මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? | මගේ යශෝධරාවත 23

එදා සෞම්‍ය සුන්දර කාලගුනේ. ම්… අද නම් හොඳ දවස යශෝධරා එක්ක රන්ඩුවක් අල්ලන්න. මං කුමාරයාගේ අකීකරු හිතට එහෙම හිතෙන්නේ, වැඩිය අව්ව වගේම වැස්ස තියෙන දාටත් කුමාරිකාව එක්ක නඩු පටලෝ ගන්න ගියොත් නඩුකාරි ගෙන් ලැබෙන දඬුවම ටිකක් සැර නිසා. එතකොට නඩුව වටේට තව තව අපරාද චෝදනාත් එල්ල වෙනවා.

මේ වගේ වැස්සේ තෙමිලා ඇති  ඕනෙතරම්….

වැස්ස දවසට රන්ඩුවක් ඇල්ලුවොත්… යශෝධරාව රන්ඩුවට පොළඹවාගෙන මහ වැස්සේ තෙම්මවීම කියන අධි චෝදනාව තමා කෙලින්ම. හරියට නිකං හා පැටික්කිව මං කුමාරයා කරේ තියං දිව්වා වගේ මහ අසාධාරණ විදියට තමා නඩුකාරි ඇවිත් ඒක පාර්ශවික නඩු තීන්දුවක් දීලා මං කුමාරයාගේ කන මිරිකලා, “හිටපිය… කෙල්ලගේ ඔළුව පිහිදලා ඇවිත් දෙන්න දෙකක්“ කියලාකියන්නේ. අම්මටම හරියන දූ පොඩ්ඩගෙන්, මං කොච්චර බලාපොරොත්තු වුනත්  “ අනේ පවු අයියා“ කියලා කියයි කියලා… කොහෙද… මේ නපුරි කියන්නෙත්… හොඳ වැඩේ, හොඳ වැඩේ… අල්ලගෙන ගහමු අම්මේ කියලා… කමක් නෑ ඒ අතින් පාරක් වදිද්දිත් සැපයි… රොමෑන්ටික් වලිනේ.

එහෙම්ම තමා අව්ව තියෙන දාට… “බලනවා හොර කොල්ලෝ, නංගිත් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලා, මේහ්….  කෙල්ලට ආයෙ දාඩිය බේරෙනවා…” කියලා මට කියලා, “හ්ම්… දැන් ඉතිං අයියත් එක්ක නැටුවනම්, අයියටම කියලා නාවලා ඔළුවත් පිහිදවා ගන්නවා…!” කියලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න සුදු බෝලෙට කියනවා.

අන්න ඒ වෙලාවට අර බේරෙක් නැති චැටර් බොක්ස් එක ඉබේ ක්‍රියාත්මක වෙනවා. හා… යං යං… අම්මට බැරිනම් මං නාවලා, ඔළුව පිහිදන්නම්… කියාගෙන පුටුවෙන් නැගිටින කොටම… නෑ නෑ… මගේ කෙල්ලව මංම නාවා ගන්නම්… කියලා ආයේ මැද්දට පැනලා කලින් වාක්‍යයෙන් දාපු පොර ටෝක් එකේ සම්පූර්ණ පරාජය නඩුකාරි භාර ගන්නවා. එහෙම වෙලාවට තමා ඉතිං නඩුකාරි ඇරෙන්න විත්ති පාර්ශවයයි, පැමිණිලි පාර්ශවයයි දෙන්නම හිනා වෙන්නේ….!!!

ඉතිං ඔය අව්ව වැස්ස මැද්දේ ගෙවෙන දවස් වලට, ගොඩක් වෙලාවට මාලිගය ඇතුලෙම යශෝධරාවයි, මං කුමාරයයි ඉන්නේ…. නෙවෙයි හිටියේ….  අදාල දවසෙත් මං යන කොටම කුමාරිකාව ඉන්නව, සැටියට වෙලා පොතක් කියෝ කියෝ.

මොකද්ද ඔය පොත…? ම්…..

……………………………………………………………………………………

මොකද්ද ඔය පොත…?

……………………………………………………………………………..

එකම ප්‍රශ්නේ දෙපාරක් අහලත් උත්තර නැතිවුනාම ඉතිං සුළු අවි ප්‍රහාරයක්….

ඒයි බීරි කෙල්ලේ මොකද්ද ඔය පොත….?

අම්මේ…. මෙයා මට බීරි කෙල්ලලු…. බලන්නකෝ….. ම්… දැන් හරි වැඩේ… ආදරේ ඉතිරෙන යුද්ධයක ආරම්භය…!

කව්ද බීරි කෙල්ල….. කියලා අහගෙන සිරියහන් ගැබෙන් එනවා නඩු කාරි, නඩු කාරි නෙමෙයි නඩු ආච්චි…

ඇයි මගේ දෝනිට බීරි කෙල්ල කිව්වේ…? ඈහ්….?

අම්මෝ සැර… බීරි කෙල්ල කිව්වේ ඇස් පේන්නේ නැති නිසා.

ඊට පස්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි නඩුව නිශ්ප්‍රභයි….!

ම්… මේ… ඔයාට පුළුවන්ද මෙහෙම කුෂන් එක කරකවන්න…? යශෝධරාව තව සෙල්ලමක් පටන් අරගෙන ඒ පාර. පුටුවේ කුෂන් මහපට ඇඟිල්ලේ තියලා එක දිගට රබන් කරකවනවා වගේ වට දහයක් විස්සක් කරකවන්න පුළුවන් එයාට. කුෂන් එක කරකවන එකට වැඩිය ලස්සන චූටි කට පොඩ්ඩ එයාටත් නොදැනිම ඇරිලා, ඇස් දෙකත් අර බෝනික්කන්ගේ ඇස් වගේ කුෂන් එකත් එක්ක කැරකෙන එක…!

අනේ මට බැහැනේ…. කියලා දෙන්න…. මටත්….

බෑ… බෑ… මේක කියලා දෙන්නේ නෑ… එතකොට ඔයා මට පේන්න කරකවයි….

හ්ම්… අනේ තියාගන්නවා තමුසෙගෙ මහ ලොකු සෙල්ලම.

තමුසේ…????

හ්ම්…………..!

නෑ… නෑ… ඔයාගේ… ඒ වෙලාවට පැණි බේරෙන වචන කොච්චර ආවත්, හිතේ තියෙන දඩබ්බර කමට ඒවා කියවෙන්නේ නෑ… වටිනා කම අඩු “ඔයා“ කියන වචනය විතරයි පිටවෙන්නේ. එකම එක පාරක් ඔය වගේ වෙලාවක මං කුමාරයාගේ කටින් “මැණික“ කියලා කියවිලා, මගේ දිහා මූන රෝස පාට කරගෙන, ඇස් දෙක දිලිසි දිලිසි බලාගෙන හිටිය හැටි මතකයි මට. එවේලෙනම් ගොඩක් ආදරේ හිතෙන්න ඇති මං ගැන. මටත් එහෙමයි… නැත්තං ඒ බලාගෙන හිටිය විදිය මට දැනුත් මතක් වෙන්නේ නැහැනේ.

හා…. හරි…. ඔයා මහ ලොකු වැඩ්ඩා නම් මගේ ඇස් දෙක දිහා බලාගෙන කරකවන්න ඔය කුෂන් එක…

මං මොකටද ඇස් දිහා බලන්නේ ?

ඔයාට බෑනේ… හූ… හූ….

ඉන්නකෝ…

ඔය මොනා කියලා පටන් ගත්තත්, එක දිගට තත්පර දෙක තුනක්වත්… දුඹුරුපාට මගේ ඇස් දෙක දිහා බලාගෙන යශෝධරාවට ඉන්න බැරි බව මං කුමාරයා දන්නවනේ…. ඇයි කියන්න දන්නේ නෑ… ඒත් එයාට එහෙම කරන්න බෑ… සමහරවිට බය හිතෙනවා ඇති…. අනන්තවත් ඔය ප්‍රශ්නෙට උත්තරයක් අහන්න හිතුනට… කවදාවත් ඒ ඇයි කියලා අහගන්න බැරිවුනා.

ඉතිං ඔන්න පටන් ගත්තා,  යශෝධරාවගේ සෙල්ලම. වට තුනක් උපරිම කරකවන්න ඇති… අනේ මට බෑ…..

හූ… හූ…

සුදු මූනු පොඩ්ඩ සතූ කරගෙන… යනවා යන්න… හ්ම්… මොනාද ඔච්චර කියවන්නේ ඇස් දෙකෙන්…? කට නැද්ද…?

ඒ ප්‍රශ්නෙට උත්තර නැත…..!!! තාමත්….!!!! මටම…!!!! මං ඇත්තටම මොන තරම් දේවල් කියන්න හිටියද…?

මොනවා කිව්වත් කියපුවා තේරුම් ගන්න බලන් හිටියේ නෑනේ ඉතිං ටිකක් වෙලා. හැමදාමත් ඇස් දෙක මග ඇරියා මිසක්…!!!

%d bloggers like this: