පෙන්න පෙන්න එකතු කරමු…!

සල්ලි එකතු කරන විදි ගැන හැමෝම දන්නවනේ. සමහරු බැංකු පොතේ දානවා, තවත් සමහරු කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා, තවත් සමහරු පොලියට දීලා දුන්න ගානට වැඩියෙන් එකතු කරනවා. ඔය හැම දෙයක්ම අයිති වෙන්නේ සල්ලි එකතු කිරීමටම තමා.

සල්ලි කියන්නේ ඉතිං දෙයියන්ගේ මල්ලි වුනා හරි නැතුව හරි අපි හැමෝගෙම අයියා. ඒකනේ පුංචි කාලේ ඉඳලම අපේ අම්මලා සුපියල සුපියල එකතු කලේ අපි වෙනුවෙන්. ඉතිං එහෙම එකතු කරන ගමන් අපිවත් කාසි එකතු කිරිල්ලට යොමු කලා.

මට මතක මුල්ම කේස් එක තමා, අපි කැලණි ගිය වෙලාවක චූටි මැටි පූසෙක්ව මට අරන් දුන්න එක. කහපාටිනුයි තැඹිලි පාටිනුයි පාට කරලා, හොම්බේ කලුපාට මයිල් ගස් තුන හතරකුත් ඇඳලා… හරියට නිකං ඇත්තම පූසෙක් වගේ. ඒ දවස් වල අපේ අම්මා ගෙදරට එන පූසෙක්ව අල්ලනවත් නොදුන්න නිසා මට අරං දුන්න පූසා මැටි වුනත් ඌ මාර විදියට අගෙයි මට.  මමත් ඉතිං පොඩි එකා හින්දා ගමන ගිහිං එනකං ඌව සෑහෙන්න පරිස්සම් කලා. අන්තිමේ ගෙදර ඇවිල්ලා උගේ පිටේ දිග අතට කපලා තිබ්බ සිදුරකින් අපේ තාත්තා සුපියල් පහක් දැම්මම තමා මාත් දැනගත්තේ මේ පූසා “සල්ලි කැටයක්” කියලා. ඊට පස්සේ තාත්තා ගෙදර ආපු ගමන් දෙන පුංචි පුංචි කාසි වලින් මට අවුරුදු හතරක් විතර වෙද්දි පූසා පිරුනලු. අම්ම තමා කිව්වේ. නැතුව මට මතක ඇති එකක් නෑ. පස්සේ ඌව බිඳලා සල්ලි අරං ගිහිං මගේ බැංකු පොතේ දාලා.

ඊට පස්සේ තාත්තා මට ගෙනත් දුන්නා පූසාට වැඩිය ලොකු සිංහයෙක්. ඒකත් පිරුනා මං තුන වසර විතර වෙද්දි. ඒ සල්ලිත් බැංකුවට. නැතුව ඉතිං මට දෙයියෑ… මේං පුතේ මේ සල්ලි ඉක්කෝලේ අරං ගිහිං යාළුවෝ එක්ක අයිස් ක්‍රීම් කන්න කියලා…! පස්සේ ඔන්න මොකද්ද මන්දා බැංකුවේ දිනුම් ඇදීමකින් ආයෙම මට හම්බුනා පොඩි ප්ලාස්ටික් කැටයක්. ඒකත් පිරෙව්වා. කොයි තරම් කල් ගියාද කියලා නම් මතක නෑ.

ඔන්න ඔය ඔක්කොම පිරිලා – බිඳිලා ඉවර වුනාම මට කැටයක් නැති වුනා. ඒ පාර මං තියාගෙන හිටියා ක්‍රිස්කෝ ටින් එකක්. ඒකෙ උඩ පියන ඇරලා සල්ලි දාද්දි හරි ආසයි. දවසින් දවස කාසි වලින් ටික ටින් එක පිරෙද්දි තව තව සල්ලි දාලා ඒක ඉක්මනට පුරවන්න හිතෙනවා. ඒක නම් ඉතිං බිඳින්න උවමනා නැති නිසා කීප වාරයක් සල්ලි වලින් පුරවලා, ගනන් කරලා කඩේක මුදලාලි කෙනකුට දීලා සල්ලි කොල අරගෙන පොතේ දාලා ඇති.

ඒ ඉතිං පුංචි කාලේනේ. අපි දැන් ලොකුයිනේ. ඒත් ඉතිං ඔය කාසි එකතු කරන වැඩේ තාමත් එපා වෙලා නෑ. කොහේ හරි ගිහිං ආපු ගමන් ඉතුරු සල්ලි ටික මේ ලඟක් වෙනකම්ම ගියේ ක්‍රිස්කෝ ටින් එකට. ඒක දැන් මලකඩ කාලා, පියනත් හරියට වැහෙන්නේ නෑ. ඒ පාර තමා මං හොටෙල් එකක බාර් එකේ වැඩකරන අයිය කෙනෙක් දීපු මොකද්ද මන්දා අමුතු හැඩයක වීදුරු බෝතලයකට කාසි දාන්න ගත්තේ. අප්පා ඒක මේසෙ උඩ තියෙද්දි පේන ලස්සන. රුපියල් පහේ කාසියි, අළුත් රුපියලේ කාසියි රත්තරං පාටට දිලිසෙද්දී, අනිත් කාසි ටික රිදී පාටට දිලිසෙනවා. ඒක දකින කොට කාසි වලින් ඒක පුරවන්න හිතෙන්නේ ඉබේටම.

දැන් මේකෙ කීයක් ඇතිද….? දැන් මේක කීයක් ඇතිද …? කියලා හිතෙන වාරයක් වාරයක් පාසා තව තවත් උනන්දුව වැඩිවෙනවා.

ඉතිං මේක මේ අපි වගේ අයට නෙමෙයි, තාමත් පුංචි කාලේ ගත කරන පොඩි අයට කොයි තරම් නම් වටිනවා ඇතිද කියලා මට හිතුනා. ඒක නිසා තමා මේක ලිව්වේ. නිකමට වගේ ඔය කන – බොන තාත්තලා ටික එකතු වෙලා පොඩි අයට ලොකු හොඳ සැර ජාතියක විනිවිද පේන ලස්සන පාටක හිස් ඇල්කොහොල් බෝතලයක් හොයලා ගිහින් දීලා බලන්නලකෝ පොඩි අය කොයි තරම් ආසාවෙන් කාසි එකතු කරයිද කියලා. මට නම් හිතෙන්නේ ඒ අයගේ හිතේ තියෙන උද්යෝගය වැඩිවෙයි කියලා. නොපෙනෙන දෙයක් ඇතුලේ එකතු වෙන කාසි වලට වැඩිය ඇහැට පෙනී පෙනී එකතු වෙද්දී ඒකේ අගය වැඩියෙන් දැනේවි…!

මං තාම නම් දැකලා නෑ, මැටි හා ප්ලාස්ටික් සල්ලි කැට ඇරෙන්න වීදුරු සල්ලි කැට. මොකක් හරි බැංකුවක ඇඩ් එකකනම් තිබුනා. ඒකත් මොකද්ද කියලා මතක නෑ… මං මේ කතාව ගැන කලින් කවුරු හරි කොහේ හරි කියලා තියෙනවද කියලා බලන්න දන්න භාෂා වලින් කරුණු හෙව්වත් වැදගැම්මකට ඇති දෙයක්වත් විද්‍යාත්මකව ළමා මනස සම්බන්ධ කරලා මේ ගැන ලියවෙච්ච කිසිම ලිපියක්වත් නෙට් එකෙන් මට හම්බුනේ නෑ. දන්න තරමින් හෙව්ව නිසා හොයාගන්න බැරි වුනාද දන්නෙත් නෑ.  කාට හරි එහෙම දෙයක් දැනගන්න ලැබුනොත් ඒක ෂෙයා කරන්න. අපිට කෙසේ වෙතත් අනාගතේ එවුන්ට හරි ඒක වැදගත් වෙයි.

මටත් තියෙනවා නම් ටිකක් කට ලොකු, ප්‍රමාණෙනුත් ලොකු හොඳ සැර ජාතියක බෝතලයක් හොයාගන්න තැනක් කියන්න. මගේ බෝතලේ දැන් පිරෙන වේගේ වැඩි වෙලා නිසා ඉක්මනටම උතුරයි වගේ….! මේ බෝතලේ එක්කම තව බෝතල් දෙක තුනක් පුරවන්න තමා මගේ අදහස…

%d bloggers like this: