නංගිගේ බබාලට මාමලා ආදරෙයිලු….

යාන්තං දෙයියනේ කියලා සතියේ මැද්දේ හම්බුවෙචිචි නිවාඩු දවසේ, ටිකක් වැඩියෙන් නිදා ගන්න ඕනේ කියලා හිතාගෙන, අටාමාරට විතර ඇහැරිලා අනිත් පැත්ත හැරෙද්දිම…

පුතා… දැන් නැගිටින්න… අන්න යාළුවෝ දෙන්නෙක් ඇවිල්ලා….  හහ්… අපේ අම්මගේ මිනි කිංකිණි හඬ්‍…

හපෝ… මුං නම්…! නිවාඩු දවසක් ආවොත්, එලිවෙද්දි එනවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් උස්සගෙන ෆිල්ම් ගෙනියන්න. උංගේ හිතේ මං දන්සැලක් කියලා.

හිතින් බැන බැන ගෙයින් එලියට බහින කොටම…. අම්මට සිරි…. ටී.සමන් ඇන්ඩ් ටී උදයංග කොලබරේෂන්. මුං දෙන්නව මං දැක්කේ අවුරුදු හතකින්. ස්කෝලෙන් අයින් උනත් හරි මුං දෙන්න අන්තරස්  දහං වුනා.  ටී.සමන් රට ගිය බව දන්නවා වගේම ඇත්තටම උගේ පින්තූර කෑලි වගේකුත් දැක්කා. ටී උදයංගත් රට ගියා කියලා ඇහුවා වුනාට කිසිම සාක්ෂිකයක් හම්බුනේ නෑ.

ඉතිං මේ දෙන්නා එදා උදේම අපේ ගෙදරට පාත් වෙලා. වරෙල්ලා ගෙට…

බෑ… බං… ඉක්මනට ඇඳුමක් දාගෙන වරෙන් බෝධි යන්න…!

මෙන්න යාළුවෝ… ස්කෝලෙ යද්දී වල බැහැපු, තියෙන ඔක්කොම ස්කෝලේ කාලයේ නරකයි කියන වැඩ අත්හදා බලපු සහ ඒවා පුරුද්දක් විදියට කරගෙන ගිය එවුන් දෙන්න අද මට බෝධි යන්න කතා කරනවා…! මිනිහෙක් රට යන්නම ඕනේද කොහෙද හැදෙන්න.

පස්සේ ඉතිං මාත් තද මැදලා,  සෝයි ටී ෂර්ට් එකක් එහෙම ඇඳගෙන උං දෙන්නා ආපු රතුපාට මරුටියටම නැග්ගා.

ඔන්න යන ගමන් උංගේ විස්තර මට කියනවා, මගේ එකම විස්තරේ උන්ට කියනවා. පස්සේ කොහොම හරි ගඟ මැද මෙව්වා එකේ කාර් එක දාලා ගියා බෝධියට. යන කොට හාමුදුරු නමක් බන කියනවා. අරුං දෙන්නත් එක්කම ඊට පස්සේ බන නෑහෙන මානයක් බලලා වාඩි වුනා. ඔන්න දැන් තමා කතාව.

මචං… පොඩි කේස් එකක් බං. සමන්…

හ්ම්… හූ මිට්ට උදංගගෙන්…

කියපං බලන්න…

උඹට මතකද අර ෆර්ෂිමා කියන කෙල්ල…?

ආහ් අර මුස්ලිම් එකනේ…? තාත්තා මුස්ලිම් අම්ම සිංහල, කෑල්ලනේ… අර උඹ මැරීගෙන බැස්සේ…

ඔව් බං…

ඉතිං…

ඒකිව මට සෙට් වුනා… ඒත් පොඩි අවුලක් ඕයි…

ඒ මොකද්ද…

මට ඒකිව බඳිනවනම් උංගේ ආගමට එන්නලු….

ඉතිං පල…

බෑ බං… මට බෑ…

ඒ අස්සේ උදයංග… උංගේ අයියා මූට නෙලන්න හොයනවා බං…

මෙහෙමනේ මචං… ඔන්න දැන් අර හෙන්රි අයියා වගේ පොත පත ඇසුරෙන් ප්‍රශ්නය නිරාකරනය කරන්න තමා මගෙත් ට්‍රයි එක. මොකද මට ගහන්න එන්න අයියලා නෑනේ….

සමන්… දැන් උඹ බුදු දහම දන්නවා නේද…?

ඔව්… ඉතිං…

දැන් බලපං මචං… දේවදත්ත… උඹ හිතන්නේ ඌ බුදුහාමුදුරුවන්ගේ කව්රු කියලද….?

හතුරානේ බං…

ආච්චිගේ රෙද්ද… හතුරා නෙමෙයි යකෝ… බුදුහාමුදුරුවන්ගේ මස්සිනා….

ඔව්වා ඔහොම තමා බං. බුදුහාමුදුරුවන්ට මස්සිනා හතුරු කං කලා නං තොට නොකර ඉන්න තෝ ඊට වැඩිය ලොක්කෙක්ද…? අනිත් එක කෙල්ලගේ අයියා ඒකිව ඔහොම තියාගෙන ඉඳලා, ඌ අහවල් එක කරන්නද ඒකිට… නෑනේ බං… උඹටමනේ කරන්න වෙන්නේ… ඒක නිසා කෙල්ලව බැඳපං… බැයිනම් පැනලා පලයන්…! බබෙක් එක්ක එනකොට මස්සිනාගේ සැර බහිනවා. ඊට පස්සේ ඌ පොඩි එකාගේ මාමානේ… මාමලා ආදරෙයි නංගිගේ බබාට. බොරුනම් බලපංකෝ බැඳලා…

උදයංගත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ අරගෙන, ඒකනේ බං මාත් කිව්වේ… මූ බයේ බං. ස්කෝලේ කාලේ තිබ්බ චන්ඩිකම් දැන් බැහැලා.

ඊට පස්සේ සමන් කට පියං හිටියට ඌ කිසිදෙයක් ඔලුවට ගියේ නෑ කියලා උදයංගයි මායි දෙන්නම දන්නවා…

ඊට පස්සේ මේ ලඟඳී දවසක මට එනවා අංක පහක නොම්මරේකින් කෝල් එකක්. පිටරට එකක්…!

මචං… සමන්…!

අඩෝ කොහොමද බං..? උඹ රට ගියේ කවද්ද…?

උඹව හම්බුවෙන්න ඇවිත් සතිදෙකෙන්…

ආහ්… කොහොමද ඉතිං…

ඉන්නවා බං… පොඩි වැඩක් කියන්න ගත්තේ…

මොකද්ද බං…. උඹ ආයෙම ගහෙන් වැටුනවත්ද..?

විහිළු නෙමේ බං…. තෑන්ක්ස්….

මං අන්දුං කුන්දුං… මොනාද මේ මූ කියවන්නේ කියලා. කවදාවත් නැති තරම් සංවේදී විදියට.

මොකද බං…. සීන් එක..?

එදා උඹ කියපු දේවල් නිසා, මං හිත හදාගෙන කෙල්ල එක්ක පැනලා ගියා මචං. ඒකිට පාස් පෝට් හදාගෙන කෙලින්ම මෙහෙටම එක්ක ගෙන ආවා…

නෑහ්…

නෑ නෙමේ… ඔව් බං…  ඒක කියද්දී සමන්ට ඇඬුන බව කට හඬ වෙනස් වෙන විදියෙන් දැනුනා.

හ්ම්… ඉතිං…. ඇත්තටම මටත් වෙන කියන්න දෙයක් නෑ ඒ වෙලාවේ.

දැන් වයිෆ්ට බබෙක් හම්බුවෙන්න ඉන්නේ… ඒක නෙමේ යකෝ වැඩේ… උගේ ඇඬිල්ල ක්ෂණිකව නැවතිලා… මාර හැපී මූඩ් එකකින්…

මස්සිනා කෝල් කර කර කියනවා, ලංකාවට ඇවිත් උගේ බිස්නස් වලට සෙට් වෙලා නංගිත් එක්ක ලංකාවේ හිටපං කියලා…! ඌට දැන් ආගම වෙනස් කරත් එකයි නැතත් එකයිලු. පොඩි එකාටත් ඕනේ නමක් තියපන්ලු. ඕනේ නම් කෙල්ලවත් බුද්ධාගමට ගනින්ලු. කොහොමහරි ලංකාවට වරෙන් කිය කිය අඬනවා ඕයි. එන්න යන වියදමත් දෙන්නම්ලු බං…. උඹ කිව්ව කතාව හරි බං, මාමල නංගිගේ බබාලට ආදරෙයි තමා බං…!

දැන් මං මොනා කියන්නද…? මං විහිළුවට කියපු දේ මූ ඇත්තටම කරලා දැන් එකේ සතුට විඳිනවා.

වරෙන් මචං වරෙන්… උඹලා එන එක හොඳයි…!

ඔව් බං… තව මාස තුනකින් විතර කන්ට්‍රෑක්ට් එක ඉවර කරලා මං එනවා. කියලා කෝල් එක කට් කරා.

මට හිතෙන්නේ බුදුහාමුදුරුවන්ට වැඩිය උඹ එකපැත්තකින් වාසනාවන්තයි බං. රාහුල කුමාරයා ඉපදුනාට පස්සෙවත් දේවදත්තගේ හතුරුකං නැවතුන නැති එකේ… බලපංකෝ උඹේ මස්සිනා….!

ෆයිල් නේමිං….!!!

ඔය කොම්පූටරේ තියෙනවනේ… ඉතිං ඒකේ ෆයිල් තියෙනවනේ…. ෆයිල් තියෙන්නේ ෆෝල්ඩර් ඇතුලෙනේ… ඉතිං ඒ ෆෝල්ඩර් වලට එක එක නමුත් තියෙනවනේ…! අන්න එහෙම නම් තියෙන ෆෝල්ඩර් වලට ගොඩක් දෙනා නම් දාන්නේ හොඳට හිතලා බලලා.

මේං අපේ හිත රත්තරං (HR) ඩිපාමන්ට් එකේ එකෙක්ගේ ෆෝල්ඩර් වල නම් ටික. මේ ලඟදී අදාල ස්ථානයට ගිය දවසේ තමා ඕක දැක්කේ. ඔය සොයිසා කියන්නේ ප්‍රඩක්ෂන් මැනේජර්. බුවාගේ ඔක්කොම කුණු අදින්නේ ඔය මැෂිමේ අයිතිකාරය. ඒ මදිවට වැඩ කරන අයගේ එක එක විස්තරත්, ප්‍රඩක්ෂන් මැනේජර් ඉල්ලන විදියට සපයන්නෙ බුවාම තමා. ඉතිං දවසගානේ ඔය ඔක්කොම කරද්දි මෑන්ස්ට හෙන සනීප ඇති. නැත්තං ඔය වගේ රත්තරං නම් ටිකක් දාවියැ…!

ඒ වගේම… සමහරුන්ගේ මෙව්වා ෆෝල්ඩරේ නම System Files (do not delete) හරි Class Lessons (PDF) හරි Special documents (Do not open) වගේ හෙන වැදගත් නමක්. තියෙන්නෙත් කොහෙ හරි ක්‍රිටික්ල් ෆෝල්ඩර් එකක් අස්සට ඔබලා. ඇතුලේ තියෙන එව්වත් ඉතිං ඒ වගේම ක්‍රිටිකල්. මොබයිල් ෆෝන් වලනම් ඔය තත්ත්වය වෙනස්. මොකක් හරි එකක් හොයාගන්න ඕනේ වුනාම ජින්තු බහින කම්ම ෆෝල්ඩර් ඕපන් කරන්න ඕනේ. ෆෝන් එකේ අයිතිකාරයට ඇරෙන්න හොයාගන්න බෑ… ඒ මෙව්වා එක තියෙන තැන ට්‍රී වීව් එකක් ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තමා ගොඩක් කොල්ලන්ගේ ෆෝන් වල…

තව කතාවක් මතක් වුනා. ඉස්සර යාළුවෙක්ගේ ගෙදර පාඩම් කරන්න ගියාම, පාඩම් කරන ගමන් ඌ කෑල්ලට ලියපු ලියුම් සහ කෑල්ල ඌට ලියපු ලියුම් අපි කියවනවා. පොර ඒ ටික හංගලා තිවුනේ ටවර් සීපීයූ කේසින් එකේ ඇතුල් පැත්තේ උඩ ඩබල් සයිඩ් ටේප් එකකින් අලවපු පොඩි කාඩ් බෝඩ් පැකේජ් එකක් විදියට. කාටවත් නොපෙනෙන්න කේබල් වලින් වැහෙන්න සෙට් කරලා තිබුනේ. ඉතිං දවසක් දා පාඩම් කරන්න ගිහිං උගේ ලියුම් ට්ක කියවන්න බලද්දී මෙන්න බොල ට්‍රාන්ස්පේරන්ට් පොලිතින් එකක දාපු සීරීම්, පලුදු වීම් නැති මුකුත් නැති කිරිටොයියා සීඩී එකක් සීපීයූ කේසින් එක ඇතුලේ. අපිට හොරෙන් අපේ යාළුවෝ නරක වැඩ කරන්නේ නැති නිසා අපි දන්නවා ඒක මැෂින් එක අයිතිකාරයාගේ නෙවේ කියලා. ඒත් එහෙනම් කාගෙද ඒක…?

ඒක උගේ බාප්පගේ…!

බාප්පට හංගන්න තැනක් නැති පාර යාළුවගේ කොම්පූටර් කේසින් එක ඇතුලේ හංගලා. සිඩී එකේ උඩ නිල් පාට පර්මනන්ට් මාකර් එකකින් ලියලා තිබුනා නමක්, Camellia කියලා…!  ආයෙ ඉතිං අපි නොදන්න මල්යැ ඒවා… ඒක නිසා අපි සියළු දෙනා එදා ගොඩක් රෑ වෙනකං සතුටින් පාඩම් කරලා, සීඩි එකත් තිබ්බ විදියටම තියලා වෙනදට වැඩිය කලින් ගෙවල් වලට ගියා…!

කේන්දරේ බලා ඇත…!

මේ ලෝකේ දෙයක් හිතේ නැති කොට

හම්බුන අළුත් මැසිමටම කොට කොට

මොනිටරේ බලුප් එකෙන් වැටෙන නිල් පාට එලියට,

දිලිසෙන ක්‍රිස්ටල් කෑල්ල දිහා බලාගෙන…

කොටන්නට ගත් මේ මෙව්වා එක

අනේ මන්දා කොහෙන් නවතීද…!

 

ඊයේ ගෙදරින් කේන්දරේ බලා ඇත…!

අහෝ..! මයෙ පපුව පත්තු වුන අපූරුව

 

ඉතිං මොනාද අම්මේ කිව්වේ…?

 

මම නෙවෙයි මයෙ කට, ඉස්සර වුන හැඩ මටත් පෙර

 

අම්මා නිහඬය….          ……        තාමත් නිහඬය….          …..

 

මට දැන් සැකය… අම්බානෙටම.

කේන්දර ගෑණිට නෙලන්නටම සිත්විය

අඩුම ගානේ කුණු බිත්තර පාරක් වත්….!

සුවර් එකටම අම්මාට කිය ඇත…

එදා ඉඳන් මං බය වුනේ ඕකටය.

දැන් මයේ පෙම් හිත, අම්ම ලඟ  නිරුවත්ය…

අම්මලාට හොරා මගුල් නැටුවට, ග්‍රහයෝ එක්ක එව්වා බැරිය

උං අහසේ ඉඳ සියල්ල බලා සිට,

අවස්ථාවක් ආ ගමන් තබයි මහ එවුන්ගේ කන්වල

අන්තිමේ අම්මලාට කියා උන්, නටවන්නේ අපිවමය…!
 

| මුකුත් නෑ පුතේ… ඔයාට නම් සිකුරා ලබලා තියෙන්නේ  කිව්වේ.

| දැනටම එක්කෙනෙක් හොයාගෙනත් කිව්වා තියෙන්නේ…!

| ඒ ළමයත් හොඳ චාම් ළමයෙක් කිව්වා…

| හිතුවක්කාර විදියට කෙරෙන්නෙත් නෑ කිව්වා…

 
මට දැන් තවත් සැකය….

මගෙ කටින් අල්ලන්න හොර වැඩ… හිහ්… එව්වනම් හීනය….

එක්කෝ මයෙ එක කියා මල්ලිගේ කේන්දරේ බලා ඇත.

නැත්තං කේන්දර ගෑණි පහේ ටොපියක් කා, මගේ එක බලා ඇත.

ඒත් නැත්තං ග්‍රහයෝ ටික මට අනුකම්පා පිනිස යමක් කර ඇත…!

 

එතකොට මල්ලිට මොකද කිව්වේ…?

 

කුහක හිතුවිලි පුරෝගෙන… ඇහුවේ,

හැමදාමත් මට වැඩිය හොඳ දෙයක් ඌට කියන බැවිනි…!

මෙදා පාරත් අනිවා එහෙමය… අහන්නට දෙයක් නැතිය…

ග්‍රහයන්ට අනුව…. ඌ පට්ට හොඳය…

 

|මල්ලිට නම් තාම හරියට ස්ථිර එකක් නෑ කිව්වේ…

|තාම පොඩි නිසා, ඒක හරියයි කිව්වා ඉස්සරහට…

|එයත් හිතුවක්කාර නෑ කිව්වා…

 
ෂාහ්…. මරුය … කොහොමද පොඩිකාලේ කේන්දර…

ලොකු වෙද්දී වෙනස් වෙන ලස්සන

ඔව්වා අම්මලාගෙන් අහන්න බැරිය…

මං ගැන සැක හිතන්නට පුළුවන

 

ග්‍රහයෝ කැහි පැනි ගසා ඇත…

කේන්දර නැන්දි අඩුවෙන් නිදා ඇත…

මෙදා පාර හරියටම නිවරදිය…

ඇත්ත ජය ගෙන ඇත..!

ඒ අස්සේ…

ග්‍රහචාරය අනුව…

මටද සිකුරා ලබා ඇත…! (ආච්චිගේ රෙද්ද)

 

ඉතිං…. දැන් පරිස්සං වෙන්ට ඕනෑය…!

නැත්තං ඉක්මනට බබා හම්බුවෙනු ඇත….!
 

පෙන්න පෙන්න එකතු කරමු…!

සල්ලි එකතු කරන විදි ගැන හැමෝම දන්නවනේ. සමහරු බැංකු පොතේ දානවා, තවත් සමහරු කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරනවා, තවත් සමහරු පොලියට දීලා දුන්න ගානට වැඩියෙන් එකතු කරනවා. ඔය හැම දෙයක්ම අයිති වෙන්නේ සල්ලි එකතු කිරීමටම තමා.

සල්ලි කියන්නේ ඉතිං දෙයියන්ගේ මල්ලි වුනා හරි නැතුව හරි අපි හැමෝගෙම අයියා. ඒකනේ පුංචි කාලේ ඉඳලම අපේ අම්මලා සුපියල සුපියල එකතු කලේ අපි වෙනුවෙන්. ඉතිං එහෙම එකතු කරන ගමන් අපිවත් කාසි එකතු කිරිල්ලට යොමු කලා.

මට මතක මුල්ම කේස් එක තමා, අපි කැලණි ගිය වෙලාවක චූටි මැටි පූසෙක්ව මට අරන් දුන්න එක. කහපාටිනුයි තැඹිලි පාටිනුයි පාට කරලා, හොම්බේ කලුපාට මයිල් ගස් තුන හතරකුත් ඇඳලා… හරියට නිකං ඇත්තම පූසෙක් වගේ. ඒ දවස් වල අපේ අම්මා ගෙදරට එන පූසෙක්ව අල්ලනවත් නොදුන්න නිසා මට අරං දුන්න පූසා මැටි වුනත් ඌ මාර විදියට අගෙයි මට.  මමත් ඉතිං පොඩි එකා හින්දා ගමන ගිහිං එනකං ඌව සෑහෙන්න පරිස්සම් කලා. අන්තිමේ ගෙදර ඇවිල්ලා උගේ පිටේ දිග අතට කපලා තිබ්බ සිදුරකින් අපේ තාත්තා සුපියල් පහක් දැම්මම තමා මාත් දැනගත්තේ මේ පූසා “සල්ලි කැටයක්” කියලා. ඊට පස්සේ තාත්තා ගෙදර ආපු ගමන් දෙන පුංචි පුංචි කාසි වලින් මට අවුරුදු හතරක් විතර වෙද්දි පූසා පිරුනලු. අම්ම තමා කිව්වේ. නැතුව මට මතක ඇති එකක් නෑ. පස්සේ ඌව බිඳලා සල්ලි අරං ගිහිං මගේ බැංකු පොතේ දාලා.

ඊට පස්සේ තාත්තා මට ගෙනත් දුන්නා පූසාට වැඩිය ලොකු සිංහයෙක්. ඒකත් පිරුනා මං තුන වසර විතර වෙද්දි. ඒ සල්ලිත් බැංකුවට. නැතුව ඉතිං මට දෙයියෑ… මේං පුතේ මේ සල්ලි ඉක්කෝලේ අරං ගිහිං යාළුවෝ එක්ක අයිස් ක්‍රීම් කන්න කියලා…! පස්සේ ඔන්න මොකද්ද මන්දා බැංකුවේ දිනුම් ඇදීමකින් ආයෙම මට හම්බුනා පොඩි ප්ලාස්ටික් කැටයක්. ඒකත් පිරෙව්වා. කොයි තරම් කල් ගියාද කියලා නම් මතක නෑ.

ඔන්න ඔය ඔක්කොම පිරිලා – බිඳිලා ඉවර වුනාම මට කැටයක් නැති වුනා. ඒ පාර මං තියාගෙන හිටියා ක්‍රිස්කෝ ටින් එකක්. ඒකෙ උඩ පියන ඇරලා සල්ලි දාද්දි හරි ආසයි. දවසින් දවස කාසි වලින් ටික ටින් එක පිරෙද්දි තව තව සල්ලි දාලා ඒක ඉක්මනට පුරවන්න හිතෙනවා. ඒක නම් ඉතිං බිඳින්න උවමනා නැති නිසා කීප වාරයක් සල්ලි වලින් පුරවලා, ගනන් කරලා කඩේක මුදලාලි කෙනකුට දීලා සල්ලි කොල අරගෙන පොතේ දාලා ඇති.

ඒ ඉතිං පුංචි කාලේනේ. අපි දැන් ලොකුයිනේ. ඒත් ඉතිං ඔය කාසි එකතු කරන වැඩේ තාමත් එපා වෙලා නෑ. කොහේ හරි ගිහිං ආපු ගමන් ඉතුරු සල්ලි ටික මේ ලඟක් වෙනකම්ම ගියේ ක්‍රිස්කෝ ටින් එකට. ඒක දැන් මලකඩ කාලා, පියනත් හරියට වැහෙන්නේ නෑ. ඒ පාර තමා මං හොටෙල් එකක බාර් එකේ වැඩකරන අයිය කෙනෙක් දීපු මොකද්ද මන්දා අමුතු හැඩයක වීදුරු බෝතලයකට කාසි දාන්න ගත්තේ. අප්පා ඒක මේසෙ උඩ තියෙද්දි පේන ලස්සන. රුපියල් පහේ කාසියි, අළුත් රුපියලේ කාසියි රත්තරං පාටට දිලිසෙද්දී, අනිත් කාසි ටික රිදී පාටට දිලිසෙනවා. ඒක දකින කොට කාසි වලින් ඒක පුරවන්න හිතෙන්නේ ඉබේටම.

දැන් මේකෙ කීයක් ඇතිද….? දැන් මේක කීයක් ඇතිද …? කියලා හිතෙන වාරයක් වාරයක් පාසා තව තවත් උනන්දුව වැඩිවෙනවා.

ඉතිං මේක මේ අපි වගේ අයට නෙමෙයි, තාමත් පුංචි කාලේ ගත කරන පොඩි අයට කොයි තරම් නම් වටිනවා ඇතිද කියලා මට හිතුනා. ඒක නිසා තමා මේක ලිව්වේ. නිකමට වගේ ඔය කන – බොන තාත්තලා ටික එකතු වෙලා පොඩි අයට ලොකු හොඳ සැර ජාතියක විනිවිද පේන ලස්සන පාටක හිස් ඇල්කොහොල් බෝතලයක් හොයලා ගිහින් දීලා බලන්නලකෝ පොඩි අය කොයි තරම් ආසාවෙන් කාසි එකතු කරයිද කියලා. මට නම් හිතෙන්නේ ඒ අයගේ හිතේ තියෙන උද්යෝගය වැඩිවෙයි කියලා. නොපෙනෙන දෙයක් ඇතුලේ එකතු වෙන කාසි වලට වැඩිය ඇහැට පෙනී පෙනී එකතු වෙද්දී ඒකේ අගය වැඩියෙන් දැනේවි…!

මං තාම නම් දැකලා නෑ, මැටි හා ප්ලාස්ටික් සල්ලි කැට ඇරෙන්න වීදුරු සල්ලි කැට. මොකක් හරි බැංකුවක ඇඩ් එකකනම් තිබුනා. ඒකත් මොකද්ද කියලා මතක නෑ… මං මේ කතාව ගැන කලින් කවුරු හරි කොහේ හරි කියලා තියෙනවද කියලා බලන්න දන්න භාෂා වලින් කරුණු හෙව්වත් වැදගැම්මකට ඇති දෙයක්වත් විද්‍යාත්මකව ළමා මනස සම්බන්ධ කරලා මේ ගැන ලියවෙච්ච කිසිම ලිපියක්වත් නෙට් එකෙන් මට හම්බුනේ නෑ. දන්න තරමින් හෙව්ව නිසා හොයාගන්න බැරි වුනාද දන්නෙත් නෑ.  කාට හරි එහෙම දෙයක් දැනගන්න ලැබුනොත් ඒක ෂෙයා කරන්න. අපිට කෙසේ වෙතත් අනාගතේ එවුන්ට හරි ඒක වැදගත් වෙයි.

මටත් තියෙනවා නම් ටිකක් කට ලොකු, ප්‍රමාණෙනුත් ලොකු හොඳ සැර ජාතියක බෝතලයක් හොයාගන්න තැනක් කියන්න. මගේ බෝතලේ දැන් පිරෙන වේගේ වැඩි වෙලා නිසා ඉක්මනටම උතුරයි වගේ….! මේ බෝතලේ එක්කම තව බෝතල් දෙක තුනක් පුරවන්න තමා මගේ අදහස…

පීප්… පීප්… නැගිටපන් යකෝ….

අපි උදේට නැගිටින්න එලාම් තියෙන එලාම් එක වදින්නේ ට්‍රීං… ට්‍රීං… කියලානේ. නැත්තං ඉතිං කුක්කු කූක් කූ…. ගානවා. ඒ ගැන දන්නේ කසාද බැන්ද මාමලා තමා. අපි මේ තාම චූටි එවුන් ඒ ගැන දන්නේ නෑ…! මේ කියන්නේ ඊට වැඩිය මරු එලාම් එකක් ගැන.

මේ ලඟදී දවසක මට යන්න වුනා මගේ කලින් ඔෆිස් එකට. එකෙක්ට පොඩි ට්‍රේනින් එකක් දෙන්න. ඉතිං ඔන්න බස් එකේ නැගලා විනාඩි හතලිහක අවෑමෙන් බැස්සා රත්මලානෙන්. සාමාන්‍යයෙන් උදේ හයාමාරේ ඉඳන් හතහ මාර වෙනකං රත්මලානේ ඇතිවන තදබදය අඩු කරන්න හිතාගෙන පොලිස් මාමලාව අයින් කරලා දැම්මා කලර් ලයිට් සිස්ටම් එකක්. අම්මපා ඒක දැම්මත් හරි වෙනදට ඇතිවෙන තදබදය ඩබල් වුනා. ඇයි ඉතිං කලර් ලයිට් වැඩ කරන්නේ ඌට දීලා තියෙන ටයිමින් අනුවනේ. පොලිස් මාමලා එහෙම නෙවෙයිනේ. එයාලා දන්නවා වාහන අඩු වෙලාවට හා වැඩි වෙලාවට මොලේ කම්පනා කරලා වාහන ටික හසුරුවා ගන්න. ඒත් ඉතිං කලර් ලයිට් සිස්ටම් වලට තාම කෘතිම බුද්ධිය නැහැනේ. අනික ඒක ප්‍රෝග්‍රෑම් කරපු එකා හරියට “if  – else“  යූස් කරලාත් නැද්ද කොහෙද. වාහන නැති වෙලාවටත් පාරෙ අනිත් පැත්තට යන වාහන හරියටම… තත්පරේටම… තත්පර 90ක් නිකං බලං ඉන්න ඕනේ.

ඉතිං කොහොම හරි මම බස් එකෙන් බැහැලා අර ඉස්සෙල්ලා කිව්වත් වගේ පාරේ එක පැත්තක විතරක් වාහන අනිත් පැති වලට යන්න බලාගෙන ඉන්න තත්පර අනූවෙදී පාර පැනලා යද්දී, තත්පර අනූවේ අන්තිම කට්ටේ හිටියේ. ඊට පස්සේ ඉතිං තත්පර අනූව ගිහිං වාහන වලට පාරේ අනිත් පැත්තට යන්න තියෙන තත්පර විස්ස කියන්නේ, ඉස්සර ස්කෝලේ අරින වෙලාව වගේ තමා. හූ කියාගෙන, ඇඟේ ගෑවී නොගෑවි ගෙන කන ගාවින් සං සං ගාලා ඉගිලෙන්න බලන් ඉන්න කට්ටියට හොඳම තරඟකාරීම අවස්ථාව, අනෙකා පරද්දමින් ඉස්සරහට ඇදෙන්න. මොන මගුල කලත් හැමදාමත් දිනන්නේ මෝටර් බයික්ම තමා. ඊට පස්සේ ට්‍රයිෂෝ… ඊටත් පස්සේ තමා පෝලිමේ මුලින්ම තිබුන කාර්, වෑන් එන්නේ…!

ඒත් එදා පොඩි අවුලක්. තත්පර විස්සෙන් තත්පර දෙක තුනක් ගත වෙද්දී එක දිගට හෝන් වදිනවා විතරයි වාහන වල, එක වාහනයක්වත් හෙල්ලෙන්නේ නෑ. මුලින්ම කාර් එකක්. ඊට පස්සේ තඩි ටිපර් එකක්. ඒක පාරෙ පලලෙන් තුන් කාලක් විතර. පිටිපස්සේ තියෙන වාහන යන්නත් බෑ ඒ නිසා. ඉතිං කොහොම හරි මටත් නිකමට වගේ බැලුනා ඒ පැත්ත. මොකද වෙනදට කවුන්ට් එක පටන් ගත්ත ගමන් රූං ගාලා පාගන්න ගන්න වාහන වල ඇහෙන්නේ හෝන් එක විතරයි.

ටිකක් හොඳට බලද්දී කේස් එක තියෙන්නේ පෝලිමේ මුලින්ම තියෙන කාර් එකේ. ඒක හෙල්ලෙන්නෙවත් නෑ. පාරේ ඇවිදන් යන කට්ටියත් කතා වෙන්නේ “සමහර විට කාර් එක කැඩල වෙන්න ඇති“ කියලා. ඒත් එකෙක්වත් නිකමටවත් නොහිතුන දෙයක් තමා වෙලා තිබුනේ.

කාර් එකේ ඩ්‍රයිවර්ට අර තත්පර අනූව ඇතුලත චූටි නින්දක් ගිහිං….!

පස්සේ ඔන්න ටිපර් එකේ කොන්දා බැහැලා ගිහින්… කාර් එකේ වීදුරුවට තට්ටු කරලා, “නැගිටපන් යකෝ“ කියලා ඩ්‍රයිවර්ව ඇහැරවන්න එලාම් එක ගැහුවා. ඊට පස්සේ කාර් එකේ ඩ්‍රයිවර් දඩ බඩ ගාලා ගියර් ටික එහාට මෙහාට මාරු කරලා යන්න ගියා.

හ්ම්… මට දැන් නම් හිතෙනවා, ඒ මනුස්සයට ආයෙමත් නින්ද යන්න ඇතිද කියලා. රත්මලානේ වගේ නෙමේනේ දෙහිවල ගල්කිස්ස හරියට යද්දී ට්‍රැෆික් එක. ඒ හරියෙදි නින්ද ගියොත් නම් ඉතිං කෑගහන්නේ නෑ, කනට එකක් ගහලා තමා ඇහැරවන්නේ….! මොනා වුනත් අනතුරක් නැතුව බුවා ගියාද කියන එක තාමත් සැකයි.

ටී.වී එකෙයි පත්තර වලයි එක දවසක් නෑර තියෙනවනේ ඩ්‍රයිවර්ලට නින්ද ගිහිං වෙන වාහන වලයි, ලයිට් කනු වලයි, ගෙවල් වලයි වාහන හප්පගෙන මරන දෙක තුනකුත් එක්ක ඉවර වෙච්ච නිදිමතවල් ගැන. ඒ නිසා මං නම් හිතන්නේ තමන්ට වාහනයක් එලවන්න තරම් සුදුසු තත්වයක් නැතිනම් හෝ අධික ලෙස නිදිමතනම් හෝ කාටවත් අවහිර නොවෙන්න පොඩ්ඩක් පැත්තකට නින්දක් දාලා යන එක තමා සුභ. එතකොට හැමෝගෙම ශරීර සෞඛ්‍යයට හිතකරයි ඒක…!

ලොකු ලොකු රටවල එක දිගට, දවස් ගනන් යන්න වෙන මාර්ග වල නම්, ප්‍රධාන පාරෙන් වාහනය ඉවත් කරගෙන වාහනේ ඇතුලෙම නිදාගන්න පුළුවන් වෙන්න පොඩි තාවකාලික නැවතුම් තියෙනවා. ලංකාවේ ඉතිං එහෙම එක දිගට යන පාරවල් නැති නිසා වගේම, පාරේ අයිනේ තැන් තැන් වල පොඩි පොඩි ඉඩ තාමත් ඉතුරු වෙලා තියෙන නිසා එහෙම අවශ්‍යතාවක් නම් නෑ.

 

 

සීනි කැට හොරකම් කරන කෙලි පොඩ්ඩ…

ඇඟිල්ලක් තරම් උස නෑ… ඒ වුනාට කරන වැඩ…!

තාත්තා එක්ක සීනි කැට හොරකම් කරන්න යන මේ ගෑණු ළමයා ජීවත් වෙන්නේ පුංචි ගේක. කොයිතරම් පුංචියිද කියනවනම්…. හ්ම්… එක්කෝ ඕනේ නෑ…! පුංචියි… ගොඩක්…! තනකොල පෙත්තෝ… මේ ගෑණු ළමයගේ ඉන හරියට. එතකොට කූඹි… කූඹියෙක් , ගෑණු ළමයගේ අල්ල පිරෙන්න. පූසෝ…. අම්මෝ, පූසෝ නම් ගෑණු ළමයට වැඩිය ගොඩක් ලොකුයි…!

දැන් ඉතිං කට්ටිය හිතයි, යෝධ සත්තු ඉන්න ලෝකයක් ගැන තමා මේ කියන්නේ කියලා. නෑ… එහෙම නෙවේ… මේ කියන්නේ අරියටි කියලා පුංචිම පුංචි ගෑණු ළමයෙක් ඉන්න කතාවක් ගැන. කතාව කියන්නේ නෑ… මේං ලින්ක් එක බාගෙන බලන එකයි. (මට කතාව කියන්ටත් ඕනේ… ඒ වුනාට එතකොට වැඩක් නැති නිසා අමාරුවෙන් ඒ ටික නවත්තගෙන ලියනවා)

මුලින්ම නිෂ්පාදනය වෙලා තියෙන්නේ ජපන් භාෂාවෙන් වුනාට. මේ වෙද්දි තවත් භාෂා කීපයකටම පරිවර්තනය වෙලා තියෙනවා. මේරි නෝර්ටන් කියන ලේඛිකාව අතින් ලියවිලා 1952 දී පොතක් විදියට පුංචි අයගේ අතට පත්වුන “ණයට ගන්නෝ“ – “The Borrowers” පොත අනුව ද්විමාන (2D) කාටුන් එකක් විදියට චිත්‍රපටයකට නැගිලා තියෙන්නේ 2010දී ජපානෙදී. මේකේ නම වෙන්නේ  “The Secret World of Arrietty ” – අරියටිගේ රහස් ලෝකය…!

ඇක්ෂන් ෆිල්ම්… ඒ කියන්නේ කඩු පයිට්, ගන් පයිට් තියෙන මූවි බලලා බලලා හෙම්බත් වුනාම ෂේප් එකේ බලන්න පුළුවන් මූවි එකක් මේක.  ඇත්තටම අර වලි ගහගන්න එව්වායෙන් ඉහල නංවන රුධිර පීඩනය හා කේන්තිය මුසු හැඟීම් ගොඩට රන්කිරි බිංදුවක් වට්ටනව වගේ මූවි එකක්. කාටුන් තමා, ඒත් කම්මැලි කමක් නම් දැනෙන්නේ නෑ. වැඩිහිටියන්ට කෙසේ වෙතත් පොඩි හිටියන්ට නම් උපරිමයි. ගෙවල් වල පුංචි අය ඉන්නවනම් හරි තාම නැවේ එනවා නම් හරි මේව එකතු කරලා තියාගත්තම මක්ක වෙනවද…!

ඔන්න මල්ලි යකා…

අපි යකෙක්ව ඇත්තටම දැකලා නැති වුනාට “යකා“ කියන වචනයට චූටි කාලේ කොයිතරම් බයද… අපේ මල්ලි දැන් ඔය පොර වගේ හිටියට ඒ දවස් වල එයා තමා වැඩියෙන් බය. අයියත් ඊට දෙවෙනි නෑ… ඒකනේ තාමත් කළුවරට බය… ඉතිං මමයි මල්ලියි ඉස්සර බත් නොකා මග අරින කොට අම්ම කියනවා…“බයි කන්නේ නැති ළමයින්ව යකා අරං යනවා“ කියලා. ඒ කියලා මේං අනිත් පැත්ත හැරෙද්දි කව්දෝ මන්දා අපේ තාත්තගේ වගේ ඉරි සරමක් ඔළුවේ ඉඳන් පොරෝගෙන අපි දෙන්නගේ ලඟට දනගාගෙන ඇවිත් “බබා බයි කනවද… නැත්තං මං බබාව ගෙනියන්නද“ කියලා අහනවා. කට හඬත් තාත්තාගේ වගේමයි. ඒත් ඉතිං යකානේ… අපි කොහොමද යකාගෙන් අහන්නේ ඔයා කොහොමද තාත්තගේ සරම ගත්තේ කියලා…! ඉතිං බයටම බත් ටික කැවෙනවා… ඊට පස්සේ යකා කාමරේට යනවා… බයි කාලා ඉවරවුන ගමන් තාත්තා ඇවිත් හොඳ පුතා කියලා ඔලුව අතගානවා.

ඒ තමා පළමු යක්ෂ අත්දැකීම. ඊට පස්සේ යකාව දැක්කේ දහම් පාසලේදී. ඉන්ටවල් එකට කෙල්ලන්ගෙයි කොල්ලන්ගෙයි අත් අල්ලගෙන අපි කට්ටියම යනවා ලයිට් එකක් වත් දාපු නැති කළුවරම කළුවර බුදුගෙට. ඒකේ එක කෙලවරක තියෙන ලෑලි දිරලා පියන් ගැලවිච්ච ජනේලෙන් එන එලිය විතරයි මුළු බුදුගෙටම තියෙන්නේ. එතකොට අපි තුනේ. ඊට පස්සේ ඉතිං කළුවරේම පේනවා, කට ඇරගෙන ඉන්න සිංහයින් දෙන්නෙක්ව, ඊට උඩින් තඩි මකරෙක්. ඊට පස්සේ බුදුපිලිම තියෙන කුටිය. ඒවා බලන්න නම් වහලේ තියෙන වීදුරුවෙන් එලිය වැටෙනවා. ඊට පස්සේ තමා යකා ඉන්නේ. කළු, තඩි බඩක් තියෙන, ඇස් දෙක රතු පාට, දිව එලියට දාගත්තු, සුදු පාට උල් දත් දෙකක් කටෙන් එලියට පැනපු… කොන්ඩේ වැවිලා ක්‍රේල් වෙච්ච, මිටි පොරක්. ඉතිං ඔය වෙලාවට අපි පොරවල් වෙන්න කියලා කෙල්ලන්ගේ අත් අතෑරලා යනවා තරඟෙට යකාගේ කකුලක් අල්ලන්න. පිටිපස්සේ ඉන්න එකා ඉස්සරහ ඉන්න එකාව තල්ලු කරපු ගමන් කෑගහගෙන දුවනවා කට්ටියම එලියට. එතනින් යකාව ඇල්ලීමේ තරඟය ඉවරයි…!

ඊට පස්සේ තමා අපේ මල්ලි යකාට යකා සෙට් වෙන්නේ. ඒ දවස් වල මමයි මල්ලියි ගෙදර එන්නේ ඉක්කෝලේ ගිහිං අම්ම වැඩ කරන තැනට ගිහිං, එතෙන්ට තාත්තත් ආවට පස්සේ. මොකද නැත්තං අපේ අම්මට අපි දෙන්නව බලාගන්න මූනු දෙකකුයි, මිස්ට ෆැන්ටෑස්ටික්ට වගේ ඇදෙන – ඇකිල්ලෙන අත් හතරකුයි ඕනේ… ඒක නිසා තාත්තාත් වැඩ ඉවර වෙලා අම්මා ඉන්න තැනට ගිහිං අපිවත් එක්කගෙන තමා ගෙදර යන්නේ.

ඉතිං ඒ වෙද්දි ටිකක් රෑ වෙනවා. අම්මා ගෙදර ගිය ගමන් කරන්නේ අපි දෙන්නවා ඇඟ හෝදවන එක. ඊට පස්සේ රෑට උයන්න සෙට් වෙනවා. ආං ඒ වෙලාව තමා අපේ මල්ලිගේ සුභම වෙලාව. එයාගේ වැඩේ අම්මගේ ඇඟේ දැවටි දැවටි “අම්මා කෝඩියල් චුට්ටක්… අම්මා කෝඩියල් චුට්ටක්“ කිය කිය සන්ක්වික් හදවගෙන බොන එක. මමත් ඉතිං මල්ලිට කියන්න යන්නේ නෑ “ මොනාද ඕයි අම්මට වද නොදී ඉන්නවකෝ“ කියලා… මොකද ඉතිං මටත් සන්ක්වික් වීදුරුවක් හම්බෙනවනේ…!

කොහොම හරි බුවා චූ බර හැදෙන කම්ම බීම බොනවා. ඊට පස්සේ තාත්තට හරි මට හරි වදේ… මූත් එක්ක ටැප් එක අරින්න යන්න. එ දවස් වල ගෙයි ඉඳන් මීටර් තුන හතරක් ඈතින් තමා ටොයිලට් එක තිබුනේ. ගෙයි කාමරේ ඉඳන් ස්විච් එකක් දාලා එතෙන්ට පවර් ලයින් එකක් ඇදලා බල්බ් එකක් දාලා තමා තිබුනේ. ඉතිං කොච්චර බල්බ් දාලා තිබුනත් අපි කවුරු හරි පොර ටැප් එකේ වැඩේ කරගන්නකම් අපි එලියට වෙලා ඉන්න ඕනේ. අපි කාටවත් යන්න බැරිවුනොත් පොර අහන ලෝකේ නැති ප්‍රශ්න වලට අපිත් මෑන් වගේම සද්දෙන් උත්තර දෙන්න ඕනේ. නැත්තං අර අන්දරේගේ වයිපරේ වගේ තමා… ඊලඟ ප්‍රශ්නේ අහන්නේ කලින් එකට වැඩිය සද්දෙන්… ඒ මොකටද දන්නවද… ඒ එයාගේ හිතට එන යක්කු ගැන සිතුවිලි නවත්ත ගන්න.

ඉතිං මං අයිය හැටියට මං හිතුවා මල්ලිගේ මේ බය නැති කරන්න ඕනේ කියලා. එතකොට තුනේ හින්දා ආපු හොඳම අදහස තමා මූ තනියම ප්‍රශ්න පත්තරෙත් අරං චූ කරන්න ගිය ගමන් ලයිට් එක නිවලා පොඩි සද්දයක් දාන එක. ඉතිං ඕං බලාගෙන හිටිය දවස ආවා. මූත් චන්ඩියා වගේ බීම බීලා බීලා උගේ කිරිබන්ඩිය පුරෝගෙන ගියා ටැප් එක අරින්න. යන්න කලින්ම මට කියලා ගියේ “ඔයාට එන්න බැරිනම් මං අහන ඒවාට උත්තර දෙන්න“ කියලා. එතකොට මේකා මොන්ටිසෝරි මයෙ හිතේ. ඒ වුනාට පන්ඩිතයා. ඉතිං මාත් හුම් කියලා, දෙඤ්ඤං අද උඹට කියලා, ජනේලෙන් බලාගෙන හිටියා දොර වහගෙන ටැප් එක අරිනකං. ටැප් එක වහන්න අඩුම ගානේ තත්පර හතලිහක්… විනාඩියක් විතර යනවා.

ගිය ගමන් ඔන්න පටන් ගන්නවා ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන. පොර ප්‍රශ්නේ අහගෙන එනකොටම ටුක් ගාලා ලයිට් එක නිවලා…“මල්ලි ඔන්න යකා“ කියලා හොඳ හූවකුත් කියලා ජනේලේ ගාවට ගියා විතරයි… මෙන්න බුවා දුව ගෙන එනවා රාං කුරුල්ලවත් එලියේ දාගෙන වටේ පිටේ තියෙන ගස් වලට වතුර පාරකුත් දාගෙන “අම්මේ… අම්මේ…“ කියලා අඬාගෙන චූ නාගෙන. මෑන්ට ටැප් එක වහගන්න බැරි වෙලා හදිස්සියට. දුවලා දුවලා ගියේ කුස්සියේ කෑම හද හද හිටිය අම්මා ගාවට. ගිහිං අම්මගේ ඇඟේ එල්ලිලා අඬනවා හෝ ගාලා. කොහොම හරි ඒ අස්සේ අපේ අම්මටත් පිනා චාන්ස් එකක් සෙට් වෙලා වතුර මලකින් නාන්න. මල්ලි බීපු සන්ක්වික් ටික ඉවර වෙන්ට සෑහෙන වෙලාවක් යනවනේ ඉතිං…!

ඊට පස්සේ අපේ තාත්තගේ වාරේ. “ඇයි මල්ලිව බය කලේ…. ඇයි මල්ලිව බය  කලේ“ කිය කිය තාත්තා මගේ පස්සෙන් හොට්ම හොට් ප’සූට් එකක් මට හොඳ මසාජින් පාරක් දෙන්න… කොහොම හරි ඇඳන් උඩින් පැනලා, මේසේ යටිනුත් රිංගලා ගේ ඇතුලේ එහේ මෙහේ දුවලා කැමැත්තෙන්ම අන්තිමට තාත්තාට බාරවුනා… ඇයි ඉතිං එළියේ කළුවරයිනේ….!

%d bloggers like this: