ආ… මේක තියාගන්න… මගේ යශෝධරාවත 21

හරියටම මාසයයි සති කීපයකට පස්සේ අයෙමත් මං කුමාරයට මගේ සුන්දර…. ඒත් දුක් මුසු තැන් වලිනුත් අඩු නොවිච්ච, ඒත් හරිම අමුතු ආදරේ ගැන මතක් වුනා. ඒ කාලේ තමා යශෝධරාව විශාරද කර කර හිටයේ. ඉතිං එහෙ යන දවසක් ඇත්තං මං කුමාරයටත් අනිවාර්යෙන් සිංදුවක් අහන්න ලැබෙනවා වගේම සමහර වෙලාවට ලෝකෙ පෙරලලා හරි යශෝධරාව ඉල්ලන සිංදු ගෙනත් දෙන්නත් වෙනවා. ඇත්තටම ඒ දවස් යශෝධරාවගේ කෙසේ වෙතත් මං කුමාරයාගේ හිතේ නම් තිබුනේ පුංචි නංගි කෙනෙක් ගැන ඇතිවෙන අමුතු මෙව්වා එකක් විතරයි.

හැබැයි මේ කියන දවසින් පස්සේ තමා ඒ හැඟීම ටිකක් වෙනස් වෙලා, ඇඩ්වාන්ස් වෙලා එතනින් එහාට… මහා ලොකූ හීන කන්දකුත් ගොඩගහගෙන, ලස්සන ප්‍රාර්ථනා ගොඩකුත් හිතේ පුරෝගෙන ඉන්න වුනේ.

ඉතිං මේ කියන දවසේ මං කුමාරයට නඩුකාරි ගේ ක්ලාස් තිබ්බ දවසක්. මං කුමාරයත් ස්කෝලේ ගිහිං ඇවිත් පට පට ගාලා නාලා කාලා ලෑස්ති වෙලා ගියේ පුංචි හුරතල් මූනත් දැකබලාගෙන තව සතියකට විතර ඇති වෙන්න අමුතු මතකයන්  රොත්තක් එකතු කර ගෙන එන්න. යශෝධරාවත් ස්කෝලේ ගිහිං ඇවිත්, එයාලගේ මාලිගය ඉස්සරහා තියෙන කොන්ක්‍රිට් කනුවක් උඩ එහෙට මෙහෙට පැන පැන, ඇට්ටේරියා මල් එකතු කරගෙන මං එන දිහා බලාගෙන ඉන්නවා මං දැක්කේ දුර තියාමයි. එදා නම් මට හිතුනේ නෑ එයා පුංචි සුරංගනාවියක් වගේ නේද කියලා… ඒත් අද නම් සිය දහස් සැරයක් එහෙම හිතෙනවා.

කොහොම හරි ඉතිං මං යශෝධරාව පහු කරගෙන ගේට් එක ගාවින් යද්දී ඇට්ටේරියා මල් දෙක තුනක් මගේ ඇඟේ වැදීගෙන හුළඟත් එක්ක මුහු වෙලා මගේ හිතත් තෙමා ගෙන ගිය බව නම් මතකයි. පස්සේ ඉතිං කෝලම් කරන්න වෙලාවක් නැහැනේ. මාලිගයට ආවේ ඉංග්‍රිසි ඉගෙන ගන්නනේ. ඒක නිසා ඉතිං වැඩිය දඟලන්නේ කරන්නෙ නැතුව ක්ලාස් එකට ගිහිං වාඩි වුනා. පස්සේ ඉතිං මයෙ පෙර අකුසල කර්මයකටද කොහෙද මාත් එක්ක ක්ලාස් එන එක යාළුවෙක්වත් එදා නෑ. දැන් ඉතිං තනියම ඇක්ටිවිටි කොරපංකෝ කියලා හිතින් හිත හිත ඉද්දී… ක්ලාස් එකේ තිබුන ලී කණුවක් ගාව කොහෙන්දෝ ආපු පුංචි කෙල්ලෙක් නතර වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං ඒ දිහා බැළුවත් හරි ඒ පුංචි කටෙන් අහන්න ලෑස්ති වෙලා හිටිය ප්‍රශ්නේ ඇහුවා.

අම්මා ඇහුවා යාළුවෝ එන එකක් නැද්ද කියලා…???

ම්…ම්… ම්… දන්නේ නෑනේ… කවුරුවත් මට හම්බුනේ නෑ… වචන පැටලුනේ නෑ මං හිතන්නේ. ඒත් දිව නම් මොකක් හරි පිස්සුවක් නැටුවා.

හා… මං අම්මට කියන්නම්…. කියාගෙන මට තවත් කිසි දෙයක් කියන්නවත් තත්පරයක්වත් නොදී යශෝධරාව දිව්වා මාලිගයට. ඇත්තටම දැන් හිතුනට එවෙලේ මුකුත් කියන්න වුනේ නෑ නේද කියලා… ඇත්තට මං එවෙලේ මොනා කියන්නද…???

පස්සේ ඉතිං නඩුකාරි එනවා, පොත් ටිකත් අරගෙන. ඇවිත්, අද යාලුවෝ නැහැනේ… ක්ලාස් එක ටිකක් වෙලා කරලා නවත්තමු… කියාගෙන. මටත් ඉතිං ඉක්මනට ගෙදර යන්න පුළුවන් නිසා සංතෝස හිතුනට, මොකක් හරි දුකකුත් දැනුනා. දන්නේ නෑ ඒ මොකද්ද කියලා.

ඊට පස්සේ මොනා හරි ලෙසන් එකක් කරා. පස්සේ ටික වෙලාවක් යද්දී රෝස පාට පුංචි කොල කෑල්ලක් අතේ ගුලි කරගත්ත පුංචි ඇස් දෙකක් එයාගේ අම්මගේ අතේ එල්ලිලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ හැඟීම් විස්තර කරන්නවත්, ඒ මතකය ආයෙම කෙනේ ඉදිරියේ මවලා පෙන්නන්වත් විදියක් මං තාම දන්නේ නැති නිසා හොඳයි. නැත්තං ඒ මොහොත කොයිතරම් හැඟීම් බරද කියලා දැක ගන්නම තිබුනා. පස්සේ ඉතිං මගේ ගාවට පුංචි පුංචි අඩි තිය තිය ඇවිත්….

ආ… මේක තියාගන්න… මට මේ සිංදුව හොයලා දෙන්න පුළුවන්නම්….

කියලා ආයෙම හෙමිහිට නඩුකාරි ළඟට ගිහිං ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉඳලා එක පාරට දිව්වා ගෙට. නඩුකාරිත් ඇවිත්…

ඔය සිංදුවට නංගි ආසයිලු. පුතාට පුළුවන්නම් හොයලා ගෙනත් දෙන්න… කියලා ඔලුවත් අතගෑවද කොහෙද…

පස්සේ ඉතිං නඩුකාරිත් ටිකක් එහාට මෙහාට වෙනකං ඉඳලා මං කුමාරයා දිග ඇරියා මෙදා පාර ඉල්ලන සිංදුව මොකද්ද කියලා බලන්න. ලස්සන ලියුම් ලියන රෝස පාට කොලයක නිල් පාට කාබන් පෑනකින් පුංචි වටකුරු අකුරු වලින් මමත් ආසම, මගේ ගාව ඒ වෙනකොටත් තිබුන සිංදුවක් ලියලා ඒ කොලේ….!!! ඉතිං ඒ  සිංදුව හොයලා දෙන එක ගැටළුවක් වුනේ නෑ මං කුමාරයට. ඊට පස්සෙන්දම සිංදුව සීඩී එකකට බර්න් කරලා ගිහිං දුන්නා.

ඒත් ඒ සිංදුව ලියලා දුන්න කොලේ….!!! ඒක මං කුමාරයට ලොකු ගැටළුවක් වුනා. එදා විතරක් නෙමේ අදටත්. තාමත් ඒක මගෙ ගාව තියෙනවා. හැබැයි සිය දහස් වාර ගනනක් නවලා දිග ඇරලම නැවුම් පාරවල් වලින් ඉරිලා ගිහිල්ලා. ඒත් එහෙම වෙන්න කලින් කොලේ ස්කෑන් කරලා තිබුන විදියටම ආයෙම එකක් හදාගන්න මට පුළුවන් වුනා. අකුරු ටික විතරක් කොපි කරගෙන කොලේ ආයෙම ඩිසයින් කරලා, දැන් මගෙ ගාව තියෙන සොෆ්ට් කොපිය තමා ඔය උඩ තියෙන්නේ….!!!

මට නම් නෙළුම් විලේ මල් සීයක් නෙමේ… නෙළුම් විල් සීයක් තිබුනත් එක නෙළුමයි…!!!

%d bloggers like this: