අපි සාමාන්‍යයෙන් අළුතෙන්ම අඳුන ගන්න යාළුවෙක්ගෙන් සෙට් වෙන තැනේ හැටියට ඒ අවට දේවල් පිළිබඳ විස්තර ටිකක් කතා කරලා එහෙම, තව දුරටත් පොර යාළුවෙක් විදියට ෆිට් කරගන්න ඕනේ කියලා හිතුනොත් මුලින්ම කරන්නේ… මචං මම සිරිපාල… උඹේ නම…? කියලා මෑන්ස්ගේ නම අහගන්න ප්‍රශ්නාර්ථයක් යොමු කරන එක. ඊට පස්සේ අළුත් යාළුවා නම කිව්වයි කියමුකෝ… ඊට පස්සේ ගත් කටටම අහන්නේ “උඹ කොහෙද මචං..?” කියලා.
ඔතනදී තමා හරිම පරිස්සමෙන්, උත්තරේ අහගන්න ඕනේ…! හෙන ක්‍රිටිකල් පොයින්ට් එකක්…! තේරුනේ නැත්තං එවෙලෙම අහන්න ඕනේ…!
මොකද කොයි කවුරු වුනත් උත්තරේ විදියට දෙන්නේ තමන් ඉන්න ප්‍රදේශයට ආසන්නම ප්‍රසිද්ධම නගරයේ නම. හැබැයි අපි ඒ නගරයේ නම අහගෙන “ආහ්… හරි මචං” කියලා නිකං හිටියොත්… පස්සේ දවසක හරි යාළුවගේ ගෙදර යන්න ලෑස්ති වෙච්චි දවසක හරි තමා තේරෙන්නේ කරපු ගොංකම.
නිකං නෙමේ අත්දැකීමෙන් කියන්නේ…
කලින් ඔෆිස් එකේ යාළුවෙක් හිටියා, චමින්ද කියලා. පොරගෙන් ඇහුවම මූ හැමෝටම කියලා තිබුනේ ගම නුවර කියලා. ඉතිං මාත් ගිය අළුත, මෑන් හොඳ යාළුවෙක් වගේ නිසා ඇහුවා විස්තර ටිකක්… මටත් කිව්වේ ගම නුවර කියලා… ඒ පාර වැඩිපුර විස්තර අහගන්න කියල හිතලා මං ඇහුවා නුවර කොයි හරියෙද බං කියලා. කියන්න බැහැනේ වැරදිලා හරි දළදා මාලිගාව අයිනෙම ගෙදරක වුනොත් එහෙම… ම්… අපිටත් ආඩම්බරයිනේ. අනික පෙරහැර තියෙන දාට එහෙ ඉඳන්ම බලන්න බැරියෑ.
ඒත් මූ මගේ බලාපොරොත්තු සුනු විසුනු කලා… මම නුවරින් ටිකක් එහා බං… මහියංගනේ…
ඈ… නුවර කොහෙද තියෙන්නේ… මහියංගනේ කොහෙද තියෙන්නේ…?
හරි හරි බං… උඹලා මහියංගනේ දන්නවද දන්නේ නෑනේ… ඒකයි නුවර කිව්වේ… ඔන්න උත්තරේ.
හා එල. මහියංගනේ කොයිහරියෙද බං…
හසලක මචං….
හා… හරි මචං… හරි… ආයේ කවුරු හරි ඇහුවොත් උඹ කොහෙද කියලා, කියපං බය නැතුව මහියංගනේ කියලා… කොළඹ අවට එවුන් හැමෝම දන්නවා බං මහියංගනේ වැද්දෝ ගැන… කියා ගෙන මං මාරු.
මේං අනිත් එක.
මේ යාළුවා දැන් මාත් එක්ක ක්ලාස් යන බුවෙක්. මුල්ම දවසේ… සුපුරුදු පරිදි නම ඇහුවම… නම කිව්වා… ඊට පස්සේ… උඹ කොහෙද බං…?
නෑහ්…. අඩෝ එලනේ… මාත් කුරුණෑගල බං… උඹ කුරුණෑගල කොහෙද මචං….? ඇත්තටම ඉතිං ගමේ එකෙක් හම්බුනාම සන්තෝසයිනේ…
මං ගල්ගමුවේ බං….
ඈහ්…. කොහේ….?
ගල්ගමුවේ බං…
ඉතිං බං ගල්ගමුව තියෙන්නේ කුරුණෑගලට එහා නේද…?
ඔව් බං කිලෝමීටර් හැටගානක් තියෙනවා…රාජාංගනේට කිට්ටුයි.
ආහ්… එහෙමද.. රාජාංගනේ අපේ නෑයෝ වගයක් ඉන්නවා. රාජාංගනේ අනුරාධපුරේට කිට්ටුයිනේ… ලාවට ඌට නොතේරෙන්න මාත් දුන්නා.
ඉතිං ගල්ගමුවේ ටවුන් එකේද උඹ…? මං දන්න ගල්ගමුවේ ටවුන් එකක් නෑ… අඩුම ගානේ ගල්ගමුව මොන පාටද කියන්න වත් මං දන්නේ නෑ. ඒත් මූ ඉන්න ඩොටේ විස්තර ටික හරියටම දැන ගන්න එහෙම අහන්න වුනා.
නෑ බං. ගල්ගමුවෙන් බැහැලා තව බස් එකක කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. හවස හයෙන් පස්සේ බසුත් නෑබං. ඒක නිසා මං රාගම යාළුවෙක්ගේ බෝඩිමක නැවතිලා හෙට උදේට තමා යන්නේ…!
මමත් හා එහෙමද… හෙන කට්ටක් නේද බං…. කියලා කතාව නවත්තලා දැම්මා.
කොහොමද මෑන්ගේ “කුරුණෑගල”…. දුර පළාත් වලින් කොළඹට, අධ්‍යාපන කටයුතු වලට, රැකියාවලට එන ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉන්න හැමෝම රට තොට ගැන නොදන්න, ලොකු උස තාප්ප ගහගෙන වලව් වලටම වෙලා බූල් බල්ලෝ හුරතල් කර කර ඉන්න හාමු මහත්තරු, කුමාරිහාමිලා කියලා. ඒ වුනාට ඒ අය දන්නේ නෑ “කොළඹ අය” අඩුම ගානේ නිවාඩුවක් ගත කරන්න හරි ගම්වලට යනවා කියලා. සමහර වෙලාවට පරන රජකාලේ නටඹුන් තියෙන ගම් වල පාරවල්, නටඹුන් තියෙන තැන් ගැන එහෙම ගමේ මිනිස්සුන්ට වැඩිය හොඳට නගරබදට වෙලා පොත් වලින් ඒ ගැන කියෙව්ව මිනිස්සු දන්නවා.
ගම් වලින් නගරබදට ආපුම අළුත නම් ගොඩ දෙනෙක් නගරේ ගැන දන්නෙත් නෑ. හැබැයි සති දෙක තුනක් යනකොට ඒ අයත් නගරේ ජීවත් වෙච්ච අයට වැඩිය හොඳට එහේ පාරවල් ගැන දන්නවා… කඩසාප්පු ගැන දන්නවා… විශේෂයෙන් වයින් ස්ටෝස් ගැන නම් අනිවා දන්නවා.
නිකමට පොඩ්ඩක් ඔය මහියංගනේ පැත්තෙන් ආපු වැදි දෙටුවෙක්ගෙන් අහලා බලන්න, කොළඹ බී.එල්.සී එක කොහෙද තියෙන්නේ කියලා. ඌ කියයි යන පාරවල් හැරෙන වංගුත් එක්කම.
මට ඔන්න පොඩි ඉන්විටේෂන් එකකුත් ලැබුනා, අවුරුද්දට ඇලක බැහැලා, නාලා, කාලා, බීලා එහෙම යන්න කුරුණැගල වරෙන් කියලා. කුරුණෑගල කිව්වට ඉතිං දන්නවනේ… කුරුණෑගල ඉඳන් කිලෝමීටර් හැත්තෑවක්… අසූවක් අනුරාධපුරේ පැත්තට වෙන්න… මං අපේ අම්මට කිව්වෙත් කුරුණෑගල යනවා කියලා. ඒක ඒ වෙලාවේ ගානක් වුනේ නැති නිසා තාම ඇහුවේ නෑ කුරුණෑගල කොහෙද කියලා… මව්තුමී අහපු වෙලාවට තමා මට සොරි වෙන්නේ…!!!