මල්වර ඩිටෙක්ටඩ්….

මෙය හුදෙක්ම ෆාඨක සහෘදයන්ගේ හා සහෘදියන්ගේ දැන ගැනීම පිණිස මිස කිසිවෙකුටත් අපහාස කිරීමේ චේතනාවෙන් පළනොවන්නකි…!

– නැත්තං මාව කන්න හදයි අපහාස කරනවා කියලා –

අපෙත් මෙහෙම තමා

අනිත් ස්කෝලෙ වල වගේම, අපේ ස්කෝලෙත් වාර විභාග කිට්ටු වෙද්දි… කොම්පූටර් ලැබ් එක කියන්නේ කැන්ටිමටත් වඩා පට්ටම බිසි තැනක්. ලොකු පන්ති වල අයියලා අක්කලා ඕෆ් පීරියඩ් වලදී පොඩි පන්ති වල ළමයින්ගේ පේපර් ටයිප් කරනවා, තව කණ්ඩායමක් අකුරුවල හරි වැරදි බලනවා… වැඩ ගොඩයි. ඔය අතරේ ඉන්නවා ළමයින්ට උගන්නලා උගන්නලා… පුළුවන් තරම් නැහිලා හූණු කුඩු නාලා නාලා හෙම්බත් වෙච්චි, ලොකු බෝතල් අඩි කණ්නාඩි දාන… පෙන්ෂන් යන්න කිට්ටු ගුරුවරු කීපදෙනෙකුත්.

ඉතිං අපිත් ඒ දවස් වල උසස් පෙළ සිස්සයෝ. වාර විභාග දවස් වලට අපිට වාර විභාග තිබුනත් නැතත්, අපි උසස් පෙළ කරත් නැතත්, අනිවාර්යෙන්ම අපිටත් සිද්ධ වෙනවා පේපර් වල අඩුපාඩු බලන්න එහෙම. ඒක වගකීමක් විදියට ප්‍රින්සිපල් උතුමාණන්ම තමා පවරලා තිබුනේ උදේ රැස්වීමකදී. ඒක නිසා මගඅරින්න බෑ… එහෙම කලොත් අපිට ආයෙ නිකං ඉන්න වෙලාවකට කොම්පූටර් ගහලා ඉවරයි.

අන්න එහෙම කාගෙ හරි පේපර් එකක වැරදි අඩුපාඩු බල බල ඉන්න වෙලාවක මාත් ගියා වැඩේට එන්ටර් වෙලා හිටිය ගෑණු ළමයෙක් ගාවට, සපෝට් එකට. ටිකක් වයසක, විශ්‍රාම යන්න ඔන්න මෙන්න හිටිය මිස් කෙනෙක් ලඟ තිබ්බ කැරකෙන පුටුවක වාඩිවෙලා අර ගෑණුළමයත් එක්ක පේපර් එකේ වැඩ ටික කරගෙන යනවා.

ඊට ටික දවසකට කලින් මිනිස්ට්‍රියෙන් හරි, නැත්තං වෙන මොකක් හරි ආයතනෙකින් හරි ඇවිත් අපේ පී.සී ඔකකොටම කැස්පස්කි ගාඩ් එක දාලා ගියේ. දන්නවනේ ඉස්සර කැස්පස්කි…. අර වයිරස් එකක් අහුවුන ගමන්… ක්‍රෑක්‍රෑෂ්ෂ්… ගාගෙන පොඩි එවුන් විතරක් නෙමෙයි ලොකු එවුනුත් බය වෙන සද්දයක් එන්නේ… ඒ දවස් වල ඩිටෙක්ෂන් එක වැඩිම එක කියලා කප් ගහලනේ හිටියේ. අර අර මිසුයි, ගෑණු ළමයයි වැඩ කර කර හිටිය එකෙත් ඔන්න ආවා කෙල්ලවත් බය කරගෙනම සද්දෙත් එක්කම මැසේජ් එකක්….

බැලින්නම් මොකක් හරි මැල් වෙයා සීන් එකක්. පස්සේ මිසුත් පුදුමවෙලා ඒ මැසේජ් එක කියවනවා. දැන් වගේ ආපු ගමන් ක්ලෝස් කරලා දාන්නේ නෑනේ ඉස්සර අය. එයාලා ඒක කියවලා බලනව, මොකද්ද මේ අළුත් තාක්ෂනේ කියලා. ඉතිං ඔහොම කියවගෙන මිස්ට වැඩේ අවබෝධ වුනා. පස්සේ මිස් කෙල්ලගෙයි මගෙයි මූනු දිහා මාරුවෙන් මාරුවට දෙපාරක් විතර බැළුවා. අපි දෙන්නටම නෝ ඩිරෙක්ෂන්.

මොකද්ද ළමයෝ… මේ කියන්නේ… මොකද්ද… මොකද්ද මේ මල්වර වෙච්ච කතාවක් කියන්නේ…? ඈහ්… දැන් කෙල්ලෙක් ලොකු වුනාමත් මේ යන්තරෙන් පණිවිඩ එවනවද…? ඈහ්…?

දැන් නම් ගෑණු ළමයි ගහෙන් වැටෙන එව්වා තඹේකට ගනන් නොගත්තට, ඒ දවස් වල මැජික්නේ. කොල්ලන්ට විතරක් නෙමේ කෙල්ලනුත් හරි ලැජ්ජයි ඔය වගේ දේවල් කොල්ලෝ දැන ගන්නවට. ඉතිං අර සුදු ගෑණු ළමයාගේ සුදු මූණු පොඩ්ඩ සතූතූතූ පාට වෙනවත් මට පෙනුනා. කොහෙද ඉතිං කෙල්ලව සනසන්න පුළුවනෑ… මිස්ගේ ප්‍රශ්නේ තාම ඉවරත් නැති එකේ.

කියන්න ළමයෝ… මොකද්ද මේ මල්වර කතාව…?

ඉන්න මිස් මං අපේ සර්ට කතා කරන්නම්. මං හරියට දන්නෙත් නෑ…

මූං මේකෙන් කුනුහරුප බලනවද කොහෙද… හ්ම් ආපු දෙන්කෝ මහ එකා.

පව් අහිංසක මනුස්සයා. මං සර්ව එක්කගෙන එන්න යන ගමන් තනියම හිතුවා. ඉස්සර අයට දැන් අයට වගේ තාක්ෂණික වචන ගැන තේරුමක් නැහැනේ. ඒත් මට වැඩියෙන්ම දුක අසරණ කෙල්ල ගැන. පවූවූවූ එයා… ඒ දවස් වලත් හද පපුව හෝස් ගාලා යනවනේ ඉතිං.

ඉතිං මං ගිහින් මහ එකාව එක්කගෙන ආවා. එන සර් ගමන් මගෙන් අහනවා… මොකද බං වෙලා තියෙන්නේ?

මැල්වෙයා මැසේජ් එකක් නැති නිසා

ලොකු අවුලක් නෑ සර්… Malware Detected කියලා මැසේජ් එකක් ආවා. එච්චරයි. කියලා ආයේ අර කෙල්ලගේ මූන බලන්න බැරි කමට පේපර් එක බල්ලට දාලා මං ගියා යන්න කැන්ටිමට. සෙනගත් නැති එකේ හොඳ වඩේ පාරක් දාන්න. නැත්තං සර් ඉස්සරහා මටත් වස ලැජ්ජාවක් වෙනවා, ඕක තේරුම් කරලා දෙන්න බැරිවුනා කියලා.

පවු අප්පා දැන් නම් දුකත් හිතෙනවා. කෙල්ල ගැන නෙමෙයි, ඒ ගුරුවරු ගැන. අපි ඒ දේවල් වලට ඉස්සර හිනා වුනාට, එයාල අපිට ලොකු ලොකු දේවල් වරදිද්දිවත් නක්කලේට හිනා වුනේ නැහැනෙ. කනට දෙකක් දීලා හරි නිවැරදි දේ කියලා දුන්නා මිසක්….!

%d bloggers like this: