අව්-වැසි නොතකන… අම්මලාගේ ආදරේ…

අම්මලාගේ ආදරේ ගැන කියන්න තියෙන්නේ බොහොම චූටි දෙයයි. ඒ චූටි දෙය තමයි  “ඇත්තම ආදරේ” කියන්නේ. මොකද ඒක එතනින් එහාට මහා පරිමානෙන් විස්තර කරන්න තරම් චවන අපි දන්න කියන එක භාෂාවකවත් නෑ…!

ඉතිං මේ “අම්මලාගේ ආදරේ” මනුෂ්‍යයින් වෙච්චි අපි අතර විතරක් නෙවෙයි, අනිත් හැම සත්ව කුලයකමත් තියෙනවා, ඒක සෛලික ජීවීන් අතර හැරෙන්න. ඒ හැම ජීවියෙකුගේම අළුත උපදින පුංචි පැටව් උපදින්නේ අම්මලාගේ උණුසුම මැද්දේ. ඊට පස්සේ යන්තං එහෙ මෙහෙ දුව පැන ඇවිදින්න පුළුවන් වෙනකං ඒ පැටවු පෝෂනය වෙන්නේ, ආරක්ෂා වෙන්නේ අම්මලාගේ තුරුලට වෙලාම තමා.

දන්නවාද… සමහර මකුළුවෝ වර්ග, පුංචි පැටව් ඉපදුනාම ඒ පැටවුන්ගේ මුල්ම ආහාර වේල විදියට ගන්නේ මව් මකුළුවාව. කවදාවත් ඒ මව් මකුළුවා තමන්ගේ පැටවුන්ට ආහාර නොවී පැනලා දුවන්නේ නෑ. තමන්ගේ ඇ‍ඟෙන් කෑල්ලක් කඩා ගෙන කෑවත්, අම්මලා ඉවසන්නේ හිතන්න බැරි තරම් ඉවසිල්ලක්. අන්න එහෙමයි “අම්මලාගේ ආදරේ”.

අපේ කම්පැනි එකේ කන්ටේනර් නවත්තන යාඩ් එකේ කෙරෝලකට වෙන්න එක තැනක පුංචි මඩ ගොහොරුවක් ති‍යෙනවා. එතෙන වැහි දවස් වලට වතුර පිරුනම හරියට නිකං චූටි වැවක් වගේ. වටේට උස තනකොල ගස් වැවිලා, ඒ මැද්දේ තමා වතුර එකතු වෙන්නේ. ඉතිං දැනට මාස තුනකට විතර කලින්, එතෙන නිතරම නවත්තන කන්ටේනර් වලට අමතරව තවත් පුංචි අමුත්තෝ දෙන්නෙක් නිතර ගැවසෙන්න වුනා. ඒ උස කකුල් තියෙන, සාමාන්‍යයෙන් ජලාශ්‍රිතව ඉන්න කැමති පුංචි කුරුල්ලෝ දෙන්නෙක්. ඒ කුරුල්ලෝ දෙන්නගේ නම මං දන්නේ නැති නිසා කිහිප දෙනෙක් ගෙන් ඇහුවම එක එක අය එක නම් කියන්නේ…

ඌ තමා මචං… කිරලා කියන්නේ…

ආහ්… ඔය ඉන්නේ කොරවක්කෝ දෙන්නෙක්…  කියන උත්තර දෙකෙන් වැඩිපුරම ලැබුනේ කිරලා කියන උත්තරේ. ඉතිං මං වැඩි ඡන්දෙට මුල් තැන දීලා කතාව කියන්නම්.

ඉතිං ඔය කිරල ජෝඩුව මීට මාස තුනකට විතර කලින්, අර මං කිව්ව මඩ වල ගාව තණකොල ‍ගොල්ලේ කොල රොඩු ටිකක් එකතු කරගෙන පොඩි කූඩුවක් හදාගත්තා…! ඊට පස්සේ සතියකින් විතර අපි කිට්ටු කරලා බලද්දි කිරල අම්මා බිත්තර දාලා. කිරල තාත්තා කෑම හොයන්න ගිහිං. අපි ඒ කූඩුව ගාවට කිට්ටු වෙද්දිම කිරල අම්මා බිත්තර උඩම වාඩි වෙලා පිහාටු පුම්බලා අපිව බය කරන්න කන් අඩි පැලෙන තරම් හීනි-තියුණු සද්දෙන් කෑගාන්න තියා ගත්තා. පස්සේ ඉතිං අපි වැඩි වෙලා රැ‍ඳෙන්නේ නැතුව එතනින් ඉවත් වුනා.

ඒ එක්කම අපේ ඔෆිස් එකට දිව්වේ, ඔ‍ෆිස් එක තියෙන උඩ තට්ටුවට මේ පුංචි කැදැල්ල ලස්සනට පේන නිසා. පස්සේ ඉතිං මාස තුනක් තිස්සේ අපි හැමදාමත් උදේට ඔ‍ෆිස් ආපු ගමනුයි, විවේක තියෙන හැම වෙලාවකමයි ඔය කූඩුව දිහා බලාගෙන හිටියේ… පුංචි පැටවු කිහිපදෙනෙක් එළියට එනකං.

ඒ මාස තුන ඇතුලත , සමහර වෙලාවට මහ හයියෙන් වැස්සා… තවත් දවසක එලියට බැහැලා අඩියක් දෙකක් යන බැරි තරම් සැරට අව්ව පෑව්වා… හිටි ගමන් මහා තද හීතලක් එක්ක නපුරු සුළඟත් හැමුවා… ඒ වගේම හිටි ගමන් ඒ පුංචි කැදැල්ල අයිනෙන්, ලොකු රෝද තියෙන ටොන් ගානක් බර කන්ටේනර් එහාට මෙහාට ගියා… ඒත් ඒ කොයිම වෙලාවකවත් කිරල අම්මා බිත්තර උඩින් නැගිට්ටේ නෑ…! දවල් වරුවෙම කිරල තාත්තා කෑම හොයන්න යන නිසා කිරල අම්ම තමා බිත්තර ටික රැක ගත්තේ.

කෑම හොයා ‍ගෙන  කිරල තාත්තා කළුවර වැටී ගෙන ආවම විතරයි කිරලා අම්මා, කූඩුවෙන් මෙහාට වුනේ. ඇත්තටම අපි  ඒ “අම්මගේ ආදරේ” දැක්කා…. වින්දා…. කවුරුවත් හිතුවේ නැතුවට, අපි අපේ අම්මලා ගැන හිතලා හිත යටින් දුක හංගගෙන හිනා වෙලා ඒ පුංචි කූඩුව ගැන කතා කලා. ඒ වගේම අපිට බලාගෙන ඉඳලා හෙම්බත් වෙලා අන්තිමේ… මුං යක්කු පැටව්ද බං… තාමත් එලියට එන්නේ නැත්තේ… කියලත් කතා කලා. බලා ගෙන ඉඳලා අපිට ඇතිවුනාට බිත්තර ටික රැකගෙන ඉඳලා කිරිල්ලියටනම් ඇතිවුනේම නෑ. එහෙමත් නැත්තං කොහොම හරි අව්ව, වැස්ස, හීතල, භය ඔක්කොම දරාගෙන පැටවු ටික රැක්කා.

අන්තිමේ මේ සති‍යේ අඟහරුවාදා, අපි ඔෆිස් යද්දී කිරිල්ලිය වෙනදා වගේ බිත්තර උඩ වාඩි වෙලා හිටියේ නෑ. ඒ වෙනුවට කූඩුව ලඟින්ම ලොකු කන්ටේනරයක මඩේ එරිච්ච රෝද පාරක් විතරක් ඉතුරු වෙලා තිබුනා. ඊයේ රෑ ආපු ටොන් ගානක් බර කන්ටේනරයක කට්ට මැකිච්ච රෝද පාරක්…!!! කූඩුව අයිනේ තිබුන තණකොල පඳුරු ටික පොඩි කරගෙන මඩ වල දෙබෑ කරගෙන ඉස්සරහට ගිහිල්ලා….

උදේ පාන්දර දැක්‍ක මේ සිදුවීම නිසා, අපි හැමෝම හිතාගත්තා… මීට කලින් උනා වගේම, මෙදා පාරත් කුරුලු කූඩුව පොඩි කරගෙන ලොකු රෝදයක් ගිහිං තමා කියලා. අපි ප්ලාස්ටික් බටයක් හිටවලා රතු රෙදි කෑල්ලක් එල්ලලා තිබුනට රෝද පාර තිබුනේ කොඩියට මෙහා පැත්තෙන් නිසා තවත් අමුතුයි ඇතිවෙච්ච හැඟීම. ලඟට ගිහිං බලන්න තරම් ධෛර්යයක් නොතිබුන නිසා වෙනදා වගේම ඔෆිස් එකට ගිහිං කර්ටන් එක අයින් කරලා බලද්දී….

ඊට එහා තිබුන  පුංචි තණකොල බිස්සේ චූටි කුරුලු පැටවු තුන් දෙනෙක්, ක්වික්… ක්වික්… ගගා එහාට පනිනවා මෙහාට පනිනවා…! කිරල අම්මා ටිකක් උස ගල් කෑල්ලක් උඩට වෙලා වටේටම ඇස් යව යව බලාගෙන ඉන්නවා…!!!

හ්ම්… ඇති වෙච්ච සැනසිල්ල ගැන කියන්න අමාරුයි. ඒක ඒ තරම්ම සංවේදීයි…!!! මේ පුංචි පැටවු තුන් දෙනා ටික ටික ලොකු වේවි…!!! අපි ඒ දිහාත් බලාගෙන ඉන්නවා. ඒ පැටවු දැනගන්න එකක් නෑ කවදාවත්, ඒ තුන් දෙනා උපදින්නත් කලිං ඉඳන්ම තවත් කීප දෙනක් එයාලා දිහා බලාගෙන ඉන්න විත්තිය…!!!

%d bloggers like this: