ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ… මගේ යශෝධරාවත 22

ඒ ස්කෝලේ නිවාඩු දෙන දවස. මං කුමාරය ඒ දවස් ටිකේ කොහොමත් නිවාඩු.  ගෙදර ඉඳියේ පාඩම් කරන්න කියලා හිතාගෙන වුනාට, සුදු මූණු පොඩ්ඩ මතක් වෙද්දි මොන පාඩම්ද…

ඉතිං ඔන්න, ඒ වාරේ අන්තිම දවස සිකුරාදා දවසක්. ඒ කියන්නේ මං කුමාරයට යශෝධරාවගේ මාලිගාවේ ක්ලාස් තිබුනේ ඊට කලින්දා. එදා ක්ලාස් එකේදි, දෙයියනේ කියල වැඩ ටික කරගෙන ඉන්න කොට මයේ ඉස්සරහා එක පාරටම පෙනී හිටියා යශෝධරාව…

හෙට ස්කෝලේ යනවද…?

ම්…ම්…. තාම හිතලා නෑ… ඇයි එහෙම අහන්නේ…?

ඒකට පිළිතුර ලැබෙන්නේ මේ විදියට….

මුලින්ම චූටි කට පොඩ්ඩ ඇරෙනවා හුරතල් හිනාවකුත් එක්ක. ඊට පස්සේ ඇස් දෙක ලොකු වෙනවා. මූන රෝස පාට වෙනවා…. අන්තිමටම තමා උත්තරේ කටින් පිටවෙන්නේ.

මාත් හෙට අම්ම එක්ක අම්මලාගේ ස්කෝලෙට යනවා…!!!

ඉතිං මට මොකද… මටත් එන්නද කියන්නේ… මට ඊට වැඩිය වැඩ තියෙනවා… හෙට ස්කෝලේ එවුන් එක්ක හොරෙන් ග‍ඟේ නාන්න යන්න තියෙනවා. දැන් වැඩේ ප්ලෑන් කරලා ඉවරයි… දැන් කරන්න දෙයක් නෑ… ඔයා එක්කෝ කලින් කියන්න ඕනේ. මාත් ආසාවෙන් තමා ඉන්නේ ඔයා එක්ක අම්මලාගේ ස්කෝලෙට යන්න. අපි ඉන්ස්ටෝල් කරපු ගේම් එක කවුරුවත් සෙල්ලං කරන්නෙත් නෑ… මං ආසයි ඔයා ‘අප් ඇරෝ’ කී එක ඔබාගෙන ඉද්දී, ඒ පුංචි ඇඟිලි අස්සෙන් මගේ අතත් දාගෙන , පුංචි අතේ දැවටිලා ‘ලෙෆ්ට්’ ‘රයිට්’ කීස් ඔබන්න… ඒත් ඉතිං දැන් මොනා කරන්නද… මං යාළුවන්ට කියලානේ තියෙන්නේ… කියලා හිත හිත ඉද්දි…

ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ…

ම්… එහෙනම්…. මාත් එන්නද…?

හ්ම්… එන්න… ඒක තමා ඇහුවේ… කියලා සුරංගනාවි මාලිගයට ඉගිල්ලුනේ පුංචි අත්තටු වලින් වෙන්න ඕනේ.

ඊට පහු වෙනිදට එළිවුනේ, මහා දිග රැයවල් දාහක් විතර ගෙවලා දාලා… ඒ රාත්‍රියට පැය දාස් ගානක් තියෙන්න ඇති. අන්තිමේ හරියට නින්දකුත් නැතුව මං කුමාරයට ඇහැරුනේ උදේ හතාමාරට විතර. ඉක්මනින්ම නාලා කාලා ලෑස්ති වෙලා කන්තකවත් අරගෙන නඩුකාරිගේ ස්කෝලෙට ගියේ කොහොමද කියන්න මට මතකයක් නෑ…! ඒ හරිය නිකං හිස් අවකාශයක් වගේ… හරියට මාව ගෙදරින් අතුරුදහන් කරලා, නඩුකාරිගේ ස්කෝලෙන් මැව්වා වගේ.

ඊට පස්සේ අනිත් ගුරුවරුත්… කොහොමද පුතා කියලා අහද්දී, හැමෝත් එක්කම හිනා වෙලා පුළුවන් ඉක්මනින් ලැබ් එකට දිව්වේ… කලින්දා රෑ නින්දක් නැතුව සැරින් සැරේ දැක්ක සඳමඩල දැකගන්න…!

හ්ම්… ඔය ඉන්නේ කුමාරිකාව කැරකෙන පුටුවකට සැපත් වෙලා. මං එනකං ගේම් එක පටන් අරගෙන නෑ. ටික දවසකට කලින් මං දුන්න දියඇලි වල පින්තූර වගයක් බලනවා. මං කුමාරයා හිමින් සැරේ පිටිපස්සෙන් ගිහිං ඇස් දෙක වහන්න කියලා මූන දෙපැත්තෙන් අත්දෙක දාද්දිම…

මෙන්න මෙයා ඇවිත්…!!! කියාගෙන මගේ දිහාට හැරුන හැටි…!!!

පටන් ගමුද එන්.එෆ්.එස්…?

හා….

මං කුමාරයත් ලඟම තිබ්බ කැරකෙන පුටුවක් ඇදගෙන යශෝධරාවගේ ලඟටම වුනේ, ඇත්තටම ගේම් එක සෙල්ලං කරනවටත් වැඩිය එයාගේ ලඟට වෙලා ඉන්න ආසා නිසා. ඔන්න ඉතිං ගේම් එක ලෝඩ් වෙලා දෙන්නම එක වාහනයක් ඩ්‍රයිව් කරද්දී, පාත්වුනා… හෙනහුරා….

ආහ්… දැන්ද ආවේ…

ඔව් මැඩම්…

හ්ම්… කෑම කාලද ආවේ…

චුට්ටක් කාලා ආවේ.

ආහ්… එහෙනම් ඉන්නකෝ ටිකක් දවල් වෙනකං… අද පොඩි පාර්ටි එකක් තියෙනවනේ… නංගිනම් නොකාමයි ආවේ ඒ කෑම එක කන්න ඕනේ කියලා…

හ්ම්…

ඊට පස්සේ ආයෙමත් ගේම් එක… ඔහොම ගිහිං ගිහිං… මොනිටරේ දිහා බලාගෙන ඉඳලා මං කුමාරයාගේ ඇස් දෙකෙනුයි, යශෝධරාවගේ ඇස් දෙකෙනුයි කඳුළු බේරෙන කම්ම සෙල්ලං කලා… පස්සේ ළමයි හැමෝම පන්ති වලට ගියාට පස්සේ නඩුකාරි එනවා බත් එකත් අරගෙන.

ම්… දෙන්න එක්ක කන්න. කියලා අපි දෙන්නට බත් එක දුන්නේ, එයාගේ බඩගින්න ගැන නොහිත වෙන්න ඕනේ. කොහොමත් නඩුකාරිට ලැබෙන බෙනිෆිට් අපි දෙන්නටත් අයිතියිනේ. ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බත් එක තවත් පුටුවකින් තියාගෙන අපි දෙන්නත් දෙපැත්තට වෙලා කෑම කද්දි, යශෝධරාව කැව්වා නඩුකාරිට බයියං කටක්.

මමත් නිකා ඉඳියි… මමත් කැව්වා කටක්. ඊට පස්සේ කුමාරිකාවගේ ඇස් දෙක මගේ මූනේ. බොහොම ලොකු මොකද්දෝ මංදා හැඟීමකුත් එක්ක.

ඇනුවා පුංචි බත් කටක්… ම්… කන්න….

චූටි කුරුළු පැටියෙක් වගේ, පුංචි කට පොඩ්ඩ ඇරගෙන මගේ මූන දිහා බලාගෙන ඉන්න ලස්සන.

එක කටක් කැව්වම, එයාගේ පාඩු‍වේ කෑම එක කෑවා… මමත් බලාගෙන හිටියා එයා මටත් ඒ අතින්  බත් කටක් කවනකම් ගොඩක් වෙලා… ඒත් එයාට ඒක තේරෙන්න නැතුව ඇති.

මටත් කටක්  කවන්න කියලා කුමාරිකාවට කියාගන්න බැරි තරමට මගේ හිත එදා දඩබ්බර වෙච්චි හැටි…!!! 

%d bloggers like this: