මග පෙන්වන්නා… | The Guide…

“රේල්වේ රාජු” කියන්නේ… සල්ලි තියෙන, රට රට වල ඇවිදලා විවිධ දේ ගැන අධ්‍යනය කරන්න කැමති, එහෙමත් නැත්තං නිවාඩුවක් ගත කරන්න කැමති සංචාරකයින්ට මග පෙන්වන්නෙක්. ඒ වගේම “ස්වාමි” කියන්නේ පාළුවට ගිහිං තිබුන කෝවිලකට පන දීලා, අහිංසක මිනිස්සු කට්ටියකට පොර ටෝක් දෙන හොර ගුරෙක්. ඒත් මේ දෙන්නම එකම ජීවිතයේ කාලයන් දෙකකදී ජීවත් වෙන එකම එක්කෙනෙක්…!

ඉන්දියාවේ ගැමි පරිසරය එක්ක හැදෙන වැඩෙන රාජු, තමන්ගේ ගමටත් කෝච්චි පාරක් ඇවිදින් ගම දියුණු වෙන හැටි ගැන තාත්තගේ සිල්ලර කඩේ ඉඳන් සිහින මවන්නේ පුංචි කාලෙමයි. ටිකෙන් ටික රේල් පාර හැදිලා, තමන්ගේ ගමටත් කෝච්චි ස්ටේෂන් එකක් ලැබුනම රාජු සන්තෝෂ වෙනවා. අන්තිමේ ස්ටේෂන් එකේ කුලියට දෙන කඩ කෑල්ලක, තාත්තා දාලා දෙන කඩේත් කරගෙන ඉද්දි තමා… අහම්බෙන් වගේ සංචාරකයින්ට මග පෙන්වන්න යොමු වෙන්නේ. ටික කාලෙකින් “රේල්වේ රාජු” කියන ඇමතුමත් එක්ක ඔහු බොහෝම කලබලකාරී, කාර්යයබහුල පුද්ගලයෙක් වෙන්නේ තමන්ගේ ආර්ථික තත්වයත් ටිකෙන් ටික උඩට දාගන්න ගමන්මයි.

ඒත්… නොහිතන දවසක, නොහිතන වෙලාවක… හම්බුවෙන නැටුමට හපන් වෙනත් අයෙකුගේ බිරිඳක් වෙන, කෙල්ලෙක් නිසා රාජුගේ ජීවන රටාව වගේම, හදවතේ රිද්මයත් වෙනස් වෙනවා. ඊට පස්සේ විටෙක සිනහවෙන් වගේම, දරාගන්න බැරි දුක් කම්කටොලු, ඇනුම්-බැනුම් මැද්දේ ගෙවෙන රාජුගේ ජිවිතය අවසන් වෙන්නේ කෝවිලක පූජකයෙක් විදියට. ඒ කෝවිලේ පිහිට බලාපොරොත්තු වෙන මිනිසුන් වෙනුවෙන් ජීවිතය කැප කරන්නෙක් විදියට වගේම දවස් දොලහකින් ආහාර නොලබපු බඩගිනිකාරයෙක් වගේ වුනත් සෑහෙන පිරිසකගේ වැසිදිය ගැන බලාපොරොත්තු මැද හා සෑහෙන පිරිසකගේ උත්තමයෙක් විදියට.

ජීවිතය වෙනස් වෙන තැන අපිවත් නොදන්නා ලෝකයක, එක් අයෙකුගේ හැරවුම් ලක්ෂයක් ගැන කියවෙන මේ කතාව ආදර කතාවක් නොවුනත්, සාමාන්‍ය ආදර කතාවකට වැඩියෙන් බොහෝ වෙනස්. කතාව කියවද්දි ආදරය, හම්බුවෙන්නේ බොහෝ ඈතින් සුළු මොහොතකට පමණක් වුනත් ඒක කොයිතරම් බලපෑමක් ඇතිකරනවද කියන එක තේරුම් ගන්න අමාරු නෑ.

නැට්ටුක්කාරියකට මේ තරම් දේවල් කල හැකි වුන අපූරුව…!

ආර්.කේ නාරයන් ලේඛකයා, “The Guide”කියලා ඉංග්‍රිසියෙන් ලියපු පොත “මග පෙන්වන්නා”  කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ නිහාල් රාජකරුණානායක කියලා පරිවර්තකයෙක්. ඒ වගේම 1906-2001 දක්වා ජීවත් වුන කේ.ආර් නාරායනයන්ගේ විශිෂ්ඨතම කෘතිය කියලා හැඳින්වෙන්නෙත් මේ කෘතිය තමා. මේ පොත ලියලා තියෙන්නේ 1958දී වගේම,  ඉන්දියාවේ පොතක් වෙනුවෙන් ලබන්න පුළුවන් වෙන ඉහලම සම්මානය වෙන “ජාතික සාහිත්‍ය සම්මානය“ත් හිමිකරගෙන තියෙන අපූරු පොතක්. මේ කතාව පාදක කරගෙන 1968 දී සිනමා පටයකුත් නිර්මාණය වෙලා තියෙනවා.

ලංකාවේ ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ සරසවි ප්‍රකාශන ආයතනය. ගොඩක් දෙනා කියවලා ඇති…. ඒත් කියවලා නැති අය හොයාගෙන කියෙව්වයි කියලා කිසිම පාඩුවක් වෙන්නෙ නැති හොඳ පොතක්…

කුකුටුල් කටු…

අර මං දවසක් දා කිව්වේ “අප්පි ඇන්ටිට මොනා හරි කරම්මු නේද” කියලා වලත්ත කතාවක් අපෙන් අහපු ඔ‍ෆිස් එකේ ලොක්කෙක් ගැන. මේ ඒ කතාවේ ලේටස්ට්ම එපිසෝඩ් එක. පොරට සිංහල උච්චාරණය ටිකක් විතර අමාරු නිසා තමා මේ කෝලම් ඔක්කොම.

මාත් මේ, ඒ අසරණයට මඩ ගහලා ගහලා අන්තිමේ මටත් මොකක් හරි ‍බෝලයක් කැරකෙයිද කියලා හිතේ සැකෙන් තමා මේක ලියන්නේ. ඒත් ඉතිං තනිකරම විනෝදය සඳහා පමණක් එහෙම කරන නිසා මක්කවත් වෙන එකක් නෑ කියලත් හිතෙනවා. අනික ඉතිං අපි පොරට හිනා වෙනවා කියලයැ. අනේ ඇත්තට අපි මොකට දහම් පාසල් ගියාද මන්දා… මොකක් හරි නොහොබිනා වැඩක් කරගෙන එනකොටම,  මතක් වෙනවා එව්වයේ පල විපාක. සික්…. ආයෙ නම් මං මේ ආත්මේ දහම් පාසල් යන්නේ නෑ.

මේක‍යි කතාව. අපේ ‍ෆැක්ටරියේ දැනට ටික කාලෙකට කලින් ඉඳන් ප්ලාස්ටික් පුටු වර්ගයක් නිෂ්පාදනය කරනවා. ඉතිං පුටුවේ වාඩි වෙන කොටසයි, හේත්තු වෙන කොටසයි දෙකම තියෙන්නේ එක ප්ලාස්ටික් ෂීට් එකක් විදියට. පුටුව හැදෙන්නේ තඩි මෝල්ඩ් එකක සෙල්සියස් අංශක බර ගානකට රත්වෙන ප්ලාස්ටික් වලින්. ඉතිං ඔය මොනා හැදුනත්, පුටුවේ කකුල් ගේන‍්නේ පිටරටකින්. ඒවා ඇලුමිනියම්…! ඒවා ලංකාවේදි හදලා අපේ ආයතනයටම ගෙන්න ගන්න වියදම් වෙන ගානත් එක්ක බලද්දී, ඊට වැඩිය ලාභයිලු පිටරටින් ආනයනය කරන එක.

මේ කියන දවසෙත්, ‍ලොකු මැෂින් වලින් පුටු වදිනව එකසිය ගානට. ඉතිං ඒ පුටු හවස් වෙනකොට කොහොමහරි වෙයා හවුස් නොයවා කෙලින්ම, ලංකාව වටේම තියෙන නියෝජිත ආයතන වලට යවන්න තමා සෙට් කරලා තිබුනේ.  ඒත් මෙච්චර කල් අපිට පුටු කකුල් එවපු පිටරට කොම්පැනිය ආච්චිට හාල් ගරලා කියලා තේරුනේ එවෙලේ. පුටුවට කකුල බස්සන්න බෑ… ඇලුමිනියම් කකුල ස්ටෑන්ඩර්ඩ් සයිස් එකට වඩා විෂ්කම්භයෙන් අඩුයි. ඒ පාර ඉතිං වෙන කරන්නම දෙයක් නැති තැන තීරණය කලා ලංකාවේ මෑන්ස්ගෙන් පුටු කකුල් ගන්න.

ඔන්න අකවුන්ටන් ලොක්කා කියනවා අපේ පර්චසින් බුවාට…

ම්…මේ…. සම්පත්….  අර කුකුටුල් කටු…. සොරි සොරි… කුකුල් කටු… ගේන මිනියට කෝල් කලාද…..?

ඔය ටික කියන්න තත්පර දෙකක් හෝ තුනක් යන්න ඇති. ඒ ටික බුවා කිව්වේ යක්ෂ ස්පීඩ් එකකින්. කොහොම හරි පුටු ටික හරිගස්සන එකනේ ඔලුවේ තියෙන්නේ. පස්සේ ඉතිං අපි කම්පනා කරනවා මොකටද බොල මේ හදිස්සියේ කුකුල් කටු කියලා. සෙට් වීමක් ගැන අපි කතා වුනේ නැහැනේ. අනික මේ ප්‍රසිද්ධියේ මිස් කෙනෙකුත් ඉන්න තැන බයිට් ගැන කතාකරනවද…

පස්සේ ඉතිං එකාට එකා මූන බලාගත්දී පොරට මීටර් කොහේ හරි නාගත්තා තමා කියලා…  ඔන්න අහනවා…

ඇයි… කට්ටිය බය වෙලා වගේ….? මං ඇහුවේ පුට්ට්ටු කකුටුල් ගේන කෙනාටකතා කලාද කියලා…

එතකොටම ලඟම හිටිය පණ්ඩිතයා, ඔයා කිව්වේ කුකුල් කටු කියලනේ…. කියද්දිම මං දිව්වා බත් එකත් අරගෙන ලන්ච් රූම් එකට… ඇයි දෙයියනේ මිනිහෙක්ට වැරැද්දක් වුනා කියලා, ඒ මිනිහාගේ මූනට පේන්න හිනා වෙන්න පුළුවන්ද…?

ඩෙස්ක්ටොප් එක කියන්නේ, යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක්….

ඩෙස්ක්ටොප් එක කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. මයික්‍රොසොෆ්ට් හෙල්ප් එකේ තියෙන විදියට නම්…

“ඩෙස්ක්ටොප් එක යනු, ඔබ පරිගණකය පනගන්වා වින්ඩෝස් වලට පිවිසි විගසම දකින්නට ලැබෙන ප්‍රධාන තිරසැකසුමයි. ඇත්තම මේසයක මතුපිටක් ලෙස හැසිරෙමින් අපට අවශ්‍ය දේවල් ඒ මත තබා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙයි. ඔබ යම් මෘදුකාංගයක් හෝ ගොනුවක් විවෘත කරන විට එය ඩෙස්ක්ටොප් එක මත විවෘත වන අතර අවශ්‍ය කරන ෆයිල්, ෆෝල්ඩර්ස් ආදිය අවශ්‍ය ආකාරයට පෙළ ගස්වා කෙටි මං ලෙසද භාවිතා කල හැක.” කියලයි.

පුංචි කාලේ කොම්පූටර් ක්ලාස් එකේදි නම් කියලා දුන්නේ මොකද්ද කියලා දැන් මතක නෑ.

ඉතිං  කොහොම හරි අපි හැමතිස්සෙම දකින, මේ ඩෙස්ක්ටොප් එක අපේ මානසික තත්වයත් එක්ක සම්බන්ධතාවක් ගොඩනගා ගන්න බව කවුරුවත් නිකමටවත් හිතුවද…? නැතුව ඇති නේද… ඒත් තමන් වැඩ කරන පරිගණකයේ නිතර දකින ඩෙස්ක්ටොප් එක නිසා එය භාවිතා කරන්නා මානසික වශයෙන් ඉහල යන්නට වගේම පහල යන්නටත් තියෙන්නේ සැලකිය යුතු සම්භාවිතාවක්. හිතන්න, එක නිරෝගි පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පරිගණක දෙකක් දෙනවා, දෙකේම තියෙන්නේ එකම කන්ෆිගරේෂන්. ඒ වගේම වෝල් පේපර් එකක් නෑ… නිකං තනි පාටක බැක් ග්‍රවුන්ඩ් එකක් විතරයි තියෙන්නේ.

ඒත් පොඩි වෙනස් කමක් තියෙනවා. පළවෙනි පරිගණකයේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන මයි කම්පියුටර්, මයි ඩොකියුමන්ට්, නෙට් වර්ක් ප්ලේස් , රිසයිකල් බින් වගේ තිබිය යුතුම අයිකන් විතරයි. අනිත් පරිගණකයේ එහෙම නෙවෙයි. ඒකෙ ඩෙස්ක්ටොප් එක පුරාම එක එක ජාතියේ‍, විවිධ වර්ණයේ අයිකන්. ඉතිං වෙන වෙනම අවස්ථා දෙකේදී, එකම වැඩක් කරන්න කියනවා යූසර්ට. දෙවෙනි වතා‍වෙදී එහෙම කරන්නේ, කලින් වතාවේ එහෙම වැඩක් කලේ නෑ කියලා උපකල්පනය කරලා. මේක ඇත්තටම කරන්න බෑ තමා. ඒත් උපකල්පනයන් ආශ්‍රයෙන් තමා තර්කය ගොඩනගන්නේ.

ඉතිං මුලින්ම අර ඩෙස්ක්ටොප් එක හැඩි වෙච්ච පීසී එක ඉස්සරහා ඉඳගන්න කොට භාවිතා කරන්නගේ ඇතිවෙන මානසික තත්වය, එහෙමත් නැත්තං යම් උපකරන ආශ්‍රයෙන් මැන ගන්න පුළුවන් වෙන මොලේ ක්‍රියාකාරීත්වය අනුව බලන කොට දෙවෙනි වතාවට පැහැදිලි ඩෙක්ස්ටොප් එකක් සහිත පීසී එකේ ඉඳගන්න අවස්ථාවෙදී මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස්. පළවෙනි අවස්ථාවෙදී, කලබලකාරී ස්වභාවයක් පෙන්වන මොළයේ ක්‍රියාකාරීත්වය දෙවෙනි අවස්ථාවෙදී විශේෂිත සංකූලතාවයකින් තොරව හැසිරෙන බව තමා මොළය පිළිබඳ පර්යේෂන කරන කණ්ඩායම් සොයාගෙන තියෙන්නේ.

ඒ වගේමයි මෙහි අනිත් පැත්තත්. හිතන්න යම් පුද්ගලයෙක් ඉන්නවා “A01” කියල”මොකක් හරි මානසික ප්‍රශ්නයක් නිසා හෝ අධික කාර්යයබහුලත්වයත් එක්ක තමන්ගේ වැඩ කරගෙන යන. එයාගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක කියන්නේ එහෙම් පිටින්ම අවුල් ජාලයක්. පිළිවෙලකින් තොරවූ ෆයිල්ද, ෆෝල්ඩර්ද, තවත් ෂෝට් කට්ද මුළු ඩෙස්ක්ටොප් එක පුරාම. අඩුම ගානේ එයාටවත්, හදිස්සියකට ෆයිල් එකක් හොයාගන්න බැරි තරමට සංකීර්ණ ඩෙස්ක්ටොප් එකක්…!

ඒ වගේම තවත් කෙනෙක් ගත්තොත්. ඔහුත් ඉතාම කාර්යය බහුල පුද්ගලයෙක්. මුලින් කිව්ව කෙනාටත් වැඩියෙන්. ඔහු “B01”.   ඒත් ඔහු තමන්ගේ ඩෙස්ක්ටොප් එක පිලිවෙලට තියාගෙන ඉන්නවා. එකම වර්ගයේ ෆයිල්ස් එක ෆෝල්ඩර් එකකට දාලා, ලස්සන වෝල් පේප‍ර් එකකුත් දාලා. දැන් හිතන්න යම් වැඩක් කරද්දී වැඩියෙන්ම කාර්යශූර වෙන්නේ කොයි කෙනාද…?

කිසිම ගැටළුවක් නැතුව, කොයිතරම් වැඩ අධික වුනත්, ෆයිල් එකක් ‍සොයා ගැනීම අතින් වගේම යම් අවශ්‍ය කාර්යයක් කරගැනීම අතින් වුනත් හැමවෙලේම B01 ඉදිරියෙන් ඉඳීවී. එයට හේතුව තමා ආරම්භයේදීම ඇතිවෙන මානසික නිදහස් බව හෙවත් මනස ඕනවට වැඩියෙන් මහන්සි නොවීම. ඇස් දෙකින් දකින ඩෙස්ක්ටොප් එකේ පැටලිලි සහගත බව නිසාම, ඩෙස්ක්ටොප් එකේ තියෙන හැම දේ කෙ‍රෙහිම අවධානය යොමු වෙද්දී, අපිට නොදැනුවත්වම ඉතා සුළු මොහොමතකට හරි අපේ මොළය අනවශ්‍ය විදියට වෙහෙසට පත්වෙනවා. “මේක දැක්කම ඔළුව කැක්කුම හැදෙනවනේ…” කියලා කියවෙන්නේ අන්න එහෙම වෙලාවලට තමා. ඉතිං ඒ ආරම්භයේදී ඇතිවෙන වෙහෙස මුළු කාර්යය පුරාවටම ගොඩක් වෙලාවට අනර්ථකාරී හා කලබලකාරී විදියට හැසිරෙමින් අපගේ කාර්යය වැරදි සමගින් නිම කරගන්නට දක්වන දායකත්වය සෑහෙන වැඩියි.

ඒක නිසා තමා “ඩෙස්ක්ටොප් එක කියන්නේ, යූසර්ගේ ඔලුවේ එක්ස්-රේ එකක්….” කියලා කියන්නේ.

ඉතිං පොඩි කාලයක් වැය කරලා ඩෙස්ක්ටොප් එක සුද්ද කරගෙන පිළිවෙලක් කරගන්න පුළුවන්නම්, ආරම්භය වෙහෙසකර නොවී අනිකුත් කාර්යයන්‍ට අවශ්‍ය කරන ජවය උපරිමයෙන්ම මොළයෙන් ලබාගන්න හැකිවේවි…!

දැන් තමා තේරෙන්නේ අපේ අම්මත්, ඉස්සර මගේ පාඩම් කරන ‍මේසේ දිහා බලලා… “බලනවා ළමයෝ ඔය මේසේ හැටි… ඔයා‍ගේ ඔළුව වගේමනේ….” කියල කිව්වේ ඇයි කියලා.කොහොම හරි මං නම් දැනට කාලෙකට කලින් ඉඳන් මොකක් හරි ලස්සන වෝල් පේපර් එකකුයි, පීසී එකේ උපකරණ වල තත්වය පෙන්නන දර්ශක කීපයක්  ඇරෙන්න එකම එක අයිකන් එකක් වත් තියන්නේ නෑ. අවශ්‍ය කරන ෂෝට් කට් ඔක්කොම ටාස්ක් බාර් එකට පින් කරලා තියෙනවා. අනිත් ෆයිල් හාඩ් ඩ්‍රයිව් එකේ ගානට පැලපදියම් කරලා තියෙනවා. ඉතිං මට කොම්පූටරේ ඔන් කරද්දිම පේන්නේ වෝල් පේපර් එක විතරයි…!

කොහොමටත් ඩෙස්ක්ටොප් එකේ ෆයිල් නොතියන එක ෆයිල් වල ආරක්ෂාවටත් හොඳයි. අන්සතු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි වගේම, සිස්ටම් ඩ්‍රයිව් එකේ වෙන්න පුළුවන් දත්ත මැකී යාම් වලිනුත් ආරක්ෂා වෙනවා. ඉතිං මොකටද අමතර පීඩනයක් එක්ක, අනාරක්ෂිත බවක් ලංකරගන්න ඩෙස්ක්ටොප් එක අයිකන් වලින් පුරවගන්නේ.

ඒ වගේම… වින්ඩෝස් 8 එක්ක එන මෙට්‍රෝ ඩෙක්ස්ටොප් එකත් එක්ක මම මුලින් හිතුවේ කම්පියුටරේ දාපු ගමන් ඇතිවෙන සිහිමඳ ගතිය නැතිවෙයි කියලා. ඒත් ඒකත් දාලම බැලුවම තමා දැනෙන්නේ, ඒකත් ටිකක් විතර අනවශ්‍ය පීඩනයක් කියලා.

හා…. දැන් කියන්න බලන්න ඔය බබාලගේ ඩෙස්ක්ටොප් වල තත්වය. ආයේ අහන්න දෙයක් නෑ මිස්ට A01 ගේ ඩෙස්ක්ටොප් එක වගේ ඇති නේද….!!!

මේ තොරතුරු කොහෙන්වත් අරගෙන පරිවර්තනය කරපුවා එහෙම නෙවෙයි හරිය. පැහැදිලි මනසිකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ගියාම හිතුන දේවල් වලට සාක්ෂි නෙට් එකෙන්ම හොයාගෙන ලියපු ලිපියක්.

ප.ලි
මතක තියාගන්න… ඩෙස්ක්ටොප් එක හිස් කියන්නේ, ඔළුව හිස් කියන එක එහෙම නෙවෙයි හරිද. ඒත් පරිගණකය ආරම්භයේදී ඇතිවන පීඩනයෙන් නම් ඔළුවයි, පරිගණකයයි දෙකම හිස් තමා.

ඉතිං මොන ලස්සනක්ද…?

ම්…. ම්…. ම්…. ඇට්ටේරියා මල්….!

එදා පිපිලා තිබුනා වගේම, හැඩට…

ආං…. මං දැක්ක, ඊයේ හවසත් පිපිලා තිබුනා….!

ගහ යට එකම සුදු ඇතිරිල්ලක් කරලා, ලස්සනට සරසලා.

ඒත් අඩුවක්….! එදාට වැඩියෙන් අද…

ඇට්ටේරියා ගහ යට,

බිත්ති කන්ඩිය උඩ,

දඟකරපු කෙල්ල…. අද නෑ එතෙන…!!!

ඉතිං මොන ලස්සනක්ද…???

ජිංජි බියර් එකටත් තිත…!

දැන් ඉතිං කට්ටිය හිතයි මේක තමා මේ අවුරුද්දේ හොඳම විහිළුව කියලා. මොනා කරන්නද සහෝ, දුක තමා. මාත් හිතා ගත්තා මෙච්චර කල් ගෙදරට හොරෙන් සහ ගෙදරින් දැනුවත්ව වුනත් මං බීපු ජිංජි බියර් එකට සමුදෙන්න. ඒ මොකද කියනවනම්, මං ලොකු මෙව්වා එකක් කරගත්තා හොඳ බිරිඳකට හොඳ සැමියෙක් වෙනවා කියලා. ඊට කලින් හොඳ කෙල්ලෙකුට හොඳ කොල්ලෙක් වෙන්ට එපෑ. දැන් ඉතිං ඔය බැඳපු අංකල්ලා මට නක්ක‍ලේ දාවි… ආහ්…. හරි බලමුකෝ මල්ලී කියලා…! කමක් නෑ ඒක ඒ අයගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතියනේ. අනික දැන් ඉතිං වැරදියට හිතන්න එපා මගුලක් එහෙම ලඟයි කියලා එහෙම. ඒවට තව කල් තියෙනවා.

ඉතිං මේ එක පාර සිදුවෙච්චි වෙනසට මොනවගේ දෙයක් හේතු වෙන්න ඇත්ද…? ඇත්තටම ළමයි, මේ බොන එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ කාඩ් එක එක්කනේ… ඒ කියන්නේ කාඩ් එක කියලා හඳුන්වන ආත්ම ගරුත්වයද මොකද්ද එක, එතකොට ඒ.‍ටී.ඇම් කාඩ් එක, අයිඩන්ටි කාඩ් එක… වගේ ගොඩක් කාඩ් එක්ක මේ ඉලව් බීම අන්තර් සම්බන්ධතා පවත්වනවා. ඉතිං ඒ සම්බන්ධතා වල ප්‍රතිපලයක් විදියට එක කාඩ් එකකට වැදුනම අනිත් කාඩ් සියල්ලටමත් රිදෙන්න වදිනවා. ආන්න ඒක නිසා තමා මං මෙච්චර කල් ලිමිට් කරලා කරගෙන ආපු ජිංජි බියර් පානයත් අතාරින්න හිතුවේ. නැත්තං නවතින්න වෙන්නේ තියෙන කාඩ් ඔක්කොම යට ගහන් කාඩ් කුට්ටමේ කාඩ් එකක් විතරක් උඩට දාගෙන.

(ලෝකයා –  ඔය ඕකගේ බොරූරූරූරූ…. වෙන ලොකු  සීන් එකක් තියෙනෝනෝනෝනෝ….)

(කව්ද කවිද ඒ….? කටවහගෙන හිටු… නැත්තං ගලෝනවා කලිසම ඔලුවෙන්…)

හරි හරි… ඒ වටා පිටවේ සද්ද ගනන් ගන්න එපා. ඔව්වා ඔය මිනිහෙක් හැදෙනවට කැමති නැති ඊරිසියාකාර ලෝකයා කියන කතානේ….

ඉතිං දැන් මං පුරන්න ගත්ත පිලිවෙතින් මට හෙන වාසියි වගේ. බැංකු කාඩ් එකට කොහොමත් හොඳයි… අයිඩන්ටි කාඩ් එක නම් බල්ලට දාමුකෝ. ඒකෙ කොහොමත් මං බීලා වගේ ඉන්නේ… අනිත් ආත්ම ගරුත්ව කාඩ් එකටනම් හොඳටම හොඳයි…!

ඉතිං මං කියන්නේ, අනිත් අයටත් මං වගේම හොඳ ළමයි වෙන්න කියලා. එකපාරටම කරන්න බැරිවෙයි. ඒත් ටික ටික උත්සාහ කරන්න. ඉක්මනටම දවසක, සුභ වෙලාවක, යහපත් හැන්දෑවක… බීම නවත්තන්න වෙන මොකක් හරි සිද්ධියක් ඔයාලටත් වේවි… ඒකටත් වෙලාව එන්න ඕනේ…!දැන් බලන්න, එදා මං චුට්ටක් බීලා ඇවිත්… අපේ අම්මා එක්ක කතා කර හිටිය සුද්දි අක්කගේ, අතට වෙලා හුරතල් වෙවී වෙවී හිටිය කෙලි පැටික්කිගේ කකුලේ යටි පතුලට කිචි කවනවා කියලා හිතලා සුද්දි අක්කගේ අත, අත ගාලා අපේ අම්මත් ඉස්සරහම… “ඔය මගේ අතටනේ මල්ලි කිචි කවන්නේ කියලා” අහනොගත්තා නම් අද  මං මේ විදියට හොඳ ළමයෙක් වෙයිද…?

ඒත් නැත්තං, ගමේ ගිහිං බාප්ප එක්ක සෙට් වෙලා ඉද්දී, පුංචිත් ඉස්සරහා බාප්ප ඇහුවම…

“ආහ් මනමාලයා දැන් කෙල්ලෙක් එහෙම ඉන්නවද..?” කියලා

“මොන පිස්සුද බාප්පේ… තාම හිතලවත් නෑ…”  කියලා අනිත් පැත්තට බාප්පට කිව්වම….

ආයෙම බාප්පා “අන්න පුත්තලමෙන් බැලුවා මං”

“මට කෙල්ලෙක්…?”

“උඹට කෙල්ලෙක් නෙමේ බං…. ඇයි උඹට ඇහුනේ නැද්ද පුංචි අහනවා කජු වගයක් ගැන…? මං කජු ගැන කිව්වේ….”

ඒ විදියට, අරකේ පවර් එකට මට බාප්පගෙයි, පුංචිගෙයි කන්වසේෂන් එකේ කෑල්ලක් මිස් වෙලා…. මං ඇනගත්තේ නැත්තං මං මේ විදියට යහපත් දරුවෙක් වෙයිද….?

හැමදේටම වෙලාව තමා…! සුභ වෙලාව ආවම ඔක්කොම යහපත් වෙනවා. පේන්නේ නැතෑ මට…! කොහොම හරි මගේ කාඩ් ඔක්කොම බේරගන්න ඕනේ නිසා මං ජිංජි බියර් එකත් නැවත්තුවා…! සුද්දි අක්කයි, කෙලි පොඩ්ඩයි – අපේ බාප්පයි, පුංචියි මේ කරගත්තා වූ කුසලයෙන් මතු මතුත් මගේ ‍නෑයෙක් නම් නොවේවා…!

හෙබ්බිරිස්සාවට මධ්‍යම ප්‍රතිපදාව…

අළුත් අවුරුද්දේ බොහෝම දුක් සහිත නිව්ස් එකක් තමා කියන්න වෙලා තියෙන්නේ. ඒ මොකද කියනවනම් පහු ගිය දවස් වල තිබුන මළ ගෙවල් කීපයකම නිදිමැරීම හා වැස්සේ තෙමීම හේතු කරගෙන කාටදෝ බබෙක්ට චූටි උනක් සමග හෙබ්බිරිස්සාවක් හැදිලලු. බබාගේ අම්මයි තාත්තයි තමා එහෙම කිව්වේ. ඉතිං දැන් බබා කම්පනා කරනවලු….

මට මේ හැදිච්චි උණ රෝගයට මං තිත්තම තිත්ත කටේ තියන්න වත් බැරි කල්ක, ගුලි, අරිෂ්ටේ ඇතුලු අරවා මේවා පත අට එකට සිඳවපු, ආයුර්වේදෙන් නොමිලේ ගන්න පුළුවන් සිංහල බෙහෙත් බොනවද….?

එහෙම්මත් නැත්තං, වැරදිලා හරි කටේදි ගිලෙන්නේ නැතුව උගුරේ රැඳුනොත් විතරක් තිත්ත දැනෙන…, ඩිස්පැන්සරියට ගිහින් රුපියල් හාරසීයකට විතර අරගෙන,  ඉංග්‍රිසි බෙහෙත් බොනවද…?

 

එහෙම්මත් නැත්තං මේ සිංහල අළුත් අවුරුද්දේ ඉඳන් වත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ෆාමසියකට ගිහිං, එක වඩියෙන් නිට්ටාවට සුව වෙන්න කියලා… ඉංග්‍රිසි – සිංහල ක්‍රම දෙකේම අනගි එකමුතුවක් වෙන (ඒක සමානාත්මතාව අගයන්න), අරිං එකක්  රුපියල් එකසිය තිහකට බොනවද…?

බබා තාම චූටියිනේ ඒක නිසා තාම හිතනවලු….!!! අනේ මන්දා නේද අළුත් අවුරුද්දේ… මෙහෙමත් පොඩි එවුන්…!!!

සෞභාග්‍යමත් අවුරුද්දක්…!!!!

%d bloggers like this: