා. පස්සේ ඉතිං කොහොම හරි සිරිමල් ආයෙම බැන්දා. දැන් ඉන්නවා පුතාල දෙන්නෙකුයි, දුවලා දෙන්නෙකුයි. ඔය ඔක්කොම වුනේ අර කාලයක් තිබුනේ රෑට කරන්ට් එක කපන… අන්න ඒ කාලේ. ඒ දවස් වලට ඉතිං මිනිස්සු රෑට දොයි මත හැදෙනකං ටී.වී බලන්න කියලයැ…!!!

බොනකොට නඩු නැත…

කොහොම හරි දැන් තත්ත්වය අනුව නම් ඉඩම් පලහිලව්වකට දෙන්න හොඳටෝම තරහයි… හැබැයි ඒ බොන්න අතේ සල්ලි නැති දාට හරි, කසිප්පු පොල වහපු දාට හරි විතරයි. නැත්තං සිරිමල් එන්නේ සිරිපාලගේ කරෙන්…. සිරිපාල එන්නේ සිරිමල්ගේ කරෙන්… බිව්වට පස්සේ යටි හිතේ තියෙන දේවල් මතුවෙලා උඩට එනවා කියන්නේ ඇත්ත තමා. අම්මෝ බලන්ඩ ඕනේ දෙන්නගේ යාළුකම. උං දෙන්න නොබී ඉද්දී එකෙක්ව පොල් උලෙන් ඇනලා මරන්න තරම් කේන්තියෙන් හිටියත් කසිප්පු පොඩ්ඩක් දාගත්තම අනිත් එකාට සල්ලි නැත්තං තමන්ගේ අතින් වියදම් කරලා ෂොට් එකක් අරං දෙන තරමට කරුණාවන්තයි…!

ඉතිං මේ ලඟදී නිවාඩු දවසක, දෙන්න අපේ ගෙවල් ඉස්සරහින් ගියා දෙපාරකට. මුලින් ගියේ සිරිපාල, බුවා යන ගමන් සිරිමල්ව අහුවුනොත් මරනවා කිය කිය ගියේ… පස්සේ ගියේ සිරිමල්… මෑන්ගෙත් ඉතිං වැඩි වෙනසක් නෑ… සිරිපාලව අහුවුනොත් දැන් මරණ ගානට තමා ගියේ. දෙන්නටම හොඳටම තද වෙලා. ඒත් අර ඉඩම් අවුලට. මං හිතන්නේ එදා නඩුවට ගිහිං ඇවිද්ද කොහෙද… ඒකයි ඩබලම නිවාඩු.

පස්සේ ඉතිං ඕන් ඇඳිරි වැටීගෙන එද්දී පොඩි සීපදයක් එහෙම කියාගෙන දෙන්න ආයෙම එනවා ගෙදර. දැන් නම් ඉතිං අම්මලා අපේ කන් වහන්නේ නෑ. ඒක නිසා සිද්ධිය ඇති සැටියෙන් අහගන්න පුළුවන්. බොන්න යද්දි එකිනොකට බැන බැන ගියාට, හොර කසිප්පු වලට පුළුවන්ලු තරහා මරහා අමතක කරවන්න…!!! නැත්තං ඉතිං පැමිණිලි කාරයයි, විත්ති කාරයයි කරේ අත දාගෙන ඒවියැ….!!! – at කසිප්පු ටිකක් බීලා බලන්න හිතමින්

 

%d bloggers like this: