දම් පාට එකයි, තැඹිලි පාට එකයි… ගණන් ටීචයි…!!!

ටිලිං… ටිලිං… ටිලිං….

ඒ ටිලිං… ටිලිං ගෑවේ ලියුම් කාරයා නෙවෙයි.  අපේ ස්කෝලේ බෙල් එක.  බෙල්  එක ගහන්නේ එකොලහ වසරේ අක්ක කෙනෙක් හරි, නැත්තං බොහෝවිට අයිය කෙනෙක් හරි.  අක්කා ‍ කෙනෙක් බෙල්  එක ගහද්දි  නම් බලාගෙන ඉන්න ආ…ස්…සා…වේ… බෑ… කිලෝ තුන හතරක් බර ලොකු පිත්තල බෙල් එක එහාට මෙහාට හොල්ලද්දි මුළු සරුවාංගෙම පැද්දෙන ලස්සන..!!!වම් කුකුල පිටිපස්සට තියලා, දකුණු කකුලෙන් ඉස්සරහට බර වෙලා, වම් අත බෙල් එකේ ලී මිටේ… බෙල් එක ආසන්නයෙන්ම අල්ලගෙන, දකුණු අතෙන් ඊට උඩින් අල්ලගෙන  තමා ඔය බෙල් එක ගහන්නේ…. ම්… තාම මැවිලා පේනවා…

හරි හරි ඉන්ටවල් ඉවරයි… දැන් අපිට ගණිතය.ඒ දවස් වල අපි අටවසරෙනේ. ඒ කාලේ ඉතිං ගණිතට අකමැත්තක් තිබුනේ නෑ. කොහොමත් හය වසරේ ඉඳන් හැමදාමත් මට තමා ගණිතයට පළවෙනියට හරි දෙවෙනියට හරි ලකුණු තියෙන්නේ. අන්තිමයගේ ඉඳන් නෙමෙයි හරිද…ඉතිං ඒ දවස් වල අපිට ගණන් ඉගෙන්නුව මිස් හරි හොඳයි. කොයි තරම් හොඳද කියවනම්… කව්රු හරි කොල්ලෙක් ටොයිලට් එක ආසන්නයේ හැරෙන්න පිට්ටනියේ හෝ පන්තියක ෂර්ට් එක උඩින් දාගෙන ඉන්නවා දැක්කොත්, කොල්ලව ඇදලා ගන්නවා කලිසමේ ඉනෙන් අල්ලලා… අප්පා ඉතුරු ටික නම් ලියන්නත් ලැජ්ජයි දැං…. ඒක නිකං කොටු කොටු වගේ සීන් එකක් වෙනවා. පිට්ටනිය මැද්දේම ෂර්ට් එක ඇදලා අරං ඔබනවා කලිසම අස්සට… ලැජ්ජාවේ බෑ ඉතිං… පන්තිවල කෙල්ලෝ බලාගෙන ඉද්දී. විනයභාර ටීච කියන්නේ නිකං නෙමේනේ…

ඉතිං මේ කියන දවසේ අපේ ඩිෆෝල්ට් ගණන් ටීචර් ආවේ නෑ. ඒ වෙනුවට ඉතිං අපේ අනිත් පන්ති වලට ගණන් උගන්නන මිස් කෙනෙක්ව රිලීෆ් දාලා තිබුනා. ඒ මිස් එකක් වැඩිය කතා බහ කරලා නැති වුනත්,  අපි හැම කෙනෙක්ම මිස්ව දන්නවා හොඳින්ම. ඒකට ‍හේතුව, මිස්ගේ ඇස් දෙකෙන් එකක පුංචි වපර ගතියක් තිබීම. ඇස් දෙකෙන් කොයි ඇහැද හොඳ ඇහැ කියන්න අපි දන්නේ නැහැ. එහෙමයි කියලා කවදාවත් ළමයෙක් විහිළුටවත් මිස්ට අනවශ්‍ය විහිළුවක් නම් කරේ නෑ. ඒ අතින් නම් අපේ එවුන් ගැන මට දැනුත් ආඩම්බරයි.

කොහොම කොහොම  හරි, මයෙ කරුමෙට ඒ සතියේ අපේ කන්ඩායම හිටියේ ඉස්සරහම පේලි දෙකේ. මම ඉස්සරහම පේලියේ, බිත්තිය පැත්තේ ඉඳන් තුන්වෙනියට. ඔන්න පාඩම පටං අරගෙන ගානක් දෙකක් දීලා… ඒවට උත්තර සාකච්චා කරලා එහෙම මිස් දුන්නා තව ගානක්. මං කලින් කිව්වනේ ඒ දවස්  අපිට ගණන් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඉතිං ඒ ගාන හදන විදිය ටිකක් පැහැදිලි කරන්න කිව්වම ඒක කාටවත් මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතිං මිස් ගුරු පුටුවෙන් නැගිටලා මුල්ම පේලියේ හිටිය අපේ ඉස්සරහට ඇවිත්…

“ඔයා කියන්න බලන්න, මේ ගාන හදන විදිය”

දැන් ගාන හදන විදිය මං දන්නවා වුනත්, මට නැගිටින්න හිතෙන්නම නෑ. මිස් හිටියේ මගේ ඉස්සරහම වුනත්… මට සැකයි, මිස් ගාන හදන විදිය කියන්න කිව්වේ මටමද කියලා. මොකද මිස් එක ඇහැකින් මගේ දිහා බලාගෙන හිටියට අනිත් ඇහින් බලාගෙන හිටියේ මට පිටිපස්සේ පේලියේ හිටිය ළමයා දිහා. ඉතිං මට නැගිටින්න හිතෙන්නේ නෑ… මොකද මමත් නැගිටලා උත්තර දෙන්න හදද්දි… “ඔයා පන්ඩිත වෙන්නේ නැතුව වාඩිවෙන්න. මං ඇහුවේ අරයගෙන්” කිව්වොත් එහෙම කොහොමද දැනෙන සනීපේ. පස්සේ ඔන්න තත්පර කීපයකින්… මිස් ආයෙම… “ඇයි දන්නේ නැද්ද..?” කියලා අහද්දිම…මාත් බැලුවා මේ පාරත් කියන්නේ මටද, නැත්තං පිටිපස්සේ බුවාටද කියලා බලන්න. ඒ එක්කම ඔය රූපයේ ඉන්න තැඹිලි පාට එකා නැගිටලා උත්තරේ කියන්න පටන් ගත්තා…

ඇයි ඔයා නැගිට්ටේ….? මං ඇහුවේ මෙයා ගෙන්නේ කියලා ඔය දම් පාට එකාව පෙන්නලා දුන්නේ නැද්ද දම් පාට එකාට චූටි පාරක්.

ඒ පාරක් දුන්නේ දම් පාට එකාට ගාන බැරි නිසා වෙන එකෙක්ව නැගිට්ටෙව්වා කියලා. මිස් හිතලා තියෙන්නේ මං පිටිපස්සේ බැලුවේ, මං වෙනුවට නැගිටලා උත්තරේ කියපං කියලා කියන්නයි හිතලා. මොනා කරන්නද ඉතිං, වෙන මිස් කෙනෙකුටනම් විහිළුවක් වත් කලෑකි. ඒත්  මේ මිස්ට මුකුත් කියන්න හිත දුන්නේ නෑ… පස්සේ ඉතිං ඇත්තටම මට ගාන බැරුව ‍වගේ මාත් හිටියා.

වෙනදට කවුරු හරි ගුටියක් කෑවම, ගුරුවරයා පන්තියෙන් ගිය ගමන් හිනා වෙවී ගුටි කාපු එකාව නෝන්ඩි කරන කොල්ලොයි, කෙල්ලොයි… එදා මූනු රතු කරගෙන… “මාර වැඩේනේද”… කිව්වා මිසක් වෙන කිසිදෙයක් කිව්වේ නෑ. අර ෂොක් වෙනවා කියන්නේ… අන්න ඒක වෙලා හිටියේ හැමෝම එවෙලේ…

කමක් නෑ එද දවසයිනේ…!!! ඒත් මට දුක හිතුනේ මං ගුටි කාපු එක ගැන නෙවෙයි, මිස් නිතර දෙවේලේ උගන්නන පන්තියේ එවුන් කොයිතරම් ඔය වගේ කනවා ඇත්ද තියලයි…!!!

 

%d bloggers like this: