ඇවිදින සුදු ටී ෂර්ට් එක…

දැන් ඉතිං ඉස්සර වගේ නෙවේනේ… දවසට ෆිල්ම් දෙකක් බලපු කාලේ ඉවරයි. දැන් සමහර විට මාසෙටම දෙකයි. හොල්මන ගැන කියන්න කලින් වෙන අතුරු මෙව්වා එකක් කියන්න ඕනේ. මගේ යාළුවෙක්ගේ බාප්පගේ පොඩි එකා… නම චුමිඳු… යන්නේ **ස් ජාත්‍යන්තර ඉක්කෝලෙට… ඉගෙන ගන්නේ හතරේ හරි පහේ හරි… හැබැයි කොල්ලා තාමත් ෆිල්ම් වලට කියන්නේ “ෆ්ලින්“ කියලා… උංගේ ගෙදර ගිට දාට… අයියේ ෆ්ලින් එකක්… අයියේ ෆ්ලින් එකක් කියා කියා දඟලන කොට… සමහර වෙලාවට කඳුළු එනවා හිනා වෙලා.

ඉතිං දැන් ඔය හම්බෙන ෆිල්ම් ගාන සතියකට හතරක් පහක්… හයක්  විතර වුනොත් මම ඇතුළු සෙට් එක ළඟම සෙනසුරාදට ඔෆිස් එකේ රැයක් පහන් කරනවා. ඇයි ඉතිං කොයිතරම් නම් වැඩද. එහෙම ෆිල්ම් අතිරික්තයත් තිබ්බ දවසක ඔන්න කට්ටය දවල් දෙකේ විතර ඉඳන් එක දිගට රෑ හත විතර වෙනකම් බැලුවා. ඒත් ඉවර වුනේ ෆිල්ම් දෙකා මාරයි. තව ඉතුරුයි තුනක්… පස්සේ කොහොම හරි අපේ බුවාලා දෙන්නෙක් ඕෆ් වෙලා ගියා. ඉතුරු මමයි තවත් යාළුවෙකුයි විතරයි.

පස්සේ ඉතිං ඔන්න රෑට කෑම කාලා එහෙම ඉතුරු ටික බලන්න සෙට් වුනා. ඉවර වෙද්දී වෙලාව දොලහ මාරට විතර ඇති. ඔන්න එතකොට තමා මාත් එක්ක හිටිය අනිත් එකාට මතක් වුනේ ඉරිද උදේම රිදි විහාරයේ ට්‍රිප් එකක් යන්න තියෙනවා නේද කියලා…! ඌ ෂෝට් බ්‍රේක් එකකට පැන්න පුටුවට තියාගත්ත තව පුටුවක් කොල්ලා දොයි. දැන් මං තනියෙන් ඇහැරගෙන… ඉතිං ඔන්න මතක් වෙනවා…

දවසක් අපේ ෆැක්ටරි එකේ බුවෙක් කන්වයර් ලයින් එකක් උඩ කාඩ් බෝඩ් එකක් දාගෙන නිදාගෙන ඉන්නවලු. කන්වයර් කියන්නේ මොනා හරි භාන්ඩයක් ට්‍රේ එකක තියලා තල්ලු කරලා යවන්න පුළුවන් රෝලර් හෝ බෙල්ට් එකක් තියෙන බඩු ගෙනියන ලයින් එකක්. ඉතිං අපේ කම්පැනි එකේ තියෙන්නේ වැඩිපුරම රෝලර් දාපු කන්වයර්. ඉතිං අර නිදා ගත්ත පොරට නින්ද ගිහිං ඇහැරෙද්දි මූ ඉන්නේ නිදාගත්ත තැන නෙමේලු. ඊට මීටර් කීපයක් පිටිපස්සෙන්ලු. පස්සේ ඔන්න ඔහේ කමක් නෑ කියලා නිදා ගත්තට පස්සේ… ඊළඟ පාර මෑන්ව ඇහැරිලා තියෙන්නේ කන්වයර් එක ඉවර වෙලා කන්වයර් එකෙන් බඩු වැටෙනවට සවිකරලා තියෙන යකඩ පටියේ පොරගේ කකුල් දෙක වැදෙද්දි… මිනිහාගේ කකුල් දෙකෙන් කව්ද එකෙක් අදිනව දැනෙනවලු… හරි සනීපයිනේ ඉතිං ඒ වෙලාවට අඳුරු ශාලාවක තනියම නිදාගත්ත කෙනෙකුට. ඒ පාර වෙවුල වෙවුල ගිහිං ගාඩ් රූම් එකේ තමා නතර වෙලා තියෙන්නේ.

අයෙම දවසක… නයිටි ෂිෆ්ට් එකේ වැඩ කර කර ඉද්දි මැෂින් තියෙන කොටසට එහායින් තියෙන ස්ටෝර්ස් එකේ, එක උඩ එක පෙට්ටි තුනක් හිටින්න ගහපු පෙට්ටි සෙට් එකේ උඩ, සුදු ගවුමක් ඇඳ ගත්ත ගෑනියෙක් බෙල්ලේ කඹයක් දාගෙන අර පෙට්ටි වලින් පනින්න ලෑස්ති වෙලා ඉන්නවා දැකලා. ලඟ හිටිය අනිත් එකාට පෙන්නද්දි බඩු නැහැලු. ඒක නම් සමහර විට නිදිමතත් එක්ක ඇතිවෙච්ච මොලේ රසායනික දෝෂයක් වෙන්න ඇති…

ඉතිං මොන මගුල හරි… මං තනියම ඇහැරන් ඉන්න කොටනේ හැම ලබ්බම මතක් වෙන්නේ කියලා මාත් ඔන්න ඔහේ මගේ ඇඳි පුටුවටම බර වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නවා. උදේ හයාමාර වෙද්දි ඕෆ් වෙන්න ඕනෙ නිසා එලාම් එහෙම තියාගෙන. ඉතිං පාන්දර හතරට අනිත් යාළුවා නැගිටලා. ඌ ඉතිං ට්‍රිප් එක යන්න ඕනේ නිසා කලින් ඕෆ් වෙන්න කියලා. පස්සේ මෑන් ගියා හතරාමාරට විතර. දැන් මං තනියෙන්…! කමක් නෑ තව පැය එකා මාරයිනේ එලිවෙන්න…! කියලා හිතාගෙන ඉද්දි… තවත් ඉන්න බැරි බොහොම සෝචනීය තත්වයක් උද්ගත වෙමින් තිබුනේ… අපරභාගයේ පොඩි කැළඹීමක්…! වොෂ් රූම් එකට දුවන්නම ඕනේ…

ඒ පාර විනාඩ් තුන හතරක් ඉවසගෙන හිටියා…. ම්හු… සමනය වෙන පාටක් නෑ… ඒ පාර හිතට හයිය අරගෙන “ඕනේ ගෑණියෙක් ආපුදෙන්… ගලෝනවා රෙද්ද“ කියලා හිතාගෙන පඩිපෙල බැහැලා වොෂ් රූම් යන්න හදද්දිම… මැෂින් එක ගාව අපේ වැඩ කරන බුවෙක් වැඩ. මාත් ඉතිං ගිහිං මෑන්ට පොඩ්ඩක් කතා කරලා එහෙම ගියා මගේ වැඩේට. ඒ යද්දි මං ඇහැ කොනින් දැක්කා අනිත් මැෂින් තියෙන ගොඩනැගිල්ලෙත් එදා නයිට් ෂිෆ්ට් එකක් රන් වෙනවා කියලා. ආයේ ඉතිං අමුතුවෙන් බලන්න ගියේ නෑ. ඒක බලනවට වැඩිය සෙට් වෙලා තියෙන වැඩේ ලොකුයිනේ…

ඉතිං , මාත් ගිහිං වොෂ් රූම් එකේ ලයිට් එක දාගෙන වැඩේ කරන අතරෙදි මට ඇහෙනවා එලියේ තුන් දෙනෙක් හරි හතර දෙනෙක් හරි කතා කරනවා… වොෂ් රූම් එකේ ලයිට් දැම්මම එලිය දොරක් අස්සෙන්වත් පිටවෙන්නේ නෑ… ඒක නිසා කරුවලේ තියෙන දොර ගාවට ඇවිත් දොර ඇරලද කියලා බැලුවොත් ඇරැන්න දොර ඇරලද නැද්ද කියලා හොයාගන්න බෑ…

කව්ද බං….

දන්නේ නෑ බං… මං දැක්කා සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳගත්ත කෙනෙක් ඉක්මනට මේ පැත්තට ඇවිදිනවා… උඹට පෙන්නන්න බලද්දී හිටියේනෑ.

උසද….?

නෑ…බං එච්චරම උස නෑ…

මොකද කරන්නේ බං දැන්….? ඕෆ් වෙලා ගෙදර යමුද… නැත්තං බලි අරින්න වෙයිද දන්නේ නෑ…

නෑ… නෑ… යමන් බලන්න වොෂ් රූම් එක ගාවට…

ටොක්… ටොක්…. කවුරු හරි එකෙක් ගැහුවා දොරට…

මාත් අරියි ඔය වගේ ෆන් එකක්…

මාත් කැපිටල් බෝල්ඩ් අකුරෙන්… ක්හ්වුද…? කියලා ඇහුවා…

ඊට පස්සේ ඇහුනේ සෙරප්පු පැටලෙන සද්දයි, සිමෙන්ති පොලවෙ දඩ දඩ ගාලා ලොකු බර අඩි තියන සද්දයි විතරයි. කොල්ලෝ ටික දුවලා… ඒ අස්සේ මටත් බයයි. ඇයි ඉතිං ඒ වෙනකොට කැළඹීම සමනය වෙලානේ…!

ඊට පස්සේ ඕං මාත් ආවා එලියට. අම්මට සිරි… නයිට් කරන එවුන් විස්සක් විතර වොෂ් රූම් එක තියෙන බිල්ඩිම දිහා බලාගෙන ඇස් ගෙඩි එලියට පන්නගෙන බලාගෙන ඉන්නවා… ඒ දිහා…! මමත් ගියා ඉස්සරහට. වෙලාවට ඒ කිට්ටුව කෙලින්ම එලියක් එන්න තරම් ලයිට් එකක් නෑ අවට. ඉතිං මාව මටවත් අඳුන ගන්න බැරි තත්ත්වයක් උඩ, පැහැදිලිව පේන ඇවිදින සුදු ටී ෂර්ට් එකකට කට්ටිය බය වුනයි කිව්වම මං හිනා වෙන්නද…

ආහ්… මහත්තයද වොෂ් රූම් ගියේ…? අපි හිතුවේ………………………………………………

උං හිතපු දේ කිව්වේ නෑ. කියන්න හරියට තේරුම් බේරුම් කරගන්න එපැයි. අනික මං හාරවුස්සන්න ගියෙත් නෑ. නිකං මොකටද බය කතා ගොඩට තව එකක් එකතු කරගන්නේ…!

%d bloggers like this: