මායාවරු හොල්ලපු අපේ යුනිටි ප්ලාසා එක…

මායාවරු කියන්නේ දකුණු ඇමරිකාවේ හා ආශ්‍රිත ප්‍රදේශ කීපයක ජීවත් වෙන සෑහෙන අතීතයක් තියෙන ජන කොට්ඨාශසයක්. මේ වෙද්දි ගෝතමාලාවේ, බ්‍රසීලයේ, යුක්ටාන් අර්ධද්වීපයේ වගේම තවත් ප්‍රදේශ කීපයක මිලියන 7ක පමණ ප්‍රමණයක් ජීවත් වෙනවලු.  ඉතිං එයාලා කොහොමද අපේ යුනිටි ප්ලාසා එක හොල්ලන්නේ…??? ම්හ්… කොහොමද තමා… ඒක තමයි ගේම….

ඒ දවස් වල, ඒ කියන්නේ 2007 දී විතර මොකක් හරි මගුලකට එක දිගට දින කීපයක් යන්න වුනා යුනිටියට. මතක විදියට  කාගේ හරි පෞරාණික පීසී එකකට, ඒකටම ගැලපෙන මදර් බෝඩ් එකක් හොයන්න. ඉතිං පළවෙනි දවසේ ගිහිං කඩ ගානක බැලුවම ඕං කිව්වා… “මල්ලි දැනටනම් බඩු නෑ… හෙට දිහාවේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. හෙට ස්ටොක් එනවා“ කියලා. ඉතිං ඔහොම හෙට, හෙට, හෙට, හෙට….. කියලා සතියකට දවස් තුනක් හතරක් එක දිගට ගියා යුනිටියට. ඒ හැම දාමත් වගේ අර කඩ කාරයින්ගේ හෙට… හෙට… වගේ තමා මුළු යුනිටිය පුරාම විකුණන්න තිබ්බ ඇල්.සී.ඩි මොනිටරුත්….!!!

හැම කඩේකම එලියට පේන්න තියලා තියෙන මොනිටර් වල එකම මූවි එකක් රන් වෙනවා. එක කඩේක මොනිටරේක, වැද්දෝ වගේ සෙට් එකක් පොරෝ අමෝරා ගෙන එකෙක්ව එලවනවා. ඊට පස්සේ ඊට එහායින් තියෙන කඩේ මොනිටරේ බලද්දි ඔන්න තව මොනරෙක් වගේ පොරක් ඉන්නවා දුන්නක් අමෝහ්රා ගෙන, තව සෙට් එකකට විදින්න. ඊටත් එහායින් තියෙන කඩේ මොනිටරේ බලද්දි අර දුන්න අමෝරාගෙන හිටිය බුවා දුනුදිය ඇදලා විදින්න ලෑස්තිය… ආයේ අනිත් කඩේ බලද්දි, ඔන්න පේනවා…. අඩි දෙකක් විතර දිග ඊතලයක් උඩින් එනවා. ඒ කියන්නේ කලින් කඩේ මොනිටරේ දුන්න ඇදගෙන හිටිය බුවා ඊතලේ රිලීස් කරලා… අප්පටසිරි, ඊටත් එහායින් පහලට බහින පඩිපෙල ගාව කඩේ මොනිටරේදි, එකෙක්ට ඊතලේ වැදිලා… බෙල්ල පසාරු කරගෙන ගිහිං කටෙන් එලියට ඇවිත්…!

ඒ දවස් වල මුළු යුනිටිය පුරාම මායා සෙට් එකක් ඇමරිකාවෙන් බැහැලා, එක එක වැඩ කෑලි දානවා. ඉතිං කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නෑ. එක තැන ඉඳගෙන ෆිල්ම් බලනවා වගේද යාළුවෙක් එකක් කතා කර, අඟල් හයේ සාය කෑල්ලක් ඇඳපු කෑල්ලක් දෙකක් බලාගෙන ඒ ගමන්ම ෆිල්ම් එකේ කෑල්ලක් වත් මිස් වෙන්නේ නැතුව ෆිල්ම් එකත් බලනවා කියද්දි. ඒ මදිවට එක එක රෙසලූසන් තියෙන එක ජාතියේ මොනිටර් වලින්. සමහර කඩවල නම් චූටි සබ් එකකුත් සෙට් කරලා එලියට සද්දේ ඇහෙන්න. වෙන අහවල් එකක් ඇහෙන්නේ නෑ… කැලේ කඩාගෙන දුවන සද්දයි, යටිගිරියෙන් කෑගහන එව්වයි… ගෑණු ළමයි හූ කියන එව්වයි තමා ඇහෙන්නේ ඉතිං.

ඊට පස්සෙත් තවත් මාස ගානක් යනකම්ම ඔය මායා සෙට් එක උදේ ඉඳන් හවස් වෙනකං යුනිටියේ රජකලා. ඊටත් පස්සේ කාලයක් ගිහිං තමා මටත් ඔය මෙව්වා එක හම්බුනේ. හප්පා මරු ඒක. සිරා ෆිල්ම් එක.

ඊට පස්සේ යුනිටියේ කඩ කාරයින්ටම ඇතිවෙලා, වෙන වෙන වීරයෝ බැස්සුවා තම තමන්ගේ විකුණන්න තියෙන මොනිටර් වලට. ඒ අතරේ ට්‍රාන්ස්ෆෝමර්, ඉප්පයිඩර් මෑන්, තව තව ඇනිමේෂන් ෆිල්ම් වගයක් එහෙම අහඹු වශයෙන් රන් වුනා. හැබැයි ඇපොකැලිප්ටෝ වගේ හැම කඩේම එකම ෆිල්ම් එක රන් වුනේ නෑ. ඇපොකැලිප්ටෝ රන් වෙච්ච දවස් වල ඇත්තටම යුනිටියෙ කඩ දිහා බලන්න ලස්සනයි. හැම කඩේම එකම ෆිල්ම් එක. සමහර කඩ වල සද්ද නෑ… ඒත් ඒවටත් එක්ක හරියන්න සද්ද දාලා තිබ්බ ඒවයේ සද්දේ තිබුනා ඇති වෙන්න…! අන්තිමේ ගූග්ල් කරද්දි තමා දැක්කේ, මෙල් ගිබ්සන් මාම තමා සෙට් එක, ඩී.වී.ඩී වලින් බස්සලා තියෙන්නේ කියලා…

දැන් නම් මොකා හොල්ලන් ඉන්නවද දන්නේ නෑ යුනිටිය…! බොහෝ දුරට ඇවෙන්ජර් සෙට් එක වෙන්ඩ ඕනේ…!

%d bloggers like this: