පෙන්න පෙන්න එකතු කරමු…!

සල්ලි එකතු කරන විදි ගැන හැමෝම දන්නවනේ. සමහරු බැංකු පොතේ දානවා, තවත් සමහරු කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා, තවත් සමහරු පොලියට දීලා දුන්න ගානට වැඩියෙන් එකතු කරනවා. ඔය හැම දෙයක්ම අයිති වෙන්නේ සල්ලි එකතු කිරීමටම තමා.

සල්ලි කියන්නේ ඉතිං දෙයියන්ගේ මල්ලි වුනා හරි නැතුව හරි අපි හැමෝගෙම අයියා. ඒකනේ පුංචි කාලේ ඉඳලම අපේ අම්මලා සුපියල සුපියල එකතු කලේ අපි වෙනුවෙන්. ඉතිං එහෙම එකතු කරන ගමන් අපිවත් කාසි එකතු කිරිල්ලට යොමු කලා.

මට මතක මුල්ම කේස් එක තමා, අපි කැලණි ගිය වෙලාවක චූටි මැටි පූසෙක්ව මට අරන් දුන්න එක. කහපාටිනුයි තැඹිලි පාටිනුයි පාට කරලා, හොම්බේ කලුපාට මයිල් ගස් තුන හතරකුත් ඇඳලා… හරියට නිකං ඇත්තම පූසෙක් වගේ. ඒ දවස් වල අපේ අම්මා ගෙදරට එන පූසෙක්ව අල්ලනවත් නොදුන්න නිසා මට අරං දුන්න පූසා මැටි වුනත් ඌ මාර විදියට අගෙයි මට.  මමත් ඉතිං පොඩි එකා හින්දා ගමන ගිහිං එනකං ඌව සෑහෙන්න පරිස්සම් කලා. අන්තිමේ ගෙදර ඇවිල්ලා උගේ පිටේ දිග අතට කපලා තිබ්බ සිදුරකින් අපේ තාත්තා සුපියල් පහක් දැම්මම තමා මාත් දැනගත්තේ මේ පූසා “සල්ලි කැටයක්” කියලා. ඊට පස්සේ තාත්තා ගෙදර ආපු ගමන් දෙන පුංචි පුංචි කාසි වලින් මට අවුරුදු හතරක් විතර වෙද්දි පූසා පිරුනලු. අම්ම තමා කිව්වේ. නැතුව මට මතක ඇති එකක් නෑ. පස්සේ ඌව බිඳලා සල්ලි අරං ගිහිං මගේ බැංකු පොතේ දාලා.

ඊට පස්සේ තාත්තා මට ගෙනත් දුන්නා පූසාට වැඩිය ලොකු සිංහයෙක්. ඒකත් පිරුනා මං තුන වසර විතර වෙද්දි. ඒ සල්ලිත් බැංකුවට. නැතුව ඉතිං මට දෙයියෑ… මේං පුතේ මේ සල්ලි ඉක්කෝලේ අරං ගිහිං යාළුවෝ එක්ක අයිස් ක්‍රීම් කන්න කියලා…! පස්සේ ඔන්න මොකද්ද මන්දා බැංකුවේ දිනුම් ඇදීමකින් ආයෙම මට හම්බුනා පොඩි ප්ලාස්ටික් කැටයක්. ඒකත් පිරෙව්වා. කොයි තරම් කල් ගියාද කියලා නම් මතක නෑ.

ඔන්න ඔය ඔක්කොම පිරිලා – බිඳිලා ඉවර වුනාම මට කැටයක් නැති වුනා. ඒ පාර මං තියාගෙන හිටියා ක්‍රිස්කෝ ටින් එකක්. ඒකෙ උඩ පියන ඇරලා සල්ලි දාද්දි හරි ආසයි. දවසින් දවස කාසි වලින් ටික ටින් එක පිරෙද්දි තව තව සල්ලි දාලා ඒක ඉක්මනට පුරවන්න හිතෙනවා. ඒක නම් ඉතිං බිඳින්න උවමනා නැති නිසා කීප වාරයක් සල්ලි වලින් පුරවලා, ගනන් කරලා කඩේක මුදලාලි කෙනකුට දීලා සල්ලි කොල අරගෙන පොතේ දාලා ඇති.

ඒ ඉතිං පුංචි කාලේනේ. අපි දැන් ලොකුයිනේ. ඒත් ඉතිං ඔය කාසි එකතු කරන වැඩේ තාමත් එපා වෙලා නෑ. කොහේ හරි ගිහිං ආපු ගමන් ඉතුරු සල්ලි ටික මේ ලඟක් වෙනකම්ම ගියේ ක්‍රිස්කෝ ටින් එකට. ඒක දැන් මලකඩ කාලා, පියනත් හරියට වැහෙන්නේ නෑ. ඒ පාර තමා මං හොටෙල් එකක බාර් එකේ වැඩකරන අයිය කෙනෙක් දීපු මොකද්ද මන්දා අමුතු හැඩයක වීදුරු බෝතලයකට කාසි දාන්න ගත්තේ. අප්පා ඒක මේසෙ උඩ තියෙද්දි පේන ලස්සන. රුපියල් පහේ කාසියි, අළුත් රුපියලේ කාසියි රත්තරං පාටට දිලිසෙද්දී, අනිත් කාසි ටික රිදී පාටට දිලිසෙනවා. ඒක දකින කොට කාසි වලින් ඒක පුරවන්න හිතෙන්නේ ඉබේටම.

දැන් මේකෙ කීයක් ඇතිද….? දැන් මේක කීයක් ඇතිද …? කියලා හිතෙන වාරයක් වාරයක් පාසා තව තවත් උනන්දුව වැඩිවෙනවා.

ඉතිං මේක මේ අපි වගේ අයට නෙමෙයි, තාමත් පුංචි කාලේ ගත කරන පොඩි අයට කොයි තරම් නම් වටිනවා ඇතිද කියලා මට හිතුනා. ඒක නිසා තමා මේක ලිව්වේ. නිකමට වගේ ඔය කන – බොන තාත්තලා ටික එකතු වෙලා පොඩි අයට ලොකු හොඳ සැර ජාතියක විනිවිද පේන ලස්සන පාටක හිස් ඇල්කොහොල් බෝතලයක් හොයලා ගිහින් දීලා බලන්නලකෝ පොඩි අය කොයි තරම් ආසාවෙන් කාසි එකතු කරයිද කියලා. මට නම් හිතෙන්නේ ඒ අයගේ හිතේ තියෙන උද්යෝගය වැඩිවෙයි කියලා. නොපෙනෙන දෙයක් ඇතුලේ එකතු වෙන කාසි වලට වැඩිය ඇහැට පෙනී පෙනී එකතු වෙද්දී ඒකේ අගය වැඩියෙන් දැනේවි…!

මං තාම නම් දැකලා නෑ, මැටි හා ප්ලාස්ටික් සල්ලි කැට ඇරෙන්න වීදුරු සල්ලි කැට. මොකක් හරි බැංකුවක ඇඩ් එකකනම් තිබුනා. ඒකත් මොකද්ද කියලා මතක නෑ… මං මේ කතාව ගැන කලින් කවුරු හරි කොහේ හරි කියලා තියෙනවද කියලා බලන්න දන්න භාෂා වලින් කරුණු හෙව්වත් වැදගැම්මකට ඇති දෙයක්වත් විද්‍යාත්මකව ළමා මනස සම්බන්ධ කරලා මේ ගැන ලියවෙච්ච කිසිම ලිපියක්වත් නෙට් එකෙන් මට හම්බුනේ නෑ. දන්න තරමින් හෙව්ව නිසා හොයාගන්න බැරි වුනාද දන්නෙත් නෑ.  කාට හරි එහෙම දෙයක් දැනගන්න ලැබුනොත් ඒක ෂෙයා කරන්න. අපිට කෙසේ වෙතත් අනාගතේ එවුන්ට හරි ඒක වැදගත් වෙයි.

මටත් තියෙනවා නම් ටිකක් කට ලොකු, ප්‍රමාණෙනුත් ලොකු හොඳ සැර ජාතියක බෝතලයක් හොයාගන්න තැනක් කියන්න. මගේ බෝතලේ දැන් පිරෙන වේගේ වැඩි වෙලා නිසා ඉක්මනටම උතුරයි වගේ….! මේ බෝතලේ එක්කම තව බෝතල් දෙක තුනක් පුරවන්න තමා මගේ අදහස…

48 Responses to “පෙන්න පෙන්න එකතු කරමු…!”

  1. praveena Says:

    මට එහෙමනම් ඔය වීදුරු බෝතලේ බිඳින්ටම හිතෙයි. වැහිලා තියන එක තමයි හොඳ. 🙂

  2. රූ Says:

    මල්ලිත් වැදගත් විදිහට ඉතුරු කරපු ළමේක්නේ..
    අර වගේ බෝතලයක් ගැන දැනගන්න ලැබුනොත් අනිවා කියන්නම්..

  3. Sumith Niriella Says:

    //මටත් තියෙනවා නම් ටිකක් කට ලොකු, ප්‍රමාණෙනුත් ලොකු හොඳ සැර ජාතියක බෝතලයක් හොයාගන්න තැනක් කියන්න//
    ලිකර් වලනම් තියෙනවලු – හිස් කරලා ගන්න වෙනවා….බැරිවෙන එකක් නෑනෙ….;)

    කොහොම වුනත් වැදගත් පෝස්ටුවක්….

  4. මාඩා Says:

    //ඉතිං මේක මේ අපි වගේ අයට නෙමෙයි, තාමත් පුංචි කාලේ ගත කරන පොඩි අයට කොයි තරම් නම් වටිනවා ඇතිද කියලා මට හිතුනා//

    අනිවා මචං මට ගොඩක් වැදගත්….

    මම නම් සල්ලි දාන්නේ පිත්තල හුණු කිල්ලෝට කෑල්ලක… 😉 😀

  5. Mr.Sithi Says:

    බොතලයක් නේද.. හම්බුනොත් අනිවා කියන්නම්..

  6. kavikaari Says:

    http://www.worldwidespirits.de/lshop,showdetail,2004g,en,,wein.wein_aus_amerika.wein_aus_kalifornien,9661,1,Tshowrub–wein.wein_aus_amerika.wein_aus_kalifornien,.htm

  7. henryblogwalker Says:

    ඉස්සර මං සිගරට් බොන කාලෙ නම් කාසියක් බේතකටවත් හොයා ගන්න නෑ. 🙂

  8. රාජ් Says:

    තතෙන් තතේ තුපියලෙන් තුපියල එකතු කලල දැම්ම ජාතික ඉතිලි කිලීමේ බැංකුවත. ඒකෙ අංකල්ල මගේ සල්ලි අලගෙන පිත්තු කෙලිනව.
    -බබා.

  9. සිතුවම් Says:

    මාත් මේ ළඟකදි ගත්තා බන් ප්ලාස්ටික් කැටයක්.ඔය වීදුරු සීන් එකක් මේ උඹ කියනකම් දැනන් උන්නෙ නෑ නොවැ.

  10. හංසකිංකිණි Says:

    මං ගිය අවුරුද්දෙ ජනවාරි පළවෙනිද ඉඳල මේ අවුරුද්දෙ ජනවාරි පළවෙනිද වෙනකල් පහේ කාසි එක්කාසුකළා.. ඒ අර චොක්ලට් වේෆස් බට දාල තිබුණු ටින්එකකට. ඒ සල්ලි ටික මාරුකරල කොළකරල දුන්න කොන්දෙ ඇදයක් නිසා සැත්කමකට ලක් කරන්ඩ ලෑස්ති කරල තිබුණු අපේ පෙම්බරයගෙ ගම්පලාතෙ පොඩි එකෙක්ට
    දැන් පෙම්බරයටයි මටයි තියෙනව ලොකු මැටි කැටයක්!!
    එකතු කරන්නෙ අපි පහේ හා දහයෙ කාසි විතරයි…දැන් මලාට රුපියල් පහක් දෙන්නෙ නෑ කාටවත්… වෙන කෙනෙක් ලඟ තියෙනව දැක්කත් කොලයක් දීල හරි ඒ ටික අරගන්නව මං
    ඕං ලංකාවෙ පහේ දහයෙ කාසි හිඟයක් ආවොත් මාව එහෙම අල්ලල දෙන්නෙ නෑ හරිය??

    • Gold fish Says:

      මටත් පොඩි කේස් එකක් වෙලා තියෙන්නේ දැන්. රුපියල් දෙකේ කාසි දාන්න බෑ දැන් තියෙන බෝතලේට. ඒක නිසා මටත් පුළුවන් වෙලා තියෙන්නේ රුපියලේ එව්වයි පහේ එව්වයි දහයේ එව්වයි එකතු කරන්න තමා. කොහොමත් ඉස්සරහට කාසි හිඟයක් ඇතිවෙයි වගේ….

  11. තාරා Says:

    “ටිකක් කට ලොකු, ප්‍රමාණෙනුත් ලොකු හොඳ සැර ජාතියක බෝතලයක්”.. ඇයි සැර ජාතියකම බෝතලයක් හොයන්නෙ… කෝඩියල් බෝතලුත් තියෙනවන්ව්…. 😀

  12. සාබිත් Says:

    කට්ටිය ඕවායේ පුරවගෙන ඕවා සංසරනයට එකතු කලේ නැති නිසා තමයි සැරයක් ලංකාවේ කාසි හිඟයක් ඇතිවෙලා 100ක කාසි දුන්නම 110ක්ද කොහෙද බැංකුවෙන් දෙන්න ගත්තේ! අපිත් බැහැලා කාසි එකතු කලා වැඩිපුර හම්බෙන 10 ගන්න 😀

  13. ගිනි කුරුල්ලා Says:

    කබ්රාල් අංකල්, මෙන්න මූ තමයි ඔයාගේ කාසි ටික හංගගෙන ඉන්නේ…

  14. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    එළ මචෝ මාත් ඔහොම එකතු කරනව මගේ කැටේ නං බිදින්නෝන නෑ යටින් ගලවතැහැකි.. අපි ඉතිං සම්පත් බැංකු පාර්භෝකියොනෙ බං… ඒකෙන් මට පුංකලස් මැටි කැටයක් දීල තියෙනව පොඩි කාලෙ ඒක තාමත් තියේ”’ කාසි වලයි කැටේ බරටයි තාමත් උස්සන්න අමාරුයි බං…

    මං පොඩි යෝජනාවක් කොරන්නං උබේ ඔය සැර ජාතියෙ කැටේ පෝටෝවක් ගහල බුකි ගත කොරල මටත් අමුනහංකො බලන්න.. ප්ලීස් බංස්…. 😀

  15. Dinesh Says:

    හොද ලස්සන හැඩ විදුරු බෝතල් නම් මෙහේ තියේ.. ගොඩක් ඒවා ඇතුලටම වීදුරු බෝල දාලා විකුණනම තියෙනවා..

    මටත් ඉස්සර සල්ලි කැට කීපයක්ම තිබුනා.. එකතු කලා විතරයි මතක.. ඒවා අම්මලා කොහේ හරි පොතක දාන්න ඇති.. මම දන්නෙත් නෑ.. 🙂

  16. කගවේනා Says:

    ෆෙන්ෂුයි වල වගේ වීදුරු බෝතල් පිරෙන්න 5හේ කාසි එකතු කලාම වාසනාව ගේනවළු.බොරුනම් බලන්න එකතු කරලා…

  17. DDT Says:

    මටත් තියනව NSB එකෙන් හම්බවුණු රතුපාට තැපැල් කණු කැටයක්. මම නම් ඒක කඩන්නෙ නෑ. පිරුනම කටෙන්ම සල්ලි හලනව. මාරු කාසි පර්ස් එකේ එකතු වෙන එක නම් හරි වදයක්. ඒක නිසා ඒව කොහොමටත් කැටේට වැටෙනව.
    උඹ කියන විදියට වීදුරු බෝතලේක දාල මේසෙ උඩින් තියන්න විදියක් නෑ බං අපේ ගෙදර. අක්කගෙ මාර පැටව් තුන් දෙනා ආවම ඕක තිබිච්ච තැන හොයාගන්නත් නැතිවෙයි. 😀

  18. පිණිබිඳු.. Says:

    මාත් තාම කැට වලට සල්ලි එකතු කරනවා. පොඩි කාලෙ සල්ලි එකතු කරන්න කැටයක් අරන් දුන්නම මම කරන්නෙ ඒක හිමීට අම්මලගෙ කාමරෙන් ගෙනිහින් තියනවා. එතකොට තාත්තා අහම්බෙන් වගේ කාසි දානවා ඒකට. අපිට සල්ලි නෑනෙ ඒ කාලෙ ඉතින්. ඔය ඉස්ටිකර් කොලයක් එහෙම ගන්න ඕනෙ උනාම මම කරන්නෙ කැටේ අනිත් පැත්ත හරවලා පිහි තුඩක් දාලා කාසි එලියට ගන්න එක. කඩචෝරු වලටත් එහෙම තමා වියදම් කරේ. ඉස්කෝලෙ කාලෙ එක්ස්ට්‍රා වියදම් කවර් කරේ එහෙම තමා. තාම අම්මලා දන්නෙ නෑ මම කැටෙන් හොරෙන් සල්ලි ගත්තා කියලා.

  19. නිසුපා Says:

    මාත් තමා සල්ලි කැටේකට දානවා.ඒකත් පූසෙක්.මැටි නම් නෙවෙයි සෙරමික් එකෙක්.තැඹිලියි, සුදුයි එකෙක්.පිටිපස්සෙන් ඇරිය හැකි.හම්බ කරන්න පටන් ගන්න කලින් නම් ඕකට සල්ලි දැම්මා. දැන් නම් වැටෙන්නම නැති තරම්.. 😦


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: