තරු පොතේ, වැල කොලේ….

ඉස්සර අපි හයේ, හතේ, අටේ වසර වලදී එක එක පොත් හදන්න දෙනවානේ ඉක්කෝල වලින්. ඒවා සෙට් වෙන්නේ පැවරුම් හැටියට. මහ ලොකුවට මිස්ලා කියන්නෙම් මේවාගෙන් එකතු වෙන ලකුණුත් වාර අවසාන විභාගෙට එකතු වෙනවා කියලා. අනේ… අපි නොදන්න මිස්ලා. එයාලයැ බොරු වලට අපි නම් අහුවෙයි…! ඒ වුනාට ඉතිං ඔය වගේ එක එක දේවල් ගැන විස්තර හොයලා පත්තර කපලා, මල්, පැලෑටි වේලලා නම් කරලා හදන පොත් වලට නම් ආසයි. පුළුවන් තරම් ලස්සනට හදන්න තමා හැමෝම ට්‍රයි කරන්නේ. ඒ දවස් වල අකුරු කැත ළමයි එයාලගේ අම්මලට කියලත් පොත් හදවගෙන ගියාලුනේ.

තාම වේලෙනවා…

ඉතිං ළමයි කීප දෙනෙක් ඖෂධ පැලෑටි කියලා කුප්පමේනියා වේලලා, මුදුන් මුලට තඩී ඊතලයක් ගහලා මේක තමා මුදුන් මුල, ඊට පස්සේ චූටි මුල් වලට කේශික මුල් හරි ශාකා මුල් හරි කියලා නම් කරලා එකම මොඩ්ල් එකේ පොත් 30ක් විතර හදද්දි… ටිකක් වෙනස් විදයට හිතපු ළමයි වෙන වෙන පොත් හැදුවා. ගැහැණු ළමයි හැදුවේ, මල් වර්ග වේලලා මල් පොත්, එතකොට රෙදි කෑලි, නූල් වර්ග, බොත්තම් අලවලා රෙදි පොත්… වගේ ඒවා.

පිරිමි ළමයි, නම් කුකුල්ලු පිටිපස්සේ එලෝලා උංගේ පිහාටු එකතු කරලා, පිහාටු පොත් එහෙමත් හැදුවා. තව සමහරු එයාලගේ අම්මලා තාත්තලාගේ කාලෙ මුද්දර අලවලා “දුර්ලභ මුද්දර“ පොත් හැදුවා. ඉතිං ඔය කොච්චර වෙනස් විදියට හිතන එවුන් හිටියත් ඒ අස්සෙත් ඉන්නවනේ පට්ට කම්මැලි ඩයල්. එයාලා වෙනස් විදියට හිතන්නේ කම්මැලි කම නිසාමයි.

මේං මල් පොතක්…

ඉතිං අන්න එහෙම හිටිය එක කොල්ලෙක් ගෙදර ගිහිං අම්මත් එක්ක එකතු වෙලා, තාත්තා ඒ ළමයාට ගෙනත් දෙන විදුසර හා මල්ලිට ගේන මිහිර පත්තරෙයි විජය පත්තරෙයි තියෙන තරු ගැන තොරතුරු තියෙන ආටිකල් කපලා හැදුවා පොතක්. ඒකට කියන්නේ “තරු පොත“ කියලා.  හරියට නිකං කේන්දරේ, වේලපත්කඩේ වගේ තමා. තරු රටා පිරිලා.

ඒ දවස් වල වැඩියෙන්ම කතා බහට ලක් වුනේ පයනියර් කියන චන්ද්‍රිකාව. එකේ හයි කරලා තිබුනලු, පිටසක්වල කාට හරි චන්ද්‍රිකාව මුන ගැහුනොත් ඒක ආවේ කොහෙ ඉඳන්ද කියලා දැනුම් දෙන්න පුළුවන් සංකේතමය රත්තරං තහඩුවක්. ඒකේ වැඩි දුරටත් අන්තර් ගත වෙලා තියෙනවා පෘථිවිය කියන මෙව්වා එකේ ඉන්න ගැහැණු හා මිනිස්සු ගැන. පින්තූරත් එක්කම.

ඉතිං අර කොල්ලා ඔය පින්තූරෙත් කපලා ඇලෙව්වලු පොතේ. ඇයි ඉතිං පයනියර් ගැන තියෙනවා කියන්නේ රටේ ලෝකෙ වෙන අළුත්ම දේවල් ගැන ලේටස්ට් අප්ඩේට් තියෙනවා කියන එකනෙ. පස්සේ ඉතිං අදාල දවසට පන්තියට ගියාම එක එක්කෙනා ගාව එක එක පොත්. වැඩියෙන්ම ආසා හිතෙන්නේ පිහාටු පොත් වලටයි, එක එක පාට පාට රෙදි කෑලි කපලා අලවලා තියෙන රෙදි පොත් වලටයි… ඊට පස්සෙ තමා මල් පොත්. එව්වත් නරකම නෑ… අර වැඩිපුර තියෙන එව්වනම් දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ…

වැල පින්තූරේ….

අදාලා පීරියඩ් එකට මිස් එන්න කලින් හැමෝම ඉතිං තම තමන්ගේ පොත් වල වත ගත කියනවා යාළුවෝ එක්ක. යාළුවොත් වට කරන් බලාගෙන ඉන්නවා. ඔහොම ගිහිං ගිහිං… තරු පොතත් ආවා කරලියට. ඒක මැදක් හරියට බලාගෙන යද්දි අර පිටුව සෙට් වුනා. ඊට පස්සේ කෙල්ලෝ ටික කටවල් ඇරගෙන පොතේ අයිතිකාරයා දිහා බලාගෙන ඉන්නවා. ඒ මදිවට මූණු ටික සතූතූ වෙලා. කොල්ලෝ නම් ඇඟිල්ලෙන් අයිනවා… හිනා වෙනවා වැඩ ගොඩයි. ඒ මදිවට වෙන පිටුවක් පෙරලන්න දෙන්නෙත් නෑ… හරියට නිකං වැල පත්තරයක් ගෙනිහිං වගේ…

ඊට පස්සේ ඉතිං කට්ටියම එක එක ඒවා කියෝලා, සමස්තයක් වශයෙන් බලද්දි පොත හොඳයි කියන නිගමනේට ඇවිත් ඉන්ටවල් බෙල් එකට සතුටින් විසිර ගියා. ඉන්ටවල් එකෙන් පස්සේ තිබුන පීරියඩ් එකේදි තමා ඔය පොත් ටික බලන්නේ. ඉතිං අර කොල්ලත් දුවගෙන ඇවිත් ආයෙම පොත පෙරල පෙරලා බැළුවා. ඇයි ඉතිං මිස් මේ ටික එකතු කරගත්තම ආයෙ හම්බුවෙයිද නැද්ද කවුද දන්නේ…!

ඔන්න ඔහොම පෙරලගෙන යද්දි, ඔක්කොම කොල ටික තියෙනවා අර වැල පින්තූරේ තිබුන කොලේ නෑ… කවුරු හරි එකෙක් ඒකට ගේම දීලා. පින්තූරේ විතරක් ගලෝගෙන පල… ඔච්චරම ඕනේනම්… යකෝ මේ මැට්ටස් මුළු කොලේම ඉරාගන ගිහිංනේ… දැන් ඉතිං මොන පයනියර්ද කියලා හිත හදාගෙන මිස්ට පොත භාර දීලා නිකං හිටියා. කාගෙන්වත් අහන්නැයි කොයි එකාද මගේ පොතේ අහවල් කොලේ කඩාගත්තේ කියලා….!!!

පස්සේ ඔන්න දවස් දෙකකට විතර පස්සේ ගම් වගේකුත් ගෑවිලා ගුලි කරලා කාගෙද මේසයක් යට තිබිලා ගෑණු ළමයෙක් පන්තිය අතුගාද්දි දැකලා අහුලලා දුන්නා, මේ අර ඔයාගේ පොතේ තිබුන කොලේ නේද කියලා….!

කොල්ලත් ඉතිං… හ්ම් කියලා… ඔන්න ඕක විසික් කරලා දාන්න… දැන් වැඩක් නෑනේ කියලා කිව්වලු. ඇයි ඉතිං ඒ සතියේ මැද හරියේ නාසා එකට දාපු ලියුමකින් ඌට ඇවිත් තිබුනනේ අඩි හතරක් පලල අඩි දෙකක් දිග ඒ පින්තූරෙම ලොකු එකක්…! ඉතිං මොකටද ඔය සත පනහේ පත්තර කෑලි…!!! නේද….!!!

%d bloggers like this: