තේ කොල මුදියන්සේ…

මේ මනුස්සයා… උස රබර් ගස් මැද්දේ, පොළොවේ එක බිම් අඟලක්වත් නොපෙනෙන්න, තද කොල පාටට තේ වවපු වත්තක, ‍අඳුරු කෙලවරකට වෙන්න… තහඩු හෙවිල්ලලා, ඒ ගහඩු හුළඟට යනවට දර අතු දාපු, වටේටම… නිතරම තෙතබරිත වෙච්ච ලෑලි වලින් වටකරපු, ලැයිමක ඉන්න, සීතලට මුළු සරුවාංගෙම වැහෙන්න ඝනකම රෙදි ඇඳගත්ත මනුස්සයෙක් නෙවෙයි.

ඒ වගේම, බිමට ග්‍රැනයිට් අල්ලලා, සිවිලිමටට උඩින් හිල් විදලා, නොපෙනෙන්න ලයිට් හයි කරපු, සීතල වෙලාවට හීට් වෙන්නයි, උණුසුම් වෙලාවට කූල් වෙන්නයි උපකරණ හයිකරපු, පැය විසිහතරෙම  උණුවතුරෙන් නාන්න පුළුවන් මාලිගයක ජීවත් වෙන මහා ධනවතෙකුත් නෙවෙයි….!!! හැබැයි මේ මනුස්සයට හැමෝම කියන්නේ මුදියන්සේ කියලා. නිකංම මුදියන්සේ කිව්වම ගැම්මක් නැති නිසා වගේම, බොහොම දුප්පත්ව ඉඳලා, ටිකින් ටික හොර කමෙන්,  වංචාවෙන් කොහොම හරි කරලා තරමක් පෝසත්වුන බොහෝම අවංක පොරක්.

මෙයා වැඩ කරන ආයතනයට, මුලින්ම සේවයට බැඳුනේ කැන්ටිමේ තේ හදන කෙනා විදියට. ඊට අවුරුද්දකට විතර පස්සේ කැන්ටිමට මාසිකව අවශ්‍ය කරන තේ කොල වලින් සම්පූර්ණ ප්‍රමාණයම මේ මුදියන්සේ විසින් පුංචියට පවත්වා ගෙන ගිය තේ වත්තෙන් ආවරණය කෙරුණා. ඊට පස්සේ ටිකෙන් ටික ආයතනයේ සේවකයෝ වැඩි වුනා… තේ හදන වේල් ගනන වැඩි වුනා. ඒත් එක්කම මුදියන්සෙගේ තේ වත්තෙන් ගෝනි වලට බැහැලා ආයතනයට ඇවිල්ලා, තේ පෝච්චි වල යහමින් තැම්බිලා, වතුර කහට පාට කරලා, කාණුවේ එකතු වෙන තේ මන්ඩි ප්‍රමාණය බලාගෙන ඉන්දැද්දි වැඩි වුනා. කොයිතරම්ද කියනව නම්… අනිත් සේවකයන්ට “තේ කොල කන්දක්“ තරමට පේන ගානට තේ කොල ප්‍රමාණය වැඩි වුනා.

ඔය අස්සේ ප්‍රයිස් ඉන්ක්‍රීස් වුනා… රිවයිස් වුනා… කොහොම කොහොම හරි මුදියංසේ උඩට ගියා. මෑන්ට ඉරිසියා කර කර හිටිය පොරට වැඩිය ලොක්කෝ… තාමත් හිටිය තැනමයි…!!! ඕකට තමා සිංහලෙන කියන්නේ “හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා“ කියලා. කෝ ඉතිං එහෙම කිව්වට අහන එවුන් ඉන්නවැයි…???

අන්න දැන් තේ කොල මුදියංසේ, ගමේ… පන්සලේ වැඩ වලටත් උදවු කරනවා…

ඔව් ඉතිං එහෙම නොකර බෑනේ… කරපු පවු වහගන්නත් එපැයි…!!!

එහෙම හිතුවම ඉරිසියාකාරයින්ගේ හිත්වල ඇතිවෙන සැනසිල්ල… අපි ඉතිං පැත්තකට වෙලා ආදර්ශ ගන්නවා….

 

අව්-වැසි නොතකන… අම්මලාගේ ආදරේ…

අම්මලාගේ ආදරේ ගැන කියන්න තියෙන්නේ බොහොම චූටි දෙයයි. ඒ චූටි දෙය තමයි  “ඇත්තම ආදරේ” කියන්නේ. මොකද ඒක එතනින් එහාට මහා පරිමානෙන් විස්තර කරන්න තරම් චවන අපි දන්න කියන එක භාෂාවකවත් නෑ…!

ඉතිං මේ “අම්මලාගේ ආදරේ” මනුෂ්‍යයින් වෙච්චි අපි අතර විතරක් නෙවෙයි, අනිත් හැම සත්ව කුලයකමත් තියෙනවා, ඒක සෛලික ජීවීන් අතර හැරෙන්න. ඒ හැම ජීවියෙකුගේම අළුත උපදින පුංචි පැටව් උපදින්නේ අම්මලාගේ උණුසුම මැද්දේ. ඊට පස්සේ යන්තං එහෙ මෙහෙ දුව පැන ඇවිදින්න පුළුවන් වෙනකං ඒ පැටවු පෝෂනය වෙන්නේ, ආරක්ෂා වෙන්නේ අම්මලාගේ තුරුලට වෙලාම තමා.

දන්නවාද… සමහර මකුළුවෝ වර්ග, පුංචි පැටව් ඉපදුනාම ඒ පැටවුන්ගේ මුල්ම ආහාර වේල විදියට ගන්නේ මව් මකුළුවාව. කවදාවත් ඒ මව් මකුළුවා තමන්ගේ පැටවුන්ට ආහාර නොවී පැනලා දුවන්නේ නෑ. තමන්ගේ ඇ‍ඟෙන් කෑල්ලක් කඩා ගෙන කෑවත්, අම්මලා ඉවසන්නේ හිතන්න බැරි තරම් ඉවසිල්ලක්. අන්න එහෙමයි “අම්මලාගේ ආදරේ”.

අපේ කම්පැනි එකේ කන්ටේනර් නවත්තන යාඩ් එකේ කෙරෝලකට වෙන්න එක තැනක පුංචි මඩ ගොහොරුවක් ති‍යෙනවා. එතෙන වැහි දවස් වලට වතුර පිරුනම හරියට නිකං චූටි වැවක් වගේ. වටේට උස තනකොල ගස් වැවිලා, ඒ මැද්දේ තමා වතුර එකතු වෙන්නේ. ඉතිං දැනට මාස තුනකට විතර කලින්, එතෙන නිතරම නවත්තන කන්ටේනර් වලට අමතරව තවත් පුංචි අමුත්තෝ දෙන්නෙක් නිතර ගැවසෙන්න වුනා. ඒ උස කකුල් තියෙන, සාමාන්‍යයෙන් ජලාශ්‍රිතව ඉන්න කැමති පුංචි කුරුල්ලෝ දෙන්නෙක්. ඒ කුරුල්ලෝ දෙන්නගේ නම මං දන්නේ නැති නිසා කිහිප දෙනෙක් ගෙන් ඇහුවම එක එක අය එක නම් කියන්නේ…

ඌ තමා මචං… කිරලා කියන්නේ…

ආහ්… ඔය ඉන්නේ කොරවක්කෝ දෙන්නෙක්…  කියන උත්තර දෙකෙන් වැඩිපුරම ලැබුනේ කිරලා කියන උත්තරේ. ඉතිං මං වැඩි ඡන්දෙට මුල් තැන දීලා කතාව කියන්නම්.

ඉතිං ඔය කිරල ජෝඩුව මීට මාස තුනකට විතර කලින්, අර මං කිව්ව මඩ වල ගාව තණකොල ‍ගොල්ලේ කොල රොඩු ටිකක් එකතු කරගෙන පොඩි කූඩුවක් හදාගත්තා…! ඊට පස්සේ සතියකින් විතර අපි කිට්ටු කරලා බලද්දි කිරල අම්මා බිත්තර දාලා. කිරල තාත්තා කෑම හොයන්න ගිහිං. අපි ඒ කූඩුව ගාවට කිට්ටු වෙද්දිම කිරල අම්මා බිත්තර උඩම වාඩි වෙලා පිහාටු පුම්බලා අපිව බය කරන්න කන් අඩි පැලෙන තරම් හීනි-තියුණු සද්දෙන් කෑගාන්න තියා ගත්තා. පස්සේ ඉතිං අපි වැඩි වෙලා රැ‍ඳෙන්නේ නැතුව එතනින් ඉවත් වුනා.

ඒ එක්කම අපේ ඔෆිස් එකට දිව්වේ, ඔ‍ෆිස් එක තියෙන උඩ තට්ටුවට මේ පුංචි කැදැල්ල ලස්සනට පේන නිසා. පස්සේ ඉතිං මාස තුනක් තිස්සේ අපි හැමදාමත් උදේට ඔ‍ෆිස් ආපු ගමනුයි, විවේක තියෙන හැම වෙලාවකමයි ඔය කූඩුව දිහා බලාගෙන හිටියේ… පුංචි පැටවු කිහිපදෙනෙක් එළියට එනකං.

ඒ මාස තුන ඇතුලත , සමහර වෙලාවට මහ හයියෙන් වැස්සා… තවත් දවසක එලියට බැහැලා අඩියක් දෙකක් යන බැරි තරම් සැරට අව්ව පෑව්වා… හිටි ගමන් මහා තද හීතලක් එක්ක නපුරු සුළඟත් හැමුවා… ඒ වගේම හිටි ගමන් ඒ පුංචි කැදැල්ල අයිනෙන්, ලොකු රෝද තියෙන ටොන් ගානක් බර කන්ටේනර් එහාට මෙහාට ගියා… ඒත් ඒ කොයිම වෙලාවකවත් කිරල අම්මා බිත්තර උඩින් නැගිට්ටේ නෑ…! දවල් වරුවෙම කිරල තාත්තා කෑම හොයන්න යන නිසා කිරල අම්ම තමා බිත්තර ටික රැක ගත්තේ.

කෑම හොයා ‍ගෙන  කිරල තාත්තා කළුවර වැටී ගෙන ආවම විතරයි කිරලා අම්මා, කූඩුවෙන් මෙහාට වුනේ. ඇත්තටම අපි  ඒ “අම්මගේ ආදරේ” දැක්කා…. වින්දා…. කවුරුවත් හිතුවේ නැතුවට, අපි අපේ අම්මලා ගැන හිතලා හිත යටින් දුක හංගගෙන හිනා වෙලා ඒ පුංචි කූඩුව ගැන කතා කලා. ඒ වගේම අපිට බලාගෙන ඉඳලා හෙම්බත් වෙලා අන්තිමේ… මුං යක්කු පැටව්ද බං… තාමත් එලියට එන්නේ නැත්තේ… කියලත් කතා කලා. බලා ගෙන ඉඳලා අපිට ඇතිවුනාට බිත්තර ටික රැකගෙන ඉඳලා කිරිල්ලියටනම් ඇතිවුනේම නෑ. එහෙමත් නැත්තං කොහොම හරි අව්ව, වැස්ස, හීතල, භය ඔක්කොම දරාගෙන පැටවු ටික රැක්කා.

අන්තිමේ මේ සති‍යේ අඟහරුවාදා, අපි ඔෆිස් යද්දී කිරිල්ලිය වෙනදා වගේ බිත්තර උඩ වාඩි වෙලා හිටියේ නෑ. ඒ වෙනුවට කූඩුව ලඟින්ම ලොකු කන්ටේනරයක මඩේ එරිච්ච රෝද පාරක් විතරක් ඉතුරු වෙලා තිබුනා. ඊයේ රෑ ආපු ටොන් ගානක් බර කන්ටේනරයක කට්ට මැකිච්ච රෝද පාරක්…!!! කූඩුව අයිනේ තිබුන තණකොල පඳුරු ටික පොඩි කරගෙන මඩ වල දෙබෑ කරගෙන ඉස්සරහට ගිහිල්ලා….

උදේ පාන්දර දැක්‍ක මේ සිදුවීම නිසා, අපි හැමෝම හිතාගත්තා… මීට කලින් උනා වගේම, මෙදා පාරත් කුරුලු කූඩුව පොඩි කරගෙන ලොකු රෝදයක් ගිහිං තමා කියලා. අපි ප්ලාස්ටික් බටයක් හිටවලා රතු රෙදි කෑල්ලක් එල්ලලා තිබුනට රෝද පාර තිබුනේ කොඩියට මෙහා පැත්තෙන් නිසා තවත් අමුතුයි ඇතිවෙච්ච හැඟීම. ලඟට ගිහිං බලන්න තරම් ධෛර්යයක් නොතිබුන නිසා වෙනදා වගේම ඔෆිස් එකට ගිහිං කර්ටන් එක අයින් කරලා බලද්දී….

ඊට එහා තිබුන  පුංචි තණකොල බිස්සේ චූටි කුරුලු පැටවු තුන් දෙනෙක්, ක්වික්… ක්වික්… ගගා එහාට පනිනවා මෙහාට පනිනවා…! කිරල අම්මා ටිකක් උස ගල් කෑල්ලක් උඩට වෙලා වටේටම ඇස් යව යව බලාගෙන ඉන්නවා…!!!

හ්ම්… ඇති වෙච්ච සැනසිල්ල ගැන කියන්න අමාරුයි. ඒක ඒ තරම්ම සංවේදීයි…!!! මේ පුංචි පැටවු තුන් දෙනා ටික ටික ලොකු වේවි…!!! අපි ඒ දිහාත් බලාගෙන ඉන්නවා. ඒ පැටවු දැනගන්න එකක් නෑ කවදාවත්, ඒ තුන් දෙනා උපදින්නත් කලිං ඉඳන්ම තවත් කීප දෙනක් එයාලා දිහා බලාගෙන ඉන්න විත්තිය…!!!

අපේ (අවලං) රජවරුන්ගේ වැඩ…!!!

ඉස්සර, ඒ කියන්නේ ඔය පෘතුගීසී, ලංදේසි ලංකාවට ගොඩබැහැපු කාලේ එහෙම ලංකාව පාලනය කලේ රජ වරු කියන කට්ටියනේ. ඉතිං මේ රජ ගොල්ල තමා දවසකටවත් පොරවල්. රජෙක් කියන්නේ එසේ මෙසේ පොරක් නෙමේනේ… සෑහෙන සැප සම්පත් විඳගෙන දැහැමෙන් සෙමෙන් රට කරපු උදවියනේ ඉතිං. අනිත් සැප සම්පත් අතෑරලා දාමුකෝ… නිකමට හිතන්න බලන්න අන්තඃපුරය ගැන. කොහොමට තියෙන්න ඇත්ද නේද…??? එච්චර ගෑණු රොත්තකුත් තියාගෙන අවලමේ ගිය රජවරු ගැන දන්න අය ඉන්නවද…?

දන්නේ නැත්තං,ඔන්න පළවෙනි එක.

රාජාධිරාජසිංහ කියන්නේ අපේ රටේ රජ කරපු රජ කෙනෙක්. ඉතිං රජුගේ අන්තඃපුරේ ඉඳලා තියෙන්නෙත් සෙල්ලං ගෑල්ලමයි නෙමේ… නායක්කාර් වංශික ගෑල්ලමයි…! කොහොමද වැඩේ. ඉතිං ඒ බිසෝවරුන්ගෙන් දෙවෙනි ප්‍රධාන බිසවට ඉඳලා තියෙනවා සහෝදරියක්. ලස්සන රං කඳක්ලු. ඉතිං රජතුමාත් කිසිම අපහසුතාවයකින් තොරව පොඩි චේන්ජ් එකකටත් එක්ක දවස ගානේ යනවලු නෑනා සමග සෙල්ලං බත් උයන්න. නෑනා වුනත් ඒ ළමයා ඉඳලා තියෙන්නේ අනියම් භාර්යාවක් විදියට.

අනියම් කියන්නේ, ඉතිං තව තව ලින්ක්ස් තියෙනවා කියන එකනේ. ගෑණිගේ නංගි කොහොමත් ගෑණිට වඩා බාල නිසා මේ නාකි රජාට වඩා හොඳ තරුණ හාදයෙක් වෙච්චි පිළිමතලව්වේ මහ අධිකාරම් එක්කත් නෑනා පොඩ්ඩගේ සෙල්ලං බත් ඉවිල්ලක් තිබුනලු. පස්සේ කොහොම කොහොම හරි සෙල්ලං බත් ඉවිල්ල නිසාම නෑනාට බබෙක් හම්බුවෙන්න සෙට් වුනාලු. ආහ්…. රජ දන්නේ නෑලු, අධිකාරම් නෑනා එක්ක සෙල්ලං කරන බව… ඒ වුනාට අධිකාරම් දන්නවලු රජාගේ හැටි. ඒත් අධිකාරම් රජතුමාගේ මාලිගයේ සේවකයෙක් නිසා කටපියං උන්නලු. මොකටද නිකං අනියම් එව්වට මරාගන්නේ කියලා.

පස්සේ ඉතිං රජ කියනවලු, බබා රජතුමාගේ කියලා. අධිකාරම් කියනවලු… පොරගේ කියලා. නෑනාත් කියන්නේ අධිකාරම්ගේ කියලමලු. පස්සේ ඔන්න කොහොමහරි කොල්ලෙක් හම්බුවෙලා ටික ටික ලොකුවෙද්දීත්, අර තුන්දෙනාගේ සෙල්ලං කිරිල්ල නැවතුනේම නෑලු. පස්සෙ දවසක් දා අධිකාරම් සෙල්ලං කර කර ඉද්දි රජතුමා අස්සයා පිටින් එනවා ඇහිලා, අධිකාරම් ගේ පිටිපස්සෙන් මාරු වෙලා. පොඩි එකා දැන් ලොකු නිසා ඌත් අධිකාරම්ට කියන්නේ තාත්ත කියලලු. ඔන්න ඉතිං රජතුමා දැක්කලු මොකෙක් හරි එකෙක් ගේ පිටිපස්සෙන් දුවනවා. ඒ පාර ගෑණුන්ගේ හැටි දන්න නිසාමද කොහෙද ගෑණිගෙන් විස්තර අහන්නේ නැතුව පොඩි එකාගෙන් ඇහුවලු පැනලා දුවපු එකා ගැන. (හැබැයි පොතේ නම් තියෙන්නේ ගෑණිට තියෙන ආදරේට ගෑණිගෙන් ඇහුවේ නෑ කියාල) පොඩි එකාත් අම්මගෙම පුතා නිසා, ඌත් කිව්වලු, කව්දෝ මන්දා ආවා… ඒත් මං දන්නේ නෑ එයාව කියලා.

පස්සේ ඉතිං රජා පොඩි එකාට කිව්වලු, මගුල් කඩුවත් දීලා… ආයේ මෑන් ආවොත් එහෙම මේ කඩුවෙන් ඇනලා මරලා දාන්න කියලා. පොඩි එකත්, හ්ම්… කියලා භාරගත්තට ඌ කොටයිද උගේ තාත්තට. පස්සේ ඉතිං මේ සීන් එක නෑනා දන්නේ නෑලු. අධිකාරම් ආවම කඩුවත් පෙන්නලා පොඩි එකා කිව්වලු සීන් එක. ඊට පස්සේ පොඩි එකා කොහොමත් උගේ ඩැඩා එක්ක ෆිට් නිසා, දෙන්න එකතු වෙලා ප්ලෑනක් ගහලා රජාව මරලා, පොඩි පොඩි උපක්‍රම දෙකතුනකින් පොඩි එකාව රජ කරවලා, අධිකාරම්ට ඕනේ විදියට රාජ්‍යය ගෙනිච්චලු…!

පේනවා නේද, රජා වුනත් අවලමේ ගියාම වෙනදේ…!!!

මේං දෙවෙනි එක…

මේ කතාවේ කතා නායකයා වෙන්නේ නරේන්ද්‍රසිංහ රජතුමා. රජතුමා හරි ආසයිලු දිය කෙලියට. ඒ දවස් වල ඉතිං ස්වීමිං පූල් නෑනේ… තිබුන ඔක්කොම නැචුරල් පූල්ලු. ඉතිං රජතුමා බල්ටි ගගහා නනා ඉන්න දවසක් දා ගඟ දිගේ ගහගෙන ආපු කළු, සිනිඳු, දිග කෙස්ගහක් රජතුමාගේ බෙල්ලේ එතුනලු. පස්සේ රජතුමා නාන එක පැත්තක තියලා මොකද්ද බෙල්ලේ එතුනේ කියලා බලද්දී… ගෑණු ළමයෙක්ගේ කෙස් ගහක්ලු. ඒ පාර රජා වුනත් වලා නිසා, මේ කෙස් ගහ ගැන හිත හිත ඉද්දී, රජාට හිතෙනවලු, කෙස් ගහෙන් පහල බෙල්ල ගැන… ඊට පස්සේ මුහුණ ගැන… ඊටත් පස්සේ ගෑණුළමයගේ පපුව ගැන එහෙම. (පොතේ තියෙන්නේ එච්චරයි එතනින් පහල එව්වා නෑ)

අන්තිමේ රජ්ජුරුවෝ කණ්ඩායම් දෙකක් යැවුවලු ගඟේ ඉවුරු දෙකෙන්… මේ ගෑණු ළමයා ඉන්න තැනක් හොයාගෙන එන්න කියලා. පස්සේ ඉතිං දකුණු ඉවුරෙන් ගිය අයට කිසි දෙයක් ලැබුනේ නෑලු. ඊට පස්සේ වම් පැත්තෙන් ගිය අය මුස්ලිම් අය ඉන්න හරියකට ආවම, අර වගේ දිග කොන්ඩයක් තියෙන බොහොම ලස්සන ගෑණු ළමයෙක් එයාගේ අම්මත් එක්ක ගඟේ නානවලු. ඉතිං අර රාජපුරුෂයෝ ටිකත් ගහකට මුවා වෙලා ඒක බලාගෙන ඉඳලා පොඩි ෆන් එකක් අරගෙන එහෙම අම්මලා දූලා නාලා ඉවරවුන ගමන් එලෝගෙන ගියාලු ඒ දෙන්නගේ පිටිපස්සෙන්.

මල මගුලයිලු… ඒ දෙන්න මුස්ලිම් දෙන්නෙක්ලු. ඊට පස්සේ මුස්ලිම් ගමේ අය සද්දයක් දාගෙන එද්දී, අර එක්ස් ෆයිල්ස් එකේ ෆක්ස් මූල්ඩර් පෙන්නනවා වගේ රජ තුමාගේ මෙව්වා එකක් පෙන්නලා තමාලු වැඩේ ෂේප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ළමයාගේ තාත්තට කියලා, මේ ළමයාව ගෙනියන්න කාන්තාවන් රැසක් එක්ක දූත පිරිසක් එවනවා කියලා ගිහිං. රාජපුරුෂයෝ ගියා විතරලු, මුස්ලිම් කෙල්ලවයි තවත්  නෑදෑ පවුල් කීපයකුයි අර කාන්ඩේ එන්න කලින් ගමෙන් පිටත් කරලා… පස්සේ රරතුමාගේ දූත පිරිස ඇවිල්ල කෙලීව හොයලා හොයලා බැරිම තැන යන්න ගිහිං. රජතුමා මැරෙනකං කෙල්ලව හොයාගන්න බැරිවුනාලු. (හැබැයි පොතේ නම් තියෙනවා කෙල්ල ගියා පාරවල් හිටිං)

ඉතිං ඔන්න ඔහොමයි අපේ ඉස්සර රජවරු සෙල්ලං බත් උයන්න ට්‍රයි කරලා තියෙන්නේ. මෙව්වා මේ මං ඉතිහාසය විකෘති කරලා කියන එව්වා නෙවෙයි… ඩී.පී වික්‍රමසිංහ ලියපු මග දිගට ජනකතා කියන පොතේ තියෙන කතා. තව පට්ට කතා ටිකක් තියෙනවා, ඔක්කොම කියන්න බෑ අප්පා. ඒක නිසා පුළුවන් කෙනෙක් පොත හොයාගෙන කියෝලා අපේ රජ ගොල්ල ගැන තව ටිකක් දැන ගන්න….

දැන් ඉතිං මට තියෙන පස්නේ…. රජවරු හිටියේ මීට අවුරුදු දෙසීයකට විතර කලින් කියමුකෝ ආසන්න වශයෙන්. ඔන්න දැනට අවුරුදු හතලිහකට පනහකට කලින් එයාලාගේ සෙල්ලං කට කතා වලින් ඇවිත් කොහොම හරි පොත් වලත් ලියවුනා. දැන් එව්වා කියෝලා අපි හොඳට හැදෙනවා.  ඉතිං දැං මේ කාලේ රජ කරන රජ ගොල්ල ගැන මේ වගේ පොත් ලියවෙන්න තව කොච්චර කාලයක් යයිද…??? එතකොට අපි ඉඳීද…? තව අවුරුදු සීයක් ගියොත් එහෙම ඔක්කොම සෙල්ලං බත් උයන සීන් පොත් වල ලියවෙන්න…. එතකොට අපි මොකද කරන්නේ….? අනික ඒ දවස් වෙද්දී කඩදාසි පොත් තියෙයිද… නැත්තං පී.ඩීඑෆ් තියෙයිද… එහෙමත් නැත්තං ඕඩියෝ බුක් තියෙයිද… ඒත් නැත්තං හොලෝ ග්‍රෑම් කරපු වීඩයෝම තියෙයිද…???

අනිත් එක… දැන් ඉතිං අන්තඃපුර කියලා එකක් නැති නිසා ඒකට කියන වෙනත් වචනයක් තියේද… මං අහන්නේ නිකං අළුත් වර්ශන් එකක් වගේ එකක්….!!!

නෙළුම් මල දෙනවද….. නැත්තං….

She is still bud…

හ්ම්… හ්ම්… මං දන්නවා… ඒ ඉතිං ඉස්සරනේ….

දැන්… She is flower… නේ,

මොකද කියන්නේ….නෙළුම්  මල  මට දෙනවද..? නැත්තං පොකුණ පිටින්ම උස්සං ගිහිං අපේ වත්තෙන් තියාගන්නද…???

නැත්තං හිටියා වගේ තව සුට්ටක් ඉවසලා ඉන්නද….??? (නඩුකාරි දැක්කොත් හෙම මේක…. හ්ම්… නෑ එක්කෝ මුකුත් කියන එකක් නෑ…)

එළවලු, පලතුරු වලට පන දෙන හැටි….!!! ලොකු රහසක් හරිද…

පුටු වලට පන දෙන හිටි, එතකොට මැරිච්චි අයට පන දෙන හැටි, වැඩිය ඕනේ නෑ ගස් වලට පන දෙන හිටි ගැනත් පරණ ඉතිහාස හා මිත්‍යා කතා වල ඕනේ තරම් තියෙනවා. ඒත් කවුරුවත් දන්නවද පලතුරු වලට ඈත්තටම පන දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන… පලතුරු වලට විතරක් නෙමේ එළවලු වලටත් ඒ විදියටම පන දෙන්න පුළුවන්… එළවලු විතරකුත් නෙමේ… ධාන්‍ය වර්ග වලට එතකොට අල වර්ග වලටත් එහෙම කරන්න පුළුවන්. එහෙම පන දීගෙන යද්දී ඒ එළවලු, පලතුරු, අල වර්ග එහෙම අපේ යාළුවෝ වෙනවා. විහිළු නෙමේ ඇත්තටම. මං නම් මේ ක්‍රමේ අත්හදා බලලත් තියෙනවා, හිටිගමන් වැරදිච්ච වෙලාවලුත් තියෙනවා.

ඉතිං මේක මේ බොහෝම බලගතු, පුරාණ පුස් කොල පොත් වලින් හොයාගත්ත මන්තරයක් කියල හිතන කට්ටිය ඉන්නවනම්, එයාලට  හිතෙනව ඇතිනේ මල් පහන් පූජා කරලා “අරෙං වර, මෙහෙං වර, මූව කාපිය, අරූට ගහපිය… ඒස්වාඃ පුඃ” කියල, රතුපාට ජටාවක් බැඳගෙන සුදුපාට වෙලෝනා බැනියමක් ඇඳගෙන, සුදු සරමක් ඇඳලා… ඊට යටින්, සරම වැටිලා සුරේ පෙනුනොත් කියන සැකේට පොඩි අඟල් හයේ ෂෝටකුත් ඇන්ද මන්තර කියන ඇදුරෙකුත් ඕනේයි කියලා… ඉතිං ඒ විතරක් යෑ… පාට පහක මල්… හත් වර්ගෙක පලා, එතකොට පුවක් මල්, පොල් මල්… කැවුම්, කොකිස්, අතිරස වගේ කැවිලි… ඇයි ගුරා මොනා කරනවද කියලා නොපෙනෙන්න දුම් ගස්සන්න සුවඳ කුඩුයි… පොල් කටු අඟුරුයි… අම්මෝ තව කී ජාතියක්ද…

ඒ ඉතිං මන්තර කියන කිය ගුරුකම් කරද්දිනේ. ඒත් මං දන්න ක්‍රමේට එච්චර මහන්සි වෙන්න ඕනේ නෑ… මේකට වන් ඇන්ඩ් ඔන්ලි ඕනේ හොඳට භය නැතුව ඕනේ එකෙකුට කතා කරන්න පුළුවන් මුකරි කටක් විතරයි. ඉතිං බලන්න කොයිතරම් ලේසි වැඩක්ද කියලා…!!!

හරි දැං මේ ක්‍රමේ මං විතරක් දන්නවා කියලා කිව්වට මට වැඩිය හොඳට ඔයාලත් දන්නවා කියලා මට මං නම් හොඳටම දන්නවා. ඒත් ඉතිං කවුරුවත් හිතන්නේ නෑ මේ ක්‍රමේට එළවලු, පලතුරු, අල වර්ග වලට පන දෙන්න පුළුවන් කියලා. හැබැයි ඔය බබාලා චූටි කාලේ ඉඳන්ම ඕනේ තරම් මේ වැඩේ කරලා තියෙනවා.

දැන් ඉතිං ලොකු ළමයිනේ… ඒ නිසා පුංචි කාලේ වගේ නොදන්න කමට මේ වගේ දේවල් කරන්න යන්න එපා.

අවවාදයයි…!!! මේ නිසා ඇතිවෙන ස්වභාවික ආපදා සම්බන්ධයෙන් කිසිදු වගකීමක් අහිංසක මා විසින් දරණු නොලැබේ..!

මේක ආයේ මං කියල දෙන්න ඕනේ නෑ කොහොමටත්… ඒත් ඇපල් ගෙඩිය බිමට වැටෙන්නේ අහවල් මෙව්ව එක නිසා කියලා ඒ උත්තමයා කිව්වා වගේ, මාත් මේක වෙන  විදිය චුට්ටක් කියලා දාන්නම්.  ඊට කලින් මෙච්චර වෙලා කියෝගෙන ආපු හැම දේම අමතක කරලා නිදහස් මනසක් හදාගන්න.

මුලින්ම, ඔයාලා එක්ක කතා කරන ටිකක් මහත ගෑණු ළමයෙක් හොයාගන්න. මහතයි කියන්නේ බතල ගෙඩියක් වගේ මහත් වෙන්න ඕනේ හරිද… ඊට පස්සේ එක පාරටම බතලි කියන්න… හ්ම්… දැන් හරි…

ඒ ළමයා මොනා කිව්වත් කමක් නෑ… ඔයා දිනුම්… දැක්කද ඔයා පො‍ළොව යට හැදෙන අලේකට පන දුන්න හැටි…!!!

ඊට පස්සේ හොයාගන්න හීන් දෑරී කොල්ලෙක්ව… ඌට කියන්න ප‍තෝලයා කියලා… කොහොමද වැඩේ… ඒ පාර ඔයා රස ගුන පිරි එලෝලුවකට පන දුන්නා…!!!

දැන් ඔය වැඩකට නැති එකෙක්ව අල්ලගෙන අඩෝ පරිප්පුවා කියලා වටිනා ධාන්‍ය වර්ගෙකටත් පන දුන්නානම්… මේ ක්‍රමේ අග්‍ර ඵලය දැක බලා ගන්න පුළුවන්…! අත පය විසික් කරගෙන පන ආපු පරිප්පු පස්සෙන් එලෝන කොට… ම්… ම්… කොහොමද පන දීමේ සනීපේ….

ආහ්… පලතුරකට පන දුන්නේ නෑනේද… එහෙනම් දැන්, ගෙදර ඉන්න නංගි හරි මල්ලිව හරි ලඟට කරගෙන, ගස්ලබ්බී හරී ගස්ලබ්බා හරි කිව්වනම් පලතුරකටත් පන එනවා.  කොහොමද වැඩේ….

පේනවා නේද අපි චූටි කාලේ ඉඳන් කොයි තරම් ලොකු වැඩද කරලා තියෙන්නේ කියලා… ඉස්සර සිංහල පොත් වල තිබුනේ… අප්‍රානික එව්වාට පන දෙන හැටි. ගස් කියන වචනය සක්‍රීය කලේ ගස්හු කියලා අන්තිමට “හු” යන්න දාලා… දැන් නිකමට හරි “හු” යන්නක් දැම්මනම් මොනා අහගන්න වෙයිද… ගංගා පන ඇති කලේ ගංගාවෝ කියලා අන්තිමට “වෝ” යන්න දාල…. ගංගා ගලයි වුනාට ගංගාවෝ එහෙම නෑ… ගංගාවෝ ගලති… හරිද…

ඔය කොයිතරම් පන නැති එව්වා පන ඇති කලත්, කව්රුත් කියලා දුන්නේ නැහැනේ එළවලු, පලතුරු වලට පන දෙන හැටි…! ඉතිං ඒක ඔන්න මම කියලා දුන්නා …!!! දැන් ඉතිං නොදැන කරපුවා දැන ගෙන කරලා බලන එකයි තියෙන්නේ… මතකනේ අර උඩ ලොකු අකුරෙන් රතු පාටට තියෙන එක… හැම වෙලාවෙම ඒක මතක තියාගන්න ඕනේ හරිද…

මේක ලියන්න හිතුනේ ඇයි කියලා වෙන දවසක කියන්නම්…!!!

%d bloggers like this: