කොටහලුව…

‘කොටහලු වීම’ කියන්නේ ගෑණු ළම‍යෙක්ගේ ජීවිතේ මුල් කාලේ ඇතිවෙන සොඳුරු සිදුවීමක්. පුංචි කාලේදි අම්මගේ තුරුලට වෙලා කිරි බිබී ඉන්න පුංචි කෙල්ලෙකුට, මුල්ම වතාවට වතාවට බත් කැව්වට පස්සේ, අකුරු කියෙව්වට පස්සේ… සමහර විට ස්කෝලේ යන්න ගත්තට පස්සේ හෝ ඊට කලින්, ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන වැදගත්ම සිදුවීම තමා මේ.

අපිට ස්කෝලෙදි නම් කියල දුන්නේ හෝමෝන ක්‍රියාත්මක වෙලා ද්විතික ලිංගික ලක්ෂන පහල වීම  වෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ කියලා. හ්ම්… ඒක ඇත්ත තමා. ඒකනේ කෙල්ලෙක් ලොකු උනාම නෑදෑයෝ හැමෝටම කියලා, යාළුවෝ ඔක්කොමලත් එක්කහු කරගෙන ලොකු මගුල් ගෙයක් ගන්නේ…!!!

පුංචි කාලෙදි ගෑණු ළමයාව අම්මලා තාත්තලා පරිස්සම් කරන්නේ, තියෙන දාංගලේට එහෙ මෙහෙ දුවලා පැනලා වැටිලා මල් පෙති වගේ අතපය තුවාල කරගනිවි කියලා. ඒත් ගෑණු ළමයා වැඩිවියට පත්වුනාට පස්සේත් ඒ ළමයව පරිස්සම් කරනවා. මං මේ මහ ලොකු පන්ඩිතයා වගේ කියවන්න ගියාට, මං ලොකු ලොකු එව්වා දන්නේ නෑ… ඒත් දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච එක සිදුවීමක් නිසා ‘කොටහලුව’ ගැන මං හිතාගෙන හිටිය හැටි වගේම, කොටහලු මගුල් ගැනත් තිබුන චිත්ත ප්‍රීතිය නැතුව ගියා.ඒ දවස් වල ඉතිං ස්කෝලේ පාඩම් වල තිබුන මොන දේ අමතක වුනත්,  ඔය වගේ විද්‍යාත්මක කරුණු හොඳින්ම මතක හිටින වයසනේ… ඒ දවස්වල සමහර ඒවා අමුතු දේවල් වුනාට ටික ටික මෝරද්දි තමා තේරෙන්නේ සමහර වෙනස් චාරිත්‍ර වල තියෙන වටිනාකම. මේකත් එහෙම එකක්.

මං හොඳින්ම දන්න කියන පුංචි නංගි කෙනෙක් නියමිත වයසෙදි ලොකු ළමයෙක් වුනා. නියමිත වයසෙදි කියන්නේ දැන් වගේ මොන්ටිසෝරි යද්දි එහෙම නෙවෙයි… එයාට අවුරුදු 12ක් විතර වෙද්දි… ඉතිං ඒකෙ එච්චර මැජික් එකක් නෑනේ. ඒත් ඒ පුංචි කෙල්ල ලොකු වුනා කියලා මගුලක් නම් ගත්තේ නෑ… ඒ දෙමව්පියෝ කලේ හාමුදුරුවරු කීප නමක් වඩම්මවලා දානයක් දීපු එක විතරයි. සල්ලි නැතුව නෙවෙයි, තේරුමක් ඇතුව. දානෙට සහභාගි වෙන්න කියලා නෑදෑයින්ටත් ආරාධනා කරා. මාත් ගියා…

ඉතිං මං හිතන්න ගත්තා ඇයි හැමෝම මගුල් ගෙයක් ගනිද්දි මෙයාලා විතරක් දානයක් දීලා ශේප් වුනේ  කියලා… ඒ දවස් වල වයසේ වැරැද්ද තමා. ඕනේ එකයි එපා එකයි හැම මගුලම හොයනවා. දැන් වයසේ වැරැද්ද තමා ඕනේ එකයි එපා එකයි හැම මගුලම ලියනවා. ඉතිං කොහොම හරි මං මේ ගැන හිතලා හිතලා, අන්තිමේ මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. මොකද මං ඒ දවස් වල කලේ මගුලයි දානෙයි සංසන්දය කරපු එක විතරයි…! විශේෂ වෙනස් කමක් හෙව්වේ නෑ…!

ඔය වගේ දේවල් වලට ගෙවල් වලින් උත්තර අහන්නත් බැරි නිසා කාලයත් එක්ක ඒ ප්‍රශ්න එහෙම්ම යට ගියා. ආයම මේ ලඟදී තමා, ඔය ප්‍රශ්නේ එක පාරට මතක් වුනේ. ඉතිං දැන් ඉස්සරට වැඩිය ටිකක් තේරෙනවා කියලා හිතිච්ච නිසා ආයෙම හිතුවා. මෙන්න මට හිතිච්චා…

පුංචි කාලේ කෙල්ලව ආරක්ෂා කරන්නේ දුවලා පැනලා වැටෙයි කියලා… ඒත් ගෑණූ ළමයි ලොකු වුනාම ආරක්ෂා කරන්නේ, ඒ කෙල්ල ලොකු වෙනවත් එක්කම එයාගේ අනාගතේටත් බලපාන විදියට පුංචි සිදුවීමකින් හරි ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. මං මේ කියන්නේ වෙන්න තියෙන ලොකුම දේ වුනොත් කියන එක නෙමෙයි… ඊට වැඩිය ‍ඒ ළමයාගේ චරිතය,  වටිනවා. මට හැමදේම ලියන්න බෑ… හිතන්න එහෙම වෙන්න පුළුවන් අවස්ථා ගැන… ඕනෙ තරම් හම්බුවෙයි…

ඉතිං ගෑණු ළමයෙක් ලොකු වුනාම මං නම් හිතන්නේ ඒ අම්මලා තාත්තලට අසීමිත වගකීමක් පැවරෙනවා කෙල්ල කසාද බඳිනකං  ආදරෙන් බලා ගන්න එක ගැන වගේම… ආරක්ෂා කරගන්න එක ගැන. ඉතිං ඒ ළමයා ලොකු වුනා කියලා, ගමටම කියලා… “හරි අපේ කෙල්ල දැන් ලොකුයි…. තව අවුරුදු කීපයකින් කසාද බඳින්න පුළුවන්… දැන්ම ඉඳන් කැමති එකෙක් ට්‍රයි කරපල්ලා…” කියන්න වගේ මහ සද්දෙන් සිංදු දාගෙන, අරක්කු බීගෙන නටන තාත්තලා ගැන මට ඇතිවුනේ ටිකක් විතර මහ අමුතු හැඟිමක්, අර සිද්ධියෙන් පස්සේ. ඇත්තටම තමන්ගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසකදී බීගෙන නටන තාත්තලාගෙන් වැඩක් තියෙයිද…??? හරිනම් තාත්තලා එදා ඉඳන් බීම නවත්තලා දූව තව ටිකක් හොඳට ආරක්ෂා කරන්නයි ඕනේ…! අවාසනාවට වැඩිහරියක් වෙන්නේ ඕකෙ අනිත් පැත්ත.

ඉතිං ඒ අතින් බලන කොට අර දෙමවුපියෝ කරපු දේ කාට නැතත් මටනම් ආදර්ශයක් වුනා… මොකද මාත් හිතා ගත්තා කවදා හරි… මටත් දුවෙක් ලැබිලා, ඒකි ලොකු ළමයෙක් වෙච්චි දාට දන්න කියන එවුන් ටික එකතු කරගෙන, ඒ අම්මලා තාත්තලා කලා වගේ පිං අ‍තේ වැඩක් කරනවා කියලා…!!!

මේ තනිකරම මට හිතෙන හැටි විතරයි… වෙන කෙනෙකුට මේක පිස්සුවක් වගේ තේරෙන්නත් පුළුවන්.

 

%d bloggers like this: