තරු පොතේ, වැල කොලේ….

ඉස්සර අපි හයේ, හතේ, අටේ වසර වලදී එක එක පොත් හදන්න දෙනවානේ ඉක්කෝල වලින්. ඒවා සෙට් වෙන්නේ පැවරුම් හැටියට. මහ ලොකුවට මිස්ලා කියන්නෙම් මේවාගෙන් එකතු වෙන ලකුණුත් වාර අවසාන විභාගෙට එකතු වෙනවා කියලා. අනේ… අපි නොදන්න මිස්ලා. එයාලයැ බොරු වලට අපි නම් අහුවෙයි…! ඒ වුනාට ඉතිං ඔය වගේ එක එක දේවල් ගැන විස්තර හොයලා පත්තර කපලා, මල්, පැලෑටි වේලලා නම් කරලා හදන පොත් වලට නම් ආසයි. පුළුවන් තරම් ලස්සනට හදන්න තමා හැමෝම ට්‍රයි කරන්නේ. ඒ දවස් වල අකුරු කැත ළමයි එයාලගේ අම්මලට කියලත් පොත් හදවගෙන ගියාලුනේ.

තාම වේලෙනවා…

ඉතිං ළමයි කීප දෙනෙක් ඖෂධ පැලෑටි කියලා කුප්පමේනියා වේලලා, මුදුන් මුලට තඩී ඊතලයක් ගහලා මේක තමා මුදුන් මුල, ඊට පස්සේ චූටි මුල් වලට කේශික මුල් හරි ශාකා මුල් හරි කියලා නම් කරලා එකම මොඩ්ල් එකේ පොත් 30ක් විතර හදද්දි… ටිකක් වෙනස් විදයට හිතපු ළමයි වෙන වෙන පොත් හැදුවා. ගැහැණු ළමයි හැදුවේ, මල් වර්ග වේලලා මල් පොත්, එතකොට රෙදි කෑලි, නූල් වර්ග, බොත්තම් අලවලා රෙදි පොත්… වගේ ඒවා.

පිරිමි ළමයි, නම් කුකුල්ලු පිටිපස්සේ එලෝලා උංගේ පිහාටු එකතු කරලා, පිහාටු පොත් එහෙමත් හැදුවා. තව සමහරු එයාලගේ අම්මලා තාත්තලාගේ කාලෙ මුද්දර අලවලා “දුර්ලභ මුද්දර“ පොත් හැදුවා. ඉතිං ඔය කොච්චර වෙනස් විදියට හිතන එවුන් හිටියත් ඒ අස්සෙත් ඉන්නවනේ පට්ට කම්මැලි ඩයල්. එයාලා වෙනස් විදියට හිතන්නේ කම්මැලි කම නිසාමයි.

මේං මල් පොතක්…

ඉතිං අන්න එහෙම හිටිය එක කොල්ලෙක් ගෙදර ගිහිං අම්මත් එක්ක එකතු වෙලා, තාත්තා ඒ ළමයාට ගෙනත් දෙන විදුසර හා මල්ලිට ගේන මිහිර පත්තරෙයි විජය පත්තරෙයි තියෙන තරු ගැන තොරතුරු තියෙන ආටිකල් කපලා හැදුවා පොතක්. ඒකට කියන්නේ “තරු පොත“ කියලා.  හරියට නිකං කේන්දරේ, වේලපත්කඩේ වගේ තමා. තරු රටා පිරිලා.

ඒ දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වුනේ පයනියර් කියන චන්ද්‍රිකාව. එකේ හයි කරලා තිබුනලු, පිටසක්වල කාට හරි චන්ද්‍රිකාව මුන ගැහුනොත් ඒක ආවේ කොහෙ ඉඳන්ද කියලා දැනුම් දෙන්න පුළුවන් සංකේතමය රත්තරං තහඩුවක්. ඒකේ වැඩි දුරටත් අන්තර් ගත වෙලා තියෙනවා පෘථිවිය කියන මෙව්වා එකේ ඉන්න ගැහැණු හා මිනිස්සු ගැන. පින්තූරත් එක්කම.

ඉතිං අර කොල්ලා ඔය පින්තූරෙත් කපලා ඇලෙව්වලු පොතේ. ඇයි ඉතිං පයනියර් ගැන තියෙනවා කියන්නේ රටේ ලෝකෙ වෙන අළුත්ම දේවල් ගැන ලේටස්ට් අප්ඩේට් තියෙනවා කියන එකනෙ. පස්සේ ඉතිං අදාල දවසට පන්තියට ගියාම එක එක්කෙනා ගාව එක එක පොත්. වැඩියෙන්ම ආසා හිතෙන්නේ පිහාටු පොත් වලටයි, එක එක පාට පාට රෙදි කෑලි කපලා අලවලා තියෙන රෙදි පොත් වලටයි… ඊට පස්සෙ තමා මල් පොත්. එව්වත් නරකම නෑ… අර වැඩිපුර තියෙන එව්වනම් දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ…

වැල පින්තූරේ….

අදාලා පීරියඩ් එකට මිස් එන්න කලින් හැමෝම ඉතිං තම තමන්ගේ පොත් වල වත ගත කියනවා යාළුවෝ එක්ක. යාළුවොත් වට කරන් බලාගෙන ඉන්නවා. ඔහොම ගිහිං ගිහිං… තරු පොතත් ආවා කරලියට. ඒක මැදක් හරියට බලාගෙන යද්දි අර පිටුව සෙට් වුනා. ඊට පස්සේ කෙල්ලෝ ටික කටවල් ඇරගෙන පොතේ අයිතිකාරයා දිහා බලාගෙන ඉන්නවා. ඒ මදිවට මූණු ටික සතූතූ වෙලා. කොල්ලෝ නම් ඇඟිල්ලෙන් අයිනවා… හිනා වෙනවා වැඩ ගොඩයි. ඒ මදිවට වෙන පිටුවක් පෙරලන්න දෙන්නෙත් නෑ… හරියට නිකං වැල පත්තරයක් ගෙනිහිං වගේ…

ඊට පස්සේ ඉතිං කට්ටියම එක එක ඒවා කියෝලා, සමස්තයක් වශයෙන් බලද්දි පොත හොඳයි කියන නිගමනේට ඇවිත් ඉන්ටවල් බෙල් එකට සතුටින් විසිර ගියා. ඉන්ටවල් එකෙන් පස්සේ තිබුන පීරියඩ් එකේදි තමා ඔය පොත් ටික බලන්නේ. ඉතිං අර කොල්ලත් දුවගෙන ඇවිත් ආයෙම පොත පෙරල පෙරලා බැළුවා. ඇයි ඉතිං මිස් මේ ටික එකතු කරගත්තම ආයෙ හම්බුවෙයිද නැද්ද කවුද දන්නේ…!

ඔන්න ඔහොම පෙරලගෙන යද්දි, ඔක්කොම කොල ටික තියෙනවා අර වැල පින්තූරේ තිබුන කොලේ නෑ… කවුරු හරි එකෙක් ඒකට ගේම දීලා. පින්තූරේ විතරක් ගලෝගෙන පල… ඔච්චරම ඕනේනම්… යකෝ මේ මැට්ටස් මුළු කොලේම ඉරාගන ගිහිංනේ… දැන් ඉතිං මොන පයනියර්ද කියලා හිත හදාගෙන මිස්ට පොත භාර දීලා නිකං හිටියා. කාගෙන්වත් අහන්නැයි කොයි එකාද මගේ පොතේ අහවල් කොලේ කඩාගත්තේ කියලා….!!!

පස්සේ ඔන්න දවස් දෙකකට විතර පස්සේ ගම් වගේකුත් ගෑවිලා ගුලි කරලා කාගෙද මේසයක් යට තිබිලා ගෑණු ළමයෙක් පන්තිය අතුගාද්දි දැකලා අහුලලා දුන්නා, මේ අර ඔයාගේ පොතේ තිබුන කොලේ නේද කියලා….!

කොල්ලත් ඉතිං… හ්ම් කියලා… ඔන්න ඕක විසික් කරලා දාන්න… දැන් වැඩක් නෑනේ කියලා කිව්වලු. ඇයි ඉතිං ඒ සතියේ මැද හරියේ නාසා එකට දාපු ලියුමකින් ඌට ඇවිත් තිබුනනේ අඩි හතරක් පලල අඩි දෙකක් දිග ඒ පින්තූරෙම ලොකු එකක්…! ඉතිං මොකටද ඔය සත පනහේ පත්තර කෑලි…!!! නේද….!!!

46 Responses to “තරු පොතේ, වැල කොලේ….”

  1. සාබිත් Says:

    ඌ ගම් පැක්ටරියක් දාන්න ඇති නේද බං ලොකු පිංතුරේ හම්බුනයින් පස්සෙ?:D

  2. මාඩා Says:

    නරකම නෑ නේ…… බාල කලේ ඉදලම වැඩ වගේ…..

  3. මධුරංග Says:

    තරු පොතේ, වැල කොලේ….

    මේකේ වැල කොළේ වෙනුවට වැල පත්තරේ වෙන්ඩ ඕනේ නේද… හික්ස් 🙂
    ඔය පොත් හදන එක පන යන වැඩ්ක් !!! මම නම් ආසම නෑ.. 🙂

  4. පරිකල්පන Says:

    නාසා විද්‍යාඥයො ගම කාලනෙ. පයනියර් චන්ද්‍රිකාව කවදහරි කාටහරි හම්බඋන දවසක ඒ අය මිනිස්සු ගැන මොනා නොහිතයිද?

  5. Weniwel Says:

    පොඩි කාලෙ ඉඳන්ම පොඩි කමට කරලා තියෙන වැඩ ! ඒ පින්තූරේ අදාල තැන් වලට ගහක වැලක කොලයක් හරි අලවන් යන්න එපාය..ඒ කාලෙ xx වත් නැති කාලෙ ආදම් හා ඒව ඉන්න ඉංග්‍රීසි ෆිල්ම් එකක් ආවා හෝල් වලට ගමේ.. අපිත් ටිකට් අයියයට වැඳලා වගේ ටිකට් අරන් බැලුවා.. එතකොට 18 නෑනෙ. උන් ඩබලත් කොල ඇඳලා හිටියෙ.. අපේ එකෙක් කියනවා අපරාදෙ බන් පෙබරවාරි ආවනම් ශෝක් ඔය කොල හැලෙන කාලෙනෙ කියලා.. හෝල් එක දෙවනත් වෙන්න හිනා උනා..

  6. Hareendra Perera Says:

    ඕක දකින් පිටසක් අලයො හිතයි.. මේ ලෝකෙ තාම ඇඳුම් හොයාගෙනත් නෑ කියලා..

  7. DDT Says:

    හෙහ් හෙහ් …. වැල පත්තර.
    අපිත් 7 – 8 පන්තිවල ඉද්දි ඔය පොත් හදන වැඩ නම් කළා. මමත් හැදුව ඉතිහාසය ගැන පොතක්. ගොඩක් කරුණු එකතුකරල. මතක හැටියට 86/100 ක් තිබුණ. පන්තියෙ වැඩිම ළකුණු. කාටද ආඩම්බර.

  8. hasithag Says:

    පොත් හැදිලි නම් කොච්චර වුනාද ? ලේඛකයන්, රජවරුන්, අවුරුදු ක්‍රීඩා, අවුරුදු චාරිත්‍ර…. අම්මෝ එකී මෙකී නොකී මාතෘකා ගොඩකට පොත් හැදුවා වගේ මතකයි. හැබැයි ඒ පොත් ගොඩක් මිස්ලා ගාවම තමා

  9. සපතේරු උන්නැහේ Says:

    මල්ලිලා පොත් හදල බේරුණා… අපේ කාලෙ… හෆොයි… ගස්ලබු කෙක්ක…ජල කාච… හෆොයි…

  10. ගිනි කුරුල්ලා Says:

    තරු පොත හදලා තියෙන්නේ නම් පට්ටම කුප්පයෙකි. නේද බන්?

  11. Sumith Niriella Says:

    අපිනම් ඔය වගේ වල් ඒවා කළේ නෑ. බෝ කොළ හෙම තමයි ඇලෙව්වෙ…. 😀

  12. arunishapiro Says:

    ඇමෙරිකාවේ අය තවම scrapbooking කියලා කරගෙන යන ජනප්‍රිය වූ විනෝදාංශයක් වෙන මේක, 2004 දී බිලියන 2.5 ක ආදායම් ඉපැයූ කර්මාන්තයක්. අලවන ගම්, කොළ කපන විවිධ හැඩ ඇති කතුරු, තීරු වලට දාන පුංචි හැඩ වැඩ කෑලි යනාදියෙන් මෙහෙ අත්කම් බඩු විකුණන කඩවල් වල වෙනම සෙක්ෂන් තියනවා ඒවට ම බඩු විකුණන. ලංකාවේ දී පාඩම් කියා දෙනවාට වඩා පින්තූර ඇලවිල්ල අපිත් ලවාත් කරවපු නිසා තාම පුරුද්ද ඒ පැත්තට ගියාම ඒවයෙ ඇවිදින එක!!! එතකොට තමයි ගෝල්ඩ් ෆිෂ්ලා මතක් වෙන්නෙ 😀 Creative Memories කියන කොම්පැණිය 2004 දී සිල්ලර වෙළඳාමෙන් ඩොලර් මිලියන 425 ක් හොයාගෙන තියනවා කියන්නෙ විකිපීඩියාව. ඒ කොම්පැණිය නිර්මාණය කරපු බඩු එසෙම්බල් වුනේ චීනයේ විකුණුනේ ඇමෙරිකාවේ.

  13. Hiruhimawi Says:

    පුංචි කාලේ පොත් හදන්න දුන්නම මගේ යාළුවා එයාගේ නැන්දට කියල හදන් ඇවිත් වැඩි ලකුණු ගන්නවා.මට හැමදාම එයාට වඩා අඩුයි.මට ගොඩක් දුක හිතෙනවා එතකොට.මං එහෙම අම්මට කිව්වම අම්ම කිව්වේ කවදාහරි ලොකූ විභාගවලදී ඔහොම කරන්න බැහැ.එතකොට බලාගන්න කියල.ඇත්ත.අද මම එයාට වඩා දුර ඇවිත්..ඒ කතාවත් මතක් උනා සහෝ ඔයාගේ ලිපිය කියවල.. 🙂

  14. A.Wickz Says:

    ඒ පින්තූරෙ අයිතිකාරයා කව්ද කියලා හිතාගන්න අමාරු නැහැ.lol

  15. henryblogwalker the Dude Says:

    අනේ මන්දා බං අපේ උන්ගෙ ඉරිසියාවත් කොච්චර පොඩි වයසෙන්ද පටන් ගන්නෙ නේ?
    henryblogwalker the Dude

  16. රූ Says:

    හ්ම්..නිර්මාණශිලි මාළුවෙක්..
    මටත් පොඩි කාලෙ හදපු(පෙරලපු) පොත් මතක් වුනා..

  17. කලුවා මල්ලි Says:

    ආපෝ…..පොත් හදන එක නම් මහ එපා වෙන වැඩක්……
    වැල පත්තර….දැන් නම් ඉතින් වැල pdf නේ…. 😀


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: