පීප්… පීප්… නැගිටපන් යකෝ….

අපි උදේට නැගිටින්න එලාම් තියෙන එලාම් එක වදින්නේ ට්‍රීං… ට්‍රීං… කියලානේ. නැත්තං ඉතිං කුක්කු කූක් කූ…. ගානවා. ඒ ගැන දන්නේ කසාද බැන්ද මාමලා තමා. අපි මේ තාම චූටි එවුන් ඒ ගැන දන්නේ නෑ…! මේ කියන්නේ ඊට වැඩිය මරු එලාම් එකක් ගැන.

මේ ලඟදී දවසක මට යන්න වුනා මගේ කලින් ඔෆිස් එකට. එකෙක්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න. ඉතිං ඔන්න බස් එකේ නැගලා විනාඩි හතලිහක අවෑමෙන් බැස්සා රත්මලානෙන්. සාමාන්‍යයෙන් උදේ හයාමාරේ ඉඳන් හතහ මාර වෙනකං රත්මලානේ ඇතිවන තදබදය අඩු කරන්න හිතාගෙන පොලිස් මාමලාව අයින් කරලා දැම්මා කලර් ලයිට් සිස්ටම් එකක්. අම්මපා ඒක දැම්මත් හරි වෙනදට ඇතිවෙන තදබදය ඩබල් වුනා. ඇයි ඉතිං කලර් ලයිට් වැඩ කරන්නේ ඌට දීලා තියෙන ටයිමින් අනුවනේ. පොලිස් මාමලා එහෙම නෙවෙයිනේ. එයාලා දන්නවා වාහන අඩු වෙලාවට හා වැඩි වෙලාවට මොලේ කම්පනා කරලා වාහන ටික හසුරුවා ගන්න. ඒත් ඉතිං කලර් ලයිට් සිස්ටම් වලට තාම කෘතිම බුද්ධිය නැහැනේ. අනික ඒක ප්‍රෝග්‍රෑම් කරපු එකා හරියට “if  – else“  යූස් කරලාත් නැද්ද කොහෙද. වාහන නැති වෙලාවටත් පාරෙ අනිත් පැත්තට යන වාහන හරියටම… තත්පරේටම… තත්පර 90ක් නිකං බලං ඉන්න ඕනේ.

ඉතිං කොහොම හරි මම බස් එකෙන් බැහැලා අර ඉස්සෙල්ලා කිව්වත් වගේ පාරේ එක පැත්තක විතරක් වාහන අනිත් පැති වලට යන්න බලාගෙන ඉන්න තත්පර අනූවෙදී පාර පැනලා යද්දී, තත්පර අනූවේ අන්තිම කට්ටේ හිටියේ. ඊට පස්සේ ඉතිං තත්පර අනූව ගිහිං වාහන වලට පාරේ අනිත් පැත්තට යන්න තියෙන තත්පර විස්ස කියන්නේ, ඉස්සර ස්කෝලේ අරින වෙලාව වගේ තමා. හූ කියාගෙන, ඇඟේ ගෑවී නොගෑවි ගෙන කන ගාවින් සං සං ගාලා ඉගිලෙන්න බලන් ඉන්න කට්ටියට හොඳම තරඟකාරීම අවස්ථාව, අනෙකා පරද්දමින් ඉස්සරහට ඇදෙන්න. මොන මගුල කලත් හැමදාමත් දිනන්නේ මෝටර් බයික්ම තමා. ඊට පස්සේ ට්‍රයිෂෝ… ඊටත් පස්සේ තමා පෝලිමේ මුලින්ම තිබුන කාර්, වෑන් එන්නේ…!

ඒත් එදා පොඩි අවුලක්. තත්පර විස්සෙන් තත්පර දෙක තුනක් ගත වෙද්දී එක දිගට හෝන් වදිනවා විතරයි වාහන වල, එක වාහනයක්වත් හෙල්ලෙන්නේ නෑ. මුලින්ම කාර් එකක්. ඊට පස්සේ තඩි ටිපර් එකක්. ඒක පාරෙ පලලෙන් තුන් කාලක් විතර. පිටිපස්සේ තියෙන වාහන යන්නත් බෑ ඒ නිසා. ඉතිං කොහොම හරි මටත් නිකමට වගේ බැලුනා ඒ පැත්ත. මොකද වෙනදට කවුන්ට් එක පටන් ගත්ත ගමන් රූං ගාලා පාගන්න ගන්න වාහන වල ඇහෙන්නේ හෝන් එක විතරයි.

ටිකක් හොඳට බලද්දී කේස් එක තියෙන්නේ පෝලිමේ මුලින්ම තියෙන කාර් එකේ. ඒක හෙල්ලෙන්නෙවත් නෑ. පාරේ ඇවිදන් යන කට්ටියත් කතා වෙන්නේ “සමහර විට කාර් එක කැඩල වෙන්න ඇති“ කියලා. ඒත් එකෙක්වත් නිකමටවත් නොහිතුන දෙයක් තමා වෙලා තිබුනේ.

කාර් එකේ ඩ්‍රයිවර්ට අර තත්පර අනූව ඇතුලත චූටි නින්දක් ගිහිං….!

පස්සේ ඔන්න ටිපර් එකේ කොන්දා බැහැලා ගිහින්… කාර් එකේ වීදුරුවට තට්ටු කරලා, “නැගිටපන් යකෝ“ කියලා ඩ්‍රයිවර්ව ඇහැරවන්න එලාම් එක ගැහුවා. ඊට පස්සේ කාර් එකේ ඩ්‍රයිවර් දඩ බඩ ගාලා ගියර් ටික එහාට මෙහාට මාරු කරලා යන්න ගියා.

හ්ම්… මට දැන් නම් හිතෙනවා, ඒ මනුස්සයට ආයෙමත් නින්ද යන්න ඇතිද කියලා. රත්මලානේ වගේ නෙමේනේ දෙහිවල ගල්කිස්ස හරියට යද්දී ට්‍රැෆික් එක. ඒ හරියෙදි නින්ද ගියොත් නම් ඉතිං කෑගහන්නේ නෑ, කනට එකක් ගහලා තමා ඇහැරවන්නේ….! මොනා වුනත් අනතුරක් නැතුව බුවා ගියාද කියන එක තාමත් සැකයි.

ටී.වී එකෙයි පත්තර වලයි එක දවසක් නෑර තියෙනවනේ ඩ්‍රයිවර්ලට නින්ද ගිහිං වෙන වාහන වලයි, ලයිට් කනු වලයි, ගෙවල් වලයි වාහන හප්පගෙන මරන දෙක තුනකුත් එක්ක ඉවර වෙච්ච නිදිමතවල් ගැන. ඒ නිසා මං නම් හිතන්නේ තමන්ට වාහනයක් එලවන්න තරම් සුදුසු තත්වයක් නැතිනම් හෝ අධික ලෙස නිදිමතනම් හෝ කාටවත් අවහිර නොවෙන්න පොඩ්ඩක් පැත්තකට නින්දක් දාලා යන එක තමා සුභ. එතකොට හැමෝගෙම ශරීර සෞඛ්‍යයට හිතකරයි ඒක…!

ලොකු ලොකු රටවල එක දිගට, දවස් ගනන් යන්න වෙන මාර්ග වල නම්, ප්‍රධාන පාරෙන් වාහනය ඉවත් කරගෙන වාහනේ ඇතුලෙම නිදාගන්න පුළුවන් වෙන්න පොඩි තාවකාලික නැවතුම් තියෙනවා. ලංකාවේ ඉතිං එහෙම එක දිගට යන පාරවල් නැති නිසා වගේම, පාරේ අයිනේ තැන් තැන් වල පොඩි පොඩි ඉඩ තාමත් ඉතුරු වෙලා තියෙන නිසා එහෙම අවශ්‍යතාවක් නම් නෑ.

 

 

%d bloggers like this: