කවිය – නුඹ, මම හා ඇය සමග… ගෙවී ගිය සෞන්දර්යය…

මේක ඇත්තටම ටිකක් විතර අමුතු ලිපියක් වේවි. මේක ලියන්න හිතුනේ සාතන්ගේ මේ පෝස්ට් එක දැකලා. ටිකක් විතර … ම්… ම්… ඒකට කියන්නේ…. පාපොච්චාරනේ කියන වචනයද කියන එක මං හරියටම දන්නේ නෑ. ඒත් මට වෙන වචනයක් ඔලුවට එන්නෙත් නෑ…

ඉස්සර… මට කවි කියන පේලි හතරේ වචන කෑලි පේන්න බෑ. විශේෂ හේතුවක් නෑ. ඒත් මට පාඩම් හිටින්නෙත් නෑ. මං කියවන්න ආසත් නෑ. අඩුම ගානේ මට දකින්න ඕනේ වුනෙත් නෑ. ස්කෝලේ යද්දී පවා ඔය කවි නිසා මං සෑහෙන නෝන්ඩි වෙලා තියෙනවා. මට දැනට මතක තියෙන්නේ, මං පහවසරෙදි වෙච්චි දෙයක් විතරයි. ඒකත් කියලම, ගලාගෙන යන්න ගත්ත විදියට යන්න දෙන්නම්.

ඒ දවස් වල අපිට වාර විභාගේ. අපිට සිංහල, බුද්ධාගම වගේම තවත් විෂයන් කීපයක් ඉගෙන්නුවේ අපේ පන්ති භාර මිස්මයි. ඉතිං සිංහල වලට ප්‍රශ්න පත්තරේට උත්තර ලියනවට අමතරව තව කවියක් පාඩම් දෙන්නත් ඕනේ. ඔය දවස් වෙද්දි මට මතක එකම එක කවිය “රෝස මලේ නටුවේ කටු“ කියන කවිය විතරයි. ඒක මතක හිටියෙත් ඇයි කියන්න දන්නේ නෑ. ඉතිං අනිත් ළමයි පාඩම් පොතේ තියෙන කවි කියද්දී, මාත් කට උරුක් කරගෙන ගිහිං මහ ලොක්කා වගේ ඔය කවිය කියන්න ගත්ත ගමන්, පන්තියෙම ළමයි හිනාවෙන්න ගත්තා. මිසුත් ආවා ලඟට… ඔය මොනාද දරුවෝ කියන්නේ… දන ගහගෙන කවියක් මතක් කරගන්නවා කියලා… මාව දනගස්සලා ගියා. මගේ නරක වෙලාව කියන්නේ, අපේ මල්ලිත් එතකොට එක වසරේ… ඌ රිලා මොටා වගේ පන්තියේ වටේ තිබ්බ දැලේ එල්ලිලා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. දුකත් හිතෙනවා අප්පා ඒ දවස් මතක් වෙද්දී… ඌ මට හරි ආදරෙයි ඒ දවස් වල. දැන් ඉතිං වෙන වෙන අයටනේ ආදරේ.

මටත් ඇඬිලා තමා තිබුනේ. මොනා කරන්නද ඉතිං. පස්සේ බැරිම තැන මං මල්ලිගෙන් ඇහුවා, කවියක් ගැන. මූ එකේ වුනාට, “ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්“ කවිය කට පාඩම්. මාත් ඉතිං මිස්ට පෙනෙන නොපෙනෙන ගානට පොර ගෙන කවිය අහගෙන පද පේලි ටික සට පට ගාලා මතක තියාගත්තා. ඊට පස්සේ ඉතිං අනිත් ළමයි කවි කියලා ඉවර වුන ගමන් මමත් යන්තමින් කවිය කියලා දාලා මාරු වුනා.

ඒ තමා මට මතක එක සිද්ධියක්. තව තිබුනට මොකක් හරි හේතුවක් නිසා ලියන්න හිතෙන්නේ නෑ. ඉතිං ඒ වගේ මහ එපා කරපු කවි පිලිබඳ මතකයත් එක්ක ගලාගෙන ගිය ජීවිතේ, මුලින්ම කවි වලට නැඹුරු වුනේ පුංචි ඇස් දෙකක් නිසා. හැම දේකටමත් වැඩියෙන් ආසා කරපු ඇස් දෙකක් නිසා. ඒක හරිම අමුතුයි. මට ඕනේ වුනා ආදරේ කරන්න. ඉතිං මං එහෙම කරා. ඒ ආදරේ කරද්දි ඇතිවෙච්ච ලස්සන හැඟීම් වලට පන දෙන්න මං මුලින්ම ඒවා නිකං ඔහේ පොඩි පොඩි පද පේලි විදියට ලිව්වා. සමහර එව්වයේ කිසිම තේරුමක් නෑ…! ඒත් මං ඒවට ආස කලා. ඊට පස්සේ දවසක මං දන්න තවත් කවි ලියන්න පුළුවන් අයිය කෙනෙකුට ඒ ටික අහුවුනා මගේ පොතක ලියලා තියෙද්දී… මෑන් තමා මට කිව්වේ… ඒවට කියන්නේ නිසදැස් කියලා. ඒ වෙනකං ඒ අකුරු වෙච්ච හැඟීම් වලට කියන නමක් මං දැනන් හිටියෙ නෑ. එව්වා නිකංම නිකං සිතුවිලි විතරයි.

ඊට පස්සේ කාලයත් එක්ක මං මට පුළුවන් විදියට එක එක විදියේ, කවි ලිව්වා. සමහර ඒවා නිකංම ලියවුනා. ඒත් සමහර ඒවනම් මං ආසාවෙන්ම ලිව්වා. මං මේවා ෂෙයාර් කලාද කියල මතක නෑ… ඒත් මේක තමා මට හොඳයි කියලා හිතෙන, මගේ අත් දෙකෙන් ලියවෙච්චි හොඳම කවි පෙල.

නුඹේ පොඩි ඇස් යුගල දෙස – ආදරේ පුරවගෙන හිත තුල

බලා ඉන්නට ඇති මම – පැය ගනන් නුඹ අසල හිඳ

 

මිණිකිකිනි හිනා හඬ ලඟ – නුඹත් එක්කම සිනාසී මම

රැඳී ඉන්නට ඇති සෙමෙන් – ගෙවා දමමින් දින ගනන් මම

 

රන්පාට මුදු දෑත් මත – දැවටී දැවටී සිටය මා වෙත

පෑ දයා කරුණා අමා ගඟ – ගලා යයි සිත මැදින් තව

 

තිබුන ඒ දාංගලයට – ආදරෙන් මට තුරුළු නොවුනට

අද වගේ එදත් මට – දැනුනා නුඹ මගේ බව

මේක ඇත්තම ඇත්තම ඇත්ත අත්දැකීමක සොඳුරු මතකය එක්ක නැගී සිටින්න පෙරලි කරන හිතෙන් උත්පාදනය වෙලා ලියවෙච්ච එකක්. මං අදටත්, කවියක තියෙන්න ඕන කියන එලිවැට, තව තව දේවල් ගැන මහ ලොකුවට දන්නේ නෑ. ඔක්කොමත් හරි මේකෙ ඔය එකක් වත් නැද්ද කොහෙද. ඇත්තටම ගොඩක්ම කවි වගේ පද පේලි ලියවුනේ, ඒ ලස්සන මතකය මුල් කරගෙන. වැඩි හරියක්ම ඒවා හිතේ පිරිච්ච දුක, සතුට වගේ හැඟීම් තමා.

කවියක් කියාගන්න බැරුව හිටි මට වෙච්චි දේ ගැන මටම දැන් ටිකක් විතර පුදුමයි. ඒ සොඳුරු බව ටික ටික ඈතට යද්දී කවි සිතුවිලි කියන එව්වත් නිකංම ගිලිලා ගියා. හරියට දිරාපත් වෙච්චි නැව් මුහුදු පතුලට කිඳා බහිනවා වගේ. මට මේ කෙරුවාවෙන් වැඩක් වුනේ නැති වුනත්, මට දැනිච්චි දේවල් වචන වලට පෙරලලා ලියපු කවි, නිසදැස් වගේ ඒවා තමන්ගේ වෙන්ඩ කෑලි වලට ගිහිං දීලා “කැම….තියි මං“ කියන ටික අහගත්තු යාළුවෝනම් ඕනේ තරම්. හ්ම්… අපි එහෙමයි යාළුවොන්ට සලකන්නේ….!

ඒ වගේම මං ලියපු ගොඩක් කවි වල ආත්ම අනුකම්පාව කියන එකත් ගැබ් වෙලා තියෙනවා කියලා එක අක්ක කෙනෙක් කිව්වා. සමහරවිට වෙන්න ඇති. එයා කිව්වේ “දුක“ කියන සංවේදනය වැරදියට තේරුම් අරගෙනද එහෙමත් නැත්තං අර “ඈඬියාව“ කියන එකද දන්නේ නෑ. කොහොමහරි මං ලියපු කවි මං ෆේස් බුක් එහෙම ෂෙයාර් කලාම කමෙන්ට් දෙක තුනක් වැටුනා. මේ තියෙන්නේ ඒ ඇල්බම් එකේ ලින්ක් එක. ඉඩක් තියේනම් ගිහිං බලන්න. හැබැයි ආයේ නම් කවදාකවත් ඒ ඇල්බම් එක අප්ඩේට් කරන්න බැරිවෙයි සමහරවිට. ඇයි ඉතිං දැන් ලස්සන ලස්සන සිතුවිලි පහල වෙන්නේ නෑ වගේම, වැරදිලා හරි පහල වුනොත් ලියන්න බ්ලොග් එක තියෙනවනේ….!

ඉස්සර අපිට තිබ්බ ප්‍රශ්න එක බලද්දි දැන් මොන ප්‍රශ්නද….

අංක එක හා වැඩියෙන්ම හිට් වෙච්ච ප්‍රශ්නය… මේ ප්‍රශ්නය ඇති වුනේ මට මතක විදියට ස්කෝලෙදි එක වසරෙදි හරි මොන්ටිසෝරියෙදි හරි. ඕං ප්‍රශ්නේ….

බබලා හම්බුවෙන්නේ කොහොමද…?

මේ ප්‍රශ්නෙට අම්මලාගෙන් හම්බුන උත්තරේ… ලොකු වෙලා කසාද බැන්දම ඉබේම හම්බුවෙනවා. සමහර අයට නම් ලොකූකූකූ බොරුවක් කියලා තිබුනා “රෝස කැලෙන්” කියලා. අපිත් ඉතිං පොඩි කමට ඒක පිලිගත්තට, පොඩි කාලේ ඉඳන්ම අපි දන්නවනේ “කියන්නා කෙසේ කීව්වත්, අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුය”  කියන මෙව්වා එක. ඉතිං ටික ටික ලොකු වෙද්දී හොයාගෙන යද්දී අන්තිමට හරියටම හරි උත්තරේ හම්බුනේ නවය වසර සෞඛ්‍ය පොතෙන්. ඊට කලින් දීලා තිවුන “උදාවු යෞවනය” පොතට වෙච්ච දෙයක් හොයාගන්න බැරිවුනානේ ඒ දවස් වලම. මං හිතන්නේ ඒක වන් යූසර් ලයිසන් තිබුන පොතක්…!

දෙවෙනි එක….

මුං ඇට වතුරට දැම්මම, එක රෑයින් කොහොමද මුල් ඇදලා පැල වෙන්නේ…?

මේකට උත්තරේ හොයන්න කියලා මුං ඇට දියේ දාලා නිදිමරාගෙන ඒ දිහා බලාගෙන හිටියේ එහෙම නෑ අපි. පස්සෙන්දා මුං ඇට නෑබිලිය ගාවම ඇහැරෙන කොට වෙනදා වගේම මුං ඇට පැල වෙලා… ඉතිං ඒ ප්‍රශ්නෙට හරි හමං උත්තරයක් තාම හම්බුනේ නැති වුනත් පොඩ්ඩ පොඩ්ඩ දන්නවා. ඒකත් එක්කම තිබුන අනිත් ප්‍රශ්නේ තමා… මුං ඇට වගේ ඉක්මනට ඇයි පොල් හරි කොස් හරි පැලකරගන්න බැරි…?

තුන් වෙනි එක… මේක නම් පසුකාලීනව පණ්ඩිත කමත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක්.

රී-රයිටබල් සී.ඩී ‍( ඒ දවස් වල ඩී.වී.ඩී හෙන ගනන්නේ) එකක මල්ටි සෙෂන් ඕෆ් කරලා බර්න් කරොත් ආයේ රයිට් කරන්න බැරිද…?

මේ ඉලවුව විසඳු‍නේ අපේ එකෙක් සී.ඩී රයිටරක් ගත්ත දවසේ තමා. ඔය ප්‍රශ්නෙට හේතු වුනේ තනිකරම නොදැනුවත් කම. දැන් ඒක හරි… දැන් අපි දන්නවා ට්‍රැක් ක්ලෝස් කරපු ඩිස්ක් වලත් ආයෙ ලියන්න පුළුවන් බව…

හතර වෙනි ලොකු ප්‍රශ්නය…

ෆ්ලොපි ඩිස්ක් එකක ගෙනියන්න පුළුවන් වීඩියෝ ෆයිල් එකක උපරිම කාලය…?

ඒ දවස් වල ෆ්ලෑෂ් ඩ්‍රයිව් නැහැනේ. ඉතිං හැම දේටම ෆ්ලොපි තමා. ඒ දවස් වල ඔය ප්‍රශ්නෙට එක එක උත්තර හම්බුනා. අන්තිමේ ස්කෝලේ සර් ගාවට වෙනකම්මත් ගියා. අනික දැන් ව‍ගේ ෆෝමැට් කන්වර්ටින් ටූල්, කම්ප්‍රෙෂන් ටූල් එහෙමත් නෑනේ. වීඩියෝ ‍එකක ආයෙම බලන්න හිතෙන කොටසක් ෆ්ලොපියක දාගෙන ගෙදර ගෙනියන්න  තිබුන එකම එක ක්‍රමය තමා වී.සී.ඩී කටර් වලින් ඕනෙම කරන කෑල්ල කපා ගන්න එක. ඉතිං ඒ දවස් වල වීඩියෝ සී.ඩී එකක තත්පර හතක හෝ උපරිම දහයක කෑල්ලක් ෆ්ලොපියක දාගෙන යන්න පුළුවන් වුනා. ඒත් රෙසලූෂන් 240 X 320 නම් විතරයි.

මේක පස්වෙනි එක වගේම සමාජ මතත් එක්ක ගැටුම් ඇති වෙන්න ගිහිං ගුටි නොකා බේරිච්ච ලොකුම ප්‍රශ්නය.

කෙල්ලෝ ලොකු වුනාම මගුල් ගෙවල් ගන්නවා… කොල්ලෝ ලොකු වුනාද හොයලා බලන්නෙ වත් නෑ… මොකද්ද මේ අසාධාරනේ…???

තාම උත්තර හොයනවා මේකට… ඉස්සර ඉඳන් ලිස්ට් එකේ ඉතුරු වෙලා තියෙන ලොකුම ගැටළුව මේක විතරයි. තව මෙතෙන නොකියපු එව්වා මහ ගොඩක් තියෙනවා…. ඒවා වැඩි හරියක් වැඩිහිටයන්ගේ එව්වා. අනික දැන් අපි එව්වට උත්තර දන්නවා වගේම අපිට වැඩිය හොඳට අනිත් අය දන්න නිසා ඒ ප්‍රශ්න ටික කපාහරිනවා….!

මාළු එක්ක නාන්න ආසා අයට විතරමයි…!!!

මේක මේ මාළු ටැංකියක බැහැලා නානවා වගේ වැඩක් නම් නෙවෙයි.  ඊට වැඩිය සුපිරි නෑමක්. ගිය ඉරිදා මට නිවාඩු…! හ්ම්… මාස තුනකින් විතර. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා අම්බලම බ්ලොග් එක ලියන මනූජ එක්ක සෙට් වුනා මූදේ නාන්න. වැඩිය දුර නෙමේ… ගෙදර ඉඳන් කිලෝමීටර් 43ක් විතර දුරින් අම්බලන්ගොඩ. ඇයි ඉතිං අපේ හරියේ තියෙන්නේ අම්බලන්ගොඩ තියෙන මුහුද නෙවෙයිනේ ඒකයි.

ඉතිං ඔන්න උදේ පාන්දරම අටට විතර බස් එකේ නැගලා බෘම් ගාලා 9.30 වෙද්දි අම්බලන්ගොඩ. පස්සේ ඉතිං ඔය යන එන ගමන් තිබ්බ මෙව්වා එකකින් දුඹුරු පාට බෝතල් දෙකක් එපා කියද්දිම මුදලාලි දුන්න නිසා බෑග් එකේ දාගෙන ගියා අම්බලන්ගොඩ බීච් එකට. හ්ම්… එතෙන තමා මෙතෙන.

වැඩිය සෙනග එහෙම හිටියේ නෑ උදේ පාන්දර නිසා. දවල් වෙද්දිනම් අක්කලා, නංගිලා එහෙමත් ආවා. කොල්ලොනම් ඉතිං කොහොමත් නිතර දෙවේලේ ගැවසෙන එකේ උං ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං අපි දෙන්නත් ඇඳුම් මාරු කරගෙන එහෙම බැස්සා මේ පුංචි වතුර වලට. මම ඇත්තටම හිතුවේ මේකේ කොහේ නාන්නද කියලා… හැබැයි ඉතිං ගියාම තමා තේරෙන්නේ නාන්න මේ තරම් හොඳ වෙන තැනක් නෑ කියලා.

අපි ඉතිං එහාට මෙහොට නැලවෙවි ඉද්දි ආවා කෙනෙක් මාස්ක් එකක් එහෙම දාගෙන. පොරගේ වැඩේ වතුර යට ගිහිං ටිකක් වෙලා එහාට මෙහාට කැරකැවිලා ආයේ උඩ එන එක. අපිත් ඉතිං විචක්ෂනශීලි කොල්ලෝ නිසා මාත් ඉල්ල ගත්තා මාස්ක් එක. අරගෙන…. ගැඹූඹූඹූඹූඹූඹූරු හුස්මක් අරගෙන ගියා වතුර යටට. ෆුහ්… වතුර උඩින් පේන්නේ මොන මගුලක්ද…. යටින් එපැයි බලන්න…. එතෙන වෙනම ලෝකයක්. හැමතැනම චූටි චූටි මාළු රංචු. ගල් අයින් වල වැඩියි… ලොකු එවුනුත් ඉඳියා. ඇත්තටම මං නිකමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කව්ද දෙයියනේ මාළු එක්ක මූදේ නාන්න හිතුවේ. අපි ලඟට යන කොට කකුල වටේ කැරකිලා උං දුවනවා ගල් අයින් වල හැංගෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. එක එක ජාතියේ එවුන්. මට ඉතිං වතුර යටින් ෆොටෝ ගන්න බැරි නිසා වතුර උඩින් ගත්තා දෙක තුනක්. ඇත්තටම මං ඇස් දෙකින් දැකපුවා මතකයෙන් ඇදලා අරං කන්වර්ට් කරගන්න විදියක් නැහැනේ….

ඊට පස්සේ ඔන්න තව පොඩි කොලු රැලක් ආවා. එයාලා වයසිනුයි, ඇඟෙනුයි පොඩි වුනාට මට වඩා ටැලන්ට් එකෙන් නම් සෑහෙන ලොකුයි. පේනවනේ සෙට් එක වතුරට සම්ප්‍රාප්ත වෙන ලස්සන. මාත් ආසාවට එකෝම එක  පාරක් පැන්නා… ඒ පැනපු පැනිල්ල ගැන කාගෙන් වත් විසිල් එකක් හූවක් එහෙම දීලා ධෛර්‍යමත් කරේ නැති නිසා ආයේ පැන්නේ නෑ.

ඊට පස්සේ මනූජ මාස්ක් එක දාගෙන යට ගිහිං, මං මෙතුවක් කාලෙකට එක එක ආටිකල් වලින් විතරක් දැකලා තිබුන “ඉකිරියා“ කියලා හඳුන්වන ඉත්තෑවෙක් වගේ කටු බෝලයක් පෙන්නුවා වතුර යට ඉන්න. ඇත්තටම ඌව නම් දැක්කමත් ටිකක් විතර බය හිතෙනවා. කකුලේ ඇනුනම එහෙම ගොඩක් විසයිලු. ඌට නෙමේ… අපිට හරිද…

ඒ වගේ කලුපාට කටු බෝල ගොඩක් ඉන්න තැනකුත් ඊට එහායින් තිබුනා. හරියට නිකං රඹුටන් වල කලුපාට ගාලා වගේ. පස්සේ ඉතිං හිමීට ඔය කලු ගල් දෙක උඩට නැග්ගම එතෙනට පෙන්නේ තවත් ලස්සන දර්ශනයක්. වතුර උඩ එකයි, වතුර යට එකයි, ගල් උඩට නැග්ගම තවත් එකක්…! එතෙන අව්වයි තමා, ඒත් ඒ බවක් නම් තේරුනේ නෑ…

පොඩි කට්ටියත් එක්ක නාන්න එන්න කියාපු තැනක් මේක. මොකද අපි ඉද්දිත් පුංචි පැටවු ටිකක් එයාලගේ තාත්තලාගේ සහයෙන් ලස්සනට නෑවා. රැල්ලේ සැරක් නැති නිසා වගේම, මුහුදට ගහගෙන යයි කියලා බයකුත් නැති නිසා ආරක්ෂා සහිතව නාන්න හොඳ තැනක්. හැබැයි ඉතිං ඔයාලත් එහෙම යන්න ආසාවෙන් ඉන්නවනම්, අනිවාර්යෙන් ගොගල් එකක් හරි නහයත් එක්ක වැහෙන්න මාස්ක් එකක් හරි ගෙනියන්න… වතුර උඩින් දකින ලස්සනට වැඩිය වතුර යට මාර ලස්සනයි. මුහුදේ අනිත් තැන් වල රැල්ලත් එක්ක වතුර යට මාළු බලන්න අමාරු වුනත් මෙතෙන රැල්ලක් නැති නිසා කිසිම අමාරුවක් නෑ… හැබැයි එක මාළුවෙක්වෙත් දැලක් නැතුව අල්ලන්නනම් බෑමයි… මොකද ඉතිං මමත් ට්‍රයි නොකලැයි…!!!

හරියටම නාන තැන ගැන දැනගන්න ඕනේ නම් අම්බලන්ගොඩ නගරයේ කොහෙන් හරි  “රෙස්ට් හවුස් එක ගාව පූල්“ එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුවනම් පාර දැනගන්න පුළුවන්. ලොකු වාහන නම් වුනත් මුහුද පේන මානෙටම ගියෑකි. ට්‍රයි ෂෝ, මෝටර් බාසිකල් එහෙමනම් මුහුද ගාවටම ගියෑකි…! ආයෙත් කියන්නේ යන කෙනෙක් ඉන්නවනම් අනිවා මාස්ක් එකක් අරගෙන යන්න. (මට මේක මැජික් වගේ වුනාට අනිත් අයට එහෙම නැතිද දන්නෙත් නෑ)

සෙනසුරාදට නිවාඩුද…? උඳුපියලිය කුමාරි….

ඔය ගෑණු ළමයි ඉන්නවනේ… එයාලා ඉතිං සතියේ දවස් පහේම එක්කෝ ස්කෝලෙ යනවා, එහෙමත් නැත්තං රැකියාවට, එහෙම්මත් නැත්තං ක්ලාස් යනවා… හිටි ගමන් එක් කෙනෙක් දෙන්නෙක් රෝන්දේ යනවා. රෝන්දේ තියෙන්නේ කොහෙද කියලනම් මං දන්නේ නෑ…!

ඉතිං සෙනසුරාදා, ඉරිදා තමා ගෙදර ඉන්නේ. එදාට කරන්නේ පස්ස පැත්තට ඉර වැටෙනකං දොයියනවා. ඒකට අපි… අනිත් දවස් පහටම කලින් අපි සෙනසුරාදට නැගිටිනවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ ගෑණු ළමයි මල් වගේ කියලනේ. ඒක ඇත්ත තමා ඉතිං. සෝස පාට තොල් පෙතියි, කහ පාට කන් පෙතියි… තව තව එව්වා මෙව්වා ගොඩකුයි…! අපි හිතන් හිටියට කෙල්ලෝ හරි ලස්සනයි කියලා, බලාගෙන ගියාම කෙල්ලන්ගේ ඇති ලස්සනක් නෑ… තනිකරම මල් වල කලර් ෆොටෝ කොපියක් ගහලා වගේ… බලන්න ලස්සනයි…!!!

හැබැයි ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව හැසිරෙන විදිය කොපි කරලා, දැන් දැන් ගස් වල හැදෙන මලුත් එහෙම්ම හැසිරෙනවා. අයින්න ඕනෙ ටොක්කක්…! පහුගිය සති කීපයේම මේ චූටි මලක් නිසා මං පට්ට කට්ටක් කෑවා. අම්මපා… අර යෝදි ක්ලාස් ගිහිං අම්මා එක්ක නැලවි නැලවි එනකං වත් මං එච්චර වෙලා කට්ටක් කාලා නැතුව ඇති.

ඔෆිස් එකේ මිදුල පුරාම උඳුපියලිය තියෙනවා. සාමාන්‍යයෙන් අපි දකින උඳුපියලිය මල් දම් පාට වුනාට. මේවා ආනයනය කරපු උඳුපියලිය විශේෂයක්… උදේ පාන්දරට චූටි කහ පාට මල් හැදිලා මාර ලස්සනයි. අපිට ඉතිං ඔය සමහර මැඩම්ලට වගේ රෝස මල් වතු නෑනේ.(මේක පෙන්නේ යාළුවෝ කීප දෙනෙකුට විතරයි. අසරණ මං මොනා කරන්නද ඒ මැඩම් ප්‍රයිවසි හදලා තියෙන හැටිනේ) තියෙන එකම එක තමා මේ උඳුපියලිය මල් වත්ත. ඉතිං හැමදාම, ඒ කියන්නේ සතියේ දවස් පහේම මේ මගුල දැකලා දැකලා, එකෝමත් එක දවසක් දා හිතක් පහල වුනා චූටි පො‍ටෝ කෑල්ලක් ගන්න. ඉතිං පොටෝ ගහන මෙව්වා එක ඔ‍ෆිස් ගෙනියන්නේ සෙනසුරාදා විතරක් නිසා, මං හිතන් හිටියේ ලඟම එන සෙනසුරාදට, කහපාට මල් කුමාරිව මගේ වෝල් පේපර් එකට දාගන්න පුළවන් වෙයි කියලා.

ඉතිං ඊළඟ සෙනසුරාදා වැ‍ඩේට ලෑස්ති වෙලා ගියාට, එකම මලක් වත් නෑ… ‍ඔක්කොමලා නිදි. මං ඉතිං පැයක් බැළුවා… දැන් නැගිටියි… දැන් නැගිටියි කියලා… මොන… කම්මැලි කෙල්ලෝ වගේම තමා. ඉර එලිය වැටිලත් සෙනසුරාදා නිසාද කොහෙද ඇහැක් ඇරලා බලන්නේ නෑ…!

ඔය අස්සේ ඩැඩීලගේ මේ සින්දුවත් මතක් වුනා…
http://www.maduragee.com/storage/mp3/daddy_mage_massina.mp3%20
ඊට පස්සේ… හ්ම් කමක් නෑ… උඳුපියලිය කුමාරිල ඊයේ පාටියකට ගිහිං මහන්සි හින්දා නිදිද දන්නෙත් නෑනේ… අනික මේ ලැබුවේ මේ මහා බද්‍ර කල්පයේ අන්තිම සෙනසුරාදාත් නෙවෙයිනේ… තව සෙනසුරාදාවල් එනවනේ කියලා හිතාගෙන ඊළඟ සෙනසුරාදා වෙනකං වැඩේ කල් දැම්මා. පවුනේ…

ඉතිං ඒ සතියෙ දවස් පහත්, මල් දිහා බල බල හූල්ල හූල්ල හිටියා. හ්ම්… ඕං ආවා සෙනසුරාදා… උඳුපියලියගේ *!(^^!<%$ !*^?$(* *&!_*!^* …. එදත් මුං ටික දොයි…! අනේ මන්දා අපේ කවුරු හරි එකෙක් කියලා යනවද මන්දා සිකුරාදා හවසට “හෙට සෙනසුරාදනේ… ඒක නිසා ඇතිවෙන්න නිදා ගන්න” කියලා. අපේ පුතාලව විශ්වාස කරන්න බෑ… උං දෙකක් නවා ගත්තම ගස් වලටත් ලව් ටෝක් දාන පොරවල්නේ… නැත්තං කොහොමද මේ මල් ටික සෙනසුරාදට විතරක් නොපිපෙන්නේ…

ඇත්තටම සෙනසුරාදට නිවාඩුද… උඳුපියලිය කුමාරි..?

%d bloggers like this: