කාටද මේ බෑග් එක…?

ගිය ඉරිදා යාළුවෙක් එක්ක ගියා ප්‍රදර්ශනයක් බලන්න. ඇති වැඩකට නෙමේ නිකං ෆන් එකට. කොහොම හරි හදිස්සිය හින්දාම කෝච්චියට ටිකට් ගන්නත් අමතක වුනා. වෙලාවට ටික්කෝ ඉරිදට නිවාඩු. ඉතිං උදේ නවය මාරට විතර ගියා අදාල ස්ථානයට…

ඒ වෙද්දි ප්‍රදර්ශනේ පටන් අරගෙන තිබුනේ නෑ. ස්ටෝල් අස්සේ ගෑණූ ළමයි කොන්ඩේ පීරනවා, තොල් පාට කරනවා… එක එක විකාර. ඉස්සර වගේ ගවුම් හදන්නේ නෑ… දැන් කලිසම් නේ…  ඉතිං ප්‍රදර්ශනේ පටන් ගන්න කලින් ගිහිං අළුතෙන් ඉගෙන ගත්තේ එව්වා තමා. දැන් ඉතිං ඊළඟ ප්‍රදර්ශනේට යන්නේ ඒක පටන් ගන්න තවත් පැයකට විතර කලින්…! එතකොට තව මොනාහරි ඉගෙන ගන්න පුළුවන් වෙයිනේ…

ඉතිං ඔහොම ගිහිං අන්තිමේ දහයමාරට විතර ප්‍රදර්ශනේ පටන් ගත්තා. ඊට පස්සේ ඔන්න ආයෙම වටයක් දාලා, වහල තිබුන ස්ටෝල් ආයෙම බලලා, පට්ට ෂාප් ටී.වී එකකින් ඇවෙ(ච්)ටාර් (පොෂ්) මූවි එකත් ටිකක් බලලා එහෙම එන්න හදද්දි මාත් එක්ක ගිය බුවාට ඕනේ උනා උංගේ නංගිට ක්ලාස් ගෙනියන්න “කඳුරට බෑග්“ එකක් ගන්න. ඉතිං චූටි සුපියල් 50ක් දීලා ගත්තා එකක්. පස්සෙ ඉතිං බුවාට ඒක අතේ ගෙනියන්න බෑ කියලා මූ දැම්මා ඒක මගෙ බෑග් එකට.

අන්න එතෙන තමා මං නාගත්තේ…!

ඊට පහුවෙනිදා මං කෑම ගෙනිච්චේ නැති නිසා, ෆ්ලෑෂ් එක බෙල්ලේ දාගෙන හෙඩ් සෙට් එක සාක්කුවේ දාගෙන ඔෆිස් ආවේ. බෑග් එක ගේන්න ඕනේ වුනේ නෑ. ඔන්න හවස ගෙදර යද්දි අම්මා ඉන්නවා මූන සතූ කරගෙන. තාත්තා ඉන්නවා ඔරොව ගෙන… මල්ලි ඉන්නවා ෆන් එකේ… ඌ දන්නවා කොහෙහරි යන හෙන ගෙඩියක් මගේ ඔලුවට උඩින් සක්මන් කරන්න බලාගෙන ඉන්නවා කියලා.

ඊයේ කොහෙද ගියේ…? 

උදේ පාන්දරම ගියාට යන්නේ කොහෙද කියලා කියන්න අමතක වුනා වගේම ගෙදර ආවේ රෑ නවයත් පහුවෙලා නිසා තමා ඒ ප්‍රශ්නේ…

අහවල් ප්‍රදර්ශනේ බලන්න ගියා, ඊට පස්සේ ක්ලාස් ගියා…

හ්ම්…. එද්දි රෑ වුනේ…? ඒ තාත්තා… අම්ම ගිරේ එක පැත්තක් වගේ, තාත්තා අනිත් පැත්ත වගේ… දෙන්නටම මැදි වෙච්චි අහිංසක මං පුවක් ගෙඩිය වගේ…!

හරි හරි ඉතිං පොඩ්ඩක් පරක්කු වුනා… බස් නැතුව…

එතකොට අර බෑග් එකේ තිබුන අනිත් බෑග් එක කාටද…?

විවේකයක් නොලබාම මවුතුමීගෙන් කෙලින්ම පන්දුව මට… ආයෙ ගොත ගැහුවොත් එහෙම කඩුල්ල මුවා කලා වෙනවා… එකට එක කිව්වොත් පන්දුවට උඩිං යන්න පහරක් එල්ල කලත් පැත්තක ඉඳන් තාත්තා පන්දුව රැකගෙන ආය අම්මටම භාර කරනවා… නිශ්ශබ්දව හිටියොත් පැත්තක වෙලා බලාගෙන ඉන්න මල්ලි, උගේ මැද ඇඟිල්ල උස්සලා… හරි  අයියා දැවී ගියා කියලා සංඥාව දෙනවා…

ඔක්කොගෙන්ම බේරිලා හිනා වුන නිසා…

මොකද හිනා වෙන්නේ….? කියලා දැවී යාමකට ලක් නොවී වේගය මඳක් අඩාල වෙච්චි පන්දුවක් පිටියේ මැද පතිත වෙලා ගානට බැට් එකටම ආවා… අන්න ඒකට නම් වැරෙන් පහරක් එල්ල කලෑකි.

ඔය බෑග් එක මගේ නෙමේ… මිස්ට සිල්වාගේ… උංගේ නංගිට ගත්තේ. මගේ බෑග් එකේ දැම්මා ඌට අතේ තියන් බැරි නිසා. ඒක ඉල්ලගන්න අමතක වෙන්න ඇති.

මිස්ට සිල්වට නංගිලා දෙන්නෙක් ඉන්නවා කියලා අපේ අම්මා දන්න නිසා වගේම හා මිස්ට සිල්වාගේ අම්මලා තාත්තලාවත් දන්න නිසා මං ගහපු පහරට ලකුණු හයයි..! ප්‍රතිවිරුද්ධ පිලේ බැට් එක උස්සන් හිටිය මල්ලිගේ මූන… හ්ම් ඒකට උපමා නෑ… එච්චරට හැඩයි…!

ඊට පස්සේ….

ඒක මිසක්…! මං හිතුවේ…!

ඇයි කාට කියලද අම්මා හිතුවේ… කොච්චර ලොකු මිනිහෙක් වුනත් අම්මා ඉස්සරහ බබා පාට් එක දැම්මම තමා ඔක්කොම අහගන්න පුළුවන් වෙන්නේ.

ඒ ළමයට බෑග් එකක් ගෙනත් දුන්නට කමක් නෑ… ඒ ගෙනෙද්දි මටත් එකක් ගේන්න…

ඇයි අම්මත් ක්ලාස් යන්නද..? කියලා බෝලෙට ගහන පහර ඉමැජින් කරලා, ඇක්චුවලි බැට් කරා…

හා… කියලා.

ඒ බෝලේ කෙලින්ම කඩුල්ලට වැදෙන්න නොහැර, පහරක් එල්ල කරන්න ගියා නම් එහෙම මට තව ගොඩක් වෙලා පිටියේ රැඳී ඉන්න වෙනවා. එහෙම වුනානම් තව තව එක එක විදියේ බෝල වලට මූන දෙන්න සිද්ධවෙනවා. ඒක නිසා තරඟය පාවා දීලා මං ඉක්මනට අවුට් වුනා…!

%d bloggers like this: