බීරන් සමග වාසේ …

ඉස්සර ගම් වල චන්ඩි අතේ ගහගෙන ඉන්නවා මරුවා සමග වාසේ කියාල… ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ බීරන් සමග වාසේ කියලා ගහගන්න. හේතුව තමා බීරන්ට ඇහෙන ගානට වොලියුම් වැඩි කරගෙන සිංදු ඇසීම. මං ඉන්නේ හරියට තෝන්තු වෙලා වගේ… දැන් කියයි “තෝ කොහොමත් එහෙමනේ” කියලා. ඒක ඇත්ත ඉතිං ඔෆිස් ගිහිං ෆිල්ම් එකක් බලන්න ගත්තත්, බ්ලොග් එකක් කියවන්න ගත්තත් ඒ හැම එකකටම පසුබිම් සංගීතය ඇහෙන්නේ කිට්ටුව පාත තියෙන ගෙදරකින්.

හප්පා එහෙමත් වදයක්…!!! සිංදුව කියන්නේ හිත සනසන්න, අවුල් කරන්න වගේම නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවට ඒ සුවය විඳින්න වගේම කලබලකාරී වෙලාවට ආවේගශීලි වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන අවශ්‍ය ශක්තිය උපදවා ගන්නත් කියාපු ඔසුවක්.

මේ ලඟදී ගෙවල් කිට්ටුව එකෙක් තඩි බෆල් දෙකක් එක්ක වොට් දෙදාහක ඈම්ප් එකක් ගෙනත්. මං දැන ගත්ත විදියට පොර, ගෑණිගේ රත්තරං බඩුයි, තවත් මොනාදෝයි උගස් තියලා තමා සවුන්ඩ් සෙට් එක ගෙනත් තියෙන්නේ. ඒ ගෙනාවත් හරි හැමදාම හවසට මූ අපිට බලෙන්ම කසිප්පු පොවනවා වගේ වැඩක් කරනවා. සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ශ්‍රේෂ්ඨ ගීත මූ දාන්නේ කන පැලෙන්න. ඒ අස්සේ හිටි ගමන් ශකිරා, අරාෂ්, ජෝ-ජෝ එහෙමත් වඩිනවා.

ගේ ඒතරම් ලොකු නොවුනත්, පොඩි එකාට අවුරුදු එකාමාරක් වුනත් ඌට ගානක් නෑ. මං මුලින්ම හිතන් හිටියේ ගෙනාපු අළුත සද්දෙට ඇරලා, ටික දවසකින් අඩුවෙයි කියලා… ම්හු… දැන් මාසයක් විතර වුනා, තාමත් අඩුවක් නෑ. ඇත්තටම මං දන්න කාලෙකනම් පොරට ශ්‍රවන ආබාධයක් තිබුනේ නෑ… පොඩි එකාටත්, චූටි බබෝ කියන කොට හැරිලා බලනවා, ගෑණිටත් අක්කේ කියද්දී නිකංම ඔලුව හැරවෙනවා… ඒ කියන්නේ පවුලේ කාටවත් ශ්‍රවන ආබාධයක් නෑ කියන එකනේ. ඒත් මේ යස්සයා ඇයි අප්පා මෙහෙම කරන්නේ. මට ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඒ ගෙදරට විතරක් නම් කමක් නෑ, අහල පහල මීටර් පනහක විතර වටේට ඇහෙන්න සිංදු දැම්මම…

කොච්චර වුනත්, කොයි තරම් ජරා සිංදුවක් වුනත් හෙමින් අහද්දි දැනෙන ගතිය මහා හයියෙන් දාගෙන අහද්දී නැහැ. මෙට්ල් රොක්, ජෑස් වගේ කෑගහලා කියන ස්ටයිල් වල සිදුවක් වුනත් තමන්ගේ කන් දෙකට විතරක් එහෙම ප්‍රමානෙට දාගෙන අහද්දී ඇත්තටම ඒකත් එක වෙලාවටක හරිම සනීපයක්. ඒත් අපි ආසා කරන හොඳට තේරෙන සිංහල, කොටින්ම කියනවනම් පට්ට සිංදුවක් වුනත් මහ හයියෙන් දැම්මම ඒ සද්දේටම මට නම් සිංදුත් එක්කම එපා වෙනවා. එහෙම ඕනේ නම් අඩියක් ගහලා ලඟම තියෙන මියුසිකල් එකකට සෙට් වෙන එක තමා හොඳම දේ.

ගොඩක් වෙලාවට මිනිස්සු මහා හයියෙන් සිංදු අහන්නේ තමන්ගේ හිතේ තියෙන ආවේගශීලි බව පහ කරගන්න. ඒත් එහෙමයි කියලා අනිත් මිනිස්සුන්ගේ ආවේගය අවුස්සන එක හරිද…???

ඇත්තටම මේක මං දැන් ඉන්න හරියට විතරක් සිමාවුන දෙයක් නෙවෙයි. අපේ ගමෙත්, රට ගිහිං ආපු අයගේ ගෙවල් වල තඩි සෙටප් එකක් වරදින්නේම නෑ. එයාල රට ගිහිං එද්දි සල්ලි කෙසේ වෙතත් ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් නම් අරගෙන එනවා. ඉතිං තේරුනා හෝ නොතේරුනා, තියෙන මියුසික් ඩීවීඩී ඉවර වෙනකම්ම දානවා. සමහර වෙලාවට ලග පාත ඉන්න බල්ලෝත් උඩු බුරනවා. ඊට පස්සේ ඒ ටික ඉවර වුනාම ඔන්න ගේනවා අඬන පාලලගේ කැසට් හරි සීඩීස් ටිකක් හරි… ඉතිං ඒ ටික අහගෙන වටා පිටාවට පට්ට ඇනයක් වේගෙන දෙයියනේ කියලා ඉන්න කොට ඔන්න පන්සලේ හාමුදුරුවෝ හරි, ග්‍රාමසේවක හරි ඇවිත් කියනවා “අයියෝ ළමයෝ, ඔයාලා උගත් ළමයි නේද මොනාද ඔය අහන්නේ… පොඩ්ඩක් අහලා බලන්නකෝ හොඳ ගායකයන්ගේ සිංදු” කියාල… ඉතිං ඒගෝල්ලෝ ඊට පස්සේ ගේනවා, අර කලින් කිව්ව වගේම සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ඇත්තටම හොඳ සිංදු… අනේ… ඒත් එයාලා ඒවත් අහන්නේ මහ හයියෙන්. ටෙම්පෝ අඩු වෙනකොට ඒ සවුන්ඩ් සිස්ටම් වල වොලියුම් අප් වෙනවා. ඇත්තමයි මට දැන් ගමත් එපා වෙලා තියෙන්නේ මේ මල කරච්චලේ නිසා. සිංදු අහන්න තියෙන අකමැත්තට නෙවෙයි… මේ ඝෝෂාව ඉවසා වදාරන්න බැරුව.

අපිට කොයි තරම් වදයක් වුනත් මට පුළුවන් කමක් නෑ, ගිහිං ඒ මිනිස්සුන්ට කියන්න ඔය වොලියුම් ටිකක් අඩු කරන්න කියලා… මොකද අනිත් පැත්තට මං ලෑස්ති වෙන්න ඕනේ…. උඹලගේ ඉරිසියාව, මිනිහෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත…. කියල අහගන්න. ඒක නිසා තමා අපේ ගමේ සද්ද බද්ද වලට අකමැති කට්ටිය පන්සලේ හාමුදුරුවන්ට හරි, ග්‍රාමසේවකට හරි ඔය වගේ දේවල් පැමිණිලි කරන්නේ. ඒ මං දැන් ඉන්න දිහාව බලාකියාගන්න ග්‍රාමසේවක ඉන්නේ තවත් කිලෝමීටර් විස්සක් විතර ඈත තියෙන වෙන ගමක. උන්දා අපේ ග්‍රාමසේවක කාර්යාලෙට එන්නේ බදදා විතරයි. එදාට ඉතිං ඔව්ව කියන්න යන්න බැහැ… මොකට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙන මිනිස්සු පාන්දර හතරේ ඉඳන් පෝලිම් ගැහිලා ඉන්නේ ග්‍රාමසේවක නෝනව හම්බුවෙන්න.

පන්සලේ හාමුදුරුවොත් වඩින එකක් නෑ… ඔය වගේ සුළු ප්‍රශ්න වලට ගම් වල හාමුදුරුවරු අත දැම්මට, මේ හරිය ටිකක් නාගරිකයිනේ… ඉතිං ඒක නිසා හාමුදුරුවෝ වඩින්නෙත් නෑ. දැන් මං කාටද මේක කියන්නේ කියලා මං මේ හිත හිත ඉන්නේ…!

ගෙදර ගිහිං ඉස්සර වගේ දෙයියනේ කියලා ඇඳට වැටිලා සැපට නිදාගන්න තියෙන වෙලාවෙන් භාගයක් වත් යනවා ගෙවල් වලට එහා පැත්තේ එවුන්ට, ආපු වෙලාවේ ඉඳන් මෛත්‍රී කරන්න. ඇත්තමයි ගෙදර එවුන්ට කිසි හානියක් නොවී ඔය සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝලර් සර්කිට් එකට හෙනයක් වත් වදිනවනම් සද්දේ ටිකක් අඩුවෙන්න…!!! ඉරිසියාවට නෙමේ අපි හැමෝගෙම හොඳට….!!!

පුංචි කාලෙදී වැඩි ශබ්ද වලට හුරුවෙන  කන් ලොකු වෙද්දි පුංචි ශබ්ද ග්‍රහණය කරගන්නේ අඩුවෙන් කියලා මං අහලා තියෙනවා. ඒත් ඔය සීන් එක සවුන්ඩ් සෙටප් එකේ අයිතිකාරයට කියන්න ගියොත්…. “මංනේ උගේ තාත්තා… තෝ නෙමේනේ… ඒක නිසා මං ඒක බලාගන්නම්…” කියලා අහගන්නවට වැඩිය සැපයි පොළොව යටින් චූටි ගුලක් හාරගෙන ඒක අස්සට වෙලා ජීවත් වෙන එක….!!!

%d bloggers like this: