“හුටා ස්කෝලේ” ළමයි

ඔන්න එකමත් එක ස්කෝලෙකින් ලැහැත්ති කරාලු වාර්ෂික අධ්‍යාපන චාරිකාවක්. ඔය කියන ස්කෝලේ ගාලු පාර අයිනෙම තිබුන වුනත් පිහිටලා තියෙන ගම් පලාතේ වාසනාවට, ඒ ගම් පලාතටම ආවේණික සිරා වචන ටිකකුත් ස්කෝලේ ළමයි අතර නිතර අහන්න පුළුවන් කම තිබුනලු. ස්කෝලේ ලොකු ලොක්කෝ කොයිතරම් උත්සාහ කලත්, කොයිතරම් සාරධර්ම වැඩමුළු පැවැත්තුවත් මුංගේ කටවල් වලින් ඔය වචන දෙක තුන නම් ඉවත් කරන්නම බෑලු. කොටින්ම කියනව නම් ඒ අහල පහල ස්කෝල වල ළමයි අදාල ස්කෝලෙට කිව්වේ  “අම්මා *කා“ විද්‍යාලය කියලා. ඒත් නැත්තං ඔය එක එක කෑම්ප් වලදී එහෙම “හුටා ස්කෝලේ” ළමයි කියලත් හඳුන්වනවලු. ඒකට හේතුව තමා ඔය ස්කෝලෙ හැම ළමයෙක්ම වගේ මොකක් හරි තමන්ට නොරුස්නා දෙයක් ඉවසා වදාරන්න බැරි වුනොත් “අම්මහා අම්මහා මොනාද ඕයි කරන්නේ“ කියලා අනිත් එකාගෙන් ප්‍රශ්න කරන එක.

අනිත් හුරු පුරුදු වචනය තමා “හුටා“ කියන්නේ . ඒක වැඩි වශයෙන් යොදා ගන්නේ පුදුමය ප්‍රකාශ කරන්න, එහෙමත් නැත්තං බලාපොරොත්තු කඩවීමකදී වගේ තමා. ඒ පුරුද්ද ස්කෝලෙදි ඇති වෙච්චි එකක් නෙමෙයි, පොඩි එවුන් උපදින්න කලින් උංගේ තාත්තලගේ දනහිස් දෙකේ ඉද්දි ඉඳන්ම ගෙවල් වල කතා කරනවා ඇහෙන භාෂාව තමා ඒ. එව්වා නැති කරන්න ඉතිං සක්කරයාටවත් බෑ. හැබැයි ඔය ප්‍රදේශයේ ළමයි යන දහම් පාසලටම වෙන ස්කෝලෙක ළමයෙක් ඇවිත් ඌත් ඔය භාෂාව පුරුදු වෙලා ගෙදර ගිය දවසක නම්… උගේ මවුතූම් කොල්ලගේ චූටි කට පොඩ්ඩ මිරිකුවලු කඳුළු පනින කම්ම. ඉතිං බුවාගේ භාෂාව නම් මුල් දවසෙම අභාවයට ගියා ඒක නිසා.

ඉතිං ඔන්න අර ස්කෝලේ ට්‍රිපට කලින් දවසේ ට්‍රිප් එක යන ළමයින්ව ප්‍රධාන ශාලවට රැස්කරලා සර්ලා මිස්ලා එකතු වෙලා ලොකූකූකූ දේශනයක් දෙනවලු. හැම දාමත් වගේ මේ දේශනේත් වැඩිපුරම අන්තර්ගත වෙන්නේ ළමයින්ගේ හැසිරීම ගැන තමා. ඊට අමතරව යන කොට ගෙනියන්න ඕනේ දේවල්, දෙමාපියන්ට කීයටද එන්න කියන්න ඕනේ වගේ දේවල් තමා. ඊටත් අමතරව අර භාෂා භාවිතයත් උපරිම අන්දමින් අඩුකරගන්න කියලා උපදෙස් පිට උපදෙස් දෙනවලු. සර්ලා මිස්ලා මාරුවෙන් මාරුවට කතා පවත්වනවලු.

පුතාලා දැන් අපි හෙට යන්නේ අධ්‍යාපන චාරිකාවක්නේ. ඉතිං අපි බලන්න යන තැන් වලදී එක එක අය කතාකරාවි. එතකොට ඔයාලා ඔය ගෙවල් වල කතාකරන නරක වචන එහෙම කතා කරන්න එපා. ඒක කැතයිනේ. අනිත් එක ස්කෝලෙටත් හොඳ නෑනේ… ඒක නිසා හොඳට හැසිරෙන්න ඕනේ. කියලා එහෙම දේශනේ දීලා ඉවර වෙලා… දැන් තේරුනා නේද කියලා අහන කොටම පිටීටීටී පස්සේ හිටය කොල්ලෙක් අනිත් එකාගෙන් අහනවලු…

හුටා… එතකොට අපි කතා කරන්නේ කොහොමද ඕයි….???

%d bloggers like this: