බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ …!!!

ඔන්න එකෝමත් එක  රටක මනුස්පයෙක් හිටියලු. මෑන්… අඹුදරු රැකගෙන, දැහැමෙන් සැප විඳ… ජීවත් වුනේ එයාගේ රස්සාවට පිං සිද්ධ වෙන්නලු. නැතුව ඉතිං මහජන සම්පතෙන් සල්ලි හම්බුවෙනවා කියලැයි. පස්සේ ඉතිං හැම මනුස්පයටම වගේ මෙයාටත් තිබුනලු තාත්තගෙන් තාත්තට, පරම්පරාවෙන් පරම්පරාවට එන ජන්මෙට වැඩිය හෙන ලොකු පුරුද්දක්. ඒ පුරුද්ද ඉතිං ඊලඟ පරම්පරාවටත් ගෙනියන්න ඕනේ නිසා මෙයත් අතීතේ අය කරගෙන ආපු විදියටම කරගන ආවලු.

ඉස්සර ඒ පුරුද්ද තියෙන අයට වෙන නමක් කිව්වට දැන් මොඩර්න් විදියට මේ පුරුද්ද සහිත බුවාට කියන්නේ ජී.පී.ඇස් කියලලු. ඉතිං මොකද්ද දන්නවද මේ පුරුද්ද… මෑන්ස් වැඩ කරන තැනට හැම කෙනෙකුගෙන්ම එයා අහනවා ඉන්නේ කොහෙද කියලා…

පස්සේ ඒ මනුස්සයා මොන උත්ත‍රේ දුන්නත්… අඩුම ගානේ මං ඉන්නේ හඳට අල්ලපු වත්තේ ඕයි කිව්වත්… අර බුවාගේ නෑදෑයෙකුත් ඉන්නවමයි ඒ ලඟපාත. පොර ඒ ගෙදරට යන මැප් එන මවලා පෙන්නන්නේ මෙහෙම…

ආහ්… ඒ ලඟ අපේ නෑ කෙනෙක් ඉන්නවනේ…අර තාර පාරෙන් පහලට  බැහැලා, වෙල මැද්දෙන් ගිහිං, බොරු වල ගාවින් හැරිලා, ජම්බු ගහ ගාව ටිකක් නතර වෙලා, පිනුම් තුනක් විතර දුර ගියාම තියෙන්නේ දිරච්ච උණ බට කඩුල්ලක්…. අන්න ඒ කඩුල්ලෙන් පැනලා තව ටිකක් දුර යද්දී තියෙනවා එක වත්තේ ගෙවල් දෙකක්… අන්න ඒකෙන් රෝස පාට හුණු ගාලා තියෙන්නේ….

ආන්න ඒ ගෙදර….

ඉතිං ඔන්න අනිත් මනුස්සයා මේ මෑන්ගේ ගමන් විස්තරය අහගෙන ඉඳලා හති වැටිලා, ඉහින් කනින් දාඩිය පෙරාගෙන, කරගන්න ආපු වැඩෙත් අතපහු කරගෙන අහගත්ත කතාව නිසාම, අහනවා… කව්ද ඉතිං නෑයා කියලා…

අපෝ ඒක මට ලියන්න බෑ… අර ෆේමස් ෆයිව් එකේ ජෝර්ජිනා ඊට වැඩිය හොඳයි… අපේ, සීයාගේ සීයාගේ සීයාගේ සීයාගේ සීයා…. කියලා ඒ ළමයා නවත්තනවා. මේ මෑන් පටන් කෙලින්ම පටන් ගන්නේ කාවන්තිස්ස රජ කාලෙන්….!!! ඊට පස්සේ ඉතිං පරම්පරා වල විස්තර එක්ක අහගෙන හිටියම මුළු සිංහල ඉතිහාස වංශකතාවම තුහ්… නොදකින් කියලා හිතෙනවා…

ඔය දේ හැමදාමත් වෙද්දී මේ අහිංසකයාත් එක්ක වැඩ කරන අනිත් අය මේක අහගෙන ඉන්නේ හරියට සුරංගනා කතාවක් අහගෙන ඉන්නවා වගේ. මොකක් හරි වැඩකට ආපු එකා අර මෑන්ගේ කතාව අහගෙන බයිට් වෙද්දී මූනේ තියෙන පිං පාට….!!! සෝස පාට වෙලා, ටිකකින් වහින්න ලංවෙච්ච අඳුරු මූසල අහස වගේ වෙනවා.

ඉතිං එක දවසක් දා වැස්සක් වෙලාවක මේ මනුස්පයා වැඩ කරන තැනම තවත් පොරක් ඇවිත් බස් එක එනකම් ගේට් එ‍ක ගාවට වෙලා ඉද්දී, ඕං පිටි පස්සෙන් ඇහෙනවලු…

මේ මහත්තයා… ඔය මහත්තයා කොහෙද…

ආහ්… මං අහවල් ***මංකඩනේ අංකල්.

ආ… එහෙමද…? ඒ පාරේ ඉන්නවනේ පුතා අපේ නෑදෑයෝ වගයක්. ඔන්න ඉතිං අර පුතාට ඇහෙනවා, පිටිපස්සේ ඉන්න අර මනුස්සයාගේ යාළුවෝ ටික සුරංගනා කතා කරලියේ යන හත්පෙති මලේ ෂේන්යා උතුරු කෙලවරට ගිය සීන් එක අහන්න  එකතු වෙනවා වගේ , රොක්වෙනවා පුටු පෙරලගෙන එහෙම.

ඉතිං බුවාගේ හැටි දන්න පුතාත්, මෑන්ස් වචනේ දාන්න කලින්ම, කොටින්ම තව බස් එක එන්න වෙලා තිබුන නිසාම…. කියනවා… නෑහ් අංකල්ගේ නෑයොත් ඉන්නවද ඒ හරියේ…

ඔව්… ඔව්…. අර බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ ගාවින් හැරිලා ගියාම පහල පාරේ…

අර පුතා කතාවට බාධා කරමින් …. කොහෙන්ද අංකල් හැරෙන්න කිව්වේ….

පුතා අර…. බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ….

නෑහ්…. එතනින්…. අංකල්ට හොඳටම ෂුවර්ද…. බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ ගාවින් කියලා….

එච්චරයි කතාව…. ඊට පස්සේ ඇහුනේ, තහඩු වහලට වැහි පොද වැටෙන සද්දේ දැබෑ කරගෙන … පිටිපස්සේ  ඉඳන් පොරගේ යාළුවෝ පවත්වපු විසිල් මික්ස් හූ සංග්‍රහයේ සංතෝෂය කුණුහරුප සමග බෙදාගනිමින් භුක්ති විඳින අර අහිසංක ජී.පී.ඇස් මැප් එකේ කටහඬ විතරයි.

මතකනේ, බණ්ඩාරනායක මහත්තයාගේ බුදුපිළිමේ ගාවින් හැරිලා යන්න ඕනේ හරිද…!!!

බණ්ඩාරනායක මහත්තයගේ විතරක් නෙමේ ජේසුගේ බුදුපිළිමෙකුත් තියෙනවා…

බීරන් සමග වාසේ …

ඉස්සර ගම් වල චන්ඩි අතේ ගහගෙන ඉන්නවා මරුවා සමග වාසේ කියාල… ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ බීරන් සමග වාසේ කියලා ගහගන්න. හේතුව තමා බීරන්ට ඇහෙන ගානට වොලියුම් වැඩි කරගෙන සිංදු ඇසීම. මං ඉන්නේ හරියට තෝන්තු වෙලා වගේ… දැන් කියයි “තෝ කොහොමත් එහෙමනේ” කියලා. ඒක ඇත්ත ඉතිං ඔෆිස් ගිහිං ෆිල්ම් එකක් බලන්න ගත්තත්, බ්ලොග් එකක් කියවන්න ගත්තත් ඒ හැම එකකටම පසුබිම් සංගීතය ඇහෙන්නේ කිට්ටුව පාත තියෙන ගෙදරකින්.

හප්පා එහෙමත් වදයක්…!!! සිංදුව කියන්නේ හිත සනසන්න, අවුල් කරන්න වගේම නිවී හැනහිල්ලේ ඉන්න වෙලාවට ඒ සුවය විඳින්න වගේම කලබලකාරී වෙලාවට ආවේගශීලි වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන අවශ්‍ය ශක්තිය උපදවා ගන්නත් කියාපු ඔසුවක්.

මේ ලඟදී ගෙවල් කිට්ටුව එකෙක් තඩි බෆල් දෙකක් එක්ක වොට් දෙදාහක ඈම්ප් එකක් ගෙනත්. මං දැන ගත්ත විදියට පොර, ගෑණිගේ රත්තරං බඩුයි, තවත් මොනාදෝයි උගස් තියලා තමා සවුන්ඩ් සෙට් එක ගෙනත් තියෙන්නේ. ඒ ගෙනාවත් හරි හැමදාම හවසට මූ අපිට බලෙන්ම කසිප්පු පොවනවා වගේ වැඩක් කරනවා. සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ශ්‍රේෂ්ඨ ගීත මූ දාන්නේ කන පැලෙන්න. ඒ අස්සේ හිටි ගමන් ශකිරා, අරාෂ්, ජෝ-ජෝ එහෙමත් වඩිනවා.

ගේ ඒතරම් ලොකු නොවුනත්, පොඩි එකාට අවුරුදු එකාමාරක් වුනත් ඌට ගානක් නෑ. මං මුලින්ම හිතන් හිටියේ ගෙනාපු අළුත සද්දෙට ඇරලා, ටික දවසකින් අඩුවෙයි කියලා… ම්හු… දැන් මාසයක් විතර වුනා, තාමත් අඩුවක් නෑ. ඇත්තටම මං දන්න කාලෙකනම් පොරට ශ්‍රවන ආබාධයක් තිබුනේ නෑ… පොඩි එකාටත්, චූටි බබෝ කියන කොට හැරිලා බලනවා, ගෑණිටත් අක්කේ කියද්දී නිකංම ඔලුව හැරවෙනවා… ඒ කියන්නේ පවුලේ කාටවත් ශ්‍රවන ආබාධයක් නෑ කියන එකනේ. ඒත් මේ යස්සයා ඇයි අප්පා මෙහෙම කරන්නේ. මට ඇත්තටම මේක ප්‍රශ්නයක්. ඒ ගෙදරට විතරක් නම් කමක් නෑ, අහල පහල මීටර් පනහක විතර වටේට ඇහෙන්න සිංදු දැම්මම…

කොච්චර වුනත්, කොයි තරම් ජරා සිංදුවක් වුනත් හෙමින් අහද්දි දැනෙන ගතිය මහා හයියෙන් දාගෙන අහද්දී නැහැ. මෙට්ල් රොක්, ජෑස් වගේ කෑගහලා කියන ස්ටයිල් වල සිදුවක් වුනත් තමන්ගේ කන් දෙකට විතරක් එහෙම ප්‍රමානෙට දාගෙන අහද්දී ඇත්තටම ඒකත් එක වෙලාවටක හරිම සනීපයක්. ඒත් අපි ආසා කරන හොඳට තේරෙන සිංහල, කොටින්ම කියනවනම් පට්ට සිංදුවක් වුනත් මහ හයියෙන් දැම්මම ඒ සද්දේටම මට නම් සිංදුත් එක්කම එපා වෙනවා. එහෙම ඕනේ නම් අඩියක් ගහලා ලඟම තියෙන මියුසිකල් එකකට සෙට් වෙන එක තමා හොඳම දේ.

ගොඩක් වෙලාවට මිනිස්සු මහා හයියෙන් සිංදු අහන්නේ තමන්ගේ හිතේ තියෙන ආවේගශීලි බව පහ කරගන්න. ඒත් එහෙමයි කියලා අනිත් මිනිස්සුන්ගේ ආවේගය අවුස්සන එක හරිද…???

ඇත්තටම මේක මං දැන් ඉන්න හරියට විතරක් සිමාවුන දෙයක් නෙවෙයි. අපේ ගමෙත්, රට ගිහිං ආපු අයගේ ගෙවල් වල තඩි සෙටප් එකක් වරදින්නේම නෑ. එයාල රට ගිහිං එද්දි සල්ලි කෙසේ වෙතත් ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් නම් අරගෙන එනවා. ඉතිං තේරුනා හෝ නොතේරුනා, තියෙන මියුසික් ඩීවීඩී ඉවර වෙනකම්ම දානවා. සමහර වෙලාවට ලග පාත ඉන්න බල්ලෝත් උඩු බුරනවා. ඊට පස්සේ ඒ ටික ඉවර වුනාම ඔන්න ගේනවා අඬන පාලලගේ කැසට් හරි සීඩීස් ටිකක් හරි… ඉතිං ඒ ටික අහගෙන වටා පිටාවට පට්ට ඇනයක් වේගෙන දෙයියනේ කියලා ඉන්න කොට ඔන්න පන්සලේ හාමුදුරුවෝ හරි, ග්‍රාමසේවක හරි ඇවිත් කියනවා “අයියෝ ළමයෝ, ඔයාලා උගත් ළමයි නේද මොනාද ඔය අහන්නේ… පොඩ්ඩක් අහලා බලන්නකෝ හොඳ ගායකයන්ගේ සිංදු” කියාල… ඉතිං ඒගෝල්ලෝ ඊට පස්සේ ගේනවා, අර කලින් කිව්ව වගේම සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලනීගේ වගේ අයගේ ඇත්තටම හොඳ සිංදු… අනේ… ඒත් එයාලා ඒවත් අහන්නේ මහ හයියෙන්. ටෙම්පෝ අඩු වෙනකොට ඒ සවුන්ඩ් සිස්ටම් වල වොලියුම් අප් වෙනවා. ඇත්තමයි මට දැන් ගමත් එපා වෙලා තියෙන්නේ මේ මල කරච්චලේ නිසා. සිංදු අහන්න තියෙන අකමැත්තට නෙවෙයි… මේ ඝෝෂාව ඉවසා වදාරන්න බැරුව.

අපිට කොයි තරම් වදයක් වුනත් මට පුළුවන් කමක් නෑ, ගිහිං ඒ මිනිස්සුන්ට කියන්න ඔය වොලියුම් ටිකක් අඩු කරන්න කියලා… මොකද අනිත් පැත්තට මං ලෑස්ති වෙන්න ඕනේ…. උඹලගේ ඉරිසියාව, මිනිහෙක් හැදෙනවට ඉරිසියා කරන හැත්ත…. කියල අහගන්න. ඒක නිසා තමා අපේ ගමේ සද්ද බද්ද වලට අකමැති කට්ටිය පන්සලේ හාමුදුරුවන්ට හරි, ග්‍රාමසේවකට හරි ඔය වගේ දේවල් පැමිණිලි කරන්නේ. ඒ මං දැන් ඉන්න දිහාව බලාකියාගන්න ග්‍රාමසේවක ඉන්නේ තවත් කිලෝමීටර් විස්සක් විතර ඈත තියෙන වෙන ගමක. උන්දා අපේ ග්‍රාමසේවක කාර්යාලෙට එන්නේ බදදා විතරයි. එදාට ඉතිං ඔව්ව කියන්න යන්න බැහැ… මොකට ඊට වැඩිය ලොකු ප්‍රශ්න තියෙන මිනිස්සු පාන්දර හතරේ ඉඳන් පෝලිම් ගැහිලා ඉන්නේ ග්‍රාමසේවක නෝනව හම්බුවෙන්න.

පන්සලේ හාමුදුරුවොත් වඩින එකක් නෑ… ඔය වගේ සුළු ප්‍රශ්න වලට ගම් වල හාමුදුරුවරු අත දැම්මට, මේ හරිය ටිකක් නාගරිකයිනේ… ඉතිං ඒක නිසා හාමුදුරුවෝ වඩින්නෙත් නෑ. දැන් මං කාටද මේක කියන්නේ කියලා මං මේ හිත හිත ඉන්නේ…!

ගෙදර ගිහිං ඉස්සර වගේ දෙයියනේ කියලා ඇඳට වැටිලා සැපට නිදාගන්න තියෙන වෙලාවෙන් භාගයක් වත් යනවා ගෙවල් වලට එහා පැත්තේ එවුන්ට, ආපු වෙලාවේ ඉඳන් මෛත්‍රී කරන්න. ඇත්තමයි ගෙදර එවුන්ට කිසි හානියක් නොවී ඔය සෙට් එකේ වොලියුම් කන්ට්‍රෝලර් සර්කිට් එකට හෙනයක් වත් වදිනවනම් සද්දේ ටිකක් අඩුවෙන්න…!!! ඉරිසියාවට නෙමේ අපි හැමෝගෙම හොඳට….!!!

පුංචි කාලෙදී වැඩි ශබ්ද වලට හුරුවෙන  කන් ලොකු වෙද්දි පුංචි ශබ්ද ග්‍රහණය කරගන්නේ අඩුවෙන් කියලා මං අහලා තියෙනවා. ඒත් ඔය සීන් එක සවුන්ඩ් සෙටප් එකේ අයිතිකාරයට කියන්න ගියොත්…. “මංනේ උගේ තාත්තා… තෝ නෙමේනේ… ඒක නිසා මං ඒක බලාගන්නම්…” කියලා අහගන්නවට වැඩිය සැපයි පොළොව යටින් චූටි ගුලක් හාරගෙන ඒක අස්සට වෙලා ජීවත් වෙන එක….!!!

එම්ප්ලෝයි බෙනිෆිට්ස්….

ඔය එම්ප්ලෝයි බෙනිෆිට්ස් කියන්නේ, යම් සේවකයෙක් වැඩ කරන ආයතනයකින් සේවකයාට ලැබෙන්න ඕනේ වරප්‍රසාද වලට. මං ඉතිං තාම ආසාවට එක පාරක් වත් වෘත්තිය සමිතියකට සම්බන්ධ වෙලා හිටියේ නැති නිසා ඒ ගැන මහා ලොකුවට පම්පෝරි ගහන්න දන්නේ නෑ.  ඒත් ඉතිං අපේ චූටි මොල වලට තේරෙන විදියට මං හැදුවා එම්ප්ලෝයි බෙනිෆිට්ස් ලෑස්තුවක්. මේකට මට අපේ ඔෆිස් එකේ අයත් සෑහෙන්න උදවු කලා. ඒ වගේම මේ වරප්‍රසාද හා චූටි නීති මාලාව තනිකරම සැකසෙන්නේ ස්වාභාවික පරිසරය ආශ්‍රිතව. මොකද ඉතිං අපි හැමෝම වගේ පරිසරය ගැන ගොඩක් හිතන නිසා. අනික අපි හැමෝම සොබාදහමට පට්ට ආදරෙයිනේ ඉතිං…!!!

  1. ආයතන ඉඩමේ වැවෙන, කඩන්න පුළුවන් මානයේ තියෙන නැවුම් පළතුරු තනිකරම සේවකයා සතු විය යුතුයි. ‍(සේවකයන් අතරින් කාර්යයාල අංශයට සෑම විටම මුල් තැන ලැබිය යුතුයි.)
  2. කඩන්න බැරි උසකින් තියෙන පළතුරු වර්ග කැඩීමට සෑම විටම ආරක්ෂක අංශයේ සහයෝගය ලැබිය යුතුයි.
  3. දිවා කලදී එකදු කුරුල්ලෙකුටවත්, හෝතම්බුවෙතුටත්, ඔර්සමටුල්ලෙකුටවත්, අඩුම වශයෙන් හැකරැල්ලෙකුවත් පළතුරු වලට බඩු බනිස් කිරීමට ඉඩ නොතිබිය යුතුයි. මෙය සෑම විටම ආරක්ෂක අංශයේ රාජකාරියක් වනවා සේම පලදාව නෙලා ගත් විට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් අදාල කොටහ ලැබෙන ඇති.
  4. ආයතනය අවට ගෙවල් වල මුල් තියෙන මුත්, අතු හා පළදාව ආයතන‍ය පැත්තේ ඇති ගස් වලින් වැටෙන කොල ගැන වැඩි යමක් නොසිතා අනාගත වාසි ගැන පමණක් සිතා නිවැසියන් සමග ආරවුල් ඇති කර නොගෙනසෑම විටම සමාකාමීව සිටිය යුතුයි. මෙයද ආරක්ෂක අංශයට හා පිරිසිදු කිරීමේ අංශයට තමන්ගේ වරප්‍රසාද ඉහල නංගවාගැනිමට හැකි ‍හොඳම අවස්ථාවක් කරගත යුතුයි.
  5. රෑට රෑට තැඹිලි ගස් වල නිකං හැදෙන තැඹිලි නිකංම බිමට වැටෙන විට ආරක්ෂක අංශය ඒ ගැන සොයා නොබලා තමන්ගේ පාඩුවේ නිදාගැනීමට තරම් කාරුණික විය යුතුයි.
  6. අවශ්‍ය වුවහොත් පමණක්මන්න පිහියක් සැපයිය යුතුයි. (කාර්යයාල අංශයට)
  7. ආයතනීය වත්ත පිටුපස ඇති මඥ්ඥොක්කා ගාල ගැන හොඳ හෝදිසියෙන් සිටිය යුතු අතර වල් කැත ඌරු මීයෝ රෑනට ඉක්මනටම ගේමක් දිය යුතුයි. එමෙන්ම කාර්යයාල අංශය වැඩ අධික වී මහන්සියෙන් රෑට – නයිට් කරන විට මඥ්ඥොක්කා තම්බා දී ඔවුන්ට සහයෝගය දිය යුතුයි. එයින් කොටසක් ආරක්ෂක අංශයටද හිමියි.
  8. පොල් / තැඹිලි ගස් අසල ඇති පොකුණ අලංකාරවත්ව තබා ගැනීමට පිරිසිදු කිරීමේ අංශය ඇප කැප විය යුතුයි. එම ස්ථානය හැම දෙනාටම යහපත් මානසිකත්වයක් ඇති කරන නිසාවෙන් ඒ ගැන වැඩි පුරම සොයා බැලිය යුතුයි.

ඔය වගේ තව දිග ලිස්ට් එකක් තිබුනට ලියන්න නිංක මොකද්ද මොකද්ද වගේ… මං මේ කොහොම හරි ට්‍රයි කොරන්නේ ඔය වරප්‍රසාද වලින් දෙක තුනක් වත් සදහටම රැකගන්න.

ආයතන දියුණු කරන්න නම් අපි ආයතනයේ ස්වභාවික පරිසරය ගැනත හිතන්න ඕනේ. පලදාව බේරෙන ගස් ගැන එහෙම වැඩිපුර හිතන්න ඕනේ. අපිට කලිං පරම්පරාව ඒවා හිටෙව්වේ අපි වගේ ළමයින්ට භුක්ති විදින්න… නැද්ද මං අහන්නේ. ඉතිං එව්වා කාලා අපිත් අඩුම ගානේ ජම්බු පැලයක් හරි හිටවන්න හිතට ගන්න ඕනේ ඊලඟ පරම්පරාව වෙනුවෙන්…!!!

ක්‍රෑෂ් දිස් කොම්පූටර්…!!!

කට්ටිය දන්නවා නේද වොයිස් රෙකග්නිෂන් සොෆ්ට් වෙයා ගැන. ඉංග්‍රිසි ෆිල්ම් වල එහෙම නම් දැන් ඕනේ තරම් තියෙනවා. අයන් මෑන් එකේ, එතකොට මේ ලගඳී ආව රියල් ස්ටීල් එකේ එහෙමත් තියෙනවා. ඒකෙන් කරන්නේ අපි වාචිකව දෙන යම් ශබ්ද තරංගයක් පීසී එකේ රන් වෙන විශේෂිත මෘදුකාංගයකින් අඳුනගෙන ඒ ශබ්ද සංඥාවට අදාලව අපි අසයින් කරල තියෙන කමාන්ඩ් එක හෝ කමාන්ඩ් සෙට් එක රන් කරන එක.

ඉතිං මේක මං දන්න තරමින් සාමාන්‍ය භාවිතයට ආවේ වින්ඩෝස් XP හා ඔෆිස් 2003 පැකේජ් එකත් එක්ක. ඉතිං ඒ දවස් වල ස්කෝලෙදි ගොඩක් වෙලාවට කලේ වර්ඩ් ඇර‍ගෙන මගේ වචන උච්චාරනය කොම්පියුටර් එකට උගන්නපු එක. කොහොම හරි මාසයක් විතර යද්දී වැඩේ ගොඩ ගියා. ඒ කියන්නේ බැරි බැරි ගාතේ මං ඉංග්‍රිසි කියන කොට එව්වා අකුරක් දෙකක් එහා මෙහා වෙලා ටයිප් වෙනවා වර්ඩ් වල. ඒ දවස් වල ඉතිං ඒ සීන් එක මැජික් වගේ.

ඊට පස්සේ ඉතිං ඒ ගැන උනන්දුව අඩුවෙලා ගියා. මේ ලගඳී වොයිස් කමාන්ඩ් වලින් පී.සී එක කන්ට්‍රෝල් කරන ආසාව ආයෙමත් ආවා. අපි කියන දේ අනුව වැඩ කරන කම්පූටරයක් තියෙද්දි කාටද ආඩම්බර…!!! ඉතිං එහෙම්ම හිතපු මමත් ජුංඩං සොෆ්ට් වෙයාර් කෑල්ලක් හොයාගෙන ආයෙම මුල ඉඳන් කන්ෆිගරේෂන් හදලා වැඩේ පටන් ගත්තා.

දැන් ඔන්න මම ලැපී ඉස්සරහින් වාඩි වෙලා ඕපන් ෆයර් ෆොක්ස් කියලා එහෙම කිව්ව ගමන් සං ගාලා ෆයර් ෆොක්ස් ඕපන් වෙනවා. පස්සේ කව්රු හරි එද්දි හොර වැඩක් කර කර ඉඳියොත් එහෙම ක්ලෝස් දිස් කියපු ගමන් ඇක්ටිව් වින්ඩෝ එක ක්ලෝස් වෙනවා. මොකක් හරි වැඩක් කර කර ඉද්දී චූ බරක් එහෙම හැදිලා ‍වොෂ් රූම් දුවන්න හිතාගෙන පුටුවෙන් නැගිටින කොටම ලොක් පීසී කිව්ව ගමන් ඔක්කොම රනින් ඇප්ලි‍කේෂන් නැවතිලා පීසී එක ලොක් වෙනවා.

ඔය වැඩේ හෙන ජොලි ඉතිං. ඔෆිස් එකේදි එහෙම හිටි ගමන් යාලූවෝ සෙට් වෙලා ලැපීගේ පිහිටෙන් මේල් චෙක් කරද්දී… මේ මචං, උඹ වැඩේ කරගෙන ඉවර වෙලා ඕක… ෂට් ඩවුන් කරලා දාපං… කියලා ටිකක් ලොකු අකුරෙන් බෝල්ඩ් කරලා කියාගෙන එතනින් යද්දිම මැෂින් එකේ ෂට් ඩවුන් ප්‍රොසෙස් එක රන් වෙනවා.

අප්පා බලන්න ඕනේ ඒ වෙලාවට වැඩ කර කර ඉන්න එකාගේ මූන….. ඉතිං ඔහොම ඉද්දි දවසක් අපේ කැෂියර් කොලුවට මං සීන් එක පෙන්නුවා… ඒ පාර පොරටත් හෙන ආසයි ලැපී එක්ක වැඩ කරන්න. මාත් ඉතිං කිව්වා උඹ මොනා හරි කියපංකෝ බලන්න කියලා…

මූ ගත් කටටම…. ක්‍රෑෂ් දිස් කොම්පියුටර්කියලා කියපි. මගේ ඇඟේ මයිල් කෙලින් වෙලා… ඔලුවේ තිබ්බ කොන්ඩෙ චුට්ටත් ස්පයික් වෙලා වගේ ගියා. හොඳටම ෂුවර් ඒ වෙලාවේ ඇඟේ දිව්වේ ලේ නම් නෙවේ කියලා… මාව නිකං සීතල වෙලා වගේ ගියා… මටත් සැකයි වැරදිලා හරි මේකට සොෆ්ට් වෙයාර් එක හදපු එකා කමාන්ඩ් එකක් අසයින් කරලා තිබුනොත් කියලා…!!!

හම්මෝ… ඊට තත්පර දෙකකට විතර පස්සේ ලේ ටිකක් උනා ගෙන පහලින් වැටුනා එහෙම කමාන්ඩ් එකක් නැහැයි කියාල. දැනුන සනීපේ…….!!!! මං හිතාගත්තේ මං තනියම මටම ඇඩ් දාගත්තත් ආයෙනම් එකෙකුටවත් ඕක පෙන්නන්නේ නෑමයි කියලා….

**දැනට අවුරුදු කීපයකට කලින් මොරටුව යුනියේ තිබ්බ ප්‍රදර්ශනයකදී මං දැක්කා සිංහල චවන හඳුනාගෙන වැඩ කරන්න පුළුවන් විදියට වැඩිදියුණු කරපු මයික්‍රො සොෆ්ට් වොයිස් කමාන්ඩ් රෙකග්නිෂන් මොඩියුල් එක. අනේ ඒත් ඊට පස්සේ අද වෙනකං ඒක ගැන කිසිම දෙයක් අහන්නවත් ලැබුනේ නෑනේ… ඇත්තටම ඒකට සිංහල වචන පහ හයක් අඳුන ගන්න පුළුවන් කම තිබුනා… මාත් ට්‍රයි කරලා බැලුවා… කාට හරි පුළුවන් නම් ඒ ප්‍රොජෙක්ට් එකට මොකද වුනේ කියලා හොයාලා දෙන්න, ඒක ලොකු දෙයක්….!

ජීවිතයේ අන්තය දැන… සතුටුවන්නා….

මේක ඔයාලා කොයිතරම් දුරට හිතට සමීප කරගනියිද කියන්න නම් මං දන්නේ නෑ. ඒත් මගේ හිතට නම් ගොඩක් කිට්ටු වුනා. මේක දුක් අ‍ඳෝනාවක් නෙමේ… ජීවිතයේ කෙලවර, එහෙමත් නැත්තං හරියටම මැරෙන දවස දැනගෙන, ජීවත් වෙන ටික කා‍ලයේදී සතුටින් … පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ දරන, එතුවක් කාලෙකට ලබන්න බැරි වුන යහපත් අත්දැකීම් ලබන්න උත්සාහ කරන අඳුරු වෙන තාරුණ්‍යයක කතාවක්.

කට්ටිය දැකලා ඇතිනේ සුව කරන්න බැහැයි කියන රෝග හැදිච්චි පුද්ගලයින්ව. අඩුම ගානේ අහලවත් ඇතිනේ. ඇත්තට මුන ගැහිලා නැති වුනාට, රූපවාහිනියෙන් හරි දැකලා ඇතිනේ. වාසනාවකට වගේ මමත් දැකලා අහලා තියෙන්නේ ඒ වගේ මාධ්‍ය වලින්ම තමා. දොස්තරලා කියන්නේ ඒ වගේ පුද්ගලයින්ගේ ජීවිත කාලය කෙටි නිසා ඒ අයගේ හිත් වලට දුකක් දෙන්නේ නැතුව, හැම වෙලාවම සතුටින් තියන්න කියලයි.

ඒත් ඒ වගේ සුව කරන්න බැරි අසනීපයක් දොස්තර කෙනෙකුට හැදුනොත්…???? ඔහු කොහොම හැසිරෙයිද, තමන්ගේ තත්වය හොඳින්ම දැන ගෙනත් වෙන කෙනෙක්ගේ හිත සතුටු කරන වැඩ වලින්, හිත සතුටු කරගෙන මරණයට හිත හදාගනීද…?

ඒක මහ ප්‍රෙහේලිකාවක්…!!! ඒත් තමන්ගේ බිරිඳට පවා තම ‍වෙන්වීම දරාගන්න පුළුවන් වෙන්න, මැරෙන්න කලිංම වෙන්වෙලා, වෙනත් රටකට ගිහිං හිත හොඳ, නරක හිත් ඇති මිනිසුන් මැද්දේ දුක හංගගෙන, හිනාව වපුරගෙන… ජීවත් වෙන ටික කාලය සතුටින් ඉන්න හදන දොස්තර කෙනෙක්ගේ කතාවක් මේ.

ඇත්තටම මේක දෙමළ චිත්‍රපටියක්…! භාෂාව නොතේරුනත්, කියන දේ පපුව ඇතුලටම දැනෙන හොඳ  නිර්මාණයක්. (මං හිතන විදියට) අපේ මලයා තමා මේක බාගෙන ඇවිත් තිබුනේ. මේ ටිකේ මගේ මූවි සංචිතය හිස් වෙලා තියෙන්නේ. ඉතිං මං මලයාගෙන් තමා ෆිල්ම් ඉල්ල ගන්නේ. පොර මේක හෝම් ලෑන් එකේ ෂෙයාර් කරද්දිම කිව්වේ… අයියේ මේකේ වලි ගහගන්න එව්වා නම් නෑ… කියලා. පස්සේ ඉතිං මාත් අදිමදි කරලා  අරගෙන සෑහෙන කාලයක් තියාගෙන හිටියා බලන්නේ නැතුව. ඇයි ඉතිං වලි නැතුව මොන ෆන්ද… මං ආසම දෙමළ ෆිල්ම් වල ගහගන්න එව්වට. ඒවා ඔක්කොම බොරු වුනත් බලාගෙන ඉන්න හරි ආසයි.

ඉතිං කොහොම හරි අන්තිමේ බලන්න ඉතුරු වෙච්චි ෆිල්ම් එකක් නැතිවුන තැන මං මේ මූවි එක බලන්න ගත්තා. පටන් ගන්න කොටම ඇතිවෙච්චි හැඟීම මූවි එක ඉවර වෙනකම්ම එක හා සමානව දැනුන පළවෙනි ෆිල්ම් එක තමා මේ. හිතාගන්න වත් බැරි අමුතු අවසානයක් තියෙන, හැමදාම දකින මූවි වලට වැඩිය වෙනස් ආකාරයක මූවි එකක්…!!!

ඇත්තටම ඇස් දෙකින් දැකලා, ප්‍රචන්ඩ මනසකින් විඳිනවට වැඩිය හදවතින් දැකලා ශාන්ත මනසකින් විඳන්න පුළුවන් ෆිල්ම් එකක්…!!! ඒ ව‍ගේම දෙමළ වුනාට කාටත් තේරෙයි මං හිතන්නේ. මේකේ නම වෙන්නේ 180 Rules Kidaiyathu. බලන්නකෝ බාගෙන මං කියන්නේ බොරුද කියලා. මේක අනාගත ආයෝජනයක් නම් නෙමෙයි, ඒත් ජීවත්වෙන වර්තමානය අර්ථවත් කරගන්න පුළුවන් එකක්.

මෙන්න ටොරන්ට් ලින්ක් එක... මෙන්න සබ්…

මං නම් රැවටෙයි…!!!

නිලුයිසුදුයි ඇස් දෙක දැක්කම හිතුවා නේද මාත් රැවටුනා කියලා…

මං නම් රැවටෙයි…!!!

රෝස පාට තොල් පෙති දැක්කමත්, මං ඒ ගැන හිතුවයි කියලද හිතන්නේ…

අනේ මං නොදන්න රෝස පාට….!!!

සන්සූට් එකක් වගේ චූටි ගවුම් කෑල්ලක් ඇ‍ඳගෙන…

ලස්සනට කැරකෙද්දි මං, ඔයා දිහා බැලුවා වගේ දැක්කද…

පුහ්….

අපෝ මං ඔයිට වැඩිය ලස්සන සන්සූට් දැකලා තියෙනවා.

චූටි කාලේ මටත් එකක් තිබුනා…

දැන් ඉතිං හිතනවද දන්නේ නෑ…

එහෙනම් මොකටද පොටෝ ගත්තේ කියලා…!!!

මං ගත්තේ ඔයා බිම බලාගෙන ඉන්න එකක්නේ….

ඔය මොකටද මං දිහා බැලුවේ…!!!

අවලං මල්ල…

ඔය මලු තියෙනවා නේද… මට නම් මහ එපාම කරපු දෙයක්. විශේෂ හේතුවක් නැති වුනාට, ඔය මලු ඔක්කොම එක වගේ. මල්ල වැඩි පුරම යූස් කරන්නේ බැඳපු අය. ඒ ගොල්ල ඊට කලින් ස්කෝලේ යන අවදියෙදිත් මල්ල පට්ට විදියට පාවිච්චි කරනවා. ඒ ඉතිං ඉස්සරහට බූරුවා වෙන්න එක්ස්පිරියන්ස් ගන්න. අපි කියලත් ඉතිං වෙනසක් නෑ… අනික මල්ල වැඩිපුර පාවිච්චි කලොත් නම් ඉතිං සොරි ඩොට් කොම්. ආයේ මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඇයි කියලා… ස්කෝලේ ගිය කට්ටිය දන්නවා ඒක හොඳටම. ස්කෝලේ නොගිය අයට කෙටියෙන් කියනව නම්… මල්ල වැඩි පුර පාචිච්චි කරාම කොන්දෙ අමාරුව හැදෙනවා. අන්තිමට නතර වෙන්නේ විශේෂඥ දොස්තරලා ගාව. නැත්තං ගොඩ ගන්න බෑ….. ආයේ මොටෝ ජීවිතේට මල්ලක් පාවිච්චි කරන්න බෑ…

ඔය මල්ලට තියෙනවා එක එක ආකාරයේ හැඩ තල, පාට, එතකොට විවිධ මෝස්කර එහෙම. ඒ ගැන නම් ඉතිං මං වගේම අනිත් හැම කෙනෙක්මත් දන්නවා. එහෙම දන්නේ නැත්තං ඉතිං ඒ පොර මේ ලෝකේ වෙන්න බෑ. එක කාලයක් තිබුනනේ මලු ඔක්කොම ට්‍රාන්ස්පේරන්ට් වෙච්ච. ඒ කාලේ නම් ඉතිං කියල වැඩක් නෑ… මල්ල ඇතුලේ තියෙන ඔක්කොම පේනවා. හරියට නිකං හෙලුවෙන් වගේ. ඔය මලු වලට වැඩියෙන්ම ආසා මොන්ටිසෝරි යන පොඩි එවුන්… අම්මෝ උන්ට මල්ලක් දැක්කම තියෙන සන්තෝසේ… හරියට නිකං දිව්‍ය ලෝකේ ගියා වගේ.

ඉතිං දැන් කියන්න ගියේ වෙන කතාවක්නේ. මාත් ඔය මල්ලක් පාවිච්චි කරනවනේ. වෙන මොකකටවත් නෙවෙයි, මගේ ලැපයි, කෑම එකයි ඔෆිස් ගෙනියන්න. පවු වැඩේ කට්ටිය වෙන වෙන මෙව්වා හිතේ මවා ගෙන කතාව කියෝගෙන ආවද කියලා. මං මේ කියන්නේ මලු, මල්ල, වගේ නම් වලින් හඳුන්වන බෑග් ගැන. අර පොඩි කාලේ ඉක්කෝලේ ගෙනිච්චේ… අන්න එව්වා… ඔය බැන්ද අය තමා දැන් වැඩිපුර බෑග් පාවිච්චි කරන්නේ. වැඩි හරියක් ඉතිං ගෙවල් වලට අවශ්‍ය කරන බඩු අරගෙන එන්න. එතකොට කුණු එකතු කරලා ගිහිං දාන්න, ආහාර ද්‍රව්‍ය ගෙනියන්න වගේ දේවල් වලට.

ඉතිං මාත් ඉස්සර ඉඳන්ම හෙන මලු ලෝලියෙක්. මට මතක විදියට මං මුලින්ම ආසා කලේ ටොයි ස්ටෝරි කාටුන් එකේ චරිත ප්‍රින්ට් කරලා තිබ්බ රතු පාට බෑග් එකට. මං ඒ බෑග් එක අවුරුදු දෙකකට වැඩිය පාවිච්චි කලා. ඒක ඒ දවස් වල ලංකාවේ තිබුනේ නෑ. රට ගිහිං ආපු අම්මගේ යාළුවෙක් තමා මට ඒක දුන්නේ. ඒක කරේ දාගෙන යද්දි… මම දෙක වසරේ උනත්, ලොකු අක්කලා හිටං මගේ දිහා බලපු හැටි මට තාම මතකයි. ඇස් දෙක ලොකු කරගෙන ආසාවෙන් පිරිලා… හ්ම්… එතනින් එහාට ඕනේ නෑ… නිකං මොකටද පෞද්ගලිකත්වය එලියට දාන්නේ.

ඔන්න ඊට පස්සේ එක එක ජාතියේ බෑග් තිබුනා. කොහොම හරි අන්තිමේ ස්කෝලේ ගිහිං නතර වෙද්දි මට තිබුනේ අර රස්තියාදු පාට් එකට ටිකක් ලං වෙච්චි චූටි නූල් දෙකකින් එල්ලුන කලු පාට බෑග් එකක්. ඒක කරේ දාගත්තම බලු කුක්කෙක්වත් බලන්නේ නෑ. මොනා කරන්නද ඉතිං, මාස දෙක තුනක් වෙනුවෙන් අළුත් බෑග් එකක් ගන්නෙ අහවල් එකටැයි කියලා තමා මං ඒක පාචිච්චි කලේ. දැන් නම් මටත් ඊයා, ඈක්කා කියලා හිතෙනවා. පස්සේ අන්තිමේටම පොත් ටික අතේ අරගෙන ගියා.

ඊටත් පස්සේ ආයෙම ක්ලාස් යද්දී එහෙම තව තව බෑග් ගත්තා. අනේ එව්වා ගැන නම් කියන්න දෙයක් නෑ… ඒකෙනුත් වැඩි හරියක් පාවිච්චි කලේ ඩීසල් බෑග් එක.

එව්වා පැත්තකට දාමුකෝ… මෙන්න කතාව. මේ ලඟදී දවසක මං මගේ ලැපීවත් කුදලගෙන බස් එකට නැගලා බෑග් එක දාන්න රැක් එකේ ඉඩක් හෙව්වට හම්බුනේ නෑ. පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති පාර බෑග් එකේ එක පටියක් දකුණු උරෙන් පන්නලා මුළු බෑග් එකම වම් පැත්තේ උර හිසට බර වෙන්න දාගෙන හිටියා. නැත්තං ඉතිං කොන්දා එනවනේ රෙද්ද උස්සගෙන. පස්සේ ඔන්න ටික දුරක් ගිහිං මගින් නැග්ගා ස්වීට් ළමයි දෙතුන් දෙනෙක්. අක්කලාද නංගිලාද මන්දා… කොහොම හරි හුරුබුහුටි කෙල්ලෝ වගයක්. පස්සේ ඉතිං මං ඒ දිහා බලන්නවත් ගියෙ නෑ.

ඉතිං ටික දුරක් යද්දී කෙල්ලෝ ටික එහාට හැරෙනවා මෙහාට හැරෙනවා එක විකාරයයි එතෙන. එයාලා ගාවත් ලොකූ බෑග් කිපයක් තිබුනා. ඒවත් දාගෙන හිටියේ මං බෑග් එක එල්ල ගෙන හිටිය වගේම එක උරේකට බර වැටෙන්න. පස්සේ ඔන්න පානදුරෙන් ඒ සෙට් එක බහිද්දි මට දැනෙනවා මාවත් ඇදගෙන යනවා කියලා ඒ එක කෙල්ලෙක්. මං නිකංමට වගේ බැළුවා මොකද මේ වෙන්නේ කියලා.

මල මගුලයි… මගේ බෑග් එකේ අනිත් පටිය මේ කෙල්ලගේ එක උරේක එල්ලිලා. අනේ අම්මපා, මගේ අවලං බෑග් එක…. ඌට තියෙන විසේට අර කෙල්ලගේ උරේට පැනලා.

මට එහෙම හිතුනේ … කෙල්ල මට රවපු විදියෙන් , කෙල්ල මගේ බෑග් එකත් එක්ක ඔරොප්පු වෙලා තමා කියලා. පස්සේ ඉතිං මං කිව්වා…

මොකද ඔරවන්නේ… ඔයානේ මගේ බෑග් එකේ පටිය ඔයාගේ කරේ දාගෙන තියෙන්නේ… කියලා…

අනේ සොරි අයියේ… සොරි… සොරි… කියලා මගේ අවලං බෑග් එකේ පටිය ආපහු ගලෝලා දිලා ලඟ පාත හිටිය කිහිප දෙනෙක්ගේ හිකි හිකි හඬ මැද්දේ බැහැලා ගියා….

පවු ඒ ගෑණු ළමයා…. මගේ අවලං බෑග් එක නිසා එයා අපහසුතාවයට පත් වුනාද මන්දා….

%d bloggers like this: