කවිය – නුඹ, මම හා ඇය සමග… ගෙවී ගිය සෞන්දර්යය…

මේක ඇත්තටම ටිකක් විතර අමුතු ලිපියක් වේවි. මේක ලියන්න හිතුනේ සාතන්ගේ මේ පෝස්ට් එක දැකලා. ටිකක් විතර … ම්… ම්… ඒකට කියන්නේ…. පාපොච්චාරනේ කියන වචනයද කියන එක මං හරියටම දන්නේ නෑ. ඒත් මට වෙන වචනයක් ඔලුවට එන්නෙත් නෑ…

ඉස්සර… මට කවි කියන පේලි හතරේ වචන කෑලි පේන්න බෑ. විශේෂ හේතුවක් නෑ. ඒත් මට පාඩම් හිටින්නෙත් නෑ. මං කියවන්න ආසත් නෑ. අඩුම ගානේ මට දකින්න ඕනේ වුනෙත් නෑ. ස්කෝලේ යද්දී පවා ඔය කවි නිසා මං සෑහෙන නෝන්ඩි වෙලා තියෙනවා. මට දැනට මතක තියෙන්නේ, මං පහවසරෙදි වෙච්චි දෙයක් විතරයි. ඒකත් කියලම, ගලාගෙන යන්න ගත්ත විදියට යන්න දෙන්නම්.

ඒ දවස් වල අපිට වාර විභාගේ. අපිට සිංහල, බුද්ධාගම වගේම තවත් විෂයන් කීපයක් ඉගෙන්නුවේ අපේ පන්ති භාර මිස්මයි. ඉතිං සිංහල වලට ප්‍රශ්න පත්තරේට උත්තර ලියනවට අමතරව තව කවියක් පාඩම් දෙන්නත් ඕනේ. ඔය දවස් වෙද්දි මට මතක එකම එක කවිය “රෝස මලේ නටුවේ කටු“ කියන කවිය විතරයි. ඒක මතක හිටියෙත් ඇයි කියන්න දන්නේ නෑ. ඉතිං අනිත් ළමයි පාඩම් පොතේ තියෙන කවි කියද්දී, මාත් කට උරුක් කරගෙන ගිහිං මහ ලොක්කා වගේ ඔය කවිය කියන්න ගත්ත ගමන්, පන්තියෙම ළමයි හිනාවෙන්න ගත්තා. මිසුත් ආවා ලඟට… ඔය මොනාද දරුවෝ කියන්නේ… දන ගහගෙන කවියක් මතක් කරගන්නවා කියලා… මාව දනගස්සලා ගියා. මගේ නරක වෙලාව කියන්නේ, අපේ මල්ලිත් එතකොට එක වසරේ… ඌ රිලා මොටා වගේ පන්තියේ වටේ තිබ්බ දැලේ එල්ලිලා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. දුකත් හිතෙනවා අප්පා ඒ දවස් මතක් වෙද්දී… ඌ මට හරි ආදරෙයි ඒ දවස් වල. දැන් ඉතිං වෙන වෙන අයටනේ ආදරේ.

මටත් ඇඬිලා තමා තිබුනේ. මොනා කරන්නද ඉතිං. පස්සේ බැරිම තැන මං මල්ලිගෙන් ඇහුවා, කවියක් ගැන. මූ එකේ වුනාට, “ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්“ කවිය කට පාඩම්. මාත් ඉතිං මිස්ට පෙනෙන නොපෙනෙන ගානට පොර ගෙන කවිය අහගෙන පද පේලි ටික සට පට ගාලා මතක තියාගත්තා. ඊට පස්සේ ඉතිං අනිත් ළමයි කවි කියලා ඉවර වුන ගමන් මමත් යන්තමින් කවිය කියලා දාලා මාරු වුනා.

ඒ තමා මට මතක එක සිද්ධියක්. තව තිබුනට මොකක් හරි හේතුවක් නිසා ලියන්න හිතෙන්නේ නෑ. ඉතිං ඒ වගේ මහ එපා කරපු කවි පිලිබඳ මතකයත් එක්ක ගලාගෙන ගිය ජීවිතේ, මුලින්ම කවි වලට නැඹුරු වුනේ පුංචි ඇස් දෙකක් නිසා. හැම දේකටමත් වැඩියෙන් ආසා කරපු ඇස් දෙකක් නිසා. ඒක හරිම අමුතුයි. මට ඕනේ වුනා ආදරේ කරන්න. ඉතිං මං එහෙම කරා. ඒ ආදරේ කරද්දි ඇතිවෙච්ච ලස්සන හැඟීම් වලට පන දෙන්න මං මුලින්ම ඒවා නිකං ඔහේ පොඩි පොඩි පද පේලි විදියට ලිව්වා. සමහර එව්වයේ කිසිම තේරුමක් නෑ…! ඒත් මං ඒවට ආස කලා. ඊට පස්සේ දවසක මං දන්න තවත් කවි ලියන්න පුළුවන් අයිය කෙනෙකුට ඒ ටික අහුවුනා මගේ පොතක ලියලා තියෙද්දී… මෑන් තමා මට කිව්වේ… ඒවට කියන්නේ නිසදැස් කියලා. ඒ වෙනකං ඒ අකුරු වෙච්ච හැඟීම් වලට කියන නමක් මං දැනන් හිටියෙ නෑ. එව්වා නිකංම නිකං සිතුවිලි විතරයි.

ඊට පස්සේ කාලයත් එක්ක මං මට පුළුවන් විදියට එක එක විදියේ, කවි ලිව්වා. සමහර ඒවා නිකංම ලියවුනා. ඒත් සමහර ඒවනම් මං ආසාවෙන්ම ලිව්වා. මං මේවා ෂෙයාර් කලාද කියල මතක නෑ… ඒත් මේක තමා මට හොඳයි කියලා හිතෙන, මගේ අත් දෙකෙන් ලියවෙච්චි හොඳම කවි පෙල.

නුඹේ පොඩි ඇස් යුගල දෙස – ආදරේ පුරවගෙන හිත තුල

බලා ඉන්නට ඇති මම – පැය ගනන් නුඹ අසල හිඳ

 

මිණිකිකිනි හිනා හඬ ලඟ – නුඹත් එක්කම සිනාසී මම

රැඳී ඉන්නට ඇති සෙමෙන් – ගෙවා දමමින් දින ගනන් මම

 

රන්පාට මුදු දෑත් මත – දැවටී දැවටී සිටය මා වෙත

පෑ දයා කරුණා අමා ගඟ – ගලා යයි සිත මැදින් තව

 

තිබුන ඒ දාංගලයට – ආදරෙන් මට තුරුළු නොවුනට

අද වගේ එදත් මට – දැනුනා නුඹ මගේ බව

මේක ඇත්තම ඇත්තම ඇත්ත අත්දැකීමක සොඳුරු මතකය එක්ක නැගී සිටින්න පෙරලි කරන හිතෙන් උත්පාදනය වෙලා ලියවෙච්ච එකක්. මං අදටත්, කවියක තියෙන්න ඕන කියන එලිවැට, තව තව දේවල් ගැන මහ ලොකුවට දන්නේ නෑ. ඔක්කොමත් හරි මේකෙ ඔය එකක් වත් නැද්ද කොහෙද. ඇත්තටම ගොඩක්ම කවි වගේ පද පේලි ලියවුනේ, ඒ ලස්සන මතකය මුල් කරගෙන. වැඩි හරියක්ම ඒවා හිතේ පිරිච්ච දුක, සතුට වගේ හැඟීම් තමා.

කවියක් කියාගන්න බැරුව හිටි මට වෙච්චි දේ ගැන මටම දැන් ටිකක් විතර පුදුමයි. ඒ සොඳුරු බව ටික ටික ඈතට යද්දී කවි සිතුවිලි කියන එව්වත් නිකංම ගිලිලා ගියා. හරියට දිරාපත් වෙච්චි නැව් මුහුදු පතුලට කිඳා බහිනවා වගේ. මට මේ කෙරුවාවෙන් වැඩක් වුනේ නැති වුනත්, මට දැනිච්චි දේවල් වචන වලට පෙරලලා ලියපු කවි, නිසදැස් වගේ ඒවා තමන්ගේ වෙන්ඩ කෑලි වලට ගිහිං දීලා “කැම….තියි මං“ කියන ටික අහගත්තු යාළුවෝනම් ඕනේ තරම්. හ්ම්… අපි එහෙමයි යාළුවොන්ට සලකන්නේ….!

ඒ වගේම මං ලියපු ගොඩක් කවි වල ආත්ම අනුකම්පාව කියන එකත් ගැබ් වෙලා තියෙනවා කියලා එක අක්ක කෙනෙක් කිව්වා. සමහරවිට වෙන්න ඇති. එයා කිව්වේ “දුක“ කියන සංවේදනය වැරදියට තේරුම් අරගෙනද එහෙමත් නැත්තං අර “ඈඬියාව“ කියන එකද දන්නේ නෑ. කොහොමහරි මං ලියපු කවි මං ෆේස් බුක් එහෙම ෂෙයාර් කලාම කමෙන්ට් දෙක තුනක් වැටුනා. මේ තියෙන්නේ ඒ ඇල්බම් එකේ ලින්ක් එක. ඉඩක් තියේනම් ගිහිං බලන්න. හැබැයි ආයේ නම් කවදාකවත් ඒ ඇල්බම් එක අප්ඩේට් කරන්න බැරිවෙයි සමහරවිට. ඇයි ඉතිං දැන් ලස්සන ලස්සන සිතුවිලි පහල වෙන්නේ නෑ වගේම, වැරදිලා හරි පහල වුනොත් ලියන්න බ්ලොග් එක තියෙනවනේ….!

%d bloggers like this: