බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ …!!!

ඔන්න එකෝමත් එක  රටක මනුස්පයෙක් හිටියලු. මෑන්… අඹුදරු රැකගෙන, දැහැමෙන් සැප විඳ… ජීවත් වුනේ එයාගේ රස්සාවට පිං සිද්ධ වෙන්නලු. නැතුව ඉතිං මහජන සම්පතෙන් සල්ලි හම්බුවෙනවා කියලැයි. පස්සේ ඉතිං හැම මනුස්පයටම වගේ මෙයාටත් තිබුනලු තාත්තගෙන් තාත්තට, පරම්පරාවෙන් පරම්පරාවට එන ජන්මෙට වැඩිය හෙන ලොකු පුරුද්දක්. ඒ පුරුද්ද ඉතිං ඊලඟ පරම්පරාවටත් ගෙනියන්න ඕනේ නිසා මෙයත් අතීතේ අය කරගෙන ආපු විදියටම කරගන ආවලු.

ඉස්සර ඒ පුරුද්ද තියෙන අයට වෙන නමක් කිව්වට දැන් මොඩර්න් විදියට මේ පුරුද්ද සහිත බුවාට කියන්නේ ජී.පී.ඇස් කියලලු. ඉතිං මොකද්ද දන්නවද මේ පුරුද්ද… මෑන්ස් වැඩ කරන තැනට හැම කෙනෙකුගෙන්ම එයා අහනවා ඉන්නේ කොහෙද කියලා…

පස්සේ ඒ මනුස්සයා මොන උත්ත‍රේ දුන්නත්… අඩුම ගානේ මං ඉන්නේ හඳට අල්ලපු වත්තේ ඕයි කිව්වත්… අර බුවාගේ නෑදෑයෙකුත් ඉන්නවමයි ඒ ලඟපාත. පොර ඒ ගෙදරට යන මැප් එන මවලා පෙන්නන්නේ මෙහෙම…

ආහ්… ඒ ලඟ අපේ නෑ කෙනෙක් ඉන්නවනේ…අර තාර පාරෙන් පහලට  බැහැලා, වෙල මැද්දෙන් ගිහිං, බොරු වල ගාවින් හැරිලා, ජම්බු ගහ ගාව ටිකක් නතර වෙලා, පිනුම් තුනක් විතර දුර ගියාම තියෙන්නේ දිරච්ච උණ බට කඩුල්ලක්…. අන්න ඒ කඩුල්ලෙන් පැනලා තව ටිකක් දුර යද්දී තියෙනවා එක වත්තේ ගෙවල් දෙකක්… අන්න ඒකෙන් රෝස පාට හුණු ගාලා තියෙන්නේ….

ආන්න ඒ ගෙදර….

ඉතිං ඔන්න අනිත් මනුස්සයා මේ මෑන්ගේ ගමන් විස්තරය අහගෙන ඉඳලා හති වැටිලා, ඉහින් කනින් දාඩිය පෙරාගෙන, කරගන්න ආපු වැඩෙත් අතපහු කරගෙන අහගත්ත කතාව නිසාම, අහනවා… කව්ද ඉතිං නෑයා කියලා…

අපෝ ඒක මට ලියන්න බෑ… අර ෆේමස් ෆයිව් එකේ ජෝර්ජිනා ඊට වැඩිය හොඳයි… අපේ, සීයාගේ සීයාගේ සීයාගේ සීයාගේ සීයා…. කියලා ඒ ළමයා නවත්තනවා. මේ මෑන් පටන් කෙලින්ම පටන් ගන්නේ කාවන්තිස්ස රජ කාලෙන්….!!! ඊට පස්සේ ඉතිං පරම්පරා වල විස්තර එක්ක අහගෙන හිටියම මුළු සිංහල ඉතිහාස වංශකතාවම තුහ්… නොදකින් කියලා හිතෙනවා…

ඔය දේ හැමදාමත් වෙද්දී මේ අහිංසකයාත් එක්ක වැඩ කරන අනිත් අය මේක අහගෙන ඉන්නේ හරියට සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ. මොකක් හරි වැඩකට ආපු එකා අර මෑන්ගේ කතාව අහගෙන බයිට් වෙද්දී මූනේ තියෙන පිං පාට….!!! සෝස පාට වෙලා, ටිකකින් වහින්න ලංවෙච්ච අඳුරු මූසල අහස වගේ වෙනවා.

ඉතිං එක දවසක් දා වැස්සක් වෙලාවක මේ මනුස්පයා වැඩ කරන තැනම තවත් පොරක් ඇවිත් බස් එක එනකම් ගේට් එ‍ක ගාවට වෙලා ඉද්දී, ඕං පිටි පස්සෙන් ඇහෙනවලු…

මේ මහත්තයා… ඔය මහත්තයා කොහෙද…

ආහ්… මං අහවල් ***මංකඩනේ අංකල්.

ආ… එහෙමද…? ඒ පාරේ ඉන්නවනේ පුතා අපේ නෑදෑයෝ වගයක්. ඔන්න ඉතිං අර පුතාට ඇහෙනවා, පිටිපස්සේ ඉන්න අර මනුස්සයාගේ යාළුවෝ ටික සුරංගනා කතා කරලියේ යන හත්පෙති මලේ ෂේන්යා උතුරු කෙලවරට ගිය සීන් එක අහන්න  එකතු වෙනවා වගේ , රොක්වෙනවා පුටු පෙරලගෙන එහෙම.

ඉතිං බුවාගේ හැටි දන්න පුතාත්, මෑන්ස් වචනේ දාන්න කලින්ම, කොටින්ම තව බස් එක එන්න වෙලා තිබුන නිසාම…. කියනවා… නෑහ් අංකල්ගේ නෑයොත් ඉන්නවද ඒ හරියේ…

ඔව්… ඔව්…. අර බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ ගාවින් හැරිලා ගියාම පහල පාරේ…

අර පුතා කතාවට බාධා කරමින් …. කොහෙන්ද අංකල් හැරෙන්න කිව්වේ….

පුතා අර…. බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ….

නෑහ්…. එතනින්…. අංකල්ට හොඳටම ෂුවර්ද…. බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ ගාවින් කියලා….

එච්චරයි කතාව…. ඊට පස්සේ ඇහුනේ, තහඩු වහලට වැහි පොද වැටෙන සද්දේ දැබෑ කරගෙන … පිටිපස්සේ  ඉඳන් පොරගේ යාළුවෝ පවත්වපු විසිල් මික්ස් හූ සංග්‍රහයේ සංතෝෂය කුණුහරුප සමග බෙදාගනිමින් භුක්ති විඳින අර අහිසංක ජී.පී.ඇස් මැප් එකේ කටහඬ විතරයි.

මතකනේ, බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ ගාවින් හැරිලා යන්න ඕනේ හරිද…!!!

බණ්ඩාරනායක මහත්තයගේ විතරක් නෙමේ ජේසුගේ බුදුපිළිමෙකුත් තියෙනවා…

%d bloggers like this: