බටර් ජෙල්….

ඇත්තම කියන්න අදත් මට ලියන්න හරීරීරීරී ම්මැලියි. ඉතිං ඒක නිසා මං කතාව ඉක්මනට ඉවර කරනවා. අනිත් අයගේ බ්ලොග් බලන්නත් එපැයි.

ඔන්න කොල්ලෝ සෙට් එකක් ක්ලාස්  ගියාලු. ඉතිං ක්ලාස් එකේදි යකා නටලා යකා නටලා… පැය දෙකෙන් දෙන “පුංචි බ්රේක්“ එක (එහෙම තමා සර් කියන්නේ) වෙද්දි, අර නැටුවා වගේ යක්කු තුන් හතර දෙනෙක් කන්න බඩගනියිලු. ඉතිං ක්ලාස් යන හැමදාම හතරට විතර කන හීතල වෙච්චි තෝසේ කන්න බෑ බං අදත් කියලා… පොඩි මෙව්වා එකකටත් එක්ක ගියාලු වෙන කඩේකට…!

තුන් හුලස් එක නෙට් එකේ තිබ්බේ නෑ…. 😀

හප්පා ඒක තමා කඩේ..! උණු උණු දුම් දාන එලෝලු රොටි ගොඩ ගහලා. හරියට නිකං අපි එන බව දැනගෙන ලිපෙන් බාලා වගේ. ඉතිං ඔන්න ගිහිං තිබුනේ එලෝලු රොටි විතරක් නිසා එව්වා ගෙන්න ගෙන කෑවා. එක්කෙනෙක් දෙක ගානේ කෑවේ. පස්සේ ප්ලේන්ටියක් දාගත්තම පොඩි බඩගින්න ෂේප්. බිල බෙදාගද්දි නම් පොඩි පොඩි වංචා දූෂන වුනා තමා… ඒත් එව්වා, මේ දවස් වල පත්තර වල යන ඒවා තරම් දරණු නෑ…!

දන්නවැයි වැඩක්…! ඒ කඩේ එලෝලු රොටි හදන තැනම තඩී මීයෙකුත් ඉන්නවා. ප්ලේන්ටි බොන කොට තමා මෑන්ස්ව දැක්කේ. මීයා වුනත් හෙන හුරතල් පාටයි….! ඌ ඇති කරන එකෙක්ලු. වෙලාවට කාලා ඉවර වෙලා දැක්කේ. නැත්තං ඉතිං කන්න වෙන්නේ නෑනේ…! අනේ ඔය කෑම වේල නිසා සුදු අපිව ඇලි වෙලාම යයිද කියලා දැන් නම් හිතට නිකං මොකද්ද මොකද්ද වගේ. ඉතිං ඒ මීයා නිසා කොල්ලෝ ටික කඩේ මුදලාලිට පොඩි සද්දයක් දැම්මේ එහෙමත් නෑ හොඳේ. නැත්තං හිතයි මුං මහ අසමජ්ජාති කොල්ලෝ ටිකක් කියලා.

කලින් කියන්ට බැරි වුනානේ… අපේ ක්ලාස් එක තියෙන්නේ ලොකූකූකූ උස ගොඩනැගිල්ලක නව වෙනි තට්ටුවේ. ඊට උඩින් තව තට්ට නවයක් තියෙනවා.

කොහොම හරි බන්ඩිය පුරෝගෙන එන ගමන්… කෑමට පස්සේ එන නිදිමත, ඒ කියන්නේ බුදිමත නැති කරන්න හිතාගෙන අර ගොඩනැගිල්ල දිහා බලාගෙන එකෙක්…

ඈ බං… මේ ගොඩනැගිල්ල දැං කඩා වැටුනොත් මොකද කරන්නේ…?

ඒ කියලා ඉවර වෙද්දිම වයසින් වැඩිම අයියා කෙනෙක් පොඩි කම්පනාවක. ඌට නම් මොකද වල පයයි ගොඩ පයයිනේ.

ඩෙංගු හැදිලා ගමේ ගිහිං එන ගමන් ක්ලාස් ආපු එකා… යකෝ මගේ ලැප් එකයි ඇඳුම් ටිකයි ඇතුලේ… කඩා වැටුනොත් එහෙම ඔක්කොම ඉවරයි.

තවත් එකෙක්… තෝ මේ මගුලක් කියනවා… අද සෙට් වෙන්න ගෙනාපු රෙඩ් ලේබල් එක බෑග් එකේ.

අන්තිමටම තවත් එකෙක්… අප්පා දැම්ම වැටුනේ නැත්තං හොඳයි බං. මං අද අළුතෙන් බටර් ජෙල් පෑනක් ගත්තා. ඒක පොත මැද්දේ…!!! 😀

ඉතිං දැන් මේ කතාවෙන් කියවෙන්නේ මොකක්ද කියලා පොඩි බබාලා දන්නවද…? අළුතෙන් ගන්න වටිනාකම කීයක දෙයක් උනත්, වටිනාකම වැඩි පරණ එව්වට වැඩිය වටිනවා කියන එකනේ. තේරුනා නෙහ්….!!!

 

%d bloggers like this: