ex – කාර් එක…

හරියටම, මෙන්න මේ වගේ ඇස් තියෙන ගෑණු ළමයි තමා අම්මගේ යාළුවොන්ට ඉන්නේ….

ඒ දවස් වල එක කොල්ලෙකුට තිබුනා සිරා කාර් එකක්. දැන් වගේ නෙවෙයි ඒ දවස් වල එහෙම කාර් එකක් තියෙනවා කියලා කියන්නේ ඉතිං ෆන් සාගරයක්.  ආව්… අම්මගේ යාළුවන්ගේ දුවලා එහෙම ආපුවාම… අනේ අයියේ මටත් වටයක් නන්න  ඕනේ…. මටත් වටයක් නන්න ඕනේ කියලා කන්කෙඳිරි ගාන කොට කොහොමද හිතේ උපදින මෙව්වා එක…!!!

ඉතිං කොල්ලගේ ඔය කාර් එකේ පාට රෝයල් මෙරූන්… වර්ගේ මතක නෑ… කොහොම හරි හොන්ඩා ජුලෝලා එකක් නම් නෙමෙයි. ඒ දවස් වල වගේම දැනටත් හෙනට හිට් වෙන කලර් එකක්නේ රෝයල් මෙරූන්. කොල්ලට තාත්තා නේවි බ්ලු කාර් එකක් අරං දෙන්න හදද්දි ඒක එපාම කියලා තරයේ කියා සිටියේ, ඔන්න ඔය රෝයල් මෙරූන් කාර් එක ගන්නම තමා. කොහොම හරි කාර් එක ගෙදර ​ගෙනාවා කියමුකෝ, කොල්ලට ඇස්සලේටරේ පාගන්න වත් උස නැති වුනාට මොකෝ උගේ පොරේ ඉවසන්නම බැරි තැන තාත්තා ඌවයි වාහනෙයි අරං ගියා රබර් ගස් ගලෝලා එලි කරලා තිබුන සමතලා ඉඩමකට. පාරේ ගෙනියන්න දෙන්න බෑනේ… ලයිට් කණු කෙලින් කරන්න යයි, තාප්ප පෙරලන්න යයි… කියලා තාත්තට බයයිනේ. ඊටත් වඩා අපරාදෙනේ දාස් ගානක් දීලා ගත්ත අළුත්ම කාර් එක….!

මේං කලර් එක….

ඉතිං ඔය විදියට කොල්ලව දවස් දෙක තුනක් තාත්තා ෂෝට් ලිව් දාලා ඇවිත් හවසට හවසට රබර් ඉඩමට එක්ක ගෙන යනවා, ඩිරෙක්ෂන් පුරුදු කරන්න. ඊට පස්සේ ඉතිං ටික කලකින් කොල්ලට කාර් එකක් තියෙනවා කියලා දැන ගත්ත යාළුවෝ එහෙමත් හැතැම්ම බර ගානක් දුර ඉඳන් තකහනියක් එනවා කාර් එක බලන්න… ඒ දවස් වල අම්මගෙන් තමා බේරුමක් නැත්තේ, ස්කෝලේ වැඩක් කරන්නේ නෑ ආපු ගමන් කාර් එක බදාගන්නවා කියලා. තාත්ත එනකං ඉතිං එලියට බහින්න දෙන්නේ නෑනේ… ඒක නිසා ඉතිං දාන සෙල්ලමක් ගෙදර තමා.

ඔන්න ඔහොම කාලේ යද්දි, කොල්ලගේ මල්ලිටත් ඕනේ වුනා කාර් එක පදින්න. අනේ ඌ දන්න කාර් පැදිල්ල කියලා කොල්ල වාහන ලඟටවත් කිට්ටු වෙන්න නොදෙන කොට මල්ලි අඬනවා බෙරිහන් දීලා. ඇත්තට කාර් එකේ අයිතිකාර කොලු පැටියත් පුංචි එකේ උගේ මල්ලිට මොන කාර්ද… අම්ම හදලා දෙන ෆාලිස් රස්ක් ටිකක් කාලා වැඩක් බලාගෙන ඉන්නේ නැතුව… හ්ම්… එනව මෙතෙන කාර් පදින්න… පස්සේ කොල්ලා තාත්තා ආවාම පැමිණිල්ල ගොනු කලා.

තාත්තේ, මෙයා මගේ කාර් එක පදින්න හදනවා… මටවත් හරියට ගෙනියන්න බැරි එකේ එයා කොහේ ගෙනියන්නද…!!! එයාට කියන්නකො, මගෙ වාහනේ ඉල්ලන්න එපා කියලා….

ඔන්න ඉතිං තාත්තාට වඳින ගාථාව කියලා වැඳලා කන්නලව් කලාට පස්සේ මල්ලිට දෙනවා දේසනය…

පුතා තව ටිකක් ලොකු වෙන්නකෝ… ඔයාට තාම වාහනේ එලවන්න බෑනේ… තව ටිකක් ලොකු වුනාම පුතාට අරං දෙන්නං අයියාගේ කාර් එකට වැඩිය හොඳ කාර් එකක්.

ඇහ්… මට වැඩිය හොඳ එකක්.. එව්වා නම් හඳේ… එහෙම කොහොමද… එහෙනම් මගේ වාහනේ මල්ලිට දීලා මට අළුත් එක ඕනේ… ඔන්න ඉතිං ඊට පස්සේ දෙන්න එක්ක තාත්තගේ ඔඩොක්කුවට පැනලා අතින් පයින් කඩු ෆයිට්…

නවත්ත ගන්න කිව්වේ… නැත්තං දෙන්නටම කාර් නැති වෙයි…. ඒ තාත්තා… ඇයි ඉතිං මුං දෙන්න තාත්තා අස්සට වෙලා කෙල ගන්න කොට නලවන්න කියලයැ….

කොහොම කොහොම හරි ගිහිං අයියගේ වාහනේ පාක් කරන්න තැනක් තාත්තම හදල දුන්නා. මල්ලිට එතෙන්ට යන්න බැරි වෙන්න එහෙම ආරක්ෂක විධි විධාන දාලා. ඉතිං ඔය කාර් එක ගත්තු අළුත කොල්ලා යන යන තැන කාර් එකෙන් ගියාට පස්සේ පස්සේ එහෙම නෑ. මොකද ඒ වෙද්දි කොලුවට තේරිලා තිබුනේ, මේක හූරගන්න එක, අතුල්ල ගන්න එක…ඇනගන්න එක එහෙම එච්චර හොඳ දෙයක් කියලා. මොකද ඒ වෙද්දි රෝයල් මෙරූන් කලර් එකට තිබ්බ ඉල්ලුමත් එක්ක ඒක පේන්ට් කරනවා කියන්නේ පට්ට වියදමක් යන වැඩක්. අනික තමා සයිඩ් මිරර්ස්. ඔය තැන් වල රිගංන්න ගිහිං කොහේ හරි වැදිලා කෙල වුනොත් ආයේ ලංකාවෙන් නම් හොයාගන්න වෙන්නේ නෑ… පංචිකාවත්තෙවත්… පිටකොටුවේ පෙන්ගුයින් එකේ වත් නෑ ඒ ජාතියේ සයිඩ් මිරර්ස්. ඒක නිසාම ඉතිං කොල්ලා තීරණය කරලා තිබුනේ වාහනේ ගෙදර තියලා  යන්න…!!!

මල්ලි වගේම තමා….

ඒත් පොඩි කොස්සක්… වාහනේ යතුර තිබ්බොත් මල්ලිට අහුවෙන්න… ඒ තමා වාහනේ යහතින් තියෙන අවසන් විනාඩි කීපය. ඒක නිසා ඉතිං කොල්ලා යන යන තැන වාහනේ යතුරත් අරං ගියා. ඔන්න ඔහොම දවසක් බෝල ගහන්න ගිය වෙලාවක කැච් එකකට පැනලා කොල්ලා බිම වැටුනා. පස්සේ ගෙදර ඇවිත් බලද්දි තමා දන්නේ කාර් එකේ යතුර වැටිලා නේද කියලා….

ඉතිං මොනා කරන්නද… තාත්තා එන්න කලින් අනිත් යාළුවෝ ටික එක්ක ගෙන ගිහිං යතුර හෙව්වට හම්බුනේ නෑ… පස්සේ ඉතිං තාත්ත එන්න කලින් ගෙදර ඇවිත් අම්මට කිව්වා වෙච්චි සීන් එක. අම්මා කිව්වම තාත්තා ඕනේ දෙයකට ෂේප් බව දන්න නිසා කොලුවගේ අම්ම පොරොන්දු වුනා තාත්තගෙන් ටොක්කක් ඉල්ලලා නොදී වැඩේ ගොඩින් බේරගන්න.

අම්මා එහෙම කිව්වට,  අම්මයි,  කොලුවයි මල්ලිගේ ඇඳ ගාවට වෙලා කතාකරපුවා හොර මල්ලි නිදිවගේ බොරුවට ඉඳලා අහගෙන ඉඳලා…

ආ… ඇද්ද ඇද්ද… මට වාහනේ ටිකක් පදින්න නොදුන්නට හොඳම වැඩේ… සාදු සාදු…

අනේ යනවා යන්න… මං තාත්තා ආවම බලාගන්නම්කෝ…

ඉතිං ඔන්න තාත්තා ආවා. අම්මා තාත්තගේ ලඟට ගිහිං වැඩිය කලබල නොවෙන විදියට කාරනාව කිව්වා. ඕනේ ලෝක යුද්ධයක් ගැන සාමයෙන් තාත්තලට පහදලා දෙන්න අම්මලා දන්නවනේ ඉතිං…!!! 😉

ඊට පස්සේ මගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුනා… මාත් මට මතක දේවල් කිව්වා. යතුර නැති වීම සම්බන්ධව. ඊට පස්සේ ඉතිං ටික දවසක් ගියා කාර් එක නැතුව.

ඉතිං ස්කෝලේ යාළුවොයි, ගෙවල් පැත්තේ යාළුවොයි නිතරම අහන්න වුනා කොලුවගෙන් ඇයි දැන් වාහනේ එලියට ගන්නේ නැත්තේ ඇයි කියලා.

මොනා කරන්නද බං… වාහනේ එලියට ගන්න විදියක් නෑ…. යතුර නැති වෙලානේ….. හ්ම්….

ඔන්න පස්සේ දවසක තාත්තම, පුතා අද අපි ගිහිං යතුරක් කපා ගමුද….?

හා යං…. දැන් යමුද….

ඒත් මං හිතන්නේ ඒක ටිකක් සල්ලි යන වැඩක් වෙයි… රුපියල් 300ක් වත් යයිනේ… ඊට වැඩිය හොඳයි අපි හාඩ්වෙයාර් එකෙන් අළුත් ලොක් එකක් ගෙනත් මේ ලොක් එක අයින් කරලා, අළුත් එක දාමු කැබිනට් එකට…. 😀 කාර් ​එකේ රිමෝට් කන්ට්‍රෝලර් එකට බැට්රි දෙකකුත් ගමු එන ගමන්. දැන් ඒකත් බැහැලා ඇතිනේ නේද….

%d bloggers like this: