දෙවුන්දර දේවි….

දෙවුන්දර

ම්… යන්තං වයස අවුරුදු 10ක් විතර වෙන්න ඇති. ශීෂ්‍යත්වෙටත් ලියලා 6 වසරට යන්න කලින් හම්බුන වසරාවසාන නිවාඩුවට තාත්ත අපිව එක්ක ගෙන ගියා ට්‍රිප් එකක්. ගමනාන්තය වුනේ කතරගම. එක්කගෙන ගියේ කෝච්චියේ. උදේම කළුතර ස්ටේෂමෙන් නැගලා ස්ටේෂන් ගොඩක් පහුකරගෙන ගිහිං මාතරින් බැස්සා.

ඊට පස්සේ අම්මා හදාගෙන ආපු සීනි සම්බෝලයි, පරිප්පුයි දාලා කෙසෙල් කොලයක් තවලා අරගෙන ඔතපු බත් එක කෑවා තාත්තලාගේ ඔෆිස් එකකට ගිහිං. ඒ බත් එක කන්නේ රසට නෙවෙයි සුවඳට. අම්බෝ කෙසෙල් කොලෙන් උඩට ඉගිල්ලෙන සුවඳ… ඇස් දෙක වහගෙන සුවඳ වින්දොත් එහෙම වටේ පිටේ කිසි දෙයක් දැනෙන්නේ නෑ… ඒවා දැන් තියෙන රුපියල් 150 හේ ලම්ප් රයිස් වගේ නෙවේ…! වටිනාකමයි, රසයි කියලා නිම කරන්න බෑ…!

දැන් විකුණන්න තියෙන ඒවා

 

ඉතිං කෑම කාලා මල්ලිවත් ටිකක් නිදි කරවලා, මහන්සි නිවා ගෙන ආයෙම තාත්තලගේ වාහනේකින්ම එක්කගෙන ගියා දෙවුන්දර දේවාලය බලන්න. ඒ දවස් වල දෙවිවරු ගැන තියා දේවාල කියන්නේ මොනවද කියලවත් හරි අවබෝධයක් තිබුන කාලයක් නෙමේ. ඒත් ඉතිං පූජා වට්ටියට තියන අන්නාසියි, කොමඩුයි මතක් වෙද්දි වෙන මොන කතාද…! ඒවත් ගෙදර ගෙනත් කන ඒවා වගේ නෙමේ, මාර රසයි. මං හිතන්නේ දෙයියන්ගේ බැල්ම වැටුනම පලතුරු රස වැටෙනවා ඇති.

ඉතිං අපි දේවාලෙට ගිහිං ඇවිත් ඉස්සරහ තණකොල පිට්ටනියේ ඉඳගෙන පලතුරු කනවා. මල්ලි අම්මගේ ඔඩොක්කුවේ. මං තාත්තගේ ගාව වාඩි වෙලා. මගේ අතේ තිබුනේ කහම කහ පාට අන්නාසි පලුවක්. භාගයක් කාලා තිබුනේ. අම්මා එක පාරටම මගේ අතට පාරක් ගැහුවා.

ඇයි…?

ඇයි හත්තිලව්වේ එකපාරටම නිකං පාරක් ගැහුවම උඩ යන්නේ නැද්ද. මල්ලි එක්ක වලියක් දාගෙන නම් කමක් නෑ. ඌ උගේ පාඩුවේ ඉද්දි, මං මගේ පාඩුවේ අන්නාසි කද්දි මොන එහෙකට ගහනවද…

අර බලන්න, ඔයා ඔහොම පෙරේතයා වගේ අන්නාසි කන දිහා අර ගෑණු ළමයත් බලාගෙන ඉන්නවා. හිමීට කන්න.

මෙච්චර නම් ලස්සන නෑ…

ඈහ්… කෝ … කොහෙද..? ගෑණු ළමයෙක් ? මගේ දිහා බලාගෙන ඉන්නවා ? ඒක වෙන්ට බෑ… මං අම්මලා පූජා වට්ටිය දෙයියන්ට දෙද්දි මට හොඳ ගෑණු ළමයෙක්ව දෙන්න කියලා ඉල්ලුවා තමා. ඒත් ඉතිං මෙච්චර ඉක්මනට ඉල්ලුවේ කව්ද..! සමහර විට මං හද පතුලෙන්ම ඉල්ලපු නිසා වෙන්න ඇති දෙයියන්ට දුක හිතිලාද දන්නේ නෑ  දැන්මම සෙට් කරලා දුන්නේ. මගෙත් වැරැද්ද… මං කිව්වේ නෑනේ තව ටිකක් ලොකු වුනාමයි හොඳ ලස්සන ගෑණු ළමයෙක්ව ඕනේ කියලා… මං කිව්වේ හරියට කාලයක් කියන්නේ නැතුවනේ… හ්ම්…!!!

ඉතිං ඔය බිම බලාගෙන ඉන්නේ නැතුව ඒ ළමයට මේ කෙසෙල් ගෙඩි ටික ගිහිං දීලා එන්න…

මට පේන්නේ අපේ අම්මට, කෙල්ලව හිතට අල්ලලා වගේ. නැත්තං අපිට කන්න තියෙන කෙසෙල් ගිහිං දෙන්න කියයියැ… නෑ… නෑ… නෑ…. මේ කෙල්ල හරියන්නේ නෑ… අපිට කන්න තියෙන කෑම ඔක්කොම ටික අම්මා මේ කෙල්ලට දෙයි. එතකොට මටයි මල්ලිටයි කන්න වෙන්නේ නෑ… ඒක නිසා කෙල්ලව ආයෙ ගන්න කියලා දෙයියොන්ට කියන්න වෙනවා. ඒත් ඒකට තව පූජා වට්ටියක් දෙන්න වෙයිනේ…!

පුතූ… මේක දීලා එන්නකෝ ඒ නංගිට… ඔළුව උස්සලා බලන්නකෝ ළමයෝ…

අනේ අම්ම දන්නවැයි මට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ. ඒත් කටක් ඇරලා කොහොමද මං අම්මට කියන්නේ දෙයියන්ගෙන් මෙහෙම දෙයක් ඉල්ලුවා කියලා. මං මාර අමාරුවකනේ වැටුනේ….!

දරුවෝ… ඉතිං යන්නකෝ දැන්. පවුනේ ඒ ගෑණු ළමයා.

හ්ම් කෙහෙම්මල… අපි පවු නෑනේ… ඒත් ඉතිං කමක් නෑ… මං ගෙදර එක්කන් යන්නේ නෑ දැන්ම. ලොකු වෙලා එන්නම් කියනවා. එතකන් කෙසෙල් ගෙඩි ටික ගිහිං දෙනවා. හ්ම්…

මං අමාරුවෙන් අන්තිම තීරණේ අරගෙන හිමීට ඔළුව උස්සලා බැලුවා ගෑණු ළමයා දිහා. හ්ම්… නරකම නෑ… සුදුයි, වැඩිය මහතත් නෑ… කොන්ඩේ කැරළි මූන දෙපැත්තෙන් ලස්සනට වැටිලා. එක කොන්ඩ කෑල්ලක් කන වටේ එතිලා.

කෝ දෙන්න… මං ගිහිං දෙන්නම්…. දිවුල් ගෙඩියකුත් ගිහිං දෙන්නද මං…? මල්ලියි මායි දිවුල් වලට ආසා නැහැනේ තාත්තා….!!!

ආ… මේක ඉදිලා… මේක ගිහිං දෙන්න.

ඊට පස්සේ අන්නාසි කෑල්ලත් එක අතක තියාගෙන අනිත් අතින් කෙසෙල් ගෙඩි දෙකයි, දිවුල් ගෙඩියකුයි අරගෙන ගියා ගෑණු ළමයා ගාවට. ම්… එයා ඇත්තටම ලස්සනයි… දෙව්යෝ ගොඩක් හොඳයි…! නැත්තං ඉල්ලපු ගමන් මේ වගේ ලස්සන ගෑණු ළමයෙක්ව දෙයිද මට…!!!

මේ ටික ගන්න… අම්මා දෙන්න කිව්වේ…

එහෙම කිව්වම මං හිතුවේ උදුරලා අරගෙන මටත් තෑන්ක් යූ වත් නොකියා දුවයි කියලා. ඒත් එයා හෙල්ලෙන පාටක් වත් නෑ… මගේ ඇස් දෙකයි, මූනයි දිහා බලාගෙන ඉන්නවා. මට හිතෙන්නෙම දෙයියෝ මේ ළමයාව එවලා නිසා එක්කගෙනම යන්න වෙයි කියලා. අනේ මං කරගත්තු දෙයක්….!

මේක ගන්න… මං ආයෙමත් කිව්වා…

මං කෙසෙල් වලට ආස නෑ… දිවුල් ගෙඩිය ගන්නම්… කියලා මං ගෙනාපු දිවුල් ගෙඩිය මගේ අතින්ම අල්ලලා අරගත්තා. පස්සේ ඇස් වල කඳුළු පිරිලා බිංදු දෙක තුනක් කම්මුල් දිගේ ගලා ගෙන එන හැටි මං දැක්කා.

අම්මේ… මං කෑගැහුවා…. අම්මේ… මෙයා අඬනවා…

ඊට පස්සේ අම්මා ආවා ලඟට.

ඇයි දරුවෝ අඬන්නේ…?

බඩගිනියි නෝනා…

මාත් නිකං සලිත වෙලා හිටියට මොකෝ, මටත් දුකයි. දිවුල් ගෙඩියකට පුළුවන්ද බඩගින්නක් නිමන්න…

අපි මෙයාට කන්න මොනා හරි අරන් දෙමු…!!! අනේ අම්මේ…!!! කියද්දි එක පයිසෙකට මාව ගනන් නොගත්තු අම්මා ඒ ළමයාගේ කර වටේට අතදාලා තාත්තයි මල්ලියි හිටිය තැනට එක්කගෙන ගිහිං අපි ගෙනාපු බෑග් එකෙන් සීනි  සම්බෝලයි පානුයි අරගනෙ කන්න දුන්නා. තාත්තා මල්ලිව අම්මට දීලා කඩේකට දුවලා ගිහිං ස්මෑක් එකක් අරගෙන ආවා. පවු එයා… පාං භාගයක් විතරම කෑවා. කාලා ඉවරවෙලා බීම එකත් බිව්වා.

ඊට පස්සෙ මං ආයෙමත් කෙසෙල් ගෙඩි එයා දිහාට දික් කලා.

එකක් දෙන්න. අනිත් එය ඔයා කන්න…

ආ… මේක ඉදිලා… ඔයා මේක කන්න. අනිත් එක මං කන්නං….

ඇහැල ගස් ටික තාම තියෙනවා මං හිතන්නේ

ඒ දවස් වල තියා අදටත් නොතේරෙන අමුතු ලස්සන ඇස් දෙකකින් මගේ දිහා බලාගෙන, මගේ එක අතකිනුත් අල්ලගෙන හිටිය හැටි මතකයි මට තාමත්. ඒ වෙද්දි අන්නාසි කෑල්ල මගේ අතින් අතෑරිලා තිබුනේ. ඒක කොහේද කියලා දන්නේ නෑ…

අන්තිමට අපේ අම්මා ඒ ගෑණු ළමයාගේ ඔලුව අතගාලා, දැන් බඩගිනි නෑ නේද..? කියලා අහද්දි පුංචි කෙස් අවුල් වෙච්චි ඔලුව දෙපැත්තට වනපු හැටිත් මතකයි. හ්ම්…

තෑන්ක් යූ පුංචි මහත්තයා… කියලා මගේ ඇස් දෙක දිහා ටික වෙලාවක් බලන් ඉඳලා… එක පාරටම අත අතෑරලා කහ පාට මල් කිනිති පිපිලා පහලට එල්ලිලා තිබුන ඇහැල ගස් අස්සෙන් දුවගෙන නොපෙනී ගිය හැටි….!!!  හ්ම්…. තාමත් මතකයි මට….

%d bloggers like this: