කුරුණෑගල කොහෙද මචං…?

අපි සාමාන්‍යයෙන් අළුතෙන්ම අඳුන ගන්න යාළුවෙක්ගෙන් සෙට් වෙන තැනේ හැටියට ඒ අවට දේවල් පිළිබඳ විස්තර ටිකක් කතා කරලා එහෙම, තව දුරටත් පොර යාළුවෙක් විදියට ෆිට් කරගන්න ඕනේ කියලා හිතුනොත් මුලින්ම කරන්නේ… මචං මම සිරිපාල… උඹේ නම…? කියලා මෑන්ස්ගේ නම අහගන්න ප්‍රශ්නාර්ථයක් යොමු කරන එක. ඊට පස්සේ අළුත් යාළුවා නම කිව්වයි කියමුකෝ… ඊට පස්සේ ගත් කටටම  අහන්නේ  “උඹ කොහෙද මචං..?” කියලා.

ඔතනදී තමා හරිම පරිස්සමෙන්, උත්තරේ අහගන්න ඕනේ…! හෙන ක්‍රිටිකල් පොයින්ට් එකක්…! තේරුනේ නැත්තං එවෙලෙම අහන්න ඕනේ…!

මොකද කොයි කවුරු වුනත් උත්තරේ විදියට දෙන්නේ තමන් ඉන්න ප්‍රදේශයට ආසන්නම ප්‍රසිද්ධම නගරයේ නම. හැබැයි අපි ඒ නගරයේ නම අහගෙන “ආහ්… හරි මචං” කියලා නිකං හිටියොත්… පස්සේ දවසක හරි යාළුවගේ ගෙදර යන්න ලෑස්ති වෙච්චි දවසක හරි තමා තේරෙන්නේ කරපු ගොංකම.

නිකං නෙමේ අත්දැකීමෙන් කියන්නේ…

කලින් ඔෆිස් එකේ යාළුවෙක් හිටියා, චමින්ද කියලා. පොරගෙන් ඇහුවම මූ හැමෝටම කියලා තිබුනේ ගම නුවර කියලා. ඉතිං මාත් ගිය අළුත, මෑන් හොඳ යාළුවෙක් වගේ නිසා ඇහුවා විස්තර ටිකක්… මටත් කිව්වේ ගම නුවර කියලා… ඒ පාර වැඩිපුර විස්තර අහගන්න කියල හිතලා මං ඇහුවා නුවර කොයි හරියෙද බං කියලා. කියන්න බැහැනේ වැරදිලා හරි දළදා මාලිගාව අයිනෙම ගෙදරක වුනොත් එහෙම… ම්… අපිටත් ආඩම්බරයිනේ. අනික පෙරහැර තියෙන දාට එහෙ ඉඳන්ම බලන්න බැරියෑ.

ඒත් මූ මගේ බලාපොරොත්තු සුනු විසුනු කලා… මම නුවරින් ටිකක් එහා බං… මහියංගනේ…

ඈ… නුවර කොහෙද තියෙන්නේ… මහියංගනේ කොහෙද තියෙන්නේ…?

හරි හරි බං… උඹලා මහියංගනේ දන්නවද දන්නේ නෑනේ… ඒකයි නුවර කිව්වේ… ඔන්න උත්තරේ.

හා එල. මහියංගනේ කොයිහරියෙද බං…

හසලක මචං….

හා… හරි මචං… හරි… ආයේ කවුරු හරි ඇහුවොත් උඹ කොහෙද කියලා, කියපං බය නැතුව මහියංගනේ කියලා… කොළඹ අවට එවුන් හැමෝම දන්නවා බං මහියංගනේ වැද්දෝ ගැන…  කියා ගෙන මං මාරු.

මේං අනිත් එක.

මේ යාළුවා දැන් මාත් එක්ක ක්ලාස් යන බුවෙක්. මුල්ම දවසේ… සුපුරුදු පරිදි නම ඇහුවම… නම කිව්වා… ඊට පස්සේ… උඹ කොහෙද බං…?

මං කුරුණෑගල….

නෑහ්…. අඩෝ එලනේ… මාත් කුරුණෑගල බං… උඹ කුරුණෑගල කොහෙද මචං….? ඇත්තටම ඉතිං ගමේ එකෙක් හම්බුනාම සන්තෝසයිනේ…

මං ගල්ගමුවේ බං….

ඈහ්…. කොහේ….?

ගල්ගමුවේ බං…

ඉතිං බං ගල්ගමුව තියෙන්නේ කුරුණෑගලට එහා නේද…?

ඔව් බං කිලෝමීටර් හැටගානක් තියෙනවා…රාජාංගනේට කිට්ටුයි.

ආහ්… එහෙමද.. රාජාංගනේ අපේ නෑයෝ වගයක් ඉන්නවා. රාජාංගනේ අනුරාධපුරේට කිට්ටුයිනේ… ලාවට ඌට නොතේරෙන්න මාත් දුන්නා.

ඉතිං ගල්ගමුවේ ටවුන් එකේද  උඹ…? මං දන්න ගල්ගමුවේ ටවුන් එකක් නෑ… අඩුම ගානේ ගල්ගමුව මොන පාටද කියන්න වත් මං දන්නේ නෑ. ඒත්  මූ ඉන්න ඩොටේ විස්තර ටික හරියටම දැන ගන්න එහෙම අහන්න වුනා.

නෑ බං. ගල්ගමුවෙන් බැහැලා තව බස් එකක කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ. හවස හයෙන් පස්සේ බසුත් නෑබං. ඒක නිසා මං රාගම යාළුවෙක්ගේ බෝඩිමක නැවතිලා හෙට උදේට තමා යන්නේ…!

මමත් හා එහෙමද… හෙන කට්ටක් නේද බං…. කියලා කතාව නවත්තලා දැම්මා.

කොහොමද මෑන්ගේ “කුරුණෑගල”…. දුර පළාත් වලින් කොළඹට, අධ්‍යාපන කටයුතු වලට, රැකියාවලට එන ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ කොළඹ හා අවට ප්‍රදේශ වල ඉන්න හැමෝම රට තොට ගැන නොදන්න, ලොකු උස තාප්ප ගහගෙන වලව් වලටම වෙලා බූල් බල්ලෝ හුරතල් කර කර ඉන්න හාමු මහත්තරු, කුමාරිහාමිලා කියලා. ඒ වුනාට ඒ අය දන්නේ නෑ “කොළඹ අය” අඩුම ගානේ නිවාඩුවක් ගත කරන්න හරි ගම්වලට යනවා කියලා. සමහර වෙලාවට පරන රජකාලේ නටඹුන් තියෙන ගම් වල පාරවල්, නටඹුන් තියෙන තැන් ගැන එහෙම ගමේ මිනිස්සුන්ට වැඩිය හොඳට නගරබදට වෙලා පොත් වලින් ඒ ගැන කියෙව්ව මිනිස්සු දන්නවා.

ගම් වලින් නගරබදට ආපුම අළුත නම් ගොඩ දෙනෙක් නගරේ ගැන දන්නෙත් නෑ. හැබැයි සති දෙක තුනක් යනකොට ඒ අයත් නගරේ ජීවත් වෙච්ච අයට වැඩිය හොඳට එහේ පාරවල් ගැන දන්නවා… කඩසාප්පු ගැන දන්නවා… විශේෂයෙන් වයින් ස්ටෝස් ගැන නම් අනිවා දන්නවා.

නිකමට පොඩ්ඩක් ඔය මහියංග‍නේ පැත්තෙන් ආපු වැදි දෙටුවෙක්ගෙන් අහලා බලන්න, කොළඹ බී.එල්.සී එක කොහෙද තියෙන්නේ කියලා. ඌ කියයි යන පාරවල් හැරෙන වංගුත් එක්කම.

මට ඔන්න පොඩි ඉන්විටේෂන් එකකුත් ලැබුනා, අවුරුද්දට ඇලක බැහැලා, නාලා, කාලා, බීලා එහෙම යන්න කුරුණැගල වරෙන් කියලා. කුරුණෑගල කිව්වට ඉතිං දන්නවනේ… කුරුණෑගල ඉඳන් කිලෝමීටර් හැත්තෑවක්… අසූවක් අනුරාධපුරේ පැත්තට වෙන්න… මං අපේ අම්මට කිව්වෙත් කුරුණෑගල යනවා කියලා. ඒක ඒ වෙලාවේ ගානක් වුනේ නැති නිසා තාම ඇහුවේ නෑ කුරුණෑගල කොහෙද කියලා… මව්තුමී අහපු වෙලාවට තමා මට සොරි වෙන්නේ…!!!

කොටහලුව…

‘කොටහලු වීම’ කියන්නේ ගෑණු ළම‍යෙක්ගේ ජීවිතේ මුල් කාලේ ඇතිවෙන සොඳුරු සිදුවීමක්. පුංචි කාලේදි අම්මගේ තුරුලට වෙලා කිරි බිබී ඉන්න පුංචි කෙල්ලෙකුට, මුල්ම වතාවට වතාවට බත් කැව්වට පස්සේ, අකුරු කියෙව්වට පස්සේ… සමහර විට ස්කෝලේ යන්න ගත්තට පස්සේ හෝ ඊට කලින්, ගෑණු ළමයෙක්ගේ ජීවිතේ තියෙන වැදගත්ම සිදුවීම තමා මේ.

අපිට ස්කෝලෙදි නම් කියල දුන්නේ හෝමෝන ක්‍රියාත්මක වෙලා ද්විතික ලිංගික ලක්ෂන පහල වීම  වෙන්නේ මේ සිදුවීමෙන් පස්සේ කියලා. හ්ම්… ඒක ඇත්ත තමා. ඒකනේ කෙල්ලෙක් ලොකු උනාම නෑදෑයෝ හැමෝටම කියලා, යාළුවෝ ඔක්කොමලත් එක්කහු කරගෙන ලොකු මගුල් ගෙයක් ගන්නේ…!!!

පුංචි කාලෙදි ගෑණු ළමයාව අම්මලා තාත්තලා පරිස්සම් කරන්නේ, තියෙන දාංගලේට එහෙ මෙහෙ දුවලා පැනලා වැටිලා මල් පෙති වගේ අතපය තුවාල කරගනිවි කියලා. ඒත් ගෑණු ළමයා වැඩිවියට පත්වුනාට පස්සේත් ඒ ළමයව පරිස්සම් කරනවා. මං මේ මහ ලොකු පන්ඩිතයා වගේ කියවන්න ගියාට, මං ලොකු ලොකු එව්වා දන්නේ නෑ… ඒත් දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච එක සිදුවීමක් නිසා ‘කොටහලුව’ ගැන මං හිතාගෙන හිටිය හැටි වගේම, කොටහලු මගුල් ගැනත් තිබුන චිත්ත ප්‍රීතිය නැතුව ගියා.ඒ දවස් වල ඉතිං ස්කෝලේ පාඩම් වල තිබුන මොන දේ අමතක වුනත්,  ඔය වගේ විද්‍යාත්මක කරුණු හොඳින්ම මතක හිටින වයසනේ… ඒ දවස්වල සමහර ඒවා අමුතු දේවල් වුනාට ටික ටික මෝරද්දි තමා තේරෙන්නේ සමහර වෙනස් චාරිත්‍ර වල තියෙන වටිනාකම. මේකත් එහෙම එකක්.

මං හොඳින්ම දන්න කියන පුංචි නංගි කෙනෙක් නියමිත වයසෙදි ලොකු ළමයෙක් වුනා. නියමිත වයසෙදි කියන්නේ දැන් වගේ මොන්ටිසෝරි යද්දි එහෙම නෙවෙයි… එයාට අවුරුදු 12ක් විතර වෙද්දි… ඉතිං ඒකෙ එච්චර මැජික් එකක් නෑනේ. ඒත් ඒ පුංචි කෙල්ල ලොකු වුනා කියලා මගුලක් නම් ගත්තේ නෑ… ඒ දෙමව්පියෝ කලේ හාමුදුරුවරු කීප නමක් වඩම්මවලා දානයක් දීපු එක විතරයි. සල්ලි නැතුව නෙවෙයි, තේරුමක් ඇතුව. දානෙට සහභාගි වෙන්න කියලා නෑදෑයින්ටත් ආරාධනා කරා. මාත් ගියා…

ඉතිං මං හිතන්න ගත්තා ඇයි හැමෝම මගුල් ගෙයක් ගනිද්දි මෙයාලා විතරක් දානයක් දීලා ශේප් වුනේ  කියලා… ඒ දවස් වල වයසේ වැරැද්ද තමා. ඕනේ එකයි එපා එකයි හැම මගුලම හොයනවා. දැන් වයසේ වැරැද්ද තමා ඕනේ එකයි එපා එකයි හැම මගුලම ලියනවා. ඉතිං කොහොම හරි මං මේ ගැන හිතලා හිතලා, අන්තිමේ මට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. මොකද මං ඒ දවස් වල කලේ මගුලයි දානෙයි සංසන්දය කරපු එක විතරයි…! විශේෂ වෙනස් කමක් හෙව්වේ නෑ…!

ඔය වගේ දේවල් වලට ගෙවල් වලින් උත්තර අහන්නත් බැරි නිසා කාලයත් එක්ක ඒ ප්‍රශ්න එහෙම්ම යට ගියා. ආයම මේ ලඟදී තමා, ඔය ප්‍රශ්නේ එක පාරට මතක් වුනේ. ඉතිං දැන් ඉස්සරට වැඩිය ටිකක් තේරෙනවා කියලා හිතිච්ච නිසා ආයෙම හිතුවා. මෙන්න මට හිතිච්චා…

පුංචි කාලේ කෙල්ලව ආරක්ෂා කරන්නේ දුවලා පැනලා වැටෙයි කියලා… ඒත් ගෑණූ ළමයි ලොකු වුනාම ආරක්ෂා කරන්නේ, ඒ කෙල්ල ලොකු වෙනවත් එක්කම එයාගේ අනාගතේටත් බලපාන විදියට පුංචි සිදුවීමකින් හරි ලොකු හානියක් වෙන්න පුළුවන් නිසා. මං මේ කියන්නේ වෙන්න තියෙන ලොකුම දේ වුනොත් කියන එක නෙමෙයි… ඊට වැඩිය ‍ඒ ළමයාගේ චරිතය,  වටිනවා. මට හැමදේම ලියන්න බෑ… හිතන්න එහෙම වෙන්න පුළුවන් අවස්ථා ගැන… ඕනෙ තරම් හම්බුවෙයි…

ඉතිං ගෑණු ළමයෙක් ලොකු වුනාම මං නම් හිතන්නේ ඒ අම්මලා තාත්තලට අසීමිත වගකීමක් පැවරෙනවා කෙල්ල කසාද බඳිනකං  ආදරෙන් බලා ගන්න එක ගැන වගේම… ආරක්ෂා කරගන්න එක ගැන. ඉතිං ඒ ළමයා ලොකු වුනා කියලා, ගමටම කියලා… “හරි අපේ කෙල්ල දැන් ලොකුයි…. තව අවුරුදු කීපයකින් කසාද බඳින්න පුළුවන්… දැන්ම ඉඳන් කැමති එකෙක් ට්‍රයි කරපල්ලා…” කියන්න වගේ මහ සද්දෙන් සිංදු දාගෙන, අරක්කු බීගෙන නටන තාත්තලා ගැන මට ඇතිවුනේ ටිකක් විතර මහ අමුතු හැඟිමක්, අර සිද්ධියෙන් පස්සේ. ඇත්තටම තමන්ගේ දුවගේ ජීවිතේ ලස්සනම දවසකදී බීගෙන නටන තාත්තලාගෙන් වැඩක් තියෙයිද…??? හරිනම් තාත්තලා එදා ඉඳන් බීම නවත්තලා දූව තව ටිකක් හොඳට ආරක්ෂා කරන්නයි ඕනේ…! අවාසනාවට වැඩිහරියක් වෙන්නේ ඕකෙ අනිත් පැත්ත.

ඉතිං ඒ අතින් බලන කොට අර දෙමවුපියෝ කරපු දේ කාට නැතත් මටනම් ආදර්ශයක් වුනා… මොකද මාත් හිතා ගත්තා කවදා හරි… මටත් දුවෙක් ලැබිලා, ඒකි ලොකු ළමයෙක් වෙච්චි දාට දන්න කියන එවුන් ටික එකතු කරගෙන, ඒ අම්මලා තාත්තලා කලා වගේ පිං අ‍තේ වැඩක් කරනවා කියලා…!!!

මේ තනිකරම මට හිතෙන හැටි විතරයි… වෙන කෙනෙකුට මේක පිස්සුවක් වගේ තේරෙන්නත් පුළුවන්.

 

දම් පාට එකයි, තැඹිලි පාට එකයි… ගණන් ටීචයි…!!!

ටිලිං… ටිලිං… ටිලිං….

ඒ ටිලිං… ටිලිං ගෑවේ ලියුම් කාරයා නෙවෙයි.  අපේ ස්කෝලේ බෙල් එක.  බෙල්  එක ගහන්නේ එකොලහ වසරේ අක්ක කෙනෙක් හරි, නැත්තං බොහෝවිට අයිය කෙනෙක් හරි.  අක්කා ‍ කෙනෙක් බෙල්  එක ගහද්දි  නම් බලාගෙන ඉන්න ආ…ස්…සා…වේ… බෑ… කිලෝ තුන හතරක් බර ලොකු පිත්තල බෙල් එක එහාට මෙහාට හොල්ලද්දි මුළු සරුවාංගෙම පැද්දෙන ලස්සන..!!!වම් කුකුල පිටිපස්සට තියලා, දකුණු කකුලෙන් ඉස්සරහට බර වෙලා, වම් අත බෙල් එකේ ලී මිටේ… බෙල් එක ආසන්නයෙන්ම අල්ලගෙන, දකුණු අතෙන් ඊට උඩින් අල්ලගෙන  තමා ඔය බෙල් එක ගහන්නේ…. ම්… තාම මැවිලා පේනවා…

හරි හරි ඉන්ටවල් ඉවරයි… දැන් අපිට ගණිතය.ඒ දවස් වල අපි අටවසරෙනේ. ඒ කාලේ ඉතිං ගණිතට අකමැත්තක් තිබුනේ නෑ. කොහොමත් හය වසරේ ඉඳන් හැමදාමත් මට තමා ගණිතයට පළවෙනියට හරි දෙවෙනියට හරි ලකුණු තියෙන්නේ. අන්තිමයගේ ඉඳන් නෙමෙයි හරිද…ඉතිං ඒ දවස් වල අපිට ගණන් ඉගෙන්නුව මිස් හරි හොඳයි. කොයි තරම් හොඳද කියවනම්… කව්රු හරි කොල්ලෙක් ටොයිලට් එක ආසන්නයේ හැරෙන්න පිට්ටනියේ හෝ පන්තියක ෂර්ට් එක උඩින් දාගෙන ඉන්නවා දැක්කොත්, කොල්ලව ඇදලා ගන්නවා කලිසමේ ඉනෙන් අල්ලලා… අප්පා ඉතුරු ටික නම් ලියන්නත් ලැජ්ජයි දැං…. ඒක නිකං කොටු කොටු වගේ සීන් එකක් වෙනවා. පිට්ටනිය මැද්දේම ෂර්ට් එක ඇදලා අරං ඔබනවා කලිසම අස්සට… ලැජ්ජාවේ බෑ ඉතිං… පන්තිවල කෙල්ලෝ බලාගෙන ඉද්දී. විනයභාර ටීච කියන්නේ නිකං නෙමේනේ…

ඉතිං මේ කියන දවසේ අපේ ඩිෆෝල්ට් ගණන් ටීචර් ආවේ නෑ. ඒ වෙනුවට ඉතිං අපේ අනිත් පන්ති වලට ගණන් උගන්නන මිස් කෙනෙක්ව රිලීෆ් දාලා තිබුනා. ඒ මිස් එකක් වැඩිය කතා බහ කරලා නැති වුනත්,  අපි හැම කෙනෙක්ම මිස්ව දන්නවා හොඳින්ම. ඒකට ‍හේතුව, මිස්ගේ ඇස් දෙකෙන් එකක පුංචි වපර ගතියක් තිබීම. ඇස් දෙකෙන් කොයි ඇහැද හොඳ ඇහැ කියන්න අපි දන්නේ නැහැ. එහෙමයි කියලා කවදාවත් ළමයෙක් විහිළුටවත් මිස්ට අනවශ්‍ය විහිළුවක් නම් කරේ නෑ. ඒ අතින් නම් අපේ එවුන් ගැන මට දැනුත් ආඩම්බරයි.

කොහොම කොහොම  හරි, මයෙ කරුමෙට ඒ සතියේ අපේ කන්ඩායම හිටියේ ඉස්සරහම පේලි දෙකේ. මම ඉස්සරහම පේලියේ, බිත්තිය පැත්තේ ඉඳන් තුන්වෙනියට. ඔන්න පාඩම පටං අරගෙන ගානක් දෙකක් දීලා… ඒවට උත්තර සාකච්චා කරලා එහෙම මිස් දුන්නා තව ගානක්. මං කලින් කිව්වනේ ඒ දවස්  අපිට ගණන් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඉතිං ඒ ගාන හදන විදිය ටිකක් පැහැදිලි කරන්න කිව්වම ඒක කාටවත් මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතිං මිස් ගුරු පුටුවෙන් නැගිටලා මුල්ම පේලියේ හිටිය අපේ ඉස්සරහට ඇවිත්…

“ඔයා කියන්න බලන්න, මේ ගාන හදන විදිය”

දැන් ගාන හදන විදිය මං දන්නවා වුනත්, මට නැගිටින්න හිතෙන්නම නෑ. මිස් හිටියේ මගේ ඉස්සරහම වුනත්… මට සැකයි, මිස් ගාන හදන විදිය කියන්න කිව්වේ මටමද කියලා. මොකද මිස් එක ඇහැකින් මගේ දිහා බලාගෙන හිටියට අනිත් ඇහින් බලාගෙන හිටියේ මට පිටිපස්සේ පේලියේ හිටිය ළමයා දිහා. ඉතිං මට නැගිටින්න හිතෙන්නේ නෑ… මොකද මමත් නැගිටලා උත්තර දෙන්න හදද්දි… “ඔයා පන්ඩිත වෙන්නේ නැතුව වාඩිවෙන්න. මං ඇහුවේ අරයගෙන්” කිව්වොත් එහෙම කොහොමද දැනෙන සනීපේ. පස්සේ ඔන්න තත්පර කීපයකින්… මිස් ආයෙම… “ඇයි දන්නේ නැද්ද..?” කියලා අහද්දිම…මාත් බැලුවා මේ පාරත් කියන්නේ මටද, නැත්තං පිටිපස්සේ බුවාටද කියලා බලන්න. ඒ එක්කම ඔය රූපයේ ඉන්න තැඹිලි පාට එකා නැගිටලා උත්තරේ කියන්න පටන් ගත්තා…

ඇයි ඔයා නැගිට්ටේ….? මං ඇහුවේ මෙයා ගෙන්නේ කියලා ඔය දම් පාට එකාව පෙන්නලා දුන්නේ නැද්ද දම් පාට එකාට චූටි පාරක්.

ඒ පාරක් දුන්නේ දම් පාට එකාට ගාන බැරි නිසා වෙන එකෙක්ව නැගිට්ටෙව්වා කියලා. මිස් හිතලා තියෙන්නේ මං පිටිපස්සේ බැලුවේ, මං වෙනුවට නැගිටලා උත්තරේ කියපං කියලා කියන්නයි හිතලා. මොනා කරන්නද ඉතිං, වෙන මිස් කෙනෙකුටනම් විහිළුවක් වත් කලෑකි. ඒත්  මේ මිස්ට මුකුත් කියන්න හිත දුන්නේ නෑ… පස්සේ ඉතිං ඇත්තටම මට ගාන බැරුව ‍වගේ මාත් හිටියා.

වෙනදට කවුරු හරි ගුටියක් කෑවම, ගුරුවරයා පන්තියෙන් ගිය ගමන් හිනා වෙවී ගුටි කාපු එකාව නෝන්ඩි කරන කොල්ලොයි, කෙල්ලොයි… එදා මූනු රතු කරගෙන… “මාර වැඩේනේද”… කිව්වා මිසක් වෙන කිසිදෙයක් කිව්වේ නෑ. අර ෂොක් වෙනවා කියන්නේ… අන්න ඒක වෙලා හිටියේ හැමෝම එවෙලේ…

කමක් නෑ එද දවසයිනේ…!!! ඒත් මට දුක හිතුනේ මං ගුටි කාපු එක ගැන නෙවෙයි, මිස් නිතර දෙවේලේ උගන්නන පන්තියේ එවුන් කොයිතරම් ඔය වගේ කනවා ඇත්ද තියලයි…!!!

 

ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ… මගේ යශෝධරාවත 22

ඒ ස්කෝලේ නිවාඩු දෙන දවස. මං කුමාරය ඒ දවස් ටිකේ කොහොමත් නිවාඩු.  ගෙදර ඉඳියේ පාඩම් කරන්න කියලා හිතාගෙන වුනාට, සුදු මූණු පොඩ්ඩ මතක් වෙද්දි මොන පාඩම්ද…

ඉතිං ඔන්න, ඒ වාරේ අන්තිම දවස සිකුරාදා දවසක්. ඒ කියන්නේ මං කුමාරයට යශෝධරාවගේ මාලිගාවේ ක්ලාස් තිබුනේ ඊට කලින්දා. එදා ක්ලාස් එකේදි, දෙයියනේ කියල වැඩ ටික කරගෙන ඉන්න කොට මයේ ඉස්සරහා එක පාරටම පෙනී හිටියා යශෝධරාව…

හෙට ස්කෝලේ යනවද…?

ම්…ම්…. තාම හිතලා නෑ… ඇයි එහෙම අහන්නේ…?

ඒකට පිළිතුර ලැබෙන්නේ මේ විදියට….

මුලින්ම චූටි කට පොඩ්ඩ ඇරෙනවා හුරතල් හිනාවකුත් එක්ක. ඊට පස්සේ ඇස් දෙක ලොකු වෙනවා. මූන රෝස පාට වෙනවා…. අන්තිමටම තමා උත්තරේ කටින් පිටවෙන්නේ.

මාත් හෙට අම්ම එක්ක අම්මලාගේ ස්කෝලෙට යනවා…!!!

ඉතිං මට මොකද… මටත් එන්නද කියන්නේ… මට ඊට වැඩිය වැඩ තියෙනවා… හෙට ස්කෝලේ එවුන් එක්ක හොරෙන් ග‍ඟේ නාන්න යන්න තියෙනවා. දැන් වැඩේ ප්ලෑන් කරලා ඉවරයි… දැන් කරන්න දෙයක් නෑ… ඔයා එක්කෝ කලින් කියන්න ඕනේ. මාත් ආසාවෙන් තමා ඉන්නේ ඔයා එක්ක අම්මලාගේ ස්කෝලෙට යන්න. අපි ඉන්ස්ටෝල් කරපු ගේම් එක කවුරුවත් සෙල්ලං කරන්නෙත් නෑ… මං ආසයි ඔයා ‘අප් ඇරෝ’ කී එක ඔබාගෙන ඉද්දී, ඒ පුංචි ඇඟිලි අස්සෙන් මගේ අතත් දාගෙන , පුංචි අතේ දැවටිලා ‘ලෙෆ්ට්’ ‘රයිට්’ කීස් ඔබන්න… ඒත් ඉතිං දැන් මොනා කරන්නද… මං යාළුවන්ට කියලානේ තියෙන්නේ… කියලා හිත හිත ඉද්දි…

ඇයී හිතන්නේ….? කතා කරන්නකෝ…

ම්… එහෙනම්…. මාත් එන්නද…?

හ්ම්… එන්න… ඒක තමා ඇහුවේ… කියලා සුරංගනාවි මාලිගයට ඉගිල්ලුනේ පුංචි අත්තටු වලින් වෙන්න ඕනේ.

ඊට පහු වෙනිදට එළිවුනේ, මහා දිග රැයවල් දාහක් විතර ගෙවලා දාලා… ඒ රාත්‍රියට පැය දාස් ගානක් තියෙන්න ඇති. අන්තිමේ හරියට නින්දකුත් නැතුව මං කුමාරයට ඇහැරුනේ උදේ හතාමාරට විතර. ඉක්මනින්ම නාලා කාලා ලෑස්ති වෙලා කන්තකවත් අරගෙන නඩුකාරිගේ ස්කෝලෙට ගියේ කොහොමද කියන්න මට මතකයක් නෑ…! ඒ හරිය නිකං හිස් අවකාශයක් වගේ… හරියට මාව ගෙදරින් අතුරුදහන් කරලා, නඩුකාරිගේ ස්කෝලෙන් මැව්වා වගේ.

ඊට පස්සේ අනිත් ගුරුවරුත්… කොහොමද පුතා කියලා අහද්දී, හැමෝත් එක්කම හිනා වෙලා පුළුවන් ඉක්මනින් ලැබ් එකට දිව්වේ… කලින්දා රෑ නින්දක් නැතුව සැරින් සැරේ දැක්ක සඳමඩල දැකගන්න…!

හ්ම්… ඔය ඉන්නේ කුමාරිකාව කැරකෙන පුටුවකට සැපත් වෙලා. මං එනකං ගේම් එක පටන් අරගෙන නෑ. ටික දවසකට කලින් මං දුන්න දියඇලි වල පින්තූර වගයක් බලනවා. මං කුමාරයා හිමින් සැරේ පිටිපස්සෙන් ගිහිං ඇස් දෙක වහන්න කියලා මූන දෙපැත්තෙන් අත්දෙක දාද්දිම…

මෙන්න මෙයා ඇවිත්…!!! කියාගෙන මගේ දිහාට හැරුන හැටි…!!!

පටන් ගමුද එන්.එෆ්.එස්…?

හා….

මං කුමාරයත් ලඟම තිබ්බ කැරකෙන පුටුවක් ඇදගෙන යශෝධරාවගේ ලඟටම වුනේ, ඇත්තටම ගේම් එක සෙල්ලං කරනවටත් වැඩිය එයාගේ ලඟට වෙලා ඉන්න ආසා නිසා. ඔන්න ඉතිං ගේම් එක ලෝඩ් වෙලා දෙන්නම එක වාහනයක් ඩ්‍රයිව් කරද්දී, පාත්වුනා… හෙනහුරා….

ආහ්… දැන්ද ආවේ…

ඔව් මැඩම්…

හ්ම්… කෑම කාලද ආවේ…

චුට්ටක් කාලා ආවේ.

ආහ්… එහෙනම් ඉන්නකෝ ටිකක් දවල් වෙනකං… අද පොඩි පාර්ටි එකක් තියෙනවනේ… නංගිනම් නොකාමයි ආවේ ඒ කෑම එක කන්න ඕනේ කියලා…

හ්ම්…

ඊට පස්සේ ආයෙමත් ගේම් එක… ඔහොම ගිහිං ගිහිං… මොනිටරේ දිහා බලාගෙන ඉඳලා මං කුමාරයාගේ ඇස් දෙකෙනුයි, යශෝධරාවගේ ඇස් දෙකෙනුයි කඳුළු බේරෙන කම්ම සෙල්ලං කලා… පස්සේ ළමයි හැමෝම පන්ති වලට ගියාට පස්සේ නඩුකාරි එනවා බත් එකත් අරගෙන.

ම්… දෙන්න එක්ක කන්න. කියලා අපි දෙන්නට බත් එක දුන්නේ, එයාගේ බඩගින්න ගැන නොහිත වෙන්න ඕනේ. කොහොමත් නඩුකාරිට ලැබෙන බෙනිෆිට් අපි දෙන්නටත් අයිතියිනේ. ඊට පස්සේ ඉතිං දෙන්න එක්ක බත් එක තවත් පුටුවකින් තියාගෙන අපි දෙන්නත් දෙපැත්තට වෙලා කෑම කද්දි, යශෝධරාව කැව්වා නඩුකාරිට බයියං කටක්.

මමත් නිකා ඉඳියි… මමත් කැව්වා කටක්. ඊට පස්සේ කුමාරිකාවගේ ඇස් දෙක මගේ මූනේ. බොහොම ලොකු මොකද්දෝ මංදා හැඟීමකුත් එක්ක.

ඇනුවා පුංචි බත් කටක්… ම්… කන්න….

චූටි කුරුළු පැටියෙක් වගේ, පුංචි කට පොඩ්ඩ ඇරගෙන මගේ මූන දිහා බලාගෙන ඉන්න ලස්සන.

එක කටක් කැව්වම, එයාගේ පාඩු‍වේ කෑම එක කෑවා… මමත් බලාගෙන හිටියා එයා මටත් ඒ අතින්  බත් කටක් කවනකම් ගොඩක් වෙලා… ඒත් එයාට ඒක තේරෙන්න නැතුව ඇති.

මටත් කටක්  කවන්න කියලා කුමාරිකාවට කියාගන්න බැරි තරමට මගේ හිත එදා දඩබ්බර වෙච්චි හැටි…!!! 

ස්ටිකර් අයියා…

එදා ඉරිදා දවසක්….!!! ක්ලාස් ඉවර වෙලා කොල්ලුපිටියෙන් බස් එකේ නගින කොට හවස 6ට විතර ඇති. බස් එකේ සීට් කීපයකම ඉඩ තිබුනත්, මං වැඩියෙන්ම කැමති තැන… පා‍රේ තියෙන පොඩි වලක වැටුනත් අඩියක් විතර උඩ විසිවෙන පිටිපස්සේ  දිග සීට් එකේ වාඩි වුනා. ඒ සීට් එකට කැමති වෙන්න තව තව හේතු කරනා ගොඩක් තියෙනවා. එව්ව මං වගේම දන්නෝ දනිති…!!!

ඉතිං ඔන්න ටික දුරක් එනකොට මට ලාවට වගේ නිදිමතයි. ඒ වෙලාවකොහොමත්ම  නිදියන්න හොඳ වෙලාවක් නෙමෙයි. මොකද බම්බලපිටියෙන් පටන් අරගත්තම  වැල්ලවත්තෙන්, විලියම් හන්දියෙන්, දෙහිවලින් ඊට පස්සේ මොරටුවෙන් අන්තිමටම පානදුරේ වෙනකංම ක්ලාස් ඉවර වෙච්චි චූටි චූටි ගෑණු ළමයි බස් වලට නගින්නේ ඒ වෙලාවට. ඒ වෙලාවට බස් එකේ නිදියනව කියන්නේ හෙන ගහන අපරාදයක්..!

ඉතිං ඒක නිසාම මං නම් කරන්නේ, හොඳ ෆාස්ට් සිංදු ටිකක් කන කැඩෙන්න දාගෙන ඉයර් ප්‍රයිස් දෙක ගහ ගන්නවා කනේ. එතකොට යන්තං නින්ද යාගෙන එද්දී බේස් ඩ්‍රම් පාරකට හරි, සිම්බල් පාරකට උඩ ගිහිං ඇහැරෙනවා. වැල්ලවත්තට එනකං සුට්ටක් නින්ද යනවා කොහොමත්… එතනින් එහාට මුකුත් නෑ….! ඒ ඇහැරිලා ඉස්සරහා බලද්දී,  ඇඟත් එක්ක නිකං මෙව්වා වෙලා යනවා. බම්බලපිටියෙන් බස් එකට නැග්ග ළමයි ටික දකිද්දී මොන නිදිමතක්ද….

ඉතිං ඔහොම රත්මලානට වෙනකංම ආවා කියමුකෝ. ඔන්න රත්මලානෙන් නැග්ග ටිකක් ලොකු පොරක්. මෑන්ස් අහිසංක අපි වගේ නෙමේ, හෙන ඇඹල පාට් එකක් තිබුනේ. එක පාර පැනි හැලි ඔක්කොටම බහින්න වගේ පොර ගෑණුළමයි දිහා බලන්නේ. සමහර විට මෑන් එදාම හිරෙන් නිදහස් වෙච්ච පොරක්ද දන්නේ නෑ… ගෑණු පුළුටක් නොදැක අවුරුදු ගානක් ඉඳලා ඉඳලා ගෑණු පරානයක් දැක්කම මිසක් ඔය තරම් නලියන්නේ මොකටද නැත්තං…?

පස්සේ ඉතිං බස් එක ටික දුරක් යද්දි කෙල්ලෝ ටික ටිකක් සද්දෙන් එක පාරටම හිනා වුනා. ඒ සද්දේ ප්‍රමානේ කියනවනම්,

ගෑණු ළමයින්ගේහිනා සද්දේ  >= (මං අහ අහ හිටිය සිංදුවේ සද්දෙ + බස් එකේ ‘බෲම් බෲම්’ සද්දේ + වටපිටාවේ අනිත් සද්ද)

මාත්  ඉතිං බැලුවා ඇයි මේ එකපාරට කුමාරිහාමිලා ටික හිනා පහල කලේ කියල… අප්පා… මටත් එක්ක ලැජ්ජයි… මේං අර ලොකු බුවාගේ පිටේ ප්‍රයිස් ලේබල් එකක්…! මිනිහා මහ ලොකුවට පැනිය දාගෙන ඉඳලා තියෙන්නේ අළුත ගත්ත ටී ෂර්ට් එකේ “QC PASS” කියලා ටී එකේ ගානත් ගහලා තියෙන ලේබල් එක පිටින්මයි… ‍ඉතිං එබුවා අර කෙල්ලෝ ටික දිහා කන්න වගේ බල බල, යන්න ගිය ගමන පැත්තක තියලා ලැජ්ජාව වහගෙන බස් එකෙන් බැස්සේ මෙන්න මෙහෙමයි…!!! පොර බස් එකෙන් බැස්සා නෙමේ පැන්නා… පවූඌඌඌඌ….!!! තව සුට්ටෙං වාහනයකට අඩේකුත් තියනවා…!

මං නම් කියන්නේ කෙල්ලෝ ටික එහෙම නක්කලේට හිනා වෙච්චි එක සම්පූර්ණයෙන් වැරදියි. නැද්ද මං අහන්නේ… පවු අහිසංකයා…! ඌවැරදිලා හරි පොළොව පලාගෙන ගියානම් එහෙම…!

මගේ “Picture_part002.zip” ෆයිල් එක…

මං මුලින්ම මේකට දාන්න හිටියේ, “ලොක්කට මාට්ටු වුන වැල” කියලා. ඒත් පොඩි එව්වෝ මේකට එබිකම් කරන නිසා උන්ට නොතේරෙන ටයිට්ල් එකක් දැම්මා. එතකොට පොල් කට්ටක් පුරෝ ගන්න බැරි චූටි එවුනුත් ඇවිල්ලා බලයිනේ මොකද්ද මේ කුණුහබ්බේ කියලා…!!!

දැන් ඉන්න ඔෆිස් එකට මං එන්න කලින් හිටිය ඔෆිස් එකට ගිය අළුත වෙච්චි දෙයක් මේක. ඇත්තටම කුණුහබ්බ එක්ක එකතු වෙච්ච ජොලි කතා කියවන්න අකමැති අය ඉන්නවනම් මෙතෙනින් එහාට කියවන්න එපා. මට නම් මෙව්ව කුණුහබ්බ නෙවෙයි. සමාජයේ පවතින සාමාන්‍ය දේවල්….

ඉතිං බැඳපු අයියලත්  එක එක විදියේ අළුත් අත්දැකීම් වලට අවශ්‍ය කරන පොසිශන්, ලෝකේෂන් එහෙම හොයාගන්න තියෙන කැමැත්ත හා වැඩි හරියක්ම, හැම දෙයක් ගැනම ගැඹුරින් හැදෑරීමේ උවමනාව හා ආසාව නිසාම, කවුරු කිව්වත් නොකිව්වත් ඔය නෙට් එකේ තියෙන නොහොබිනා වීඩියෝ ක්ලිප් බලනවනේ. මහන්ද බාප්පි සමහර එව්වා වැහැව්වට, ප්‍රොක්සියට වෙන එකක් දැම්මම කිසි කතාවක් නැතුව වහපුවට යන්න පුළුවන්… හරියට නිකං අපි ශ්‍රි ලාංකික නෙවෙයි වගේ. නැත්තං ඉතිං වහපුවට වැඩිය හොඳ එව්වත් ඕනේ තරම්…!!!

ඉතිං මගෙත් අවශ්‍ය කාලේදී ටෙස්ටොස්ටෙරෝන් හරියාකාරව වැඩ කරපු නිසා, ගැහැණු අයගේ එව්වා මෙව්වා ගැන දැක බලා ගැනීමේ හා අධ්‍යනය කිරීමේ ආසාව මටත් පහල වුනා. ඒ දවස් වල අර කලින් කිව්වත් වගේ ඔෆිස් එකට ගිය අළුත. නෙට් එකත් හොරෙන් යූස් කරාට අන්ලිමිටඩ්ම තිබුනා. කොහොම කොහොම හරි, විදේශිය එව්වා මෙව්වා බලල බල ඉන්න අතරෙදි අපේම… අපේම… අපේම… දේශිය දේකුත් මට හම්බුනා. අපි ඉතිං කොහොමත් දේශිය දේවල් අගයන නිසා, මමත් පට පට ගාලා ඩවුන් කරගත්තේ, නිදහසේ අධ්‍යයන කරන්න හිතාගෙන.

පස්සේ ඉතිං ඔව්වා ඔෆිස් එකෙන් ඩවුන් කරාට බලන්නේ ගෙදර ගිහිං නිසා, ෆ්ලෑෂ් එකට දාගත්තා කියමුකෝ. හැබැයි මට හොඳටම ෂුවර් සති අන්තය වෙනකං ඒක දිහා ඇහැක් ඇරලා බලන්න වෙන්නේ නෑ කියලා. ඉතිං ඒක නිසා වීඩියෝ ෆයිල් එකක් එලිපිට තියන්න හොඳ නැති නිසා මං හැංගුවා. ඒ කියන්නේ හිඩ්න් කලා. ඒත් නිකං හිතට මදි වගේ. ඇයි ඉතිං ඉඳල ඉඳලා හම්බුවෙච්ච දේශිය දේනේ. ඒක නිසා මං වැඩි හොඳට ඒකේ එක්ස්ටෙන්ෂන් එක පිටින්ම රීනේම් කලා… Quality_report.doc කියලා. කරුමේ තමා. ඒ නම දැම්මයැන් පස්සේ දවසේ ලොක්කා මොකකට හරි මගෙන් ෆ්ලෑෂ් එක ඉල්ලා ගත්තා. මමත් ඉතිං වැඩිය හිතුවෙත් නෑ, බය වුනෙත් නෑ දීලා දැම්මා ෆ්ලෑෂ් එක.

ඉතිං එදා දවස මුකුත් වුනේ නෑ… ඊට පස්සේ දවසෙත් නෑ… ඔන්න දවස් දෙකකට විතර පස්සේ…

පුතා…. මේ ටිකක් ලොකු වර්ඩ් ෆයිල් එකක් තියෙනවා මේක ඕපන් කරගන්න බෑ වගේනේ… පොඩ්ඩක් බලන්න… කියලා ලොක්කා කියලා ඉවර වෙද්දීම, මමත් පුටුවෙන් නැගිටලා යන්න හදද්දී,

ආහ්… නෑ… නෑ… හරි කමක් නෑ… ඔයාගේ වැඩක් කරගන්න… මං අයි.ටී මැනේජර්ට කියන්නම්… කියලා මාව නැවැත්තුවා.

පස්සේ අයි.ටී මැනේජර් ඇවිත්… ලොක්කාගේ රූම් එකේ ඉඳන් මගේ දිහා බල බල ලොකු කතාවක්… ඒත් මට මීටර් නෑ…

පස්සේ ඔන්න ආව ඒ සතියේ සෙනසුරාදා දවස. ඒ තමා මගේ ෆන්ම දවස. ඉතිං මමත් අර මයෙ ගාව තිබුන එකම එක දේශිය මෙව්වා එක බලන්න කියලා ෆ්ලෑෂ් එක බලද්දී… ඒක අන්තරස්දහන් වෙලා… ඇත්තමයි මට  පට්ට දුකයි. ඒකෙ තිබුනේ ලස්සන චූටි කතාවක්. ඉතිං මොනා කරන්නද කියලා හිත හදාගෙන, දෙයියනේ කියලා ලොක්කගේ පී.සී එකට හොරාට රිංගුවේ… පොරගෙන් මොනා හරි ටිකක් උස්ස ගන්න ඕනේ කියන පිවිතුරු චේතනාවෙන්….!

ඉතිං වෙනදා වගේම, අළුතෙන් ආපු ෆිල්ම් තියෙන ෆෝල්ඩරේට ගිය ගමන්, ‘123‘ කියලා වෙනදා නොතිබිච්ච ෆෝලඩරයක් ඒකේ තියෙනවා. ඉතිං අර ඇතිවෙච්චි මෙව්ව එකට මාත් ගිහිං බැලුවා ඒකට.

ඈහ්…. මගේ ඇස් උඩ ගියා. මේ තියෙන්නේ මගේ අන්තරස්දහන් වෙච්චි දේශිය නිෂ්පාදනය…!!!

ලොක්කා, මට හොරෙන් කොපියක් දාගෙන. කොපියක් නෙවෙයි, කෙලින්ම කට් කරලම අරගෙන… ඉතිං මට ඔන්න මීටර් වෙනවා… පුතා… ටිකක් ලොකු වර්ඩ් ෆයිල් එකක් තියෙනවා… ආහ් කමක් නෑ… ඔයාගේ වැඩක් කරගන්න… වගේ ලොක්කා කලින් කියපු වචන සෙට් එක… එදා ලොක්කා මාව ගෙන්න ගෙන අර ෆයිල් එක ඕපන් කරගන්න හදලා ආයෙම මාව නැවැත්තුවේ… පොරට මතක් වෙන්න ඇති මේක මගෙන්ම ගත්තු එකක් නේද කියලා….

පස්සේ ඉතිං තිබිච්චි තරහටම ඒ නමින් වෙන වර්ඩ් ෆයිල් එකක් අරගෙන, පිටු 100ක් විතර සෙට් කරලා රූප දාලා… කරන්න තියෙන්න ඔක්කොම කරලා, ගානටම සෙට් කරා, අර දේශිය එකේ මෙගා බයිට් 59.5ටම….

ඊට පස්සේ මගෙන් උස්සපු ෆයිල් එක මං ආයෙම උස්සලා, ඒක රීනේම් කලා… Picture_part002.zip විදියට. කලින් තිබුන විදියට එච්චර ලොකු වර්ඩ් ෆයිල් එකක් ගැන සැක හිතෙන්න තියෙන්න ඉඩ වැඩි නිසා තමා ලොක්කා ඒක කොපි කරගෙන තියෙන්නෙ. පස්සේ ඉතිං අයි.ටී මැනේජර් ඇවිත් තමා ගම කාලා තියෙන්නේ. මං හිතන්නේ පොර ඒ ෆයිල් එක vlc වලට ඇදලා දැම්මා. දාපු ගමන් අමන්දානන්දයට පත් වෙච්චි අපේ ලොක්කා, ඒක මකන්නේ නැතුව තියා ගත්තා…. හැබැයි අද වෙනකං මගෙන් මේ ගැන ඇහැව්වේ නෑ…!!!

එහෙම තමා අන්තිමට මේකෙ ලොක්කා ගාව ඉතුරු වුනේ… ඊට පස්සේ ඉතිං මං අනන්ත වාරයක් අර මෙව්වා එක ෆ්ලෑෂ් දාගෙන හිටියත් හැමෝම ඕපන් කරන්න හැදුවම මෙන්න මෙහෙම එකක් ආවා මිසක්… vlc වලට ඇදලා දාන්න තරම් එකෙක් වත් ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කලේ නෑ… එහෙම කලා නම් එහෙම අද උං ගාවත් මේක තියෙනවා.

එදා ඉඳන් මං ගැජමැටික් හංගන්නේ *.zip විදියට…!!! ඒක වැඩිය සේෆ්… හැබැයි කවුරු හරි මේ පෝස්ට් එක කියවන කං විතරයි. දැන් ඉතිං තියෙන හැම .zip ෆයිල් එකම vlc වලට ඇදලා දාන්න යන්න එපා. එහෙම වුනොත් vlc ක්‍රෑෂ් වෙලා අයෙම දාගන්න වෙයි…

ඔන්න ඔහොමයි රටක් වටින දේශිය නිෂ්පාදනය අදටත් මගේ ස්ටෝරේජ් වල නොනැසී, අන්සතු නොවී පවතින්නේ. අන්සතු වුනත් ගන්න එකාම දවසක් ඇතුලත මකන්නෙත් මේ .zip ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරන්න බැරි  ඉතුරු කොටස් නැති නිසා කියලා හිතාගෙන.

මේක අමතර ප්‍රශ්නයක්… ලංකාවේ වැඩිපුරම ඔය වගේ දේවල් වැඩිපුරම සංසරණය වෙන්නේ මොන ​​ෆෝමැට් එකෙන්ද…??? මං අහන්නේ බලන එක ගැන නෙමෙයි, එක් එක්කෙනා අතට යන ෆෝමැට් එක ගැන.

අප්පි ඇන්ටිට මොනා හරි කරම්මු නේද….

කැත විදියටනම් හිතන්න එපා ඕං.  හැම ඔෆිස් එකකම තේ හදන අය ඉන්නවනේ. ඉතිං අපේ එකෙත් ඇන්ටිලා දෙන්නෙක් හිටියා. ඒත් දෙන්නම ටිකක් විතර කම්මැලියි. ඒ දෙන්නට ඕනේ තේ ටිකට ලුනු දාලා හරි තේ ටික ඉක්මනට හදලා දීලා කයියක් දාගෙන පැත්තකට වෙලා ඉන්න.

පස්සේ ඉතිං දෙතුන් පාරක්ම අපේ බොස්ලා එහෙම අවවාද කරාට කිසිම තේරුමක් වුනේ නෑ ඒ වැ‍ඩේ. එවෙලෙට හා කියනවා, ආයේ බලනකොට කොහේ හරි ස්වභාව සෞන්දර්යෙන් අනූන හෙවන තැනකට වෙලා දෙන්න එක්ක කයිය. ඉතිං හදිසියේ වත් වතුර එකක් ගෙන්න ගන්න ඕනේ වුනොත් ෆැක්ටරියේ කාව හරි යවන්න ඕනේ එයාලව හොයන්න. අපරාදේ මෑන් අවර්ස්….!!!!

ඊට පස්සේ බැරම තැන එයාලගේ ආයතනයට කතා කරලා කිව්වා, වෙන දෙන්නෙක්ව එවන්න, මේ දෙන්නව ගෙන්න ගන්න කියලා. කොහොම හරි ඒකටත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැති තරම්. අන්තිමේ කරන්නම දෙයක් නැති තැන අපි හැමෝමලා එකතු වෙලා තීරණය කලා වෙන ආයතනයකට අපේ තේ හදන වැඩේ භාර දෙන්න. ඉතිං ඔන්න එකක් සෙට් වුනා. හප්පා ‍දැන් තේ හදන ආයතනවල ගනන් ඇහුවම, දවසම වතුර බොන එක හොඳයි කියලා හිතෙනවා.

ඉතිං අර ඇන්ටිලා දෙන්නගේ අන්තිම දවස් ආවා. එක්කෙනෙක් කලින්ම නැවතුනත්, ටිකක් වයසක එක්කෙනෙක්, අළුත් කට්ටිය එනකං කියලා අපේ ආයතනයේ නැවතුනා. ඔන්න අළුත් කට්ටිය හෙට එනවා කියමුකෝ.

ඉතිං අපේ ‍ටැමිල් ඇසිස්ටන් අකවුන්ටන්ට ඕනේ වුනා, රස්සාව වෙනස් වෙන්න යන ඇන්ටිට මුදලින් පොඩි උපකාරයක් කරන්න. ඒ කියන්නේ හැමෝම එක්ක කලෙක්ෂන් එකක් දාලා පුංචි ගානක් අත‍ට දෙන්න. කොයි තරම් කයිය ගැහුවත්, අපිට තේ ටික  හදලා දුන්නනේ… ඒක නිසා.

ඉතිං අපේ අකවුන්ටන්ගේ මේ චේතනාව පිරිසිදු වුනාට.. හොඳ වුනාට මෑන්ස් ඒක ප්‍රකාශ කරපු විදිය තමා පොඩ්ඩක් අප්සැට් වුනේ….

ම්…. මේ… අද මේ ඇන්ට්ට්ටිගේ අන්තිම දවසනේ… ඒක නිසා අප්පි ඇන්ටිට ම්මොනා හරි කරම්මු නේද…?

කියලා, දැන් කට්ටියගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් හැමෝගෙම මූනවල් බලනවා. මං සර්වරේ… අනිත් එවුන් ඔක්කොමලා උංගේ පීසී වල. හැබැයි කට්ටියම එකම පිහිටීමක. මූන මොනිටරේට ඔබාගෙන කට්ටිය තනියම හිනාවෙනවා. මොන හිතකින්ද දෙයියනේ, අද අන්තිම වතාවට ආයතනයට එන අර වයසක ගෑණු කෙනාට මොනවත් කරන්නේ…!!!

පස්සේ ඉතිං අකවුන්ටන් ආයෙම… මොක්කද කියන්නේ… මොනාද අප්පි කරන්නේ එයාට….???

මේ යකා ආයේ ආයේ ඒකම අහනවා.  මොනා කරන්නද ඉතිං… හිනාව කාගෙන, සල්ලි ටිකක් එකතු කරලා දෙමු කිව්වා. හප්පා දෙමළ හරි මුස්ලිම් හරි කෙනෙක් එක්ක ඉන්නවා කියන්නේ මාර ජොලි. ඒකේ උපරිම ෆන් එක එදා වින්දා. මුස්ලිම් අයටයි දෙමළ අයටයි සමහර සිංහල වචන යොදන තැන් ගැන වැඩි අවබෝධයක් නෑ… ඒක නිසා එයාලට කියවෙන දේවල් වලත් තියෙන්නේ මාර තේරුම්…!!! සමහර එව්වයේ තේරුම් හිතාගන්න බෑ…!!!

“මං දන්නේ නෑ” කියන එක කියන්නේ “මට දන්නේ නෑ” කියලා.පොඩි එක්කෙනෙක්ව “වාඩි කරවනවා” කියන එකට කියන්නේ “වාඩි ගස්සනවා” කියලා.. මේ වගේ එව්වයේ වචන ගලපලා තේරුම් හොයන්න ගියාම හෙබ්බිරිස්සාව හැදෙනවා.

මේ ලඟදී මුස්ලිම් කෙනෙක් ආවා අපේ අබලි ද්‍රව්‍ය වගයකට කෝටේෂන් එකක් දෙන්න. ඒ කියන්නේ මිල කැඳවුමක්. මෑන්ස් කිව්වා යකඩ කිලෝ එකකට රුපියල් හැටයි කියලා. අපේ අකවුන්ටන් ඒ ගානට ඕ.කේ. පස්සේ කිව්වා පොඩි ලියුම් කෑල්ලක් ලියන්න කියලා. ඔන්න කෝටේෂන් එක…

බ්ලා… බ්ලා…. බ්ලා…

යෙකඩ කිලෝ සදහා රුපයල් එටක් ගෙවීමට කැමති. බ්ලා… බ්ලා…. බ්ලා…..

ඉතිං ඔය මිල කැඳවුමභාර ගත්තේ ටැමිල් අකවුන්ටන්. කොලේ ඒ පැත්ත මේ පැත්ත හරව හරව බලලා… පොර අපේ සිංහල අකවුන්ට් ඇසිස්ට කියනවා….

අර මිනියා රුප්පියල් හැටයි කියලා මට්ට කිව්වට, ලියලා තියෙන්නේ අඩ්ඩු ගානක්… මේහ්… මේ…  බලන්න…

රුපියල් එටයි….!!!

ආප්පු දෙන්කෝ ආයෙම…. දෙන්න එප්පා මෑන්ට යකඩ ටික. වෙන්න කාව හරි හොයලා දෙම්මු….

%d bloggers like this: