කොම්පූටර් දත්ත කෙළිය….

ඩේටා… සිංහලෙන් කියන්නේ දත්ත කියල. අපි ඉගෙන ගත්තෙත් එහෙම. අළුත් ඉක්කෝල වල නම් කියන්නේ “ඩාටා“ කියලා. ඉතිං කොහොම හරි කමක් නෑ ඔය දත්ත මත තමා මුළු මහත් පරිගණක සමාජයම ගොඩනැගිලා තියෙන්නේ. ඩේටා එකම ආකාරයක 101101111000101 වගේ  වුනත් ඒවයේ භාවිතය වෙනස්. ඒ කියන්න සමහර දත්ත එකතුවක අවසාන ඵලය ඉමේජ් එකක්. තවත් දත්ත රොත්තක් එකතු වුනාම තියෙන්නේ මූවි එකක් එහෙමත් නැත්තං සිංදුවක්… ඒත් නැත්තං සොෆ්ට් වෙයා එකක්… ඔය වගේ දහස් සංඛ්‍යාත යෙදුම් භාවිතා වෙනවා හැසිරවෙනවා අපි නොදැනුවත්වම අපේ ඇඟිලි වලට අහුවෙන මවුස් එක, කී බෝඩ් එක එක්ක එකතුවෙලා.

ගල් යුගයේ මිනිස්සුන්ට තිබුන වටිනාම සම්පත් වුනේ, තම තමන් සතු ගල් ආයුධ, ගින්දර වගේ දේවල්… ඊට  පස්සේ ශිෂ්ට සම්පන්න වෙලා මධ්‍ය කාලීන හා මේ මෑතක් වෙන කම්ම වටිනාම වස්තු වුනේ ආභරන, මුතු මැණික්… මුදල් හදල් වගේ දේවල් වුනාට මේ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන වටිනාම සම්පත තමා, තම තමන්ගේ දත්ත…! ඒක තමුන්ගෙම ඒවාද අනුන්ගෙන් ගත්ත ඒවද කියලා වෙනසක් නෑ. තමන්ගේ පී.සී එකට ආවම ඔක්කොම දත්ත තමන්ගේ වගේ තමා.

ඉතිං කාලෙකට ඉස්සර මාසික සඟරාවක තිබුනා තමන් සතු දත්ත සුරැකිව තබා ගන්න විදි ගැන ලොකු ලිපියක්. ලොකු කියන්නේ පිටු දෙකක් හෝ තුනක් පිරෙන්න විස්තර සහිතව. අන්න ඒ ලිපිය ගැන මතක් වෙච්චි නිසා තමා මේක ලියන්න හිතුනේ.

ඇත්තටම ඒ දවස් වෙද්දි නම් කම්පියුටර් භාවිතය මේ තරම් ජනප්‍රිය වෙලා තිබුනේ නෑ. කම්පියුටර්ම නෙමේ පොදුවේ බැලුවොත් ඩිජිටල් දත්ත භාවිතය කියලා තමා හඳුන්වන්න වෙන්නේ. මොකද මොබයිල් ෆෝන්වත්, පරිගණක නොවන, ඒත් දත්ත ආශ්‍රිතව ක්‍රියාකරන අනෙකුත් උපකරණවත් වැඩිය භාවිතා වුනේ නෑ. මං මේ කියන්නේ අද දවසත් එක්ක සසඳලා බලද්දි විතරයි. ඉතිං අර සඟරාවේ තිබුන විදියට “තමන් සතු දත්ත නැතිවෙන්න පුළුවන් ක්‍රම“ කියලා තිබුනේ, මට මතක විදියට ප්‍රධාන ක්‍රම දෙකයි. ඔය දෙක එක එක පැත්තට හරවලා තමා අනිත් කරුණු ටික ලියලා තිබුනේ…

හාඩ් ඩිස්ක් එක අකර්මණ්‍ය වීම

පරිගණක වෛරස නිසා දත්ත ගොනු විනාශ වීම

(ඒ දවස් වල දත්ත සොරකම් කිරීමක් ගැන අහලවත් නෑ මයෙ හිතේ…)

ඉතිං පිළියම් විදියට තිබුනේ… තමන් සතු වටිනා දත්තවල තවත් පිටපතක් ලබාගෙන තබාගැනීම. ඒ කියන්නේ බැකප් එකක් තියාගන්න එක. තව දුරටත්, බැකප් එක ලබාගත්ත සී.ඩී එක හොඳින් සුරැකෙන පරිදි ආවරණය කර “ගමේ ගෙදර හෝ වෙනත් යාළුවෙකුගේ ගෙදර තැබීම“.

අනේ මන්දා ඒ දවස් වල නොතේරුම් කමට මේක තමා හොඳම විසඳුම කියලා හිතුවට දැන් තමා තේරෙන්නේ… ඒ දවස් වල ගමේ ගෙදර ගිහිං තිබ්බනම් එහෙම මේ වෙද්දි බඩු බනිස් වෙලා. අනිත් එක හැමෝටම ගමේ ගෙවල් නෑනේ. ඊළඟ එක තමා සුපිරිම. ඒ දවස් වල පොඩි කොල්ලෝ වෙච්චි අපිගාව තිබුනේ ඔය වගේ තාක්ෂණික සඟරා විතරයි. කම්පූටරයක් ආවේ ඊට සෑහෙන කාලෙකට පස්සේ. ඒක නිසා හොඳට ගියා. නැත්තං අපේ ගමේ ගෙදර දුර වැඩි නිසා අපිත් අපේ පින්තූරයි, සිංදුයි.. අරකයි මේකයි හැම මළ ඉලව්වම තියන්නේ යාළුවන්ගේ ගෙවල් වල. එහෙම වුනානම් අපිට කොච්චර විශ්වාස වුනත් යාළුවා ගේම දුන්නොත් අපි ඉවරයි…!

හරි බයිලා පැත්තක් තියලා ඇත්තම කතාව බලමුකෝ දැන් වෙන විදියට…

අපේ බැකප් අපි තියාගන්නවා ඩී.වී.ඩී එකක. ඩී.වී.ඩී එක නැති වෙනවා… නැත්තං කැඩෙනවා… නැත්තං ආරක්ෂිත ලේයර් එක ගැලවිලා යනවා… ඒත් නැත්තං පොඩි එකෙක් හූරනවා…. එහෙම්මත් නැත්තං බර්න් කරපු එක පස්සේ කාලෙකදී රීඩ් කරන්නේ නෑ…. එතකොට ඒ දත්ත ආරක්ෂිතද…?

 ඊට පස්සේ අපි අපේ ඩේටා වල බැකප් එකක් තියාගන්නවා හාඩ් ඩිස්ක් එකේ… ඔන්න ටික දවසකින් මොකක් හරි දෝෂයක් නිසා හාඩ් එක හුචස් වෙනවා… ඒත් නැත්තං වෛරස් එකක් හාඩ් එකට ගේම දෙනවා… ඒත් නැත්තං පී.සී බිම වැටිලා හාඩ් එක වැඩ නොකර යනවා… ඒ දත්තත් ආරක්ෂිතද…?

වැඩි දෙනා කරනවා වගේ ඩේටා ටික ෆ්ලෑෂ් එකට දාගන්නවා. ඔන්න ටික දවසකින් ෆ්ලෑෂ් එක නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් දැන්… එහෙමත් නැත්තං හාඩ් එක අතෑරුනා වගේ බිම වැටෙනවා. ඒත් නැත්තං ෆ්ලෑෂ් එක ෆ්ලෑෂ් වෙලාම යනවා… එතකොට…????

ඒ අතරෙදි ටික දෙනෙක් කරනවා වගේ, දත්ත ටික බැකප් කරනවා රිමෝට් ලෝකේෂන් එකක තියෙන සර්වර් එකක හෝ සල්ලි වලට හෝ නොමිලේ ගත්ත ඔන් ලයින් ඉඩක. කොහොමෙන් හරි රිමෝට් සර්වර් එකටත් මක්ක හරි වෙනවා… නැත්තං අපේ දත්ත ටික රැස්කරගෙන සේවාව නවත්තනවා… මොකුත්ම නැත්තං අපිට ඩේටා ගන්න බැරි විදියට පාස් වර්ඩ් මාරු වෙලා හෝ ඒ වගේ වෙන මොකක් හරි හෝ වෙනවා… එතකොට ඒ දත්ත ආරක්ෂිතද….?

ඒත් නැත්තං පී.සී එකේ තියෙද්දිම රිමෝට් ලොග් වෙලා හැකර් කෙනෙක් සුද්ද කරනවා දත්ත ටික… එතකොට මොකද කියන්නේ…?

සර්ව අසුභවාදිව හිතනවා නෙවෙයි. ඒත් මේ හැම දෙයක්ම ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් දේවල්…! මට කිසිම වෙලාවක කොයි තරම් ආරක්ෂිත ක්‍රම තිබුනත් දත්ත වල ආරක්ෂාව ගැන නම් කිසිම විශ්වාසයක් නෑ. අපි දත්ත ගොනුවකට දාන පාස් වර්ඩ් එකක් කඩන්න  කාටවත් බෑ කියලා හරියටම කියන්න පුළුවන්ද…? මගේ උත්තරේ නම් “එහෙම හිතන්න බෑ“ කියන එකයි. මොකද දත්ත ගොනුවකට යොදන එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකට අනිත් පැත්තට ඩික්‍රිප්ෂන් මෙතඩ් එක අදාල ආයතනය සතුව තියෙනවා. ඒ නැතත් ඕනෙම කෙනෙකුට ඕනෙම පාස්වර්ඩ් එකක් කඩන්න හරි, බයිපාස් කරන්න හරි පුළුවන් සොෆ්ට් වෙයාර්ස් ඕනේ තරම් නෙට් එකෙන්ම සොයාගන්න පුළුවන්.

අවුරුදු දහස් ගානකට කලින් මිනිස්සු කතාකරපුවා වායුගෝලයෙන් උකහා ගෙන ආයෙම කන්දෙකට ඇහෙන්න සලස්වන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු නම් තව මොන කතාද අපි ගාව තියෙන දත්ත ගැන. මොබයිල් ෆෝන් හා අනෙකුත් වයර්ලස් උපාංග වලට භෞතික අතපෙවීමකින් තොරව රේඩියෝ තරංග වලින්ම වෙනස්කම් සිදුකොට ඒ උපාංග වල සන්නිවේදන මාධ්‍යයන් ක්‍රියාත්මක කර තොරතුරු බාහිර ලෝකයට විවෘත කිරීමට තාක්ෂණය පොහොසත් නම් තවදුරටත් අපි සතු දත්තයන් තවමත් අපිම පමණක් දනිමුයි සිතිය හැකිද…?

%d bloggers like this: