අවලං මල්ල…

ඔය මලු තියෙනවා නේද… මට නම් මහ එපාම කරපු දෙයක්. විශේෂ හේතුවක් නැති වුනාට, ඔය මලු ඔක්කොම එක වගේ. මල්ල වැඩි පුරම යූස් කරන්නේ බැඳපු අය. ඒ ගොල්ල ඊට කලින් ස්කෝලේ යන අවදියෙදිත් මල්ල පට්ට විදියට පාවිච්චි කරනවා. ඒ ඉතිං ඉස්සරහට බූරුවා වෙන්න එක්ස්පිරියන්ස් ගන්න. අපි කියලත් ඉතිං වෙනසක් නෑ… අනික මල්ල වැඩිපුර පාවිච්චි කලොත් නම් ඉතිං සොරි ඩොට් කොම්. ආයේ මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඇයි කියලා… ස්කෝලේ ගිය කට්ටිය දන්නවා ඒක හොඳටම. ස්කෝලේ නොගිය අයට කෙටියෙන් කියනව නම්… මල්ල වැඩි පුර පාචිච්චි කරාම කොන්දෙ අමාරුව හැදෙනවා. අන්තිමට නතර වෙන්නේ විශේෂඥ දොස්තරලා ගාව. නැත්තං ගොඩ ගන්න බෑ….. ආයේ මොටෝ ජීවිතේට මල්ලක් පාවිච්චි කරන්න බෑ…

ඔය මල්ලට තියෙනවා එක එක ආකාරයේ හැඩ තල, පාට, එතකොට විවිධ මෝස්කර එහෙම. ඒ ගැන නම් ඉතිං මං වගේම අනිත් හැම කෙනෙක්මත් දන්නවා. එහෙම දන්නේ නැත්තං ඉතිං ඒ පොර මේ ලෝකේ වෙන්න බෑ. එක කාලයක් තිබුනනේ මලු ඔක්කොම ට්‍රාන්ස්පේරන්ට් වෙච්ච. ඒ කාලේ නම් ඉතිං කියල වැඩක් නෑ… මල්ල ඇතුලේ තියෙන ඔක්කොම පේනවා. හරියට නිකං හෙලුවෙන් වගේ. ඔය මලු වලට වැඩියෙන්ම ආසා මොන්ටිසෝරි යන පොඩි එවුන්… අම්මෝ උන්ට මල්ලක් දැක්කම තියෙන සන්තෝසේ… හරියට නිකං දිව්‍ය ලෝකේ ගියා වගේ.

ඉතිං දැන් කියන්න ගියේ වෙන කතාවක්නේ. මාත් ඔය මල්ලක් පාවිච්චි කරනවනේ. වෙන මොකකටවත් නෙවෙයි, මගේ ලැපයි, කෑම එකයි ඔෆිස් ගෙනියන්න. පවු වැඩේ කට්ටිය වෙන වෙන මෙව්වා හිතේ මවා ගෙන කතාව කියෝගෙන ආවද කියලා. මං මේ කියන්නේ මලු, මල්ල, වගේ නම් වලින් හඳුන්වන බෑග් ගැන. අර පොඩි කාලේ ඉක්කෝලේ ගෙනිච්චේ… අන්න එව්වා… ඔය බැන්ද අය තමා දැන් වැඩිපුර බෑග් පාවිච්චි කරන්නේ. වැඩි හරියක් ඉතිං ගෙවල් වලට අවශ්‍ය කරන බඩු අරගෙන එන්න. එතකොට කුණු එකතු කරලා ගිහිං දාන්න, ආහාර ද්‍රව්‍ය ගෙනියන්න වගේ දේවල් වලට.

ඉතිං මාත් ඉස්සර ඉඳන්ම හෙන මලු ලෝලියෙක්. මට මතක විදියට මං මුලින්ම ආසා කලේ ටොයි ස්ටෝරි කාටුන් එකේ චරිත ප්‍රින්ට් කරලා තිබ්බ රතු පාට බෑග් එකට. මං ඒ බෑග් එක අවුරුදු දෙකකට වැඩිය පාවිච්චි කලා. ඒක ඒ දවස් වල ලංකාවේ තිබුනේ නෑ. රට ගිහිං ආපු අම්මගේ යාළුවෙක් තමා මට ඒක දුන්නේ. ඒක කරේ දාගෙන යද්දි… මම දෙක වසරේ උනත්, ලොකු අක්කලා හිටං මගේ දිහා බලපු හැටි මට තාම මතකයි. ඇස් දෙක ලොකු කරගෙන ආසාවෙන් පිරිලා… හ්ම්… එතනින් එහාට ඕනේ නෑ… නිකං මොකටද පෞද්ගලිකත්වය එලියට දාන්නේ.

ඔන්න ඊට පස්සේ එක එක ජාතියේ බෑග් තිබුනා. කොහොම හරි අන්තිමේ ස්කෝලේ ගිහිං නතර වෙද්දි මට තිබුනේ අර රස්තියාදු පාට් එකට ටිකක් ලං වෙච්චි චූටි නූල් දෙකකින් එල්ලුන කලු පාට බෑග් එකක්. ඒක කරේ දාගත්තම බලු කුක්කෙක්වත් බලන්නේ නෑ. මොනා කරන්නද ඉතිං, මාස දෙක තුනක් වෙනුවෙන් අළුත් බෑග් එකක් ගන්නෙ අහවල් එකටැයි කියලා තමා මං ඒක පාචිච්චි කලේ. දැන් නම් මටත් ඊයා, ඈක්කා කියලා හිතෙනවා. පස්සේ අන්තිමේටම පොත් ටික අතේ අරගෙන ගියා.

ඊටත් පස්සේ ආයෙම ක්ලාස් යද්දී එහෙම තව තව බෑග් ගත්තා. අනේ එව්වා ගැන නම් කියන්න දෙයක් නෑ… ඒකෙනුත් වැඩි හරියක් පාවිච්චි කලේ ඩීසල් බෑග් එක.

එව්වා පැත්තකට දාමුකෝ… මෙන්න කතාව. මේ ලඟදී දවසක මං මගේ ලැපීවත් කුදලගෙන බස් එකට නැගලා බෑග් එක දාන්න රැක් එකේ ඉඩක් හෙව්වට හම්බුනේ නෑ. පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර බෑග් එකේ එක පටියක් දකුණු උරෙන් පන්නලා මුළු බෑග් එකම වම් පැත්තේ උර හිසට බර වෙන්න දාගෙන හිටියා. නැත්තං ඉතිං කොන්දා එනවනේ රෙද්ද උස්සගෙන. පස්සේ ඔන්න ටික දුරක් ගිහිං මගින් නැග්ගා ස්වීට් ළමයි දෙතුන් දෙනෙක්. අක්කලාද නංගිලාද මන්දා… කොහොම හරි හුරුබුහුටි කෙල්ලෝ වගයක්. පස්සේ ඉතිං මං ඒ දිහා බලන්නවත් ගියෙ නෑ.

ඉතිං ටික දුරක් යද්දී කෙල්ලෝ ටික එහාට හැරෙනවා මෙහාට හැරෙනවා එක විකාරයයි එතෙන. එයාලා ගාවත් ලොකූ බෑග් කිපයක් තිබුනා. ඒවත් දාගෙන හිටියේ මං බෑග් එක එල්ල ගෙන හිටිය වගේම එක උරේකට බර වැටෙන්න. පස්සේ ඔන්න පානදුරෙන් ඒ සෙට් එක බහිද්දි මට දැනෙනවා මාවත් ඇදගෙන යනවා කියලා ඒ එක කෙල්ලෙක්. මං නිකංමට වගේ බැළුවා මොකද මේ වෙන්නේ කියලා.

මල මගුලයි… මගේ බෑග් එකේ අනිත් පටිය මේ කෙල්ලගේ එක උරේක එල්ලිලා. අනේ අම්මපා, මගේ අවලං බෑග් එක…. ඌට තියෙන විසේට අර කෙල්ලගේ උරේට පැනලා.

මට එහෙම හිතුනේ … කෙල්ල මට රවපු විදියෙන් , කෙල්ල මගේ බෑග් එකත් එක්ක ඔරොප්පු වෙලා තමා කියලා. පස්සේ ඉතිං මං කිව්වා…

මොකද ඔරවන්නේ… ඔයානේ මගේ බෑග් එකේ පටිය ඔයාගේ කරේ දාගෙන තියෙන්නේ… කියලා…

අනේ සොරි අයියේ… සොරි… සොරි… කියලා මගේ අවලං බෑග් එකේ පටිය ආපහු ගලෝලා දිලා ලඟ පාත හිටිය කිහිප දෙනෙක්ගේ හිකි හිකි හඬ මැද්දේ බැහැලා ගියා….

පවු ඒ ගෑණු ළමයා…. මගේ අවලං බෑග් එක නිසා එයා අපහසුතාවයට පත් වුනාද මන්දා….

%d bloggers like this: