අවසන් හුස්ම විකිණීම…!!!

මේවයේ හංගන්න දේවල් නෑ… හැමෝම දන්නවනේ….

හැමෝම දන්නවනේ මේ දවස් වල අපරාධ රැල්ල කොච්චර උණුසුම්ද කියලා… මල් වගේ පිපෙන්න ඉන්න පොහොට්ටු පිපෙන්න ගන්න කලින්ම තමන්ගෙම ඥාතීන් අතින් හරි වෙන මොකෙක් හරි කාලකන්නියෙක් අතින් හරි තැලිලා පොඩිවෙලා යනවා. ඒ තිරිසනාට හිතුනොත් මේ මල් කැකුල තවත් ඉන්න ඕනේ නෑ කියලා… මරලා දානවා. සල්ලි තියෙනව නම්, දන්න කියන නඩු කාරයෝ ඉන්නවනම් ස්ත්‍රී දූෂණයක් කරන්න බය වෙන්න දෙයක් නෑ…!

ඒක ඇත්තටම මානසික රෝගයක් හින්දා කරන වැඩක් කියලා හිතන්න පුළුවන් වුනත්, දැන් මාධ්‍ය ආයතන වලින් කරන කුණුහබ්බ වැඩේ ගැන නම් තිත්තයි…! කොටින්ම කියන්න…

“අපරාධයක් වුන සැනින් එය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කොට හෝ වීඩියෝ ගත කර අප වෙත එවීමට පුළුවන් නම්, ඔබට වටිනා මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමේ අවස්ථාව.“

කියන දැන්වීම පුංචි පුංචි වෙනස් කම් සහිතව ඒත් මේ අර්ථයම ගෙන දෙමින්, මාධ්‍ය ආයතන වලින් මේ දවස් වල හෝ ගාලා ප්‍රමෝට් කරනවා. කෙලින්ම අපරාධයක් කියලා නොකිව්වට මාධ්‍ය ආයතන වලට,  “ප්‍රවෘත්ති“ කියන්නේ තනිකරම අපරාධ විතරක් කියලා වගේ තමා දැන් නම් තියෙන තත්ත්වය අනුව පේන්නේ.

මනුස්සයෙක් යම් කරදරයකට පත්වුනාම ඒ මිනිහාගේ තත්ත්වය ගැන සලකලා රෝහලකට අරගෙන යන එක හෝ අඩුම ගානේ ප්‍රථමාධාර දෙන එකටත් ඉස්සෙල්ලම කරන්නේ ඒ මිනිහාගේ ෆොටෝ එකක් හෝ වීඩීයෝ ක්ලිප් එකක් අරගන්න එක. ඊට පස්සේ කවුරු හරි හිත හොඳ එකෙක් ලං වෙලා අර මනුස්සයට උදවු කරද්දි, තවත් පුළුවන් තරම් කැමරා බස්සලා ඒ තත්ත්වයත් වීඩියෝ කරගන්නවා…! අඩුම ගානේ වාහනයක් කතා කරගෙන එන්න, යන වාහනයක් නවත්ත ගෙන ඒ කරදරයට වැටිච්ච පුද්ගලයව රෝහලකට යවන්න ඕනේ කියන හැඟීම ගොඩක් මිනිස්සු අතරේ නෑ. හැමෝම ට්‍රයි කරන්නෙ පන අදින මිනිහාගේ පින්තූර ගන්න… ඇයි ඉතිං එව්වට මාධ්‍ය ආයතන වලින් හොඳට සල්ලි ලැබෙනවනේ…! ඉතිං ඔය ඔක්කොම ඉවර වෙද්දි මිනිහා මැරිලා. ඒත්  ඒ වගේද අර වීඩියෝ ක්ලිප් එකට ලැබෙන ගාන…! හුහ්… නිකං ඉඳන් සල්ලි හොයන්න කවුද අකමැති…

ඉස්සර කියපු “ඉක්මනින් ඉවත් වෙන්න” වෙනුවට දැන් කියන්නේ… “යන්න යන්න ගිහිං කැමරා කරන්න” කියලා.

ඉස්සරනම් යුද්ධෙ තියෙන කාලේ කිව්වේ “අපරාධයක් වුන සැනින් එතෙනින් ඉවත් වෙන්න කියලා“. උදාහරණ විදියට කිව්වේ පිටරට වල එහෙමයි කරන්නෙ කියලා. ඒ කිව්වෙත් ලේසි පාසු අය නෙවෙයි… මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදියෝ හා උපාධිධාරි උංගේ ලොක්කෝ… ඒත් දැන් කියන්නේ අපරාධයක් දුටු සැනින් ඕනේ ලබ්බක් කියලා ගිහිං වීඩියෝ කරපියවු කියලා. නිකමට එකෙක් වත් කියනවද ඒ ගමන් ඒ මනුස්සයව රෝහල් ගත කරන්නත් සහය වෙන්න කියලා..?

බේරන්න පුළුවන් ජීවිතත්, මරාගැනීම…

එක කට්ටියක් බලාගෙන ඉන්නවා මිනිහෙක් මැරෙන්න පන අදින්න සෙට් වෙනකං, ඒ මිනිහාගේ ෆොටෝ ගන්න. අනිත් පැත්තෙන් තව කට්ටියක් ඉන්නවා ලොකු ගානක් දීලා ඒ ෆොටෝ අරගෙන ප්‍රචාරය කරන්න. ගෙවල් වල ඉඳන් තවත් කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා ඒ ෆොටෝ දැකලා… ආආනේ…. පවූවූවූ…. නේ… කියලා තවත් සිඟිති ආතල් එකක් ගන්න. අන්තිමේ ඒ ෆන් එක ඉවර වෙන්නේ කාගේ හරි ජීවිතයක් ආකාලයේ මියදීමෙන්. සුදුසු ප්‍රතිකාරයක් කරා යොමු කරලා මිනිහාව ජීවත් කරන්න තියෙද්දි ෆොටෝ ගහලා, ඒ මිනිහාගේ අන්තිම හුස්ම පොද වායුගෝලයට මුහුවෙන හැටි දැකලා, ඒක අනිත් එවුන්ටත් පෙන්නලා කුහක සතුටක් ලබන කාලකන්නින්ට සහ ඒ වැඩ වලට උඩගෙඩි දෙන මාධ්‍ය හැතිකරේටත්, අන්තිම හුස්ම ටික විකුණන් කන සමාජයටත් මගේ බලවත් විරෝධය..!!!

බලාගෙන යද්දි අපි ජීවත් වෙන්නේ, එකෙක් හුස්ම ඇදලා මැරෙනවා දැකලා, කටින් පවු කියලා… හිතින් වින්දනයක් ලබන සමාජයක….!!! හැමෝම උත්සාහ කරන්න ප්‍රවෘත්ති වාර්ථාකරණයේ ප්‍රමුඛයා සම්මානය ලබන්න… ඒකට ඉතිං මිනිහෙක් දෙන්නෙක් ජීවිත නැතිකරගත්තට මොකෝ වෙන්නේ… මිනිස් ජීවිතයකට වැඩිය උංට ප්‍රසිද්ධියයි, සම්මානයි වටිනවා ඇතිනේ.

%d bloggers like this: