ඩෙස්ක්ටොප් එක කියන්නේ, යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක්….

ඩෙස්ක්ටොප් එක කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. මයික්‍රොසොෆ්ට් හෙල්ප් එකේ තියෙන විදියට නම්…

“ඩෙස්ක්ටොප් එක යනු, ඔබ පරිගණකය පනගන්වා වින්ඩෝස් වලට පිවිසි විගසම දකින්නට ලැබෙන ප්‍රධාන තිරසැකසුමයි. ඇත්තම මේසයක මතුපිටක් ලෙස හැසිරෙමින් අපට අවශ්‍ය දේවල් ඒ මත තබා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි. ඔබ යම් මෘදුකාංගයක් හෝ ගොනුවක් විවෘත කරන විට එය ඩෙස්ක්ටොප් එක මත විවෘත වන අතර අවශ්‍ය කරන ෆයිල්, ෆෝල්ඩර්ස් ආදිය අවශ්‍ය ආකාරයට පෙළ ගස්වා කෙටි මං ලෙසද භාවිතා කල හැක.” කියලයි.

පුංචි කාලේ කොම්පූටර් ක්ලාස් එකේදි නම් කියලා දුන්නේ මොකද්ද කියලා දැන් මතක නෑ.

ඉතිං  කොහොම හරි අපි හැමතිස්සෙම දකින, මේ ඩෙස්ක්ටොප් එක අපේ මානසික තත්වයත් එක්ක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න බව කවුරුවත් නිකමටවත් හිතුවද…? නැතුව ඇති නේද… ඒත් තමන් වැඩ කරන පරිගණකයේ නිතර දකින ඩෙස්ක්ටොප් එක නිසා එය භාවිතා කරන්නා මානසික වශයෙන් ඉහල යන්නට වගේම පහල යන්නටත් තියෙන්නේ සැලකිය යුතු සම්භාවිතාවක්. හිතන්න, එක නිරෝගි පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පරිගණක දෙකක් දෙනවා, දෙකේම තියෙන්නේ එකම කන්ෆිගරේෂන්. ඒ වගේම වෝල් පේපර් එකක් නෑ… නිකං තනි පාටක බැක් ග්‍රවුන්ඩ් එකක් විතරයි තියෙන්නේ.

ඒත් පොඩි වෙනස් කමක් තියෙනවා. පළවෙනි පරිගණකයේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන මයි කම්පියුටර්, මයි ඩොකියුමන්ට්, නෙට් වර්ක් ප්ලේස් , රිසයිකල් බින් වගේ තිබිය යුතුම අයිකන් විතරයි. අනිත් පරිගණකයේ එහෙම නෙවෙයි. ඒකෙ ඩෙස්ක්ටොප් එක පුරාම එක එක ජාතියේ‍, විවිධ වර්ණයේ අයිකන්. ඉතිං වෙන වෙනම අවස්ථා දෙකේදී, එකම වැඩක් කරන්න කියනවා යූසර්ට. දෙවෙනි වතා‍වෙදී එහෙම කරන්නේ, කලින් වතාවේ එහෙම වැඩක් කලේ නෑ කියලා උපකල්පනය කරලා. මේක ඇත්තටම කරන්න බෑ තමා. ඒත් උපකල්පනයන් ආශ්‍රයෙන් තමා තර්කය ගොඩනගන්නේ.

ඉතිං මුලින්ම අර ඩෙස්ක්ටොප් එක හැඩි වෙච්ච පීසී එක ඉස්සරහා ඉඳගන්න කොට භාවිතා කරන්නගේ ඇතිවෙන මානසික තත්වය, එහෙමත් නැත්තං යම් උපකරන ආශ්‍රයෙන් මැන ගන්න පුළුවන් වෙන මොලේ ක්‍රියාකාරීත්වය අනුව බලන කොට දෙවෙනි වතාවට පැහැදිලි ඩෙක්ස්ටොප් එකක් සහිත පීසී එකේ ඉඳගන්න අවස්ථාවෙදී මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස්. පළවෙනි අවස්ථාවෙදී, කලබලකාරී ස්වභාවයක් පෙන්වන මොළයේ ක්‍රියාකාරීත්වය දෙවෙනි අවස්ථාවෙදී විශේෂිත සංකූලතාවයකින් තොරව හැසිරෙන බව තමා මොළය පිළිබඳ පර්යේෂන කරන කණ්ඩායම් සොයාගෙන තියෙන්නේ.

ඒ වගේමයි මෙහි අනිත් පැත්තත්. හිතන්න යම් පුද්ගලයෙක් ඉන්නවා “A01” කියල”මොකක් හරි මානසික ප්‍රශ්නයක් නිසා හෝ අධික කාර්යයබහුලත්වයත් එක්ක තමන්ගේ වැඩ කරගෙන යන. එයාගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක කියන්නේ එහෙම් පිටින්ම අවුල් ජාලයක්. පිළිවෙලකින් තොරවූ ෆයිල්ද, ෆෝල්ඩර්ද, තවත් ෂෝට් කට්ද මුළු ඩෙස්ක්ටොප් එක පුරාම. අඩුම ගානේ එයාටවත්, හදිස්සියකට ෆයිල් එකක් හොයාගන්න බැරි තරමට සංකීර්ණ ඩෙස්ක්ටොප් එකක්…!

ඒ වගේම තවත් කෙනෙක් ගත්තොත්. ඔහුත් ඉතාම කාර්යය බහුල පුද්ගලයෙක්. මුලින් කිව්ව කෙනාටත් වැඩියෙන්. ඔහු “B01”.   ඒත් ඔහු තමන්ගේ ඩෙස්ක්ටොප් එක පිලිවෙලට තියාගෙන ඉන්නවා. එකම වර්ගයේ ෆයිල්ස් එක ෆෝල්ඩර් එකකට දාලා, ලස්සන වෝල් පේප‍ර් එකකුත් දාලා. දැන් හිතන්න යම් වැඩක් කරද්දී වැඩියෙන්ම කාර්යශූර වෙන්නේ කොයි කෙනාද…?

කිසිම ගැටළුවක් නැතුව, කොයිතරම් වැඩ අධික වුනත්, ෆයිල් එකක් ‍සොයා ගැනීම අතින් වගේම යම් අවශ්‍ය කාර්යයක් කරගැනීම අතින් වුනත් හැමවෙලේම B01 ඉදිරියෙන් ඉඳීවී. එයට හේතුව තමා ආරම්භයේදීම ඇතිවෙන මානසික නිදහස් බව හෙවත් මනස ඕනවට වැඩියෙන් මහන්සි නොවීම. ඇස් දෙකින් දකින ඩෙස්ක්ටොප් එකේ පැටලිලි සහගත බව නිසාම, ඩෙස්ක්ටොප් එකේ තියෙන හැම දේ කෙ‍රෙහිම අවධානය යොමු වෙද්දී, අපිට නොදැනුවත්වම ඉතා සුළු මොහොමතකට හරි අපේ මොළය අනවශ්‍ය විදියට වෙහෙසට පත්වෙනවා. “මේක දැක්කම ඔළුව කැක්කුම හැදෙනවනේ…” කියලා කියවෙන්නේ අන්න එහෙම වෙලාවලට තමා. ඉතිං ඒ ආරම්භයේදී ඇතිවෙන වෙහෙස මුළු කාර්යය පුරාවටම ගොඩක් වෙලාවට අනර්ථකාරී හා කලබලකාරී විදියට හැසිරෙමින් අපගේ කාර්යය වැරදි සමගින් නිම කරගන්නට දක්වන දායකත්වය සෑහෙන වැඩියි.

ඒක නිසා තමා “ඩෙස්ක්ටොප් එක කියන්නේ, යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක්….” කියලා කියන්නේ.

ඉතිං පොඩි කාලයක් වැය කරලා ඩෙස්ක්ටොප් එක සුද්ද කරගෙන පිළිවෙලක් කරගන්න පුළුවන්නම්, ආරම්භය වෙහෙසකර නොවී අනිකුත් කාර්යයන්‍ට අවශ්‍ය කරන ජවය උපරිමයෙන්ම මොළයෙන් ලබාගන්න හැකිවේවි…!

දැන් තමා තේරෙන්නේ අපේ අම්මත්, ඉස්සර මගේ පාඩම් කරන ‍මේසේ දිහා බලලා… “බලනවා ළමයෝ ඔය මේසේ හැටි… ඔයා‍ගේ ඔළුව වගේමනේ….” කියල කිව්වේ ඇයි කියලා.කොහොම හරි මං නම් දැනට කාලෙකට කලින් ඉඳන් මොකක් හරි ලස්සන වෝල් පේපර් එකකුයි, පීසී එකේ උපකරණ වල තත්වය පෙන්නන දර්ශක කීපයක්  ඇරෙන්න එකම එක අයිකන් එකක් වත් තියන්නේ නෑ. අවශ්‍ය කරන ෂෝට් කට් ඔක්කොම ටාස්ක් බාර් එකට පින් කරලා තියෙනවා. අනිත් ෆයිල් හාඩ් ඩ්‍රයිව් එකේ ගානට පැලපදියම් කරලා තියෙනවා. ඉතිං මට කොම්පූටරේ ඔන් කරද්දිම පේන්නේ වෝල් පේපර් එක විතරයි…!

කොහොමටත් ඩෙස්ක්ටොප් එකේ ෆයිල් නොතියන එක ෆයිල් වල ආරක්ෂාවටත් හොඳයි. අන්සතු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි වගේම, සිස්ටම් ඩ්‍රයිව් එකේ වෙන්න පුළුවන් දත්ත මැකී යාම් වලිනුත් ආරක්ෂා වෙනවා. ඉතිං මොකටද අමතර පීඩනයක් එක්ක, අනාරක්ෂිත බවක් ලංකරගන්න ඩෙස්ක්ටොප් එක අයිකන් වලින් පුරවගන්නේ.

ඒ වගේම… වින්ඩෝස් 8 එක්ක එන මෙට්‍රෝ ඩෙක්ස්ටොප් එකත් එක්ක මම මුලින් හිතුවේ කම්පියුටරේ දාපු ගමන් ඇතිවෙන සිහිමඳ ගතිය නැතිවෙයි කියලා. ඒත් ඒකත් දාලම බැලුවම තමා දැනෙන්නේ, ඒකත් ටිකක් විතර අනවශ්‍ය පීඩනයක් කියලා.

හා…. දැන් කියන්න බලන්න ඔය බබාලගේ ඩෙස්ක්ටොප් වල තත්වය. ආයේ අහන්න දෙයක් නෑ මිස්ට A01 ගේ ඩෙස්ක්ටොප් එක වගේ ඇති නේද….!!!

මේ තොරතුරු කොහෙන්වත් අරගෙන පරිවර්තනය කරපුවා එහෙම නෙවෙයි හරිය. පැහැදිලි මනසිකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගියාම හිතුන දේවල් වලට සාක්ෂි නෙට් එකෙන්ම හොයාගෙන ලියපු ලිපියක්.

ප.ලි
මතක තියාගන්න… ඩෙස්ක්ටොප් එක හිස් කියන්නේ, ඔළුව හිස් කියන එක එහෙම නෙවෙයි හරිද. ඒත් පරිගණකය ආරම්භයේදී ඇතිවන පීඩනයෙන් නම් ඔළුවයි, පරිගණකයයි දෙකම හිස් තමා.

%d bloggers like this: