ඔන්න මල්ලි යකා…

අපි යකෙක්ව ඇත්තටම දැකලා නැති වුනාට “යකා“ කියන වචනයට චූටි කාලේ කොයිතරම් බයද… අපේ මල්ලි දැන් ඔය පොර වගේ හිටියට ඒ දවස් වල එයා තමා වැඩියෙන් බය. අයියත් ඊට දෙවෙනි නෑ… ඒකනේ තාමත් කළුවරට බය… ඉතිං මමයි මල්ලියි ඉස්සර බත් නොකා මග අරින කොට අම්ම කියනවා…“බයි කන්නේ නැති ළමයින්ව යකා අරං යනවා“ කියලා. ඒ කියලා මේං අනිත් පැත්ත හැරෙද්දි කව්දෝ මන්දා අපේ තාත්තගේ වගේ ඉරි සරමක් ඔළුවේ ඉඳන් පොරෝගෙන අපි දෙන්නගේ ලඟට දනගාගෙන ඇවිත් “බබා බයි කනවද… නැත්තං මං බබාව ගෙනියන්නද“ කියලා අහනවා. කට හඬත් තාත්තාගේ වගේමයි. ඒත් ඉතිං යකානේ… අපි කොහොමද යකාගෙන් අහන්නේ ඔයා කොහොමද තාත්තගේ සරම ගත්තේ කියලා…! ඉතිං බයටම බත් ටික කැවෙනවා… ඊට පස්සේ යකා කාමරේට යනවා… බයි කාලා ඉවරවුන ගමන් තාත්තා ඇවිත් හොඳ පුතා කියලා ඔලුව අතගානවා.

ඒ තමා පළමු යක්ෂ අත්දැකීම. ඊට පස්සේ යකාව දැක්කේ දහම් පාසලේදී. ඉන්ටවල් එකට කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අත් අල්ලගෙන අපි කට්ටියම යනවා ලයිට් එකක් වත් දාපු නැති කළුවරම කළුවර බුදුගෙට. ඒකේ එක කෙලවරක තියෙන ලෑලි දිරලා පියන් ගැලවිච්ච ජනේලෙන් එන එලිය විතරයි මුළු බුදුගෙටම තියෙන්නේ. එතකොට අපි තුනේ. ඊට පස්සේ ඉතිං කළුවරේම පේනවා, කට ඇරගෙන ඉන්න සිංහයින් දෙන්නෙක්ව, ඊට උඩින් තඩි මකරෙක්. ඊට පස්සේ බුදුපිලිම තියෙන කුටිය. ඒවා බලන්න නම් වහලේ තියෙන වීදුරුවෙන් එලිය වැටෙනවා. ඊට පස්සේ තමා යකා ඉන්නේ. කළු, තඩි බඩක් තියෙන, ඇස් දෙක රතු පාට, දිව එලියට දාගත්තු, සුදු පාට උල් දත් දෙකක් කටෙන් එලියට පැනපු… කොන්ඩේ වැවිලා ක්‍රේල් වෙච්ච, මිටි පොරක්. ඉතිං ඔය වෙලාවට අපි පොරවල් වෙන්න කියලා කෙල්ලන්ගේ අත් අතෑරලා යනවා තරඟෙට යකාගේ කකුලක් අල්ලන්න. පිටිපස්සේ ඉන්න එකා ඉස්සරහ ඉන්න එකාව තල්ලු කරපු ගමන් කෑගහගෙන දුවනවා කට්ටියම එලියට. එතනින් යකාව ඇල්ලීමේ තරඟය ඉවරයි…!

ඊට පස්සේ තමා අපේ මල්ලි යකාට යකා සෙට් වෙන්නේ. ඒ දවස් වල මමයි මල්ලියි ගෙදර එන්නේ ඉක්කෝලේ ගිහිං අම්ම වැඩ කරන තැනට ගිහිං, එතෙන්ට තාත්තත් ආවට පස්සේ. මොකද නැත්තං අපේ අම්මට අපි දෙන්නව බලාගන්න මූනු දෙකකුයි, මිස්ට ෆැන්ටෑස්ටික්ට වගේ ඇදෙන – ඇකිල්ලෙන අත් හතරකුයි ඕනේ… ඒක නිසා තාත්තාත් වැඩ ඉවර වෙලා අම්මා ඉන්න තැනට ගිහිං අපිවත් එක්කගෙන තමා ගෙදර යන්නේ.

ඉතිං ඒ වෙද්දි ටිකක් රෑ වෙනවා. අම්මා ගෙදර ගිය ගමන් කරන්නේ අපි දෙන්නවා ඇඟ හෝදවන එක. ඊට පස්සේ රෑට උයන්න සෙට් වෙනවා. ආං ඒ වෙලාව තමා අපේ මල්ලිගේ සුභම වෙලාව. එයාගේ වැඩේ අම්මගේ ඇඟේ දැවටි දැවටි “අම්මා කෝඩියල් චුට්ටක්… අම්මා කෝඩියල් චුට්ටක්“ කිය කිය සන්ක්වික් හදවගෙන බොන එක. මමත් ඉතිං මල්ලිට කියන්න යන්නේ නෑ “ මොනාද ඕයි අම්මට වද නොදී ඉන්නවකෝ“ කියලා… මොකද ඉතිං මටත් සන්ක්වික් වීදුරුවක් හම්බෙනවනේ…!

කොහොම හරි බුවා චූ බර හැදෙන කම්ම බීම බොනවා. ඊට පස්සේ තාත්තට හරි මට හරි වදේ… මූත් එක්ක ටැප් එක අරින්න යන්න. එ දවස් වල ගෙයි ඉඳන් මීටර් තුන හතරක් ඈතින් තමා ටොයිලට් එක තිබුනේ. ගෙයි කාමරේ ඉඳන් ස්විච් එකක් දාලා එතෙන්ට පවර් ලයින් එකක් ඇදලා බල්බ් එකක් දාලා තමා තිබුනේ. ඉතිං කොච්චර බල්බ් දාලා තිබුනත් අපි කවුරු හරි පොර ටැප් එකේ වැඩේ කරගන්නකම් අපි එලියට වෙලා ඉන්න ඕනේ. අපි කාටවත් යන්න බැරිවුනොත් පොර අහන ලෝකේ නැති ප්‍රශ්න වලට අපිත් මෑන් වගේම සද්දෙන් උත්තර දෙන්න ඕනේ. නැත්තං අර අන්දරේගේ වයිපරේ වගේ තමා… ඊලඟ ප්‍රශ්නේ අහන්නේ කලින් එකට වැඩිය සද්දෙන්… ඒ මොකටද දන්නවද… ඒ එයාගේ හිතට එන යක්කු ගැන සිතුවිලි නවත්ත ගන්න.

ඉතිං මං අයිය හැටියට මං හිතුවා මල්ලිගේ මේ බය නැති කරන්න ඕනේ කියලා. එතකොට තුනේ හින්දා ආපු හොඳම අදහස තමා මූ තනියම ප්‍රශ්න පත්තරෙත් අරං චූ කරන්න ගිය ගමන් ලයිට් එක නිවලා පොඩි සද්දයක් දාන එක. ඉතිං ඕං බලාගෙන හිටිය දවස ආවා. මූත් චන්ඩියා වගේ බීම බීලා බීලා උගේ කිරිබන්ඩිය පුරෝගෙන ගියා ටැප් එක අරින්න. යන්න කලින්ම මට කියලා ගියේ “ඔයාට එන්න බැරිනම් මං අහන ඒවාට උත්තර දෙන්න“ කියලා. එතකොට මේකා මොන්ටිසෝරි මයෙ හිතේ. ඒ වුනාට පන්ඩිතයා. ඉතිං මාත් හුම් කියලා, දෙඤ්ඤං අද උඹට කියලා, ජනේලෙන් බලාගෙන හිටියා දොර වහගෙන ටැප් එක අරිනකං. ටැප් එක වහන්න අඩුම ගානේ තත්පර හතලිහක්… විනාඩියක් විතර යනවා.

ගිය ගමන් ඔන්න පටන් ගන්නවා ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන. පොර ප්‍රශ්නේ අහගෙන එනකොටම ටුක් ගාලා ලයිට් එක නිවලා…“මල්ලි ඔන්න යකා“ කියලා හොඳ හූවකුත් කියලා ජනේලේ ගාවට ගියා විතරයි… මෙන්න බුවා දුව ගෙන එනවා රාං කුරුල්ලවත් එලියේ දාගෙන වටේ පිටේ තියෙන ගස් වලට වතුර පාරකුත් දාගෙන “අම්මේ… අම්මේ…“ කියලා අඬාගෙන චූ නාගෙන. මෑන්ට ටැප් එක වහගන්න බැරි වෙලා හදිස්සියට. දුවලා දුවලා ගියේ කුස්සියේ කෑම හද හද හිටිය අම්මා ගාවට. ගිහිං අම්මගේ ඇඟේ එල්ලිලා අඬනවා හෝ ගාලා. කොහොම හරි ඒ අස්සේ අපේ අම්මටත් පිනා චාන්ස් එකක් සෙට් වෙලා වතුර මලකින් නාන්න. මල්ලි බීපු සන්ක්වික් ටික ඉවර වෙන්ට සෑහෙන වෙලාවක් යනවනේ ඉතිං…!

ඊට පස්සේ අපේ තාත්තගේ වාරේ. “ඇයි මල්ලිව බය කලේ…. ඇයි මල්ලිව බය  කලේ“ කිය කිය තාත්තා මගේ පස්සෙන් හොට්ම හොට් ප’සූට් එකක් මට හොඳ මසාජින් පාරක් දෙන්න… කොහොම හරි ඇඳන් උඩින් පැනලා, මේසේ යටිනුත් රිංගලා ගේ ඇතුලේ එහේ මෙහේ දුවලා කැමැත්තෙන්ම අන්තිමට තාත්තාට බාරවුනා… ඇයි ඉතිං එළියේ කළුවරයිනේ….!

%d bloggers like this: